Monday, December 12, 2011

හැඟුම්බර නොවී සිටිය නොහැකි තත්පරය!


අම්මා මට කවදත් පක්සපාතීය.ගෙදර දොරේ දැතේ හුරුව ගැන හිතමින් දොස් මුරය දමන අම්මා කෙනෙකු හිටියානම් ජීවිතය මෙහෙම විඳිමින් "ආතල්" ගන්නට මට ලැබෙන්නේ නැත.කූඩු කිරිල්ලියක නොකොට ලෝකය දකින්නට මුල් පියවර තබන හැටි කියා දුන්නේ අම්මාය.අප්පච්චීටද මගේ නිවරැද්ද සහතික කරන සාක්ෂිකාරිය වූයේ ඇයයි.ඒ මොනවා වුණත් ලෝකයේ මට වැඩියෙන්ම රිද්දන්නට පුළුවන්ද අම්මාටය.වැඩිය ඕන නැත.දෙපාරක් රවලා බැලුවා නම් ඇති ය.ඇඬෙනවාය.දුක හිතෙනවාය.රටේ පුරුද්දට හිතට නාල්ලන දෙයක් කියූ විට එකට එක කියාගෙන යනවා මිසක මෙතුවක් අම්මාගේ හිත රිද්දන දෙයක් නොකර ඉන්නට උපරිම උත්සාහයක් ගැනීම සහ එය සැහෙන දුරට සාර්ථක වීම ගැන නම් මට අවංකවම ඇත්තේ අප්‍රමාණ තන්තෝසයක් ය.

අම්මාට කේන්ති යනවා වැඩිය.ඒත් "මල පනිනවා" කියන එක වෙන්නේ කලාතුරකින්ය.එහෙම එක වුණ දාට බලා ගන්න පුළුවන් ය.අප්පච්චීව සත පහකට මායිම් කිරිල්ලක් නැත.වචනය එහා මෙහා වෙන්නට බැරිය.අතේ ඇති පිඟන් කෝප්ප මගේ මූණට දමා එවනවාය.එදාට මම පූසා ය.අහිංසක ය.තත්වය නරක අතට හැරෙන්නේ අප්පච්චිගේ රතු කට්ට ඩින්ගිත්තක් එහා මෙහා වෙන්ට ගත්තාමය.ඊට පසු විස්තරය කියලා වැඩක් නැත.ගොඩක් අයට ඒ අත්දැකීම් ඇතිය.

දන්නා කාලයක මගේ ඉවුමක පිහුමක ,ඇඳුමක පැළඳුමක දොසක් අම්මා කියා නැති එක සතුටට කාරණාවක් ය.හේතුව අම්මා ඉවිලි පිහිලි ගැන වැඩි දැනුමක් හෝ උනන්දුවක් නැති එකය.ඒ අපේ අම්මා අනික් අම්මලාගෙන් වෙනස් වෙන එක ලොකු කාරණාවක් ය.අස් පස් කිරිල්ලට දක්වන සැලකිල්ලෙන් සීයෙන් එකක් අම්මා ඉවිල්ලට දක්වන්නේ නැත.ඒකටත් හේතුවක් ඇත.අම්මා බබෙක් වගේ හදා ගත් කිරි අම්මාය.කිරි අම්මා මිය යන තුරුම අපේ අම්මා කිරි අම්මාගේ "චූටි"ය.කසාද බැඳ ආ පළමු දවසේම කොත්තමල්ලි දමා පොල් සම්බෝල හදන වාසනාව උදා කර දී ඇත්තේ ඒ හුරතලයයි!;)

මට මතක කාලයක අම්මා ඉන්ද්‍රානිගේ ,ඇංජලීන්ගේ ගීත තාලයට ගයා සිනා සෙමින් සිටියාය.පුංචි පත්තර මාස අනුපිළිවෙලට අවුරුදු තුනක් එකතු කරන හැටි කියා දුන්නාය.පාට පාට ඩිමයි කොළ වලින් ඉස්කෝලේ යන්නටත් පෙර රූප අලවන හැටිත්,තාලයට ජයමංගල ගාථා කියන හැටිත් කියා දුන්නේ අම්මාය."රම්පොට තෙළඹුව මැණිකෙට......."කියමින් ඉන ගස්සා හැඩට නටන හැටි මුලින්ම දැක්කේ අම්මාගෙන් ම ය.දහම් පාසල් තරඟ හා රට වටේ ඇති එක එක තරඟ වලට මා එක්කාගෙන ගියාය.ඒත් කිසි දවසක පාඩම් කරද්දී "දැන් ඔය ඇති නිදා ගන්න" කියනවා මිසකකෝටු උල් කර පාඩම් කරන්නට බල කර නැත.


එහෙම විනෝදෙන් උන්නාට අම්මාගේ ජීවිතය රස සාගරයක් නොවේ ය.අම්මාගේ අම්මා එනම් මගේ නුදුටු අත්තම්මා මිය යන විට අම්මාගේ වයස යන්තම් මාස තුනක් පමණ ලු.!එතැන් පටන් අම්මා හදා වඩා ගෙන ඇත්තේ හිතවත් පවුලක යුවලක් වූ මගේ කිරි අම්මා සහ සීයා විසින් ලු.ඒත් කිරි අම්මා තමාව අනුන්ගේ දරුවෙකු ලෙස හැඟෙන්නට වචනයක් හෝ කිසි දිනෙක කියා නැති බව අම්මා අදත් සිහි කරන්නේ ඇඬූ කඳුළි
නි.

අම්මා ගැන මෙහෙම කියා ඉවර කරන්නට බැරි බව අමුතුවෙන් කියන්නට උවමනා නැත..සාම්ප්‍රදාය කර තබාගෙන පට්ට ගසනා නැන්දලා මාමලා මැද මා නිවරදි දේ කරති-යි යන උපරිම විස්වාසය මත අම්මා මා හැකි තාක් නිදහස්ව තැබුවා ය.ලෝකයම මා වැරදි වග කියද්දීත් හැම අම්මා කෙනෙක් මෙන්ම මා විස්වාස කළාය.ඒ විස්වාසයෙන්ම මා නිවරැද්දේ රඳවා තබා ගත්තාය.

සිසේරියන් සැත්කමකින් කුළුඳුල් දරුවා ලෙස මා උපන් විට අම්මා කම්පනයට පත්ව දින කිහිපයක් සිහි කල්පනාවෙන් තොරව සිටි බව මා අසා ඇත.පදය පදය ගැට ගසා කවි ලියන කාලයේ මම අම්මාගේ හැම උපන්දිනයකටම කවි ලියා දී ඇත.ඒත් මතක ඇති කාලයකින් මම අම්මා ගැන කිසිවක්ම ලියා නැත.මේ ලෝකයේ හැම අම්මා කෙනෙක් සේම ,සමහර විට ඒ හැම අම්මා කෙනෙක්ටම වඩා මගේ අම්ම දුක් විඳ ඇත.වැඩි හරියක් මා නිසා නොවූවත් ඇගේ සතුට වෙනුවෙන් මා මෙතෙක් කළ දේ අවමය.ඇය පතන තැනක හිඳ ඇය සතුටු කරවන තෙක් ඇයට සුව දීඝායු පැතිය යුතුය.! කිව යුත්තක් ඇත.තවමත් මේ ලෝකයේ මා වැඩියෙන්ම ආදරය කරන්නේ මගේ අම්මාට ය!ඇයට තරම් වෙන කිසිවකුට ආදරය කරන්නට නොහැකි වීම ගැන හිත රිදවා ගන්නා අයෙක් වේ නම්
මට සමා කරන්න...!

Sunday, December 4, 2011

සරදා උඹ නිදිද?


සරදාගෙ ඇස් කළුයි.බොරයි.ජීවිතේ පාට කරන්න පාට ගොඩක් එක සැරේට ඒ ඇස් වලින් දියකරලා.ඒකි තව ටිකක් මට වාරු වුණා.හෙමීට කියවන්න පටන් ගත්තා.

"කැම්පස් එන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕන කියලා මම කවදාවත් හිතලා තිබ්බේ නැහැ.මම කවදාවත් විබාග වලට අමුතුවෙන් මහන්සි වෙලත් නැහැ.

මුලම කාලේ මම කවි ලිව්වා.ඊට පස්සෙ කෙටිකතා.චිත්‍ර ඇඳිල්ල නම් කවදාවත් බැහැ.මගේ පලවෙනි නව කතාව ලිව්වෙ එකොලහ වසරෙදි.ඉස්කෝලෙ යාළුවෝ ඒක කියවලා හිනා වුණා.උන්ට ඕන වුණේ එව්ව නෙවෙයි

මුලින්ම කොල්ලෙක්ට ආදරේ හිතුනේ අට වසරෙදි.උගේ අම්මයි තාත්තයි නැහැ කිව්ව අපේ එකියක්.පස්සේ දැනගත්තා බොරුවක් කියලා.දැන් ඌ බැඳලා ,වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නවා දැක්කා කැම්පස් ආව මුල දවස් වල.....

ඊට පස්සෙ එකොළහවසරෙදි ...ඌ හැන්ඩියා.මනමාලයි.දඟයි.කෙල්ලො ඒ වයසට හොයන නැහැදිච්ච කම උපරිමයි.කවි ලියන්න පටන් ගත්තේ ඌ හින්දා..වැඩක් වුණේ නැහැ.ඌත් බැන්දා මම සෙකන්ඩ් ඉයර් ඉද්දි.ඒ දවස්වලම කොල්ලො දෙන්නෙක් මගෙන් ඇහුවා.උන් දෙන්නම බැන්දා ගිය අවුරුද්දේ....

මොන මගුලක්ද බන්.බඳින්නෙ නැතුව ඉන්න බැරිද?........
මට නම් බැරි වෙයි.මම අහලා තියෙනවා.එක පාරක් ඇවිළුණ
හිත ගත මුල් අවස්ථාවට ගන්න බැරි වෙනවලු........කවදාවත්

ඒ ලෙවල් ඉවර වෙනකල්ම මම අර කවි ලියන ප්‍රේමේ ගැනම හිත හිත හිටියා.
ඌ ප්‍රේම කරමින්ම හිටියා.

වෙන කාටද.....

වාසල එක්ක ආදරේ වගේ මගුලක් පටන් ගත්තත් මගේ හිත එක තැනක තිබ්බේ නැ.වාසල ළඟ තිබ්බේත් මම හොයපු
දේ නෙවෙයි.වෙන වෙන දේවල්.ඌට ඕන වුණා තනි වෙන්න.සේරටම කලින් තනි වෙන්න.අපි දෙන්නා විතරක්.කාගෙවත් හුළඟක්වත් නොවදින තැනක.මම තනි වුණා.හිර වුණා.උගේ ආත්මේ පතුලේ.මම ඌට ආදරේ කළා.ඒ තරමට වෛරත් කළා.ඌ මට ආදරේ කළා.ඒ තරමට විනාසත්......විලි ලැජ්ජාවත්...කවදාවත් නොවින්ද තරමට

කල්ප ආවා .මම ඌට ආදරේ කරන්න ඇති.කවුරුත්ම නොකරපු විදිහකට.ඌ මට නොසැහෙන්න උදව් කලා ගොඩ එන්න.මට ඕන වුණේ පලි ගන්න.වාසලගේ වාසල් බිඳින්න.මම ඒක කලා.වාසලත් එක්ක තිබ්බ අන්තිම බැඳීමත් බින්දා.රැයක්!...එක රැයක්!දෙකක්!
සිහින ගැන කියවමින් මම කල්ප එක්ක නිදි මැරුවා.ආත්මය මැරුවා.දැන් මං අනාත්මයි.මේ මගේ දෙවන උපතයි..මම නිදහස්...කල්ප එක්ක පවතින්න බැහැ.කල්ප විනාසෙට කලින් මං ගෙදර ආවා.


සිහින උසයි සුදුයි.මගෙම පුරුෂාත්මේ කියලා මට හිතුණ වාර අනන්තයි.

ප්‍රමාදය! විඳවිල්ල විතරෝමද ඉතුරු කරන්නේ හැම විටම?

නැහැ!
හොඳම උදාහරනේ සිහින.
සිහින ආවා.ළඟම හිටියා.දැවටෙමින් නෙවෙයි.ප්‍රතාපවත්ව.හිනා වුනෙත් ගානකට.මිහිරි හඬ.අනාඩම්බර බැල්ම.ආදරේ කියලා මෙතුවක් හිතාගෙන හිටියේ මොන පුස් වෙඩිල්ලක්ද?තත්පරයක් පාසා මම හිටියේ දැල්වෙමින්...











. . . . . . සරදා!
නිදිද?

ඉතුරු ටික පස්සේ කියපන්...!