Monday, January 30, 2012

බෞතික විද්යා විනෝදය නොහොත් "කෙල්ලන්ගේ" පොඩි පොඩි වීර ක්‍රියා


කොළු කතාවලට පස්සෙ කෙළි කතාවක් හැටියට අද තමයි හා හා පුරා කියලා යශ්ටි ගෙ කතාවක් ලියන්න හිතුනෙ .මෙච්චර කලකට පස්සෙ.මේ කතාව කියවන අයට මෙලෝ රහක් නැති වෙන්නත් පුළුවන්.ඒත් ඔන්න ඔහේ ලියලා දානවා.මොකෝ මේ යන විදිහට අපෙ දරුවෙක්ට "පාසල් වියේ රස කතා " කියන කාලෙ එද්දි අපේ මෙමරිය ඒතරමටම යහපත් තත්වයෙන් තියෙයි කියලා දැන් දැන් තේරෙන නිසා මතු ආයෝජනයක් හැටියට. ඒ තරම් අපේ රටේ විශ්ව විද්‍යාල ක්‍රමය වෙලාවට කලාවට අපිව එළියට දානවනෙ.

ඔන්න අදාල කතාව මෙහෙමයි.අපි උසස් පෙළ කරන කාලේ අපටත් ඔය හැමෝටම වාගෙ දොරකඩ සිට ජීව විද්‍යාව උගන්න ගෙන එන මිස් කෙනෙකුයි,කණට නොඇසෙන ඇහැට නොපෙනෙන ඉගෙනුම් පිළිවෙලක් තිබ්බ ෆිසික්ස් මිස් කෙනෙකුයි,E සිට M දක්වා වෙච්ච බයෝ මැත්ස් ක්ලාස් ඔක්කොටොම එකවර උගන්නන්න පුළුවන් කෙමිස්ට්‍රි මිස් කෙනෙකුයි හිටියා.ෆිසික්ස් මිස් උගන්නන එව්ව ඇහෙන්නෙ ඉස්සරහ පෝලිමෙත් උපරිම දුරකට බෙල්ල දික්කරන්න පුළුවන් සත්වයෙක්ට නැත්නම් දෙන්නෙක්ට විතරයි.ඉතින් ආය අන්තිම පේලියේ හිටිය අපි ගැන කවර කතාද? මේ කතාවෙ කථා නායිකාව "යශ්ටි" දැන් ජ'පුර වෛද්‍ය පීඨෙ අවසන් වසරේ.ඉස්කෝලෙ කාලෙ තිබ්බ උන්මාද තත්වයේ හැටියට මනුස්සයා "සයිකැට්‍රිස්ට් "කෙනෙක් වෙයි කියන එක තමා අපේ ඒකායන අපේක්සාව.

මුන්දා ඒ දවස් වලත් කවුරුවත් කියන දෙයක් අහන යකෙක් නෙවෙයි..උන්න හිටි ගමන් පන්තියෙන් නැගිටලා ගිහින් ,ප්‍රින්සිපල් පන්තියට ඇවිත් හිටියත් සත පහකට ගනන් නොගෙන ,වෙව්ලමින් ඉන්න අපිව තවත් පිස්සු වට්ටමින් බබා වගේ වාඩි වෙන එක යෂ්ටිට සිම්පල්!කණට ඇහෙන්න කතා නොකරන,කැට් වෝක් එකෙන් ගමන් යන මේ අරුම පුදුම ස්ත්‍රී පරාණෙ ගැන දැඩි උනන්දුවෙන් පසු වුණ ගෝතයෙකුත් ඒ දවස්වල යෂ්ටිගෙ ෆිසික්ස් ටියුෂන් ක්ලාස් එකේ උන්නා.මගේ මේ අතිජාත මිත්‍ර පරානෙ පන්තියේ වැඩ ගැන සත පහක උනන්දුවක් නැතුවට මොකද ටියුෂන් ක්ලාස් වැඩ වලට උපරිම භක්තිය.දවසක් ළමයා ෆිසික්ස් මිස් පන්තියට එන්න කලින් එන්න කලින් මෙහෙම කියපි!

"හවසට හදාගෙන යන්න ෆිසික්ස් ගණන් 25ක් තියෙනවා.ඔයාට ඕන නම් ඉන්න.එහා පන්තියට ඉන්ග්ලිශ්! මිස් එන්නෙ නැහැ ලු..මම එහෙට වෙලා ගණන් හදනවා"

මොන දස වැඩ කළ පලපුරුද්ද තිබ්බත් දැන් මාව වෙව්ලනවා.මිස් බැරිවෙලාවත් ඇහුවොත් මම මොනවා කියන්නද?අනික රෙජිස්ටර් එකෙත් මාක් වෙලා ඉවරයි.සේරටම හපන් මිස්ට කේන්ති ගිහාම .මුණු මුණු ගගා ඉගැන්නුවට ගණ්ඨාරේ වාගේ බනින ටික පැය 2 ක්ම අහගෙන ඉන්න වෙනවනෙ.

මට හිතනන්වත් වෙලාවක් නොතියා යෂ්ටි පොත් ටිකත් උස්සගෙන එහා පන්තියට ගියා.මිසුත් පන්තියට ඇවිත් මුණු මුණුව පටන් ගත්තා.දෙකට කාලයි.ඉස්කෝලෙ ඇරෙන්න විනාඩි පහලවයි.මිස්ට යෂ්ටි ගැන ගානකුත්නැහැ.අමාරුවෙන් ගානක් හදලා ඔලුව උස්සපු මට හීන් දාඩිය දැම්මා.

"කුමාරි! මේ ඔයාගෙ ක්ලාස් එකේ ගර්ල් කෙනෙක් නේද?....."

හයියෝ!

එහා ක්ලාස් එකේ ඉන්ග්ලිශ් මිස් යශ්ටිගෙ අතින්ම අල්ලගෙන ඇවිත් අපේ ෆිසික්ස් මිස්ට බාර දෙන්න.

ඊට පස්සෙ වෙච්ච සන්තැසිය කියනන් ඕන නැ නෙ.දෙක හමාර වෙනකල් වැඩිපුර පැය භාගයක්ම දේශනාව අහගෙන ඉන්න වාසනාව අපට උදා වුණා.තිස් අටක් වූ පන්ති වාසී ජනතාව යෂ්ටිට පහුවදා දවසම සුබ පැතුවා.ආශිර්වාද කළා.ඒත් යශ්ටි නෙවෙයි එක දසමයක් සැලුනේ.

අන්තිමට බලද්දි වෙලා තිබ්බෙ මේකයි.එහා පන්තියෙ මිස් එන්නෙ නැහැ කියලා හදිස්සියෙම පීරියඩ් එක මැද්දේ ඇවිත් උගන්න්නන්න අරන්.රෝමේ ගියා නම් ගියා නම් හිටුකෝ ඒ විදිහට.අපේ උන්දා මිස්ව සත පහකට ගණන් නොගෙන ගණන් හදලා.මිස්ට යකා නැගලා නම අහලා රෙජිස්ටරෙත් චෙක් කරලා.එකම නම තියෙන අය කොහෙද පන්ති දෙකක.කණෙන් ඇදගෙන ඇවිත් අදාල තැනට දැම්මේ ඒකයි.

කැලේ මාරු කලට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගෙ තාමත් යස්ටිගෙ පරණ ගති එහෙමමයි.අදාල තත්වෙ දන්න නිසා අපි ඉවසගෙන හිටියට නොදන්න කථිකාචාර්ය මහාචාර්ය වරු එහෙම නැහැ.මුන්දා ෆයිනල් වෙනකල් ආව ගමන ම විජයග්‍රහණයක් කියාලා තමයි අපට කියන්න තියෙන්නෙ.

එහෙනම් ජය වේවා යශ්ටි! :)

ප.ලි>මේ කතාව මීට කලින් බුකියෙ ෆෝරමේක පල කොළා.කියවපු ඇත්තෝ සමාව බජනය කරත්වා!
;)

Friday, January 27, 2012

කොල්ලෝ!!!!!!!!!!! කොල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු!


පැංචා කාලේ සිටම මා වැඩියෙන්ම කැමැත්තෙන් සිටියේ තනියෙන් ඉන්නටය.ආච්චීත් සීයාත් මගේ ඒ කැමැත්තට ගරු කරමින් මා වටා වැට කඩුළු බැඳීමෙන් වැලකී සිටි බව අදටත් මතකය.ඒත් රෝස මලක් මෙන් උපන්නත් රණ්ඩු කෙක්කක් වූ නගාත්,පැටි වියේ බබා මෙන් හිට උන් හිටි ගමන් අයියා පාට් දමන්නට වූ මලයාත් නිසා කුඩා කාලයේදීම මට ඒ වරම අහිමි විය.අක්කා ලෙස උන් දෙන්නා බලා කියා ගැනීමේ වගකීම මගේ කර මත පැටවුණේ එක දෙක වසරේ උන් කාලයේදීම ය.

මහගෙදර නොහොත් සීයලාගේ ගෙදර උන් කාලය මගේ ජීවිතයේ ලස්සනම කාලය බැව් මා මීට පෙර පෝස්ටුවකින්ද කියූ වග මතකය.ඒ කාලයේ අර මාර පුත්‍රයන් දෙදෙනා උන්නේද නැත.මගේ සහයට ඩැනියල් වී හිටියේ එහා ගෙදර වාසීන් වූ රංගයියා සහ රනිල් අයියාය.මගේ සම වයසේම වුවත් රනිල් "අයියා " වීමට වැඩි කැමැත්තක් දැක්වූයෙන් මට වැඩි වැඩක් නොවීය.සෙල්ලම් ගෙයක් දැම්මත් වතුර ගෙන ඒම ඇතුළු කුදු මහත් කටයුතු සියල්ල ඉටු කළේ රනිල් අයියාය.මල් කඩා දුන්නේ,කොට්ටම්බා තැලුවේ,පිනිජම්බු ඇහිලුවේ ඒ දෙදෙනාය.මට තිබුනේ ජනෙල් ආරුක්කුවට වී කකුල් පද්ද පද්දා ඉන්නට ය.මගේ කෙළි ගති අඩු වී කොලුකම් ඉස්මතු වෙන්නට ගත්තේ උන් දෙන්නා නිසා විය යුතු බව අද මට සිතෙන්නේ ඒ නිසා ය.

හැම අළුත් අවුරුද්දකම සීයාට මසන සූට් එකෙන් කුඩා එකක් මා වෙනුවෙන් මසා දීම දන්නා කාලයේ සිටම සිදු වූවකි.අවුරුදු නැ ගමන් වලදී මා සියාගේ කුඩා අනුරුවක් වීම ගැන ආඩම්බරයෙන් පිපිරෙන්නට ආසන්නව සිටියේ මා පමණක් නොවිය යුතුය.සීයාද ඉන් අපමණ සතුටක් හා සුරතලයක් විඳින්නට ඇතැ
යි මට අද සිතේ.

දෙක තුන
වසර වලදී මා ගුරුවරුන්ගේ විශේෂ අවදානයට යොමුවූ ටියුබ්ලයිට් මෙන් දීප්තිමත් සිස්යාවක් වූ බව සිහි කරන්නේ හද පිරි සතුටකිනි. ;) ඒ වාසනාවේ මහිමයට පන්තියේ සිටි ඇම්බැට්ටම කොල්ලන් මා ළඟට ගණන් අසා ගැනීමට,අකුරු රවුමට ලිවීම පුරුදු කරන්නට , බය කරන්නට දැමීම ගුරුතුමියන්ගේ පුරුද්දක් විය.ඇම්බැට්ට කොල්ලන් මට්ටු කරන්නට නම් මගේ ඉතිරි වී තිබූ කෙළි ගති වලින් වැඩි හරියක්ම කපා දැමිය යුතු බව මා අවබෝධ කර ගත්තේ ඒ කාලයේදීම ය.අන්තිමට සිස්සත්තේ පාස් වන විට ඉතිරිව තිබුණේ ඉතා සුළුතර කෙළි ගති කිහිපයක් පමණි.

උදා:ඉස්කෝලෙට ගවුම් ඇඳීම,තෙල් ගා කොන්ඩය පීරීම,කොල්ලෙක්ට පැන්සලෙන් අනින්නට යන විට දෙපාරක් විතරක් හිතීම

අපේ ගේ ළඟම ඇනෙක්සියක පදිංචිව සිටි සුරංගයා ඒ කාලයේ සිටම මට ඇල්ලුවේ නැති කාරණාවක් තිබුණි.ඒ මම කළුවරට බය බවත් ,හයියෙන් කැ ගසාගෙන ඇඟට පැන්න විට මම බය වී කැ ගසන බවත් උන්දා දැන සිටි නිසා ය.එකමත් එක දවසක අපේ දොර් උලුවස්සේ එල්ලි සිට ඇඟට පැන්න දවසේ මම සුරංගව පන්නා ගෙන ගොස් අතට අසු වුණ පොල් කෝම්බයකින් දමා ගැසුවේ ඔළුව පලන්නට නොවුණත් ඒක වෙන්නට නියමව තිබුණේ එහෙම ය.
සුරංගගේ අම්මා තකහනියේ විත් අම්මාට ගතු කීවේ මා නම් ළමාගති ගැවිලාවත් නැති යක්ස කෙල්ලක බව කියමිනි.අම්මා මට කිසිවක් නොකීවත් එදා නම් මට ඇත්තටම බය හිතුණේ සුරංගයා මැරෙයිම කියා හිතුණ නිසා ය.අදත් සුරංග පාරක තොටක මුණ ගැසුණු විට මට උන්දාගේ මූණට පෙර නලලේ කැළල දැක බකස් ගා හිනා යන්නේ ඇයිද මන්දා ය.;)

බාලිකාවකට ගියත් මගේ ඒ ගති එහෙම්මම විය.හත අට පන්තිවලදී අහම්බෙන් නිවාසාන්තර නාට්ටියකට සහභාගී වීමෙන් පටන් ගත් ගමන සමස්ත ලංකා ,අන්තර් පාසල් මට්ටමට ගියත් ඒ කිසිම දවසක මට ගැහැණු චරිතයක් රඟ පැමේ අවස්ථාවක් උදා නොවීම වාසනාවක්ද අවාසනාවක්දැයි කීමට නොදනිමි.එක එක සංගම් දහ පහළවක සිට කොළඹ පහේ
සිට දාහතර දක්වා ඉස්කෝලවල කොල්ලන් සමඟ හැප්පෙද්දී,වාද කරද්දී,කවදාවත් සැක සාන්කාවක්,බයක් ඇති නොවුනේ ඒ පරිචය නිසා විය යුතු ය.

උසස්පෙළ ආරම්භ කළ කාලයේ දෙයියාගේ හවස පන්ති යාම ඇරඹීම නිසා ගමන් සගයෙක්ගේ වුවමනාව තදබල විය.අම්මාටත් අප්පච්චීටත් මගේ නැට්ටමෙන් එලවන්නට කාලයක් නොවූ බව දැන වුන් මට අලයාගේ සමාගමය අති මහත් සහනයක් විය.පැල් බැඳගෙන පෙම් කරන්නට කෙල්ලක් උන් නිසා ඒ අතින්ද කරදරයක් වූයේ නැත.යන එන මග තොට සැබැ සහෝදර සමාගමයෙන් මා පරිස්සම් කල අලයා සිහි වන විට අදටත් නෙතට පහදා ගත නොහැකි කඳුළක් මතු වන්නේ නිරායාසයෙනි.මේ ජීවිත කාලය තුල මට හමු වූ සැබැ මිතුරන් කිහිප දෙනා අතර උන්දා ඉහලින්ම ඉන්නා බව අදත් සිහි කරන්නේ දැඩි ලෙංගතුකමකිනි.(හා,,,,හා..... බැහැපන්!මුරුංගා අතු හයිය නැත.)

ඊට අමතරව මා වටා උන් සගයන්ගෙන් වැඩි පිරිසක් කොල්ලන් වුවත් ප්‍රේමයක් පටන්ගන්නට යෝධයා හමු වනතෙක්ම ඉන්නට සිදු වූයේ ඒ මගේ ඉරණමේ ලියවී තිබූ හැටියට වෙතැයි විස්වාස කරමි.යෝධයා පවා පෙම්බරා නොවී මිතුරු වෙසින්ම උන්නා නම් මීට වඩා හොඳ විය හැකි බව නොකිව හැක්කේ කාටද?

කතාව එහෙමය.අදටත් මගේ මිතුරන්ගෙන් වැඩි පිරිස කොළුවන් වීමේ රහස ඕකය.
ඒ ඇර වෙන නැහැදුණු කමක් නොවේය.මේ ඔක්කෝම කීවේ පම්පෝරියකට එහෙම නොවේය.දුකට ය.බලන කියවන අයට මොනවා හිතෙනවාද දන්නේද නැත.අම්මා අප්පා හොඳින් තේරුම් ගත් ඒ සත්‍යය වෙනත් අය වරදවා වටහා ගත් එකට දුකය!
අප්‍රමාණ දුක ය.
අම්බානක දුක ය!

Sunday, January 1, 2012