Friday, September 21, 2012

කවිය අවිය විය!

      

 දැන් කවි වලට කිසි "ඩිමාන්ඩ්" එකක් නැහැ.ඉස්සර වගේ නෙවෙයි.දැන් පත්තර වලිනුත් කවි පිටු අයින් කරලා.එන්න එන්නම ඉල්ලුම වැඩි වෙන්නෙ කතාන්දර වලට.මිනිස්සු කැමතියි කෙටි බරපතල කවි වලට වඩා අලගිය මුලගිය විස්තර දාලා ලියපු කතාන්දර වලට.

කොහොමත් අපි ඉස්සර ඉඳලම කතන්දරවලට ලැදි ජාතියක් ලු නේ.ඒත් එහෙමම කියන්නත් බැහැ.මිනිස්සු කැටපත් පවුරේ කතා ලිව්වෙ නැ නෙ.ඒක නම් එක්කො මහන්සිය හින්දා වෙච්ච එකක් වෙන්ට ඇති .අර මහ පර්වතේ නැගලා නැගලා අසිරිමත් ආලකමන්දාව දැකලා නොලියා යන්ට බැරිකමට ලියපුවා වෙන්ටත් ඇති.රජ්ජුරුවන්ට මොනවා හිතෙන්න ඇද්ද?,මහේසිකාවො කොහොම ඉන්ට ඇද්ද?පිදුරංගල වඳින්ට යන්ට ඒ මහේසිකාවො කොහොම සූදානම් වෙන්ට ඇද්ද? ආදී වසයෙන් නෙක නෙක කතා හිතේ මැවිච්ච පලියට ඕක එක පාරටම ලියා ගන්ටත් බැරි වෙන්ට ඇති.ලේසියට කුරුට්ටක් කොටලා යන්න ඇති.කොයික කොහොම වුණත්එහෙම බැලුවම කවිය කියන්නෙ කතාන්දර දහසකින් කියන්ට බැරි දේවල් කියන්ට පුළුවන් මාධ්‍යක් කිව්වට වරදක් වෙන්නෙ නැහැ.
   
අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනේ ගොඩගේ මැදුරේ අර ඉස්ටේජ් එක උඩ තියෙන "ස්ටෝල්" එකේ බිත්තියක ලංකාවේ සාහිත්‍ය විකාශනය වෙච්ච හැටි ගැන විස්තරයක් ඩිජිටල් බැනරයක් හැටියට එල්ල්ලලා තිබ්බා.හරි හමනකට කියව ගන්න බැරි වුණේ රැ බෝවෙලා හින්දා අපි කාටත් එතනින් ඉක්මනට පිටවීමේ තදියමක් තිබ්බ හින්දා.ඒක හරියට කියව ගත්තා නම් මේ කතාව මීට වඩා ගැඹුරට විස්තර කරලා කියන්න තිබ්බා.

ආයෙමත් සීගිරි කුරුටු ගී වලට.ඉනාමළු කෝරලේ විතරක් නෙවෙයි හතර දිබ්බාගෙන්ම ආව මිනිස්සු මේ අසිරිමත් නිර්මාණේ දැකලා ,කලාගාරයක් නැරඹීමෙන් ලද ආශ්වාදය කවියක් බවට හරවලා ඉතිරි කරලා යාවි කියලා හිතන්න තරම් කැටපත් පවුර එතන පිහිටවපු කාෂ්‍යප රජතුමා හෝ අදාල ගෘහ නිර්මාණශිල්පියා මොන තරම් රසවතෙක් වෙන්න ඇතිද?ජීවිතය පරදුවට තියලා අවම පහසුකම් යටතේ මීටර් දෙසීයකට ආසන්න උස් පර්වතය තරණය කරන්න බාල මහළු වෙනසක් නැතුව ඇදී ආව මිනිස්සු මොන තරම් රසකාමියො වෙන්න ඇද්ද?

 සීගිරි ගී ලියන්න සීගිරි රසවතුන්ට ලැබුණ හොඳම උත්තේජකය වෙන්නෙ අවට සොබා සිරිය හා එක් වෙච්ච සීගිරි බිතුසිතුවම් නෙ.හයසිය අසූවක් විතර වුණ මේ සීගිරි ගීත සමකාලීන අනෙකුත් සාහිත්‍ය නිර්මාණවලට වඩා හාත්පසින්ම වෙනස් බවකුයි බෙල් මහත්තයයි,පරණවිතාන මහත්තයයි කියන්නෙ.ඇත්ත!කවුරු මොනවා කිව්වත් කවියා තමයි මම විශ්වාස කරන හැටියට කාලයට සාපේක්ෂව භාෂාව සහ චින්තනය එක්ක පෙරලිකාරකම් දක්වන නිර්මාණ කරුවො අතරින් ඉස්සරහින්ම ඉන්නෙ.


 ජයවේවා! කවියට සහ සියළුම කවියන්ට!

ඉතිරිය පසුවට....... 

Wednesday, September 19, 2012

මිතුරු මැතිණියකට....

අනන්තාකාශයෙද ඔබ
පොළොවට තවත් නොබැසම
දුම් දූලි තැවරෙති'යි
දිලිඳු කිළි කුණු දැවටෙති'යි

මැති මෙහෙසුරන් හඳුනන
උච්ඡාසනම හොබවන
මැතිණිය මෙහෙව් කැළඹුම
කුමට මෙ'අප චූලයන් දැක 

ලියන්නට පද දහසක්
මැතිඳුනගෙ ආසිරිවාදෙන්
දිගාසිරි බෝ වේවා!
යෙහෙන කල ගත වේවා!

ආචාරි, මහාචාරී
සිසුන් නොකර වනචාරී
ගැමුණු පරපුරක කාරී
අනුව යව මැතිණියනි බේරී

Thursday, May 24, 2012

මහත්තුරුන්ලා!




හිතේ අමාරුවටයි ආයිබෝං!
වෙන රුදාවකට හෙම නෙවී
ලිව්වා තමයි  වංහුං
වැහුං ඇරියේ නැහැ මෙතුවක් කාගෙවත්

හීනා දී මූනිච්චාවට

අක්කියෝ නංගියෝ කිව්වට
ඉස්තරම්ම වචනෙන් ලිව්වේ මොකෑ
වදාපු අම්මලාට රිදෙන තරම

‍තම තම නැණ පමණ ගැන

තමුන් වගකිවයුතු වෙන
අනුන්ගේ බුලත් පයියෙන්
දුං කොළේ අපට මක්කට

ඩිංගිරි අම්මාගෙ හිට

පානම් පත්තුව උම්මත්තක කළ
ලියන කියන උන්දලාට
සෝලි මිස නම්බු නොදුන්කොට

තරහක් නැ ආයිබෝං

ඇබිත්තං දුකක් මිහ
නිමිත්ත නාක වුණේ
ලිවිල්ලට විතරෝම විතරද?????


සැ.යු. වදින තැනකට වදින්ට කීයලා ය! අහක යන නයි නොමනා තැං ඔල නොදමා ගන්ට ය!






Friday, May 18, 2012

සර්පයා වෙතටයි!

පහුගිය ටිකේම වැඩකට ඇති වැඩක් කෙරුනෙම නැති තරම්.අළුත් රස්සාවකට ගියා.බිසීවෙන්න කිසිම උවමනාවක්  සහ කැමැත්තක් කවදාවත් නොතිබ්බ හින්දම වැඩි වැඩක් කලේ නැහැ.ළඟින්ම ඉන්න යාළුවෝ චරු චුරු ගෑවා



."ඇයි යකෝ!ඔය දන්න කියන දේවල් වලින් රටට ලෝකෙට වැඩක් වෙන්න යමක් ලියපන්කෝ"


"ලියන්න පුළුවන් එකේ පත්තරේට ආටිකල් දෙක තුනක්වත් ලියපියකෝ"


"කවි පොත ගැන අදහස හිතපන්..."


"කෝ බන් අර බ්ලොග් එක.ඒකට හෙන ගහලද..?"   
සහ බ්ලා!බ්ලා!
ටික දවසකින් උන්ටම තේරුම් ගිහාම සද්දෙ වහ ගත්තා.උන්දලාට නොකිව්වට මේ දවස්වල මම පාවිච්චි කරන්නෙ හෂිත අයියගෙ තියරිය.

"නංගියෙ!උඹට ලියන්න දෙයක් නැති වෙලාවට නොලියා ඉන්න එක තමයි හොඳම ...බලෙන් ලියන්න ගිහාම ඒක #######වෙනවා."

( අපි එහෙමයි.හැමෝම කියන එව්ව නෑහුවට කවුරු හරි කියන දේ අහනවා.)

කාලෙකට පස්සෙ අලුත් පෝස්ටුවක්ම නොවුණත් මේ ටික ලියන්න ඕන කියලා හිතුනේ චාමි සෑම් ගෙ ලලක්කා කියෙව්වට පස්සෙ.
හැමදාම ලියනවාමයි කියලා හිතාගෙන හිටියත් හැමදාම අමතක වෙන මේ කතාන්දර පොඩ්ඩවල් දෙක  කොහෙන් හරින් කටු ගාලා නොදැම්මොත් ඒක මගෙ හිතට හරි මදි වගේ.ඒකයි.එහෙම මිසක්ක මේක බ්ලොග් පෝස්ටුවක් එහෙම නෙවෙයි ඕං!
හරිය?

අපි දන්න කියන ගොබිලෙක් හිටියා.අවුරුදු දහ පහලහක ඉඳන් දන්නවා.එකට කනවා බොනවා යනවා එනවා.ගෙවල් වලින් පවා දන්නවා එකට වලබහින වග.ඕම ගිහින් ගිහින් අර උන්දායි අපේ කාණ්ඩෙම තව වනිතාවකුයි ප්‍රේමයක්ද මොකක්දෝ එකකින් වෙළුණා.වෙළුණා කිව්වෙ ඉතින් වෙළුණා තමා.

ටික දවසයි දස්ට කරගත්ත සර්ප ජෝඩුවක් වගේ දෙන්න දෙපැත්තට පැන්නා.එක එක අඩු පාඩු,නොගැලපිලි තියෙන්ට ඇති නෙ.දැන් තියෙන කොස්ස මුන් දෙන්නා එකාට එකා ජම්මාන්තර හතුරෝ වාගෙ හැසිරෙන එක.අපට ඉතින් ඕක හෙනම අවුල්.කියලා පිරිමහන්නත් බෑ.අනේ මන්දා.

පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දි දෙන්නට දෙන්නා හිත්රිදෝ ගන්නවා.වනිතාව නම් මා එක්කම ආඩපාලි කිය කිය අඬලා හිත හදා ගන්නවා.අරුන්දා මක් කොරනවද දන්නෙ නෑ.ඒකා මේක කියවන වග දන්නවා.උඹේ හැසිරීම හිතා ගන්න බෑ.කරන දෙයක් මිනිස්සුන්ට තේරෙන විදිහකට කරපන් බන්.නැත්නම් අපිත් පැටලෙනවා.

ආහ්!කතා අංක දෙක.අපේ යාළු සෑම්.

බ්ලොග් කෙරුවාවෙන් අඳුන ගත්ත අදටත් නමක් ගමක් නොදන්න හොඳ හිත ඇති මිත්තරයෙක්.එහෙම කියන්නෙ විශේෂ හේතුවකට.පහු ගිය කාලේ මොකක්දෝ හුටපටයක් වෙලා වීතරාගී බ්ලොග එක පාරටම නොපෙනී ගියා.නැති බැරි වෙලාවෙ පිහිටටට කියලා උන්නේ සෑම් විතරයි. වෙච්ච සංගෙදිය කියලා මැසේජ් පොඩ්ඩක් මූණු පොතට දැම්මෙ යමක් කරයි කියලා හිතාගෙනම නෙවෙයි.ඒත් අපරාදෙ කියන්න බැහැ දවස් දෙකතුනකින් මගෙ බ්ලොග තිබ්බ විදිහටම හදලා මග අතටම ගෙනත් දීපි.මේ චූටි අකුරු ඩිංගිත්ත ඒ සෑම්ට ඉස්තුතියි කියන්න. ටැන්කිව් ඈ!!!!

( කසාද බඳිනවා කියලා හිටු කියලා ඉන්විටේෂන් එවන උන්දලාට.>>>>>>

යකුනේ ටිකක් හීන් සීරුවේ වැඩ කරපල්ලා.ලෝක විනාසෙ බොරුවක්.අපිත් ජීවත් වෙන්න එපැයි.හරි හමන් සර්පයෙක් දැකපු කාලයක් මතක නෑ.ඇයි වදේ "ඇතුලත්මුදලි මහත්තයගෙ පඩියෙන්" මීට වඩා සැපට ජීවත් වුණා නෙ.)


Saturday, March 17, 2012

ප්‍රේමාතුර


"අව් වැසි දෙකේදීම කාගේ හෝ හෙවණක් පතන බොළඳ හර්දය වස්තුවක් සහිතව ඉපදීම අතිශය වේදනාකාරී අත්දැකීමකි.එය වඩාත් අපහසු වන්නේ තනිව ජීවත්විය හැකි,අනුන්ගෙන් නොයැපෙන ස්වාධීන මිනිසුන් මැද ජීවත් වෙන විට ය.වචනයෙන් මේ දුර්වලතාවය මඳ වශයෙන් සමනය කළ හැකි වුවත් එය යම් කාලයකට හෝ සුවපත් කිරීමට නම් ප්‍රේමය මුසු හිතවත්කමෙන් ඇරඹී ක්‍රමයෙන් වැඩි දියුණු වන ලෙන්ගතුකමක් අවැසි වේ."

-වීතරාගී-

"උඹ දන්නවද අමා.උඹ වගේම ඉස්සර පොඩිම කාලෙ මම වැඩියෙන්ම කිට්ටු ආච්චිට.හුරතලේ කියන්නෙ මොකක්ද කියන එක හොඳටම දැනගෙන උන්නෙ ආච්චි.ඒ දවස්වල අම්මා මාව බලන්න එනවටවත් මම කැමති නැ.අම්මා ආදරේ කරන්න ඇති මට.ඒත ආදරේ පෙන්නන්නෙ හුරතලේ හරහා කියලා අම්මා නොදැන ඉන්න ඇති.අප්පච්චි නම් කොහොමත් දඩබ්බර ,සැර පරුෂ චරිතයක්.කොණ්ඩෙ පීරන්න ළඟට ගත්තත් මට කිසි හුරතලයක් පෙන්නුව වගක් මතක නැ.

ආච්චිටයි සීයටයි එච්චරම කිට්ටුවෙන් ඉඳීම ආදරේ පෙන්නන්න නොදැන උන්නත් උතුරා යන ආදරයක් මම ගැන හිතේ තිබ්බ අම්මට දරාගන්න බැරි වෙන්න ඇති.ඉරිසියාවක් වගේ දෙයක් නිසා වෙන්න ඇති අම්ම නිතරම ආච්චිගෙ වැරදිම කියමින් තේරෙන වයසට එනකොට මගේ හිත බීඳවන්න හදන්න ඇත්තේ.

ඊට පස්සෙ වුණේ මම අතරමං වුණ එක.නංගිලා දෙන්නා,මලයා අම්මගෙ ජීවිතේට එද්දි එයාට මාව අමතකම වුණා.ආච්චි සීයයිත් නැති වුණා.අප්පච්චිගෙ පුරුදු දඩබ්බර ,සැරපරුෂකම එක්ක මම පොත් පත් වලට කිට්ටු වුණා.ආදරේ කරන හැටි,කියා දෙන්න මිසක් ආදරය දෙන්න ඒ පොත්වලට පුළුවන් වුණේ නැ අමා!

.
.
.

එතනින් එහාට එන්නෙ මම කතාකරන්නම අකමැති ජීවිත පරිච්ඡේදයක්.අදටත් මම හොයන්නෙ අම්මගෙන් නොලැබුණු දාරක ස්නේහය වෙන්න ඇති.ආච්චි සීය ගාවින් මාව උදුරලා ගනිද්දි මට දෙන්න එයාලා ගාව ඉතුරු වෙලා තිබ්බ ආදරේ වෙන්න ඇති.අප්පච්චිට කවදාවත්ම දෙන්න අමතක වුණ ආදරේ වෙන්න ඇති.මේ හැම දෙයක්ම එක ප්‍රාණියෙක්ගෙන් බලාපොරොත්තු වෙන සාදාරණ නොවෙන්න පුළුවන්....ඇත්ත,මම පිළි ගන්නවා.

ඒත් උඹට පුළුවන් නම් මේ ප්‍රශ්ණෙට උත්තරයක් දීපන්!

මේ වේදනාවෙන් මිදෙන්න වෙන ක්‍රමයක් තියෙනවද??????????

උඹ දන්නෙත් ලොකු කතා කියන්න විතරයි අමා.! විසඳුම් කියලා ජාතියක් දන්නෙ නැ.!!!!!"


Friday, March 16, 2012

වනිතා.


බත් උයන
දර පලන
කොණ්ඩ ගෙඩියක් බඳින

දරු හදන
දුක අදින
හැම එහෙකටම අඬන

අඬ අඬත් වැඩ කරන
හිමි ට බඹු මෙන් පුදන
හැඳි මිටට නුවණ දෙන
සුරබි දෙනකට මිසක

පොත් බලන
කවි ලියන
ලෝක සේවය හිතන

දුර පෙනෙන
ලොව දකින
දියමන්ති ගැන දන්න

කොස් ගහට කොස් ගහත්
පොල් ගහට පොල් කියන
දිව්‍යංගනා වුණත්
එපාමයි බය හිතෙන........

Monday, February 6, 2012

අඹගල අඹගල සහ අඹගල






අඹගල ගැන කතාව පටන් ගන්නේ කෝමදැයි කියා හරියටම හිතා ගන්නට බැරි ය.මගේ කුඩා සන්දිය මහගෙදර ගෙවුණු වග වීතරාගිය කියවන අයට අමුතුවෙන් කියන්නට උවමනාද නැතුවා ය.උන්දා මට මුන ගැහුණේ එහෙදී ය.
ආච්චිගේ මලයකු වූ "සෝමෙ මාමා"මා දන්නා කාලයේ රස්සාවට යන්නට නැවතී උන්නේ මහගෙදර ය.සෝමෙ මාමා වැඩි කතා බතා නැත.බෙදා දෙන දෙයක් කා බී පාඩුවේ සිටියි.හවස හතරට ගෙදර එයි.අටට පරවෘත්ති බලයි.සති අන්තයේ ගමේ යයි..එච්චරය.සීයා එක්කවත් "දේසපාලන වලියක්" දමා ගන්නවා මා දැකලාවත් නැත.ගෙදරට එන පිරිමි අයගෙන් සීයා එක්කලා දේසපාලන වලියක් නොදා ගන්නේ එහෙමත් එක්කෙනෙක් වීම නිසා සෝමෙ මාමා ගැන මට අද හිතෙන්නේ මහන වෙන්න ඔන්න මෙන්න හිට අහම්බෙන් කසාදයක් පැටළුණ අහිංසක ජෝන් කෙනෙකු වෙන්නට ඕනා කියා ය.:)


සෝමෙ මාමා නැවතී උන්නේ සීයාගේ කන්තෝරු කාමරය ලෙස පාවිච්චි කළ කාමරයේ නිසා සීයාගේ ලට පට මිනුම් කෝදු ආදී නිධාන වස්තු සහිත මහා කබඩ් රාජයා තිබුණේද එහි ය.සීයාට යතුර දමන්නට අමතක වන දවසක ආච්චීට හවසට සැප නින්දක් ගියොත් එහෙම මට රජ මගුල් ය.සෝමෙ මාමාගේ කාමරයට තිබුණේ ලස්සන කැටයම් සහිත පිත්තල යතුරක් ය.සාලේ දොරේ ගැට්ටක සෝමෙ මාමා තිය යන ඒ යතුර ගත්තාට පසු මට මහ වැඩක් නැත.ආච්චිලාට ඇහෙන්නේ නැති වෙන්නට යතුර කරකවන එක විතරය.:)))
මගේ මේ එකම විනෝදාංශය දියුණු පමුණු කරගන්නට වැඩ සිද්ද වෙන්නේ අහම්බෙන් සෝමෙ මාමා "අඹගල " මාමාව අපේ ගෙදර එක්කාගෙන ආ දවසේ සිට ය.හදිසියේ නවාතැන අහිමි කරගෙන සිටි අඹගල මාමා තම මිතුරා නැවතීසිටි අපේ මහගෙදරට පැමිණ සිටියේ ටික දිනකට නවාතැන් බලාපොරොත්තුවෙන් ය.අදිමදි කීරීම් මැද උනත් සීයා කැමැත්ත දුන්නේ "මොනා වුණත් ඒ මිනිහා එක්ක යමක් කමක් කතා කරන්නවත් පුළුවන්.මොකද සෝමෙ බිල්ලා වගේ කාමරේට රිංග ගත්තම එළියට වත් එනවයැ"වැනි කතාවක් ආච්චීට කියමිනි.
මෙතුවක් කලකට මා දැක ඇති අසාමාන්‍යම කලාකාරයා මට මුන ගැහෙන්නේ ඔහොමය.සෝමෙ මාමා වගේ නෙවේ ය.අඹගල මාමා හතරට ගෙදර ඇවිත් කාමරයට රිංගා ගන්නේ නැත.සීයා සමග පැයක් පමණ වාද කරමින් සිටියි.ඒ වෙලාවට පොල් කොළයක් හෝ කඩදාසියක් අතට අහුවන මානයේ තිබ්බොත් කල්ල මරේ ය.මොකක් හෝ සුකුරුත්තමක් මට සෙල්ලම් කිරීමට අටවා දෙයි.එක්කෝ පොල්කොල සිග්/සැග් එකක් ,නැත්නම් පොල්කොළ ගිරවෙක් හෝ නෙළුම් මල් පොකුරක් ය. නැත්නම් කඩදාසි කැටයමක් ය,.එදා මහ රැ වෙනතුරුත්,පහුවදා හවස හතර වෙන තුරුත් මගේ වියායාමය කොහොමින් හෝ ඒ අත්කම හදන කලාව හරියට අල්ලා ගැනීම ය.සමහර දාට උත්සාහය හරි යයි.සමහරදාට දින දෙක තුනක පුහුණුවීමත් අසාර්ථක් වෙයි.ඒ වෙලාවට නම පිහියා කතුරු ගොක් කොළ වීසි කර අඬනවා ඇරෙන්නට වෙන දෙයක් කරන්නට නොහිතෙයි."අනේ මේ බූතයෙක් නවත්තගෙන මම විඳින කරදරයක්.ගොක් කොළ හොයන්නයි,කෙල්ලො නලවන්නයි........."ආච්චී ආවේස වීගෙන එන බව දුටු විට මගේ ඇඬිල්ල නවතින්නේ අඹගල මාමාට යන්නට කියාවිය යන සැකයෙනි.

අනෙක් අතට හවස් වරුවේ සීයාගේ කන්තෝරු කාමරයේ අල්මාරිය ගනන් ගන්නට වටිනා බඩුවක් නොවන බව මට වැටහෙන්නට ගත්තේද "අඹගල ආගමනය" ට පසුව ය.ජනෙල් කන්ඩිය දිගට පොල් ගෙඩිවලින් හා සැහැල්ලු ලී වලින් කපන ලද නොයෙක් ආකාර කැටයම් අපමණක් විය.ආච්චී මා හුරු බුහුටි ලෙස හදා තිබුණ නිසාදෝ ඒවා ගත් වගක් නොතේරෙන්නට ගත් තැනම තබා යන්නට තරම් ප්‍රවේසම්කාරී වීමට මට හැකි විය.;)

අඹගල මාමා එක එක විකාර කුරුටු ගැ ඇක්සයිස් පොත් බර ගානක් තිබිණ.ඒවායේ ලියා තිබෙන්නට ඇත්තේ කවි විය යුතු බව මට අද හිතේ.සීරුවට රටාවට කැටයම් කරන්නට දැන සිටි අඹගල මාමා දක්ෂ සිත්තරෙක්ද විය.ඉඳහිට සවස් වරුවක මා ප්‍රිය කරන කැමක් ගෙනත් දීමටද අමතක කලේ නැත.(ගමේ ගොස් එනවිට ගෙන ආ අමුතු හබරල කොළ ජාතියකින් ආච්චී හදා දුන්නේ මතක ඇති කාලයක මම කා ඇති රසවත්ම ව්‍යංජනයයි.)බොහෝ වෙලාවට ඒ බූන්දිය.බූන්දි කමින් ආච්චී උයන තුරු මිදුලට වී අපි එක්කෝ කැටයම් කැපුවෙමු.නැත්නම් ඩබල් රූල් පොතක් ගෙන රවුමට අකුරු ලීවෙමු.අමුතු හැඩතල ඩබල් රූල් පොතේ අඳිමින් අකුරු හැඩ කරගන්නා අමුතු කලාවක් අඹගල මාමා දැන සිටීම කැතම කැත බලි අකුරු ලියමින් සිටි මගේ වාසනාවක් විය.

හිටි හැටියේ දවසක අඹගල මාමා මහ ගෙදරින් යන්නට ගොස් තිබිණ .ඒ වෙද්දී මා හය හෝ හත වසරේ විය යුතු ය,පසු කාලයේ දැන ගත් හැටියට අසල්වාසී නිවසක් තරුණියක් සමග පලහිලව්වකට ඇගේ දෙමාපියන් සීයාට දොස් කීම නිසා සීයා අඹගල මාමාට යන්නට කියා ඇත.ඊට පසු කිසි දිනෙක මට අඹගල මාමා මුන ගැසුණේ නැත.අදත් මඟ තොටකදීවත් ඒ වැඩිහිටි මිත්‍රයා මට අහම්බෙන් හෝ හමු වෙතැයි මට සිතෙන වාර නැතුවා නොවේ..

අඹගල රත්නපුරයේ ගමක් බව ආච්චී කියනු මා අසා ඇත.සබරගමුව බොහෝ සොඳුරු මිනිසුන්ට උපත දුන් ඉසව්වක් වග මට හිතෙන්නට ගත්තේ සුනේත්තරා ,මස් ඉඹුල,හෂිත වැනි මිනිසුන් නිසාය.ඒ ලයිස්තුවේ ඉහලින්ම ලියා ඇති අඹගල මාමාගේ නම අයින් කරන්නට තවමත් මට හිතක් හිතී නැත.
ඉන්නා තැනක ඔහුට යහපතක් ම වේවා.!

Friday, February 3, 2012

ලතාගෙ කතා සහ මායිං ගොඩ කිරීං


"අනේ මන්දා බබාලත් මේව්වට කට වහගෙන ඉන්නවනෙ .මට නම් තේරෙන්නෙ නැහැ...... "ලතා විටක් හපාගෙනම ගෙට ගොඩ වෙයි.නංගී කතාවක් අසන්නට සැරසී කුස්සියට එයි.

"අනේ අපට මොකද ලතා.ඔව්ව යන තැනකට අරගෙන යන්නෙ නැ නෙ.ඔය මිනිස්සු ඔව්වා විඳවයි කවදා හරි......" අම්මා ධර්මය ඉස්සරහට දායි.

"විඳවයි කියන්නෙ ආය අමුතු දෙයක් ඕනෙන් නැ.කෝ තාම ළමයෙක්වත් ඉන්නවයැ.අනුන්ගේ එව්වා පොදි ගහලා ගහලා අනුන්ටම දීලා යයි කවදා හරි.පොඩි කෙල්ල බැන්ද කොල්ලත් හිරේ ලු,.ඒකනේ ඔය සතියකට සැරයක් මෙහෙ ඇවිත් ළමය දාල අම්මණ්ඩි එක්ක උදේට උදේට යන්නෙ...."

"අපරාදෙ හැබැයි.ඒ ළමයා ඒලෙවල් වෙනකල් ඉගෙන ගත්තා.අලුතෙන් ආව කෙල්ල වගෙ නෙවී.මනුස්සකම් තියෙනවා.."

"බබා දන්නවද .ඔය අලුත් බඩුවට ගමේ මිනිස්සු කියන්නෙ සුනාමි කියලා.ආවෙත් සුනාමි කාලෙ මාතර පැත්තෙන් නෙ.කටත් සුනාමිය වගේ .එල්ලි එල්ලි කතාව ..."

"කටක් තියෙන්නෙ කතා කරන්න නෙ..."නංගී සිනා වී අසන්නේ ලතා අවුස්සන්නටය.

"බබාලා ඔව්වා දන්නෙ නැ.ගැනියෙක්ගෙ හැදිච්ච කම තියෙන්නෙ හැම එකටම හොට දාලා කච කච ගාද්දි නෙවී.දැන් බලන්න ලොකු බබා.පාරෙ යනවා.ඔලුව උස්සලා කෙනෙක් දිහා බලනවද?කතා කරනවද?මොකෝ කතා කරන්න බැරුවද?අපි දැක්කනෙ එදා කැම්පස් එකෙන් ගෙනාව සීඩී පටියෙ කැගහපු හැටි.මන්ත්‍රී නෝනා කෙනෙක් වගේ...ඒ ඌමනා වෙලාවට"

"හීඊඊඊහ්! එයාගෙ සද්දෙ දන්නෙ අපි නෙ ලතා.ඔලුව නූස්සන්නෙ නම් ඉතින් උද්දච්චකමට .සීයගෙම මිනිබිරී නෙ.."නගාට කලින් අම්මා කට ඉස්සර කරයි.මම හිනා වෙමි.

"ඒ වුණාට ඔය මිනිස්සුන්ගේ වැඩ නොසලකා ඉන්න එක නම් හරි නැ,බබාලා අප්පච්චිට කියනන්කෝ ඇන්ටියක් දන්න කියලා ඉඩම් මායිම් වෙනස් කොන්නවා,කුඹුරු ගොඩ කොන්නවා කියලා...ඔව්වා අන්තිමට කෙළවර වෙන්නෙ උසාවි වොලින්.මුන්දලාත් ලේසි පුත්තු නෙවී නෙ.එක මිනිය මරපු මිනිහට තව එකක් කජ්ජක් නෙවී නෙ.."ලතා කම්මුලේ අත තබා ගනී.

"අනේ මට නම් දේපල වලට වඩා ජීවිත වටිනවා.මේ ළමයින්ටවත්,එයාලයි අප්පච්චිටවත් කටක් අරින්ට නොදෙන්නෙ මම......"

"උසි ගන්නනවා නෙවී හාමිනේ.මට දුකයි.ලොකු බබා බලාගන්ට එන කාලෙ ඔය දෙල්ගහ තමා මායිම.දැන් අඩි හතරක් විතර මෙහාට මායිම ඇවිත්.මම ඊයෙත් දැක්ක මහ මිනිහා කුඹුරට බැහැ ගෙන පස් අරන් ගොඩ කොන්නවා.ඔව්ව නම් සහ ගහන අපරාද....."

"අපෝ..ලතා නොදන්න කොච්චර ජාති තියෙනවද..අම්මා දැන් අක්කටයි මටයි ළිඳේ නාන්න දෙන්නෙත් නැ.ඔය මිනිහා ගස් අස්සට වෙලා බලන් ඉන්නවනෙ....."නගා ගෙ කට ඉස්සර වෙයි.අම්මා ගෙ රැවිල්ල ඇය දවා අලු කරන තරම් ය.

"එයාලා කරන එව්ව එයාලට.අපි කරන එව්වා අපිට .බැරිම වුණෝත් අපි මෙව්ව විකුණල දාලා ගමට යනවා.දැන් මේ ළමයින්ගෙ ඉගෙන ගන්න වැඩත් ඉවරනෙ."

"මුන්ට රජ මගුල් තියෙයි..පරම්පරා දේපල මුන්ට බයේ දාලා ගියොත්......"ලතා ගේ ඇස් කෝපයෙන් නලියයි.ලතා කවදත් පවුලේ කෙනෙක් ලෙසටම අපට පක්සපාතීය.

"වෙන මොනා කරන්නද ලතා.මොකෝ මිනී මරා ගන්න කියලයැ.!"

Monday, January 30, 2012

බෞතික විද්යා විනෝදය නොහොත් "කෙල්ලන්ගේ" පොඩි පොඩි වීර ක්‍රියා


කොළු කතාවලට පස්සෙ කෙළි කතාවක් හැටියට අද තමයි හා හා පුරා කියලා යශ්ටි ගෙ කතාවක් ලියන්න හිතුනෙ .මෙච්චර කලකට පස්සෙ.මේ කතාව කියවන අයට මෙලෝ රහක් නැති වෙන්නත් පුළුවන්.ඒත් ඔන්න ඔහේ ලියලා දානවා.මොකෝ මේ යන විදිහට අපෙ දරුවෙක්ට "පාසල් වියේ රස කතා " කියන කාලෙ එද්දි අපේ මෙමරිය ඒතරමටම යහපත් තත්වයෙන් තියෙයි කියලා දැන් දැන් තේරෙන නිසා මතු ආයෝජනයක් හැටියට. ඒ තරම් අපේ රටේ විශ්ව විද්‍යාල ක්‍රමය වෙලාවට කලාවට අපිව එළියට දානවනෙ.

ඔන්න අදාල කතාව මෙහෙමයි.අපි උසස් පෙළ කරන කාලේ අපටත් ඔය හැමෝටම වාගෙ දොරකඩ සිට ජීව විද්‍යාව උගන්න ගෙන එන මිස් කෙනෙකුයි,කණට නොඇසෙන ඇහැට නොපෙනෙන ඉගෙනුම් පිළිවෙලක් තිබ්බ ෆිසික්ස් මිස් කෙනෙකුයි,E සිට M දක්වා වෙච්ච බයෝ මැත්ස් ක්ලාස් ඔක්කොටොම එකවර උගන්නන්න පුළුවන් කෙමිස්ට්‍රි මිස් කෙනෙකුයි හිටියා.ෆිසික්ස් මිස් උගන්නන එව්ව ඇහෙන්නෙ ඉස්සරහ පෝලිමෙත් උපරිම දුරකට බෙල්ල දික්කරන්න පුළුවන් සත්වයෙක්ට නැත්නම් දෙන්නෙක්ට විතරයි.ඉතින් ආය අන්තිම පේලියේ හිටිය අපි ගැන කවර කතාද? මේ කතාවෙ කථා නායිකාව "යශ්ටි" දැන් ජ'පුර වෛද්‍ය පීඨෙ අවසන් වසරේ.ඉස්කෝලෙ කාලෙ තිබ්බ උන්මාද තත්වයේ හැටියට මනුස්සයා "සයිකැට්‍රිස්ට් "කෙනෙක් වෙයි කියන එක තමා අපේ ඒකායන අපේක්සාව.

මුන්දා ඒ දවස් වලත් කවුරුවත් කියන දෙයක් අහන යකෙක් නෙවෙයි..උන්න හිටි ගමන් පන්තියෙන් නැගිටලා ගිහින් ,ප්‍රින්සිපල් පන්තියට ඇවිත් හිටියත් සත පහකට ගනන් නොගෙන ,වෙව්ලමින් ඉන්න අපිව තවත් පිස්සු වට්ටමින් බබා වගේ වාඩි වෙන එක යෂ්ටිට සිම්පල්!කණට ඇහෙන්න කතා නොකරන,කැට් වෝක් එකෙන් ගමන් යන මේ අරුම පුදුම ස්ත්‍රී පරාණෙ ගැන දැඩි උනන්දුවෙන් පසු වුණ ගෝතයෙකුත් ඒ දවස්වල යෂ්ටිගෙ ෆිසික්ස් ටියුෂන් ක්ලාස් එකේ උන්නා.මගේ මේ අතිජාත මිත්‍ර පරානෙ පන්තියේ වැඩ ගැන සත පහක උනන්දුවක් නැතුවට මොකද ටියුෂන් ක්ලාස් වැඩ වලට උපරිම භක්තිය.දවසක් ළමයා ෆිසික්ස් මිස් පන්තියට එන්න කලින් එන්න කලින් මෙහෙම කියපි!

"හවසට හදාගෙන යන්න ෆිසික්ස් ගණන් 25ක් තියෙනවා.ඔයාට ඕන නම් ඉන්න.එහා පන්තියට ඉන්ග්ලිශ්! මිස් එන්නෙ නැහැ ලු..මම එහෙට වෙලා ගණන් හදනවා"

මොන දස වැඩ කළ පලපුරුද්ද තිබ්බත් දැන් මාව වෙව්ලනවා.මිස් බැරිවෙලාවත් ඇහුවොත් මම මොනවා කියන්නද?අනික රෙජිස්ටර් එකෙත් මාක් වෙලා ඉවරයි.සේරටම හපන් මිස්ට කේන්ති ගිහාම .මුණු මුණු ගගා ඉගැන්නුවට ගණ්ඨාරේ වාගේ බනින ටික පැය 2 ක්ම අහගෙන ඉන්න වෙනවනෙ.

මට හිතනන්වත් වෙලාවක් නොතියා යෂ්ටි පොත් ටිකත් උස්සගෙන එහා පන්තියට ගියා.මිසුත් පන්තියට ඇවිත් මුණු මුණුව පටන් ගත්තා.දෙකට කාලයි.ඉස්කෝලෙ ඇරෙන්න විනාඩි පහලවයි.මිස්ට යෂ්ටි ගැන ගානකුත්නැහැ.අමාරුවෙන් ගානක් හදලා ඔලුව උස්සපු මට හීන් දාඩිය දැම්මා.

"කුමාරි! මේ ඔයාගෙ ක්ලාස් එකේ ගර්ල් කෙනෙක් නේද?....."

හයියෝ!

එහා ක්ලාස් එකේ ඉන්ග්ලිශ් මිස් යශ්ටිගෙ අතින්ම අල්ලගෙන ඇවිත් අපේ ෆිසික්ස් මිස්ට බාර දෙන්න.

ඊට පස්සෙ වෙච්ච සන්තැසිය කියනන් ඕන නැ නෙ.දෙක හමාර වෙනකල් වැඩිපුර පැය භාගයක්ම දේශනාව අහගෙන ඉන්න වාසනාව අපට උදා වුණා.තිස් අටක් වූ පන්ති වාසී ජනතාව යෂ්ටිට පහුවදා දවසම සුබ පැතුවා.ආශිර්වාද කළා.ඒත් යශ්ටි නෙවෙයි එක දසමයක් සැලුනේ.

අන්තිමට බලද්දි වෙලා තිබ්බෙ මේකයි.එහා පන්තියෙ මිස් එන්නෙ නැහැ කියලා හදිස්සියෙම පීරියඩ් එක මැද්දේ ඇවිත් උගන්න්නන්න අරන්.රෝමේ ගියා නම් ගියා නම් හිටුකෝ ඒ විදිහට.අපේ උන්දා මිස්ව සත පහකට ගණන් නොගෙන ගණන් හදලා.මිස්ට යකා නැගලා නම අහලා රෙජිස්ටරෙත් චෙක් කරලා.එකම නම තියෙන අය කොහෙද පන්ති දෙකක.කණෙන් ඇදගෙන ඇවිත් අදාල තැනට දැම්මේ ඒකයි.

කැලේ මාරු කලට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගෙ තාමත් යස්ටිගෙ පරණ ගති එහෙමමයි.අදාල තත්වෙ දන්න නිසා අපි ඉවසගෙන හිටියට නොදන්න කථිකාචාර්ය මහාචාර්ය වරු එහෙම නැහැ.මුන්දා ෆයිනල් වෙනකල් ආව ගමන ම විජයග්‍රහණයක් කියාලා තමයි අපට කියන්න තියෙන්නෙ.

එහෙනම් ජය වේවා යශ්ටි! :)

ප.ලි>මේ කතාව මීට කලින් බුකියෙ ෆෝරමේක පල කොළා.කියවපු ඇත්තෝ සමාව බජනය කරත්වා!
;)

Friday, January 27, 2012

කොල්ලෝ!!!!!!!!!!! කොල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු!


පැංචා කාලේ සිටම මා වැඩියෙන්ම කැමැත්තෙන් සිටියේ තනියෙන් ඉන්නටය.ආච්චීත් සීයාත් මගේ ඒ කැමැත්තට ගරු කරමින් මා වටා වැට කඩුළු බැඳීමෙන් වැලකී සිටි බව අදටත් මතකය.ඒත් රෝස මලක් මෙන් උපන්නත් රණ්ඩු කෙක්කක් වූ නගාත්,පැටි වියේ බබා මෙන් හිට උන් හිටි ගමන් අයියා පාට් දමන්නට වූ මලයාත් නිසා කුඩා කාලයේදීම මට ඒ වරම අහිමි විය.අක්කා ලෙස උන් දෙන්නා බලා කියා ගැනීමේ වගකීම මගේ කර මත පැටවුණේ එක දෙක වසරේ උන් කාලයේදීම ය.

මහගෙදර නොහොත් සීයලාගේ ගෙදර උන් කාලය මගේ ජීවිතයේ ලස්සනම කාලය බැව් මා මීට පෙර පෝස්ටුවකින්ද කියූ වග මතකය.ඒ කාලයේ අර මාර පුත්‍රයන් දෙදෙනා උන්නේද නැත.මගේ සහයට ඩැනියල් වී හිටියේ එහා ගෙදර වාසීන් වූ රංගයියා සහ රනිල් අයියාය.මගේ සම වයසේම වුවත් රනිල් "අයියා " වීමට වැඩි කැමැත්තක් දැක්වූයෙන් මට වැඩි වැඩක් නොවීය.සෙල්ලම් ගෙයක් දැම්මත් වතුර ගෙන ඒම ඇතුළු කුදු මහත් කටයුතු සියල්ල ඉටු කළේ රනිල් අයියාය.මල් කඩා දුන්නේ,කොට්ටම්බා තැලුවේ,පිනිජම්බු ඇහිලුවේ ඒ දෙදෙනාය.මට තිබුනේ ජනෙල් ආරුක්කුවට වී කකුල් පද්ද පද්දා ඉන්නට ය.මගේ කෙළි ගති අඩු වී කොලුකම් ඉස්මතු වෙන්නට ගත්තේ උන් දෙන්නා නිසා විය යුතු බව අද මට සිතෙන්නේ ඒ නිසා ය.

හැම අළුත් අවුරුද්දකම සීයාට මසන සූට් එකෙන් කුඩා එකක් මා වෙනුවෙන් මසා දීම දන්නා කාලයේ සිටම සිදු වූවකි.අවුරුදු නැ ගමන් වලදී මා සියාගේ කුඩා අනුරුවක් වීම ගැන ආඩම්බරයෙන් පිපිරෙන්නට ආසන්නව සිටියේ මා පමණක් නොවිය යුතුය.සීයාද ඉන් අපමණ සතුටක් හා සුරතලයක් විඳින්නට ඇතැ
යි මට අද සිතේ.

දෙක තුන
වසර වලදී මා ගුරුවරුන්ගේ විශේෂ අවදානයට යොමුවූ ටියුබ්ලයිට් මෙන් දීප්තිමත් සිස්යාවක් වූ බව සිහි කරන්නේ හද පිරි සතුටකිනි. ;) ඒ වාසනාවේ මහිමයට පන්තියේ සිටි ඇම්බැට්ටම කොල්ලන් මා ළඟට ගණන් අසා ගැනීමට,අකුරු රවුමට ලිවීම පුරුදු කරන්නට , බය කරන්නට දැමීම ගුරුතුමියන්ගේ පුරුද්දක් විය.ඇම්බැට්ට කොල්ලන් මට්ටු කරන්නට නම් මගේ ඉතිරි වී තිබූ කෙළි ගති වලින් වැඩි හරියක්ම කපා දැමිය යුතු බව මා අවබෝධ කර ගත්තේ ඒ කාලයේදීම ය.අන්තිමට සිස්සත්තේ පාස් වන විට ඉතිරිව තිබුණේ ඉතා සුළුතර කෙළි ගති කිහිපයක් පමණි.

උදා:ඉස්කෝලෙට ගවුම් ඇඳීම,තෙල් ගා කොන්ඩය පීරීම,කොල්ලෙක්ට පැන්සලෙන් අනින්නට යන විට දෙපාරක් විතරක් හිතීම

අපේ ගේ ළඟම ඇනෙක්සියක පදිංචිව සිටි සුරංගයා ඒ කාලයේ සිටම මට ඇල්ලුවේ නැති කාරණාවක් තිබුණි.ඒ මම කළුවරට බය බවත් ,හයියෙන් කැ ගසාගෙන ඇඟට පැන්න විට මම බය වී කැ ගසන බවත් උන්දා දැන සිටි නිසා ය.එකමත් එක දවසක අපේ දොර් උලුවස්සේ එල්ලි සිට ඇඟට පැන්න දවසේ මම සුරංගව පන්නා ගෙන ගොස් අතට අසු වුණ පොල් කෝම්බයකින් දමා ගැසුවේ ඔළුව පලන්නට නොවුණත් ඒක වෙන්නට නියමව තිබුණේ එහෙම ය.
සුරංගගේ අම්මා තකහනියේ විත් අම්මාට ගතු කීවේ මා නම් ළමාගති ගැවිලාවත් නැති යක්ස කෙල්ලක බව කියමිනි.අම්මා මට කිසිවක් නොකීවත් එදා නම් මට ඇත්තටම බය හිතුණේ සුරංගයා මැරෙයිම කියා හිතුණ නිසා ය.අදත් සුරංග පාරක තොටක මුණ ගැසුණු විට මට උන්දාගේ මූණට පෙර නලලේ කැළල දැක බකස් ගා හිනා යන්නේ ඇයිද මන්දා ය.;)

බාලිකාවකට ගියත් මගේ ඒ ගති එහෙම්මම විය.හත අට පන්තිවලදී අහම්බෙන් නිවාසාන්තර නාට්ටියකට සහභාගී වීමෙන් පටන් ගත් ගමන සමස්ත ලංකා ,අන්තර් පාසල් මට්ටමට ගියත් ඒ කිසිම දවසක මට ගැහැණු චරිතයක් රඟ පැමේ අවස්ථාවක් උදා නොවීම වාසනාවක්ද අවාසනාවක්දැයි කීමට නොදනිමි.එක එක සංගම් දහ පහළවක සිට කොළඹ පහේ
සිට දාහතර දක්වා ඉස්කෝලවල කොල්ලන් සමඟ හැප්පෙද්දී,වාද කරද්දී,කවදාවත් සැක සාන්කාවක්,බයක් ඇති නොවුනේ ඒ පරිචය නිසා විය යුතු ය.

උසස්පෙළ ආරම්භ කළ කාලයේ දෙයියාගේ හවස පන්ති යාම ඇරඹීම නිසා ගමන් සගයෙක්ගේ වුවමනාව තදබල විය.අම්මාටත් අප්පච්චීටත් මගේ නැට්ටමෙන් එලවන්නට කාලයක් නොවූ බව දැන වුන් මට අලයාගේ සමාගමය අති මහත් සහනයක් විය.පැල් බැඳගෙන පෙම් කරන්නට කෙල්ලක් උන් නිසා ඒ අතින්ද කරදරයක් වූයේ නැත.යන එන මග තොට සැබැ සහෝදර සමාගමයෙන් මා පරිස්සම් කල අලයා සිහි වන විට අදටත් නෙතට පහදා ගත නොහැකි කඳුළක් මතු වන්නේ නිරායාසයෙනි.මේ ජීවිත කාලය තුල මට හමු වූ සැබැ මිතුරන් කිහිප දෙනා අතර උන්දා ඉහලින්ම ඉන්නා බව අදත් සිහි කරන්නේ දැඩි ලෙංගතුකමකිනි.(හා,,,,හා..... බැහැපන්!මුරුංගා අතු හයිය නැත.)

ඊට අමතරව මා වටා උන් සගයන්ගෙන් වැඩි පිරිසක් කොල්ලන් වුවත් ප්‍රේමයක් පටන්ගන්නට යෝධයා හමු වනතෙක්ම ඉන්නට සිදු වූයේ ඒ මගේ ඉරණමේ ලියවී තිබූ හැටියට වෙතැයි විස්වාස කරමි.යෝධයා පවා පෙම්බරා නොවී මිතුරු වෙසින්ම උන්නා නම් මීට වඩා හොඳ විය හැකි බව නොකිව හැක්කේ කාටද?

කතාව එහෙමය.අදටත් මගේ මිතුරන්ගෙන් වැඩි පිරිස කොළුවන් වීමේ රහස ඕකය.
ඒ ඇර වෙන නැහැදුණු කමක් නොවේය.මේ ඔක්කෝම කීවේ පම්පෝරියකට එහෙම නොවේය.දුකට ය.බලන කියවන අයට මොනවා හිතෙනවාද දන්නේද නැත.අම්මා අප්පා හොඳින් තේරුම් ගත් ඒ සත්‍යය වෙනත් අය වරදවා වටහා ගත් එකට දුකය!
අප්‍රමාණ දුක ය.
අම්බානක දුක ය!

Sunday, January 1, 2012