Sunday, January 30, 2011

ලදල්ල


නරකම කාල වල ලැබෙන "හොඳම" හිතවතුන් කාලෙ තවත් නරක් වෙද්දි දුරස් කරන්නට වීම කොයි තරම් නරකද?මම ධර්මය ටිකක් විතර දන්නවා.අඩුම ගානෙ දන්නවා කියල හිතාගෙන ඉන්නවා.මම මැතකදි පිලිවෙලකට ඉගෙන ගෙන තියෙනවා.ධර්මය දත් තැන් වලින් ඉගෙන ගෙන තියෙනවා.

ප්‍රියතම කියන කොටසට අයිති වස්තු,ජීවිත,චරිත මේ ඕන දෙයක් වෙනස් වෙනවා කියලා දන්නවා.නිරන්තර වෙනස් වීම.

මඳ සුළං.
සුළි සුළං.
කුණාටු.

නැවත
මඳ සුළං


නැතත් ඒ පිළිබඳ අපේ සිතිවිලිත් කාලෙත් එක්ක වෙනස් විදිහට වැඩ කරන්න පුලුවන් කියලා දන්නවා.අත්දැකීමෙන් ම දන්නවා.

ධර්මය ඉගෙන ගත් තැන් වලට ම ඒවා යොදවන්න බැරි නියමයක් ධර්මයේ තියෙනවද?

ප්‍රසන්න වස්තූන් අප්‍රසන්නව දකින්න පහසු මඟක් තියෙනවද?

ගස් තියෙද්දි,මල් පිපුණු ගස් තියෙද්දි මුල් උදුරා දාන්න ක්‍රමවේදයක් දන්නවද?

පිළිතුරක් ඇති කියලා අනුමාන කරනවා ඔබ ළඟ.එහෙම අනුමානවත් කරන්න පුලුවන් කෙනෙක්ට ඉන්නෙ ඔබ විතරයි.ඒත් කොයි තරම් සාධාරණද?අනුන්ගේ ප්‍රශන්වලටම පිලිතුරු සෙවීම වෙනුවෙන් තවත් "අනුන්" කෙනෙක් කැප කරවීම.මගේ නිධානය ගන්න ඔබව බිලිදීම.ඇමක්?ඔබවම ?ඔබ කොයි තරම් හොඳද?නිර්වින්දිත ප්‍රතිමාව.දසතින් පිදුම් ලබන.

පරාගනය විය යුතුමද?උවමනාව මලට ම ද? සොබා දහමටද?ඵල පතන අපටද?වඳ පීදුණු ගස් පලක් ඇත්තේම නැද්ද?
එතකොට ජෛව විවිධත්වය?
පරිණාමය?

ප්‍රශ්ණ පමණයි.පිළිතුරක් ඇහැට දැක්ක කාලයක් මතක නැහැ.

මගේ දොස් නොදැක අනිකාගේ ගුණ කොහොම දකින්නද ?මම එක ම එක පුරුකක් පමණයි.තාල වර්ගයේ ගසක මුදුන් දලුව.මෝරා වේලී ගිහින් , වේලී ගිහින් ඉඩ දී ඉවත් විය යුතු.අලුත් දලුවකට ගුණ පන පෙන්වන්නට .දෙකෙහිම ඉරණම සමාන වග පුන පුනා පවසන ඔබ.විශේෂ පත්‍ර ව්‍යුහයක් පතන මම.විකෘතියක් වුවත් කම් නැති.උද්දච්ච .අහිංසක .එකට පැවතිය නොහැකි ගුණ එකට පවතින කලාතුරකින් බිහිවන වර්ගයේ.විස්වාස කල නොහැකි තරමේ අහම්බය.

සුවපත් වීම.ඔබ පෙනෙන නොපෙනෙන දුරක.අහුලා ගන්න පහත් වන මම.නැවතත් නිර්වින්දිත ඔබ.

පලා යන්නට සැරසෙමින් පලා නොයා තැවෙන අසාමාන්‍ය ලදල්ල.
මම මම මම ...............................................................

Thursday, January 27, 2011

මහ ගෙදර කතාව 2



මහගෙදර කතාව 1 පටන් ගත්තෙ ගෙතිල්ල ගැන කියන්න නෙ.අන්තිමට කතාව යන්නෙ කොහෙද මල්ලෙ පොල් වුණා.මුලින් මුලින් ආච්චි මට ගොතන්න කියලා දුන්නෙ අර ගෝනි වල තියෙන ලනු වලින්.ඉස්සර කඩ වලින් සීනි පරිප්පු ගත්තම පත්තරේ ඔතලා ඒ හීනි නූලක් වගෙ ලණුවලින් ගැටගහලා දෙන්නෙ.අපෙ ආච්චි හරි අරපිරිස්සම්කාරයි.පස්සෙ උවමනා වුණම ගන්න කියලා ඒවා එකතු කරලා තියා ගන්නවා.ඒවා විතරක් නෙවි.වත්තෙ වැටිලා තියෙන කොට්ට පොල් ගෙඩියක් වත් අහකට නම් යන්නෙ නැ.රහට කොට්ට පොල් සම්බෝල හදන්න ආච්චි දන්නවා.
ආච්චි තරුණ කාලෙ හෙදියක් ලු.ඒත් විවාහෙන් පස්සෙ ආච්චි රස්සාව කරනවට අපේ සීය කැමති වෙලා නැ.( :/ )ඉතින් ආච්චි මම වගේ නොවුණ හින්දම ,සීයගේ සුවච කීකරු බාරියාව වෙල ගෙදර නැවතුණාලු.මට අවුරුදු 3ක විතර කාලෙ තමයි ආච්චිගෙ අම්ම නැති වුණේ.ආච්චිවත්, සුදු ආච්චි ඒ කිව්වෙ ආච්චිගෙ නංගි වත් කැගහලා ඇඬුවෙ නැ.පස්සෙ කාලෙක ඕක ගැන කතාවක් ඇදුණ වෙලාවක ආච්චි කිව්වෙ ආච්චිල ගෙදර ඉන්න කාලෙ, ඒ කාලෙ හැටියට ගැනු ළමයෙක්ට නොදෙන තරමේ නිදහසක් දුන්න ආච්චිගෙ අම්මා වෙනුවෙන් බොරුවට කැගහලා නොඇඬුවට, ඉටුකරන්න ඕන යුතුකම් සේරම ඉශ්ට කලා කියලයි.ඒක නම අදටත් මට තෙරුම් ගන්න බැරි කතාවක්.සමහර විට ආච්චි තමන්ගෙ විවාහෙ ගැන අසතුටින් උන්න වෙන්නත් ඇති.
ඉතින් මම මේ ආච්චිලගෙ ගෙදරම වාඩි ගහගෙන හිටියෙ ඇයි කියලත් හිතෙනවා ඇති නෙ . ;).මම ඉපදුන කාලෙ අම්ම රැකියාවක් කරමින් ඉඳල තියෙන්නෙ.ඒත් මට අවුරුදු 2ක් විතර වුණාට පස්සෙ අම්මට ආපහු රැකියාවට යන්න අපෙ අප්පච්චි අවසර දීල තියෙනවා.අම්මා කරලා තියෙන්නෙ දුරින් නැදැ වෙන ආච්චි කෙනෙක්ව මාව බලා ගන්න තියලා මාව මහ ගෙදර නවත්තන එක.හි හි!!ඊට පස්සෙ තමයි මරු කතාව.අපෙ ආච්චි අර මාව බලා ගන්න තිබ්බ කෙනාට කියලා වී තම්බන්නයි ,කඩේ යවන්නයි පටන් අරන්.අන්තිමට මාව බලා ගන්න වෙලා තියෙන්නෙ අපේ ආච්චිටම තමයි.අර ආච්චි යන්න ගිහින්.
ආහ්! ගෙතිල්ල.ඔන්න ඉතින් අහිංසක මම ගෝනි ලනු වට කරන් ගොතනවා දැකලා දුක හිතුන අපේ සීයා මට අලුත්ම වූල් බෝල 2ක් ගෙනත් දුන්න.දම් පාටයි කළු පාටයි.අදටත් මගෙ ප්‍රියතම පාට දම්.කොහොම හරි මට ආච්චිගෙන් ඉගෙන ගන්න පුළුවන් වුණේ කටු දෙකෙන් යන්තම් පටියක් ගොතන තරම විතරයි.පස්සෙ කාලෙක මම ශිෂ්‍යත්වෙ පාස් වෙලා නුවර යාම,නංගිලා මල්ලිලා පවුලට එකතු වීම,ආච්චි සහ සීයා අසනීප වීම වගෙ මෙකී නොකී කාරණා හුඟක් ඒකට බලපාන්න ඇති.

මහගෙදර කතාව 1





ගෙතිල්ල පහසු කාර්යක් නෙවී.මුලදි මුලදි හොඳ අවදානයෙන් නොහිටියොත් ආපහු කොනක හිටන් වැඩේ පටන් ගන්න වෙනවා.මුලින්ම ගොතන්නෙ දම්වැල.එතනින් එහාට පිරවිල්ල .කාලෙත් එක්ක මේ කෙරුවාව ඇස් පියාගෙන කරන මට්ට්මට කෙනෙක්ට හුරු වෙන්න පුලුවන්.
මම මුලින්ම ගෙතුමක් දැක්කෙ ආච්චිගෙ.ආච්චි ගොතන්නෙ කටු දෙකෙන්.ආච්චි ළඟ ගෙතුම් රාමුවකුත් තිබුණා.ඒක මට අවුරුදු 3ක 4 ක කාලෙ සෙල්ලම් බඩුවක්.අන්තිමටම ඒක තියෙනවා දැක්කෙ පීල්ල ළඟ වැලි ගොඩේ.ආච්චිගෙන් අහගෙන කටු දෙකෙන් යන්තමට ගෙතිල්ලක් ඉගෙනගනිද්දි මම දෙක වසරෙ විතර.ඒ වෙද්දිත් ඉස්කෝලෙ ගිහින් ඇවිත් මට බත් කවන්නෙ ආච්චි.හුරුල්ලො බැදලා,ගොටුකොල සම්බෝල හදලා,කැරට් ඉව්වම මට රාජ බෝජන වගෙ තමයි.මොන බොජුන තිබ්බත් කතාවක් කියලා බත් ටික කැව්වෙ නැත්නම් මට බඩගින්න ගානක් නැති බව ආච්චි දන්නවා.අනික සියගෙ ප්‍රියතම මිණිබිරිය වුණ මාව බඩගින්නෙ තැබිල්ලෙන් දොස් අහන්න වෙන්නෙත් ආච්චිටමනෙ.මට හොඳටම මතක කට පහ රජ්ජුරුවන්ගෙ කතාව.ඒක ආච්චිගෙ ජනප්‍රියම කතාව.

දවල්ට බත් කැවට පස්සෙ සීය ඇඳට වැටෙනවා.ආච්චි ඇඳට යාන්නෙ මාවත් ඇදගෙනමයි.කාපු ගමන් ඇඳට වැටෙනවා කියන්නෙ මට මරන්නා වගෙ.ආච්චිට කරන්නෙ මාව බිත්තිය අයිනට දාල නින්ද යනකල් පිටට තට්ටු කරන එක.තට්ටු හත අටක් යද්දි තට්ටුව ඉබේම නවතිනවා,ආච්චිට නින්ද ගිහින්.හිමින් සැරේ ඇඳ පහලට රූටලා බැහැගන්න හදද්දිම ආච්චිට ඇහැරෙනවා.ආයෙත් මාව නිදි කරවා ගන්නවා.ඒත් කලින් වතාවෙ වගෙම තට්ටු කිරිලි හත අටක් යද්දි ආච්චි නිදි.මම කරන්නෙ ආච්චිව හොලවලා ඇහැරවලා තට්ටු කරන්න කියන එක.අද මතක් වෙද්දි ආච්චි කොච්චර පවු ද සහ මම කොච්චර ඇම්බැට්ට කෙල්ලෙක් වුණාද කියලා හිනත් යනවා.කොහොම හරි ජයග්‍රාහී දෙවන නැත්නම් තුන්වෙනි උත්සාහයෙන් මම ඇඳට පැන ගන්නවා.කෙලින්ම නවතින්නෙ මිදුලෙ.මහගෙදර වත්තම පළතුරු යායක්.මම කරන්නෙ තනියම අහල පහළ තියෙන ගෙඩියක් කඩාගෙන කඩයක් දාන එක.මුදලාලිත් ගැනුම්කරුවාත් මමම තමයි.
සමහර දාට මහගෙදර වී තම්බන්න එන කිරි අත්තම්ම එයාගෙ මිණිබිරිත් එක්කගෙන එනවා.ඒළමයා මට වඩා අවුරුදු 2ක් විතර බාලයි.හොර පූසි වගේ ආ වෙලාවෙ ඉඳන් වට පිට බලන්නෙ.කතා කරාට කතාවක් නැ.දවසක් සීයයි මමයි කොළඹ ගියා.ආ...මට මහගෙදර හිටිය පූසා කාලා ඒකට ඉන්ජෙක්ශන් දෙන්න මාව කාසල් එක්කගෙන ගිය දවස.මම මූණත් බෙරි කරන් ගෙදර එද්දි මෙන්න මේ හොර පූසි මගෙ මල් පිඟානෙ බත් කනවා.ඒ ළමයා ගියාට පස්සෙ ආච්චි මට ඒ පිඟානටම බත් බෙදාගෙන ආවා.මම නෙවෙයි බත් එක දිහාවෙ ඇහැක් ඇරලා බැලුවෙ.සීයත් ආච්චිට දොස් කියලා සීයගෙ රන්පාට පිඟානට බත් බෙදලා දීලා පහුවදාම මට අළුත් පිඟානක් ගෙනත් දුන්නා.(අම්ම අදටත් කියන්නෙ මට තියෙන්නෙ සීයගෙම උද්දච්චකම කියල;)
ඉස්කෝලෙ දෙක වසරෙ ඉද්දි ආච්චි මාවත් එක්කරගෙන ගියා මල ගෙදරකට.එන ගමන් අපෙ ඉස්කෝලෙ හිටපු නපුරුමයි කියලා ප්‍රසිද්ද ගුරුවරියක් සහ ළඟම ඥාතී වරියකගෙ ගෙදර ගියා.එයා "සුදු අක්කේ" කියලා ආච්චිව බදා ගත්තා.කොහොමින් කොහොමින් හරි අන්තිමට වුණේ මාව හවසට හවසට ඒ ටීච‍්රගෙ ගෙදර යැවිල්ල.එයා මාව පන්තියෙ පිටිපස්සෙන්ම වාඩිකරවලා උගන්නනවා.හිටපු ගමන් ප්‍රශ්න අහනකොට පණ්ඩිත කමට මමත් උත්තර දෙනවා.පහ වසරෙ අක්කල අයියලට බැරි දේවල් මේ පොඩි ළම්යා තේරුම් ගන්නවා කියලා "ටීච ආච්චි " හවස බිස්කට් එක්ක තේත් දීලා මාව මහ ගෙදර වැට ළඟට ගෙනත් අරලිනවා.කොහොම හරි පහ වසරෙදි මම ටීච ආච්චිගෙ පන්තියට නොවැටුණ එක අපෙ ආච්චිට හරියට හිතට අමාරුවක් වුණා.මම වැටුණෙ පහවසර -1 පන්තියට.කොහොමද කියන්න දන්නෙ නැ.ඒ පන්තියෙ මට ඉන්න වුණෙ එක දවසයි.පහුවදාම මම ටීචාච්චිගෙ පන්තියෙ.:)
අපේ සීය තමයි ගමෙන් ම මුළින් ම ආනන්දෙට ගිහින් තිබුණෙ.ජපන්නු බෝම්බ දාද්දි ඉස්කෝලෙ ඩෙස්ක් යට රිංගලා කෝටු කටේ ගහන් හිටිය හැටි සීය කියන්නෙ පෙන්ශන් දාට සෝමෙ මාම එක්ක කාමරේට වෙලා කතාව දාගෙන ඉද්දි.මට බෙහෙත් ගත්ත "බංගලාවෙ දොස්තර" සීයගෙ හොඳම යාළුවා.ශිෂ්‍යත්වෙ ළං වෙලා මට හිසරදයක් හැදුණා,මම ඉතින් හුරතලේටත් එක්ක සීයගෙ සරම් ඔඩොක්කුවට පැනලා අඬනවා.සීය ලැස්ති වුණෙ මාව කාසල් අරන් යන්න.කොහොම හරි "බංගලාවෙ දොස්තර"ගෙ බෙහෙත් වලින්වත් කාසල් එකෙන් දුන්න බෙහෙත් වලින්වත් අඩු නොවුන හිසරදය විභාගෙ කිට්ටු වෙනවත් එක්කම ඉබේම සනීප වුණා.ආච්චි කිව්වෙම මගෙ සෙම කර වෙලා කියලමයි.සීය කිව්වෙ මම කළුවරේ පොත් කියවන නිසා කියලා.

Saturday, January 15, 2011

බඹසර

මේ මිටියාවතේ තව කොයි තරම් නම් දුරක් සැහැල්ලුවෙන් ඇවිදගෙන යන්න පුලුවන් වේවිද?

ඔබ ළඟත් පිළිතුරක් නැති බව මම දන්නවා.බල කර පිළිතුරු ඉල්ලන්නත් කැමැත්තක් නැහැ.මිටියාවතක ඔබ සමඟ ගෙවා දමන්නට කලක් තිබීම ම ලැබීමක් නෙවෙයිද?කුරුළු සර, ඇල දොල නෙවෙයි ඔබේ හඬ අසමින්.ඔබ දකිමින්......මිටියාවතේ සිට අහස දකිමින්......අහස හිතනවාට වඩා දුර බව වටහා ගනිමින්....අඳුනාගෙන නොතිබූ ජීවිත බිම්කඩක් අලුතෙන්ම හඳුනා ගැනීම.කොලොම්බස් අත් වින්ද ප්‍රීතියම විඳින මම.
මම කැමතියි ලිවිල්ලෙන් නිරතුරු ආතුර වෙන්න.හැබැයි ඔබ වෙදදුරා හෝ වෙදකම බවට පත් වෙනවා නම් පමණයි.ඔබ කියවන්නා,රස විඳින්නා සහ විචාරකයා බවට පත් වෙනවා නම් පමණයි.ඔබේ කතාන්දර අසල මම අකුරු අමුණන ලදරුවෙක්.තාමත් හෙමින් බහ තෝරන්නටවත් පටන් නොගත්.හඬන්නේත් සිනා මවන ඔබ අසලක සිටිනවා නම් පමණයි.නිරන්තර අඳුර උපතින් ලද උරුමයක් වගේ.කුණු එකතු වෙන්නේ කුණු ඇති තැන් වලට.අඳුරත් එසේමයි.ඔබ මඟ වැරදුනත් පහන් තරුවක්.අඳුරට ලැදි .

අහම්බෙන් හෝ ඔබ නාවානම් .......... ???


ඔබ නාවානම් කොයි තරම් නම් හොඳද?(?????)

ඉරණම කියා මේ සියල්ල ඉස්මුදුනින් පිළිගන්නට තිබුණා මට.අඳුරට අඳුර එක් වීම කිසිසේත් ම අහම්බයක් ලෙස නොසිතෙන්නට තිබුණා. අඳුරට සැහෙන පමනේ පහනක් දල්වාගෙන සැනසෙන්නට තිබුණා.


ඇත්තටම කියනවා නම් විය යුතු ලෙසම ඔබ ආවේ නැහැ.(සිනා)


ඉතින් ඔබ නොපැමිණීම ම වාසනාවක් නේද? (යලිත් සිනා)තවමත් අඳුරේ ඔබ වෙනුවෙන් කුඩා බලාපොරොත්තුවක් පමණක් සහිතව සිටියත් ඔබ නොපැමිණීම වාසනාවක්ම නොවේද?

අඳුරින් සැනසෙන මම.
සුදුසු කල්හි සුදුසු දෙසක සරණ ඔබ!

(පතිරූප දේස වාසෝච )


අතීත කතාව:
මම කැමතියි.ගයන්න,රඟන්න සියල්ලටම.
ඔබ ප්‍රේක්ෂකාගාරයේ රැඳී සිටින තාක්.
...
සේයා:http://www.bing.com/images/search?q=+love+oil+paint&view=detail&id=D2D7E644D3EEC2FA7024FFF7BDFEF5F6FE8E08CF&first=121&FORM=IDFRIR

Friday, January 14, 2011

" සුවඳ සමන් "3


" සුවඳ සමන් "1
" සුවඳ සමන් "2

කාලෙකට පස්සෙ ආයේම පරණ කතාන්දරයක් ඇදලා ගත්තෙ ඇයි කියලා මිත්‍රවරු අමනාප වෙන්න එපා.මේ කියන්ට යන්නෙ අවසාන කොටස.කියන්ට ඉතින් අමුතු කතාන්දරයකුත් නැ.කොටින්ම කියනව නම් ඔන්න සුවඳ සමන්ලා ළඟදි විවාහ ප්‍රාප්ත වුණා.ඒ කිව්වෙ සුවඳ සමන් සහ අමාගේ "අඹ "යෙහෙළිය.අමා ඉතින් ඒ පැත්තෙ ගිහින් එන්න අමතක කලේ නැහැ.මනාලිය රූපලාවන්‍යාගාරයට යන තැනේ හිටන් අමාට පුලු පුලුවන් විදිහට සහයෝගය දුන්නා.දැවැදි මලු අහුරන්න,කොකිස් බදින්න,වෙඩින් කේක් හදන්න මෙකී නොකී බොහෝ දේවල් වලට
.
හිත හදා ගන්නම නෙවියි.හදාගන්න හිත කඩතොලු වෙලා තිබුණත් නෙවී නෙ.හදනවා නම් ආයෙ කොනක හිටන් හදන්න පටන් ගන්න ඕන.ආයෙ මේ කපේට නම් එහෙම කෙරුවාවක් වෙනවා බොරු.දැන් ඉතින් තියෙන්නෙ බැඳ ගත්ත බෙරේ ගසාගැනිල්ලක් නෙ.කසාදෙ රෙජිස්ටාර් කරන්ට යන්ට යෙහෙළිය අඬගහලා තිබුණෙත් අමාට.අමා ඒ ඉල්ලිම නම් බාරගන්න කිසිම මනාපයක් තිබ්බෙ නැ.කොහොමින් කොහොමින් හරි අන්තිම මොහොතෙ අමා ඒ රාජකාරියෙන් ගැලවුණා.
විවාහ උත්සවේ දවසේ සුවඳ සමන් හරිම ගාම්භීරයි.අමා ළඟට ඇවිත් බොහොම හිතවත් කමින් අමාව පිලි අරන් අතට අත දුන්නා.ඒ වෙලාවෙ නම් අමාගෙ හිත පොඩ්ඩක් තිගැස්සුනේ නැ කිව්වොත් ඒක ඇත්තක්ම නෙවි.පිටත් වෙන වෙලාවෙ නම් යෙහෙළිය අමාව බදාගෙන නොසෑහෙන්ට ඇඬුවා.අමාගෙ හිතේ ඉතිරි වෙලා තිබ්බ අන්තිම නෝක්කාඩු බිඳත් ,පිළිබඳ සිතත් දියකරලා අමාගෙ ඇස් වලිනුත් කඳුළු ගැලුවා.අමාගේ අම්මගෙත් ඇස් රතු වෙලා තිබුණා.
ඔන්න ඕවා අහද්දි තමයි යාලුවනේ හිතෙන්නෙ "සත්‍ය ප්‍රබන්ධයකට වඩා විශ්මිතය"කියන්නෙ සහතික ඇත්ත කියලා.ඊයෙ හවස තමයි දෙන්නා නෑගම් ආවෙ.ඒත් ඒ මූණු දෙකින් එකකවත් ඉස්සර හිටපු සුවඳ සමන්ගෙවත් අතිජාත මිතුරියගෙවත් සෙවනැල්ලක්වත් වැටිල තියෙනවා අමා දැක්කෙ නැ.

එහෙනං....සිරි සුබ මංගලම් වේවා කිව්ව දෙන්නටම. :)

Saturday, January 8, 2011

සඳ


ඔබ සිනා මුව පිපී
තුහින පාවඩ සිපී
කඳුළු වැස්සෙ ම තෙමී
සඳ පතාගෙන ඉමී