Monday, December 12, 2011

හැඟුම්බර නොවී සිටිය නොහැකි තත්පරය!


අම්මා මට කවදත් පක්සපාතීය.ගෙදර දොරේ දැතේ හුරුව ගැන හිතමින් දොස් මුරය දමන අම්මා කෙනෙකු හිටියානම් ජීවිතය මෙහෙම විඳිමින් "ආතල්" ගන්නට මට ලැබෙන්නේ නැත.කූඩු කිරිල්ලියක නොකොට ලෝකය දකින්නට මුල් පියවර තබන හැටි කියා දුන්නේ අම්මාය.අප්පච්චීටද මගේ නිවරැද්ද සහතික කරන සාක්ෂිකාරිය වූයේ ඇයයි.ඒ මොනවා වුණත් ලෝකයේ මට වැඩියෙන්ම රිද්දන්නට පුළුවන්ද අම්මාටය.වැඩිය ඕන නැත.දෙපාරක් රවලා බැලුවා නම් ඇති ය.ඇඬෙනවාය.දුක හිතෙනවාය.රටේ පුරුද්දට හිතට නාල්ලන දෙයක් කියූ විට එකට එක කියාගෙන යනවා මිසක මෙතුවක් අම්මාගේ හිත රිද්දන දෙයක් නොකර ඉන්නට උපරිම උත්සාහයක් ගැනීම සහ එය සැහෙන දුරට සාර්ථක වීම ගැන නම් මට අවංකවම ඇත්තේ අප්‍රමාණ තන්තෝසයක් ය.

අම්මාට කේන්ති යනවා වැඩිය.ඒත් "මල පනිනවා" කියන එක වෙන්නේ කලාතුරකින්ය.එහෙම එක වුණ දාට බලා ගන්න පුළුවන් ය.අප්පච්චීව සත පහකට මායිම් කිරිල්ලක් නැත.වචනය එහා මෙහා වෙන්නට බැරිය.අතේ ඇති පිඟන් කෝප්ප මගේ මූණට දමා එවනවාය.එදාට මම පූසා ය.අහිංසක ය.තත්වය නරක අතට හැරෙන්නේ අප්පච්චිගේ රතු කට්ට ඩින්ගිත්තක් එහා මෙහා වෙන්ට ගත්තාමය.ඊට පසු විස්තරය කියලා වැඩක් නැත.ගොඩක් අයට ඒ අත්දැකීම් ඇතිය.

දන්නා කාලයක මගේ ඉවුමක පිහුමක ,ඇඳුමක පැළඳුමක දොසක් අම්මා කියා නැති එක සතුටට කාරණාවක් ය.හේතුව අම්මා ඉවිලි පිහිලි ගැන වැඩි දැනුමක් හෝ උනන්දුවක් නැති එකය.ඒ අපේ අම්මා අනික් අම්මලාගෙන් වෙනස් වෙන එක ලොකු කාරණාවක් ය.අස් පස් කිරිල්ලට දක්වන සැලකිල්ලෙන් සීයෙන් එකක් අම්මා ඉවිල්ලට දක්වන්නේ නැත.ඒකටත් හේතුවක් ඇත.අම්මා බබෙක් වගේ හදා ගත් කිරි අම්මාය.කිරි අම්මා මිය යන තුරුම අපේ අම්මා කිරි අම්මාගේ "චූටි"ය.කසාද බැඳ ආ පළමු දවසේම කොත්තමල්ලි දමා පොල් සම්බෝල හදන වාසනාව උදා කර දී ඇත්තේ ඒ හුරතලයයි!;)

මට මතක කාලයක අම්මා ඉන්ද්‍රානිගේ ,ඇංජලීන්ගේ ගීත තාලයට ගයා සිනා සෙමින් සිටියාය.පුංචි පත්තර මාස අනුපිළිවෙලට අවුරුදු තුනක් එකතු කරන හැටි කියා දුන්නාය.පාට පාට ඩිමයි කොළ වලින් ඉස්කෝලේ යන්නටත් පෙර රූප අලවන හැටිත්,තාලයට ජයමංගල ගාථා කියන හැටිත් කියා දුන්නේ අම්මාය."රම්පොට තෙළඹුව මැණිකෙට......."කියමින් ඉන ගස්සා හැඩට නටන හැටි මුලින්ම දැක්කේ අම්මාගෙන් ම ය.දහම් පාසල් තරඟ හා රට වටේ ඇති එක එක තරඟ වලට මා එක්කාගෙන ගියාය.ඒත් කිසි දවසක පාඩම් කරද්දී "දැන් ඔය ඇති නිදා ගන්න" කියනවා මිසකකෝටු උල් කර පාඩම් කරන්නට බල කර නැත.


එහෙම විනෝදෙන් උන්නාට අම්මාගේ ජීවිතය රස සාගරයක් නොවේ ය.අම්මාගේ අම්මා එනම් මගේ නුදුටු අත්තම්මා මිය යන විට අම්මාගේ වයස යන්තම් මාස තුනක් පමණ ලු.!එතැන් පටන් අම්මා හදා වඩා ගෙන ඇත්තේ හිතවත් පවුලක යුවලක් වූ මගේ කිරි අම්මා සහ සීයා විසින් ලු.ඒත් කිරි අම්මා තමාව අනුන්ගේ දරුවෙකු ලෙස හැඟෙන්නට වචනයක් හෝ කිසි දිනෙක කියා නැති බව අම්මා අදත් සිහි කරන්නේ ඇඬූ කඳුළි
නි.

අම්මා ගැන මෙහෙම කියා ඉවර කරන්නට බැරි බව අමුතුවෙන් කියන්නට උවමනා නැත..සාම්ප්‍රදාය කර තබාගෙන පට්ට ගසනා නැන්දලා මාමලා මැද මා නිවරදි දේ කරති-යි යන උපරිම විස්වාසය මත අම්මා මා හැකි තාක් නිදහස්ව තැබුවා ය.ලෝකයම මා වැරදි වග කියද්දීත් හැම අම්මා කෙනෙක් මෙන්ම මා විස්වාස කළාය.ඒ විස්වාසයෙන්ම මා නිවරැද්දේ රඳවා තබා ගත්තාය.

සිසේරියන් සැත්කමකින් කුළුඳුල් දරුවා ලෙස මා උපන් විට අම්මා කම්පනයට පත්ව දින කිහිපයක් සිහි කල්පනාවෙන් තොරව සිටි බව මා අසා ඇත.පදය පදය ගැට ගසා කවි ලියන කාලයේ මම අම්මාගේ හැම උපන්දිනයකටම කවි ලියා දී ඇත.ඒත් මතක ඇති කාලයකින් මම අම්මා ගැන කිසිවක්ම ලියා නැත.මේ ලෝකයේ හැම අම්මා කෙනෙක් සේම ,සමහර විට ඒ හැම අම්මා කෙනෙක්ටම වඩා මගේ අම්ම දුක් විඳ ඇත.වැඩි හරියක් මා නිසා නොවූවත් ඇගේ සතුට වෙනුවෙන් මා මෙතෙක් කළ දේ අවමය.ඇය පතන තැනක හිඳ ඇය සතුටු කරවන තෙක් ඇයට සුව දීඝායු පැතිය යුතුය.! කිව යුත්තක් ඇත.තවමත් මේ ලෝකයේ මා වැඩියෙන්ම ආදරය කරන්නේ මගේ අම්මාට ය!ඇයට තරම් වෙන කිසිවකුට ආදරය කරන්නට නොහැකි වීම ගැන හිත රිදවා ගන්නා අයෙක් වේ නම්
මට සමා කරන්න...!

Sunday, December 4, 2011

සරදා උඹ නිදිද?


සරදාගෙ ඇස් කළුයි.බොරයි.ජීවිතේ පාට කරන්න පාට ගොඩක් එක සැරේට ඒ ඇස් වලින් දියකරලා.ඒකි තව ටිකක් මට වාරු වුණා.හෙමීට කියවන්න පටන් ගත්තා.

"කැම්පස් එන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕන කියලා මම කවදාවත් හිතලා තිබ්බේ නැහැ.මම කවදාවත් විබාග වලට අමුතුවෙන් මහන්සි වෙලත් නැහැ.

මුලම කාලේ මම කවි ලිව්වා.ඊට පස්සෙ කෙටිකතා.චිත්‍ර ඇඳිල්ල නම් කවදාවත් බැහැ.මගේ පලවෙනි නව කතාව ලිව්වෙ එකොලහ වසරෙදි.ඉස්කෝලෙ යාළුවෝ ඒක කියවලා හිනා වුණා.උන්ට ඕන වුණේ එව්ව නෙවෙයි

මුලින්ම කොල්ලෙක්ට ආදරේ හිතුනේ අට වසරෙදි.උගේ අම්මයි තාත්තයි නැහැ කිව්ව අපේ එකියක්.පස්සේ දැනගත්තා බොරුවක් කියලා.දැන් ඌ බැඳලා ,වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නවා දැක්කා කැම්පස් ආව මුල දවස් වල.....

ඊට පස්සෙ එකොළහවසරෙදි ...ඌ හැන්ඩියා.මනමාලයි.දඟයි.කෙල්ලො ඒ වයසට හොයන නැහැදිච්ච කම උපරිමයි.කවි ලියන්න පටන් ගත්තේ ඌ හින්දා..වැඩක් වුණේ නැහැ.ඌත් බැන්දා මම සෙකන්ඩ් ඉයර් ඉද්දි.ඒ දවස්වලම කොල්ලො දෙන්නෙක් මගෙන් ඇහුවා.උන් දෙන්නම බැන්දා ගිය අවුරුද්දේ....

මොන මගුලක්ද බන්.බඳින්නෙ නැතුව ඉන්න බැරිද?........
මට නම් බැරි වෙයි.මම අහලා තියෙනවා.එක පාරක් ඇවිළුණ
හිත ගත මුල් අවස්ථාවට ගන්න බැරි වෙනවලු........කවදාවත්

ඒ ලෙවල් ඉවර වෙනකල්ම මම අර කවි ලියන ප්‍රේමේ ගැනම හිත හිත හිටියා.
ඌ ප්‍රේම කරමින්ම හිටියා.

වෙන කාටද.....

වාසල එක්ක ආදරේ වගේ මගුලක් පටන් ගත්තත් මගේ හිත එක තැනක තිබ්බේ නැ.වාසල ළඟ තිබ්බේත් මම හොයපු
දේ නෙවෙයි.වෙන වෙන දේවල්.ඌට ඕන වුණා තනි වෙන්න.සේරටම කලින් තනි වෙන්න.අපි දෙන්නා විතරක්.කාගෙවත් හුළඟක්වත් නොවදින තැනක.මම තනි වුණා.හිර වුණා.උගේ ආත්මේ පතුලේ.මම ඌට ආදරේ කළා.ඒ තරමට වෛරත් කළා.ඌ මට ආදරේ කළා.ඒ තරමට විනාසත්......විලි ලැජ්ජාවත්...කවදාවත් නොවින්ද තරමට

කල්ප ආවා .මම ඌට ආදරේ කරන්න ඇති.කවුරුත්ම නොකරපු විදිහකට.ඌ මට නොසැහෙන්න උදව් කලා ගොඩ එන්න.මට ඕන වුණේ පලි ගන්න.වාසලගේ වාසල් බිඳින්න.මම ඒක කලා.වාසලත් එක්ක තිබ්බ අන්තිම බැඳීමත් බින්දා.රැයක්!...එක රැයක්!දෙකක්!
සිහින ගැන කියවමින් මම කල්ප එක්ක නිදි මැරුවා.ආත්මය මැරුවා.දැන් මං අනාත්මයි.මේ මගේ දෙවන උපතයි..මම නිදහස්...කල්ප එක්ක පවතින්න බැහැ.කල්ප විනාසෙට කලින් මං ගෙදර ආවා.


සිහින උසයි සුදුයි.මගෙම පුරුෂාත්මේ කියලා මට හිතුණ වාර අනන්තයි.

ප්‍රමාදය! විඳවිල්ල විතරෝමද ඉතුරු කරන්නේ හැම විටම?

නැහැ!
හොඳම උදාහරනේ සිහින.
සිහින ආවා.ළඟම හිටියා.දැවටෙමින් නෙවෙයි.ප්‍රතාපවත්ව.හිනා වුනෙත් ගානකට.මිහිරි හඬ.අනාඩම්බර බැල්ම.ආදරේ කියලා මෙතුවක් හිතාගෙන හිටියේ මොන පුස් වෙඩිල්ලක්ද?තත්පරයක් පාසා මම හිටියේ දැල්වෙමින්...











. . . . . . සරදා!
නිදිද?

ඉතුරු ටික පස්සේ කියපන්...!

Saturday, October 22, 2011

කට ඇති පුතාලා ද ? කට ඇති දුවාලා ද? ;) හා..හා... කට කට!!!!






මේ කතාන්දරේ ලියන්න ඕන කියලා හිතුනේ දුකා අයියගේ මේන්න මේ කතාව හින්දා.මම බ්ලොග් ලිවිල්ලට හේත්තු වෙන්න දුකා බ්ලොග් රාජයත් ලොකුම හේතුවක් වුණ නිසා දුකා අයියගේ බස් රේඩියෝ කතාවට සුබ පතන ගමන්ම මේ කතාවට එන්නම්කෝ.ආ...කකා කියවන අය දන්නවනේ "නේම් ඩ්‍රොපින්" කතාන්දර ගැන.පටන් ගන්න කලින් කියන්නේ මේකත් ටික වෙන්න ඒ වර්ගේ එකක්.පස්සෙ චරු චුරු බැහැ හරිය?...:)

කලිනුත් මහගෙදර විත්ති වල කියලා තියෙන හැටියට පවුලට එකතු වෙච්ච බාලයෝ දෙන්නට පින් සිද්ද වෙන්න වීතරාගීගෙ බාල කාලෙන් වැඩි කාලයක් ගෙවුණේ මහගෙදර නෙ.ඒ කිව්වේ වීතරාගීගේ පියාණන්ගේ දෙමාපියෝ වසන නිවාසේ.නිවාසේ සහ අක්කරයකට ආසන්න පලවැලින් බර වත්තකට වෙලා තනි මට කරන්න මොන තරම් දේවල් තිබ්බද කියලා මේ කතාන්දර බලපු අයට මතක ඇති.

ඔය කාලේ ලංකාවෙ වැඩිය ටීවී තිබ්බ කාලයක් නෙවෙයි.ඒත් ආච්චිලාගේ ගෙදර ටීවී එකක් සහ රේඩියෝ එකක් තිබීම වීතරාගී තමන්ගේ ගෙදර පස් පාගන්නවත් කැමැත්තක් නැති ළමයෙක් කළා කිව්වොත් වරදක් නැහැ.ඔය කාලේ වීතරාගී අකමැතිම කාරණාවකට තිබ්බෙ රැ අටට නිස්සබ්දව සීයා ළඟ වාඩි වෙළා ප්‍රවෘත්ති බලන්න එක අනිවාර්යවෙච්ච එකයි,නිදා ගන්න කලින් ආච්චි ලයිට් නිව්වොත් හුස්ම හිරවෙලා මැරෙයි කියලා තිබ්බ බයයි විතරයි. ;)

ඒ කාලෙ අර දුකා අයියා කිව්ව විදිහට දවල් දොළහට විතර ආච්චිගෙ කරවල බැදුමේ , අල කිරි හොද්දේ සුවඳ ගේ පුරා දෝරේ ගලමින් බඩ පණුවන් පිනුම් ගස්සන වෙලාවට තමයි "ඩින්ගො ඩින්ගි ඩින්....."මියුසික් එකත් එක්ක රම්‍යා වනිගසේකර නෝනා ප්‍රවෘත්ති කියන්න පටන් ගන්නේ.වීතරාගීට මතක කාලෙක ඉඳන් සාලෙ එලපු පොඩි කලාලෙක වාඩි වෙලා වීතරාගී බත් කන්න ගන්නේ ඒ රම්‍ය කටහඬ අහගෙන.ටික ටික ලොකු වෙලා අලුත් අලුත් නිවේදිකාවෝ කොච්චර ප්‍රවෘත්ති කියනවා දැක්කත් වීතරාගීගේ හිතට කාවැදිච්චම හඬ වුණේ රම්‍යා වනිගසේකර මහත්මියගේ හඬ.

ඔහොම කාලේ ගෙවිලා වීතරාගී සිස්සතේ එහෙම පාස් වෙලා බාලිකාවට යන්න ගත්තා.බාලිකාවේ ලොකු "සන්නිවේදන ඒකකය"ක් (Broadcasting Unit ) තිබ්බනෙ.උදේට ධම්ම පදය කියන,ප්‍රවෘත්ති කියන,පන්සිල් දෙන එව්ව ඔක්කොම කළේ අර හැම පන්තියකටම හයි කරලා තිබ්බ පෙට්ටියක් වගේ එකකින් නේ.ඒ කාලේ සන්නිවේදන ඒකකේ "නිවුස්" කියන අක්කලා මුළු ඉස්කෝලෙ ම ප්‍රසිද්ධයි.මිස්ලගෙනුත් විශේෂ සැලකිලි නැතුවාම නෙවෙයි.ඉතින් වීතරාගී ඉස්කෝලෙට ගිය කාලේ ඉඳන් "නිවුස් කියන අක්කෙක් " වෙන්න ඕනෙ කියන එක හිතේ වැඩ කලේ හරියට කවදා හරි"ඇමරිකන් අයිඩල් වෙනවා" වගේ ටිකක් ලොකු සයිස් එකේ ටාගට් එකක් හැටියට.


ඕන්න ඉතින් කාලේ ගෙවිලා ගෙවිලා වීතරාගීත් අක්කලාගෙ වයසට ඒ කිව්වෙ දොලහේ පන්තියට ආවා.ඔය සන්නිවේදන ඒකකේ වැඩත් ටිකක් අමුතුයි.හැම අවුරුද්දකම මුල වාරේ දවසක 12 වසරේ ඉන්න ළමයින්ට නිවේදනයක් දෙනවා ප්‍රවෘත්ති නිවේදිකාවන් වෙන්න බලාපොරොත්තු වෙන අය අහවල් ශිෂ්‍ය නායිකාවට නම් දෙන්න කියලා.ඊට පස්සේ දවසක හවසක මේ හැමෝටම ප්‍රධාන ශාලාවට එන්න කියලා ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා ඉදිරිපත් කරල පෙන්නන්න කියනවා.එතනින් ආරාධිත විනිශ්චය මණ්ඩලය තෝරන හොඳම දහදෙනා තමයි ඒ අවුරුද්දෙම පාසලේ ප්‍රවෘත්ති කීම සහ අනෙක් හැම උත්සවේකම වාගේ නිවේදන කටයුතු කරන්නේ.

ඕන්න අදාල හවස උදා වුණා.මෙන්න බොලේ12 වසරින් බාගයක්ම වාගේ එතන.එකසිය පනහක් දෙසීයක් විතර.ඔය වයසට ඉතින් ඔය වගේ දේවල් වලට ඇල්ම නැත්නම් ඒක ලෙඩක් වෙන්න ඕනනෙ. :P දැන් නම් වීතරාගීට ආපු මෝඩකම් කියලයි හිත.ආපහු යන්න හදනකොටම තමයි දැනගත්තේ නිවේදිකාවෝ තෝරන්න ඇවිත් තියෙන්නේ කවුද කියලා.ආයේ වෙන කවුද .......

අපේ රම්‍යා වනිගසේකර නෝනා මහත්මිය මිසක. :)

ඕන්න ඉතින් වීතරාගීත් තරඟෙට සහභාගී වුණා.වීතරාගීගෙ වීරවරියත් හොඳට හිනාවෙලා ලකුණු දානවා වීතරාගී බලාගෙන.එදා ගෙදර ගියේ ඒ හිනාව හිත පුරාම ඇඳගෙන.ඉස්කෝලෙට මොනතරම් ජනප්‍රිය චරිත ආව ගියත් ළදරු කාලේ ඉඳන් වීරවරියක් මෙහෙම මුණගැහීමේ අමුතුම එකක් තියෙනවනේ....

කතාව එච්චරයි.දවස් දෙක තුනකින් තෝරගත්ත නිවේදිකාවන්ගේ නම් දාල තිබුණා ප්‍රධාන දැන්වීම් පුවරුවේ. වීතරාගීගෙ නමත් උඩින්ම තිබ්බය කියන්නේ.. :))))))

ඒක වීතරාගීගේ ජීවිතේ වැඩී.......යෙන්ම සතුටු වුණ දවසක් කිව්වොත් බොරුවක් එහෙම නෙවෙයි ඕන්.... :)

ඒත් එක්කම ප්‍රවීණ නිවේදිකාවක් වගේම දක්ෂ චරිතාංග නිළියක් වන රම්‍යා වනිගසේකර මහත්මියට,මගේ නිවේදන ලෝකේ වීරවරියට දීර්ඝායුෂ ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. :)

Friday, October 21, 2011

X සහ ‍Y (වරද කාගෙද ?)


දැන් ඔයාට රස්සාවක් කරන්නම ඕනද?

ම්හ්!නැත්නම් මොකටද අනේ ඉගෙන ගන්නේ?
ඉගෙන ගන්නෙ දැනුවත් වෙන්න.රස්සාවල් කරන්නෙ හම්බ කරන්න.

හි හි! එතකොට හම්බ කරන්නෙ?

හම්බ කරන්නේ වියදම් කරන්න.උවමනා හැමදේටම මම වියදම් කරනවා නම් ඔයාට මොකටද රස්සා??????

හ්ම්ම්ම්!බලමුකො!

ආයෙ මොනා බලන්නද?
.......................................................................

දැන් ඔය ගමන යන්නම ඕනද?නොගියොත් විභාගෙ කරගන්නම බැරිද?


නොයා කරගන්න අමාරුයි.ෆීල්ඩ් විසිට් එක ගැන එම්. සී. කිව් පහක්වත් තියෙයි

ඒ පහට විභාගෙ ෆේල් වෙන එකක් නැ නෙ?


බලමුකො!
ආයෙ මොනා බලන්නද?

.......................................................................

එතකොට ඔයාට අද හවසට එන්නම බැහැ???

පුළුවන්! ඒත් හතරටම බැහැ! ලෙක්චර් එක ඉවර වෙලා පහ විතර වෙද්දි පුළුවන්!

පහට බම්බු ගහ ගන්නවා!

........................................................................................
ඔයා මට ආදරෙයිද?

හ්ම්ම්ම්!

........................................................................................
මට ආදරෙයිද?

..............

........................................................................................

ආදරෙයිද?

මෝඩ කතා අහන්න එපා!
!!!!!!!!!!

........................................................................................

Sunday, October 9, 2011

කතාවක් නැති කතාවක්!


බලාපොරොත්තුව කියන්නේ මොන තරම් දැවීමක්ද?විශේෂෙන් ප්‍රේමය පිළිබඳ වූ.රාත්‍රී මැදියමේ නිදි වරමින් ප්‍රේමය පිළිබඳ පශ්චාත්තාපය මුසු වේදනාවකින් පීඩා විඳින තුරුණු යුවතියකගේ ඒ දැවීම පිළිබඳ පසු සටහනක් හෝ වාර්තාමය ලේඛනයක් ඔබට නුවමනා වග මම දන්නවා.ඒත් නිති හද පෙලන යොවුන් දාහයකින් ඇය විඳින්නේ පීඩාවක වග ඔබට පමණක් නොතේරීම පුදුමයක්.මෙවන් සඳ එළිය පිරි රැයක , මිහිරි ලෙස ප්‍රේමය දැවටූ අඩ අඳුරේ ඔබ හා තනි වන්නට , කොපුල මත සීතල................

"මොන සමයමක්ද බන්....

උඹලගේ ඔය මල් පත්තරේට ඔය කුනුහරුප දාල මේ ඉන්න කාලකන්නින්ව තවත් මෝල් කරවනවට වඩා නරකද උන්ට පලක් ප්‍රයෝජනයක් ඇති විදිහට මැහුමක් ගෙතුමක් ගැන , කැඩිච්ච ෆෝන් එකක් හදන හැටි ගැන ආටිකල් දෙක තුනක් දාල යහපතක් කරන එක..

අනේ මන්දා උඹලත් හිරිකිත නැතුව මේ ලබ්බවල් ලියනවනේ......"


මිහිරංගයා මම ලියලිය හිටිය කොළේට එබිලා බෙරිහන් දෙන්න ගත්තා. නොදකින් !මූ එක්ක මෙලෝ මලදානයක් සැනසිල්ලේ කරගන්න බැරි හැටි....මම ඌට උත්තර දෙන එක පැත්තකට දාලා ඊයෙ බාගෙට ටයිප් කරමින් හිටිය තීසිස් එක ඉතුරුටික අතට ගත්තා...

"දැන් බලපන්...උඹලා වගේ යමක් කමක් ඉගෙන ගත්ත එකාලත් මේ බයිලා ලියලා උන්ගෙන් ගාන කඩා ගන්නවා...

ඊට පස්සේ රටේ ඉන්න මහ එකාල ටික උන්ව අන්දලා තව දේවල් කඩා වඩා ගන්නවා..

අන්තිමට කොහෙ හරි යන ගෝතයෙක් හරි,සක්කරවට්ටමක් හරි උඹල ලියන සුර දූතයෝ කියලා හිතාන බෙල්ලෙ එල්ලගෙන මහ එකාලා දෙන ලණුව දිගටම කමින් සුවසේ වාසෙ.."


මිහිරංගයා කියවිල්ලෙන්ම ඇඳෙන් වාඩි වුණා.

"දැන් බලපන්...
උඹට වයස කීයද?
.
.
.

විසි පහයි.

චමින්ද සිල්වට?

තිස් පහක් ඇති නේ වැඩිම වුණොත්..

උඹට හීනෙකින්වත් සම්පූරණ කරන්න පුලුවන්ද තව අවුරුදු 10කින් ඌ කරපු රාජ කාරි ටික..
යකෝ ___ම කීයක්ද?
සල්ලි ?
මොකද තොට වගේ ඩිග්‍රි තිබිලද ?
පෝස්ට් ග‍්රැජුවේට් මල දානවල්ද?.
.
.
.
උඹල නම් හරක් ....අම්බ හරක්!"

යකෝ මූට අහවල් ගායක් හැදිලද ?ආ වෙලේ ඉඳන් රුවිතෙටමයි කතාව...මං තවත් කී බෝඩ් එකටම එබුණා.

.
.
.
.
.
ඒ පාර මූ සද්ද නැ.අමුතුම පොටකට වගේ එන්න හදන්නේ....බලමුකෝ!මේ දවස්වල පස්ස කාර්යාලේ වැඩත් අවුල් නේ.යුනියන් එකෙත් කචල්..මූට ආයේ අමුතුවෙන් කචල් යන්න හේතු ඕන නැ.

"මචං දිගා
! සනූගෙන් බේරෙන්න බැ බන්...
හික්කා බීච් පාටි යමු කියලා.

ඒකිට කට්ට ගහ ගත්තෙත් කොච්චර අමාරුවෙන්ද කියලා උඹ දන්නවනෙ.

පස්සෙ ශේප්මන්ට් එකක් දාගන්නකල් පොඩි ශෙයාර් එකක් ගන්න පුළුවන් වෙයි නේද සනා?

මේක ගොඩ ගියොත් පරපුරම ගොඩ තමා ආය.
එක විතරයි අමාරුව...දෙක තුන වානා!

මිහිරංගයා එපා කරපු හිනාවක් දැම්මා.


උඹව අමතක කරන්නේ නැ,ඩෙෆා උඹට සෙට් කරලා දෙනවා යූ.කේ ඉන්න නංගි කැල්ලව...

ඒකිත් සිරා මචං.සුහ්!"

ඌ ළඟටම ඇවිත් කසඩම හිනාවක් දාගෙන මගෙ මූණට එබුණා.
මං අතේ තිබ්බ අන්තිම දෙදාහ ඌට දික් කළා.

"බලපන්!
අරූ අද හොස්පිටල් එකේ පණ අදිනවා.

එකතු වෙලා පව් රැස් කරපු එක වනිතාවක් ළඟ ඉන්නවා කියලද ?
.
.
මමත් ඔව්ව නොදන්නවා නෙවී බන්!
මොකක්ද ඕකට කියන්නේ..

ආ... "අද අද එයි මරු පින් කරගන්නේ.."

Tuesday, October 4, 2011

උඩරට මැණිකේ ... මට තුට්ටු දෙකක් දියෝ...!


හත් ඉලව්වේ.මේකෙයි තියෙන කතා රාසිය.හිනා වෙලා පණ ගියා ඕන්.ඉතිං ආයේ මොටෝ හිත හිත ඉන්නෙ.මටා..හ් හිතුනා දන්න කියන අඩු වැඩිය දාලා හොඳවැයින් එකක් ලියන්ට.

මේ සංසිද්ධිය වුණේ කෝච්චියක.කෝච්චියක් කිව්වට සුළු පටු එහෙම නෙවී.උඩරට මැණිකෙ කොළඹ දුවන වෙලාවක ඕං.නුවර ඉඳන්ම දෙවෙනි පන්තියෙන් ආසන වෙන්කරගත්ත ඒත් දෙවෙනි පන්තියේ තියා හතර වෙනි එකටවත් දමන්ට බැරි කසඩ කොළු පරාන ටිකක් හතර අතට කින්ඩි බෙද බෙද ඉඳියලු.පොල්ගහවෙල දිහාවෙන් නැගපි වයසක පහේ ආතෙක්.අනේ මුන්දලා අතර හිටිය ඉලන්දාරිකොම වගෙම මනුස්සකොමත් අඩුනැති පුත්තරයෙක් මේ උන්දාට තමන්ගෙ ආසනය පුදපි.උඩරට මැණිකෙත් හැටට හැටේ තම ගමනේ.

ඔහොම යනකොට යනකොට මීරිගම දිහාවෙන් හුරුබුහුටි කෙලි පැටික්කියක් දුම්‍රිය ඉස්තානේ ජනතාව මැද්දේ බැබලි ඉන්නවලු.අපේ කතා නායක් ගැටවුන්ටත් ඉවසුම් නැහැ ලු.ඉහල ගත්ත හුස්ම පහල හෙලා ගන්ට බැරුව බලාන ඉන්නවළු. ;)

ඕන්න ඉතින් (අ )වාසනාවක මහත කෙලි පැටික්කිත් අපේ අයියලා උන්න පෙට්ටියටම ඇවිත් එතනින්ම හිට ගනිපි.ඒ මදිවට දඩාරියං මල්ලකුත් එල්ලගෙන ,සාරියකුත් පටලෝගෙන.ලාඩන් පතුරු දෙකකුත් පතුලෙ අලවන්.කෝච්චිය පැද්දෙන පාරක් ගානේ කෙල්ලත් පැද්දෙනවා.

අනේ කෙල්ල පැද්දෙන පාරක් ගානෙ අපේ කොල්ලොත් නෙක නෙක කතා කියනවා.එකෙක් කෙල්ලගෙ වයස ගනන් හදනවා.තව එකෙක් කෙල්ලගෙ උස මනින්න හදනවා.තව උන් දුම්‍රියේ සාපේස්ස ප්‍රවේගෙ ...හප්පා.එක විකාරයයි.

ඔහොම ඉන්නකොට,ඉන්නකොට,අර එතන හිටපු ආතා රාගමින් බැහලා ගියා.කෙල්ලත් ආයෙ හිතිල්ලක් නැහැ දඩස්! ගාල වාඩි දැම්මා.දාර සයිz ජන්ගමයෙක් එළ්ළියට අරන් කොටනවා හිටු කියලා.

විනාඩි පහක් නොයන්න ඇති.එක පාරටම නාකි පහේ හමුදාවක් සද්ද නැතුව දුම්‍රිය මැදිරියට පැනපි.ටිකට් පරීස්සක මාත්තුරු.අප්පා ගාම්බීරෙ.සං සං ගාලා ටිකට් පරීස්සාව.අනේ අර කෙළි පැටික්කිගෙ මූණ කජු ලෙල්ලක් වුණා.පරීස්සක මහත්තයා කෙල්ලට මොනවද කියනවා.කෙල්ල දුම්‍රිය මාසික වාර ප්‍රවේසපත්තරයක් ඒ කිව්වේ මේ සීසන් එකක් සීරු මාරුවට දික් කරපි.මහත්තය තව සද්දෙට ගෝරනාඩුව.

විනාඩියක් ගියෙ නැහැ .කෙල්ල හැඹිලිය හූරලා හූරලා රුපියල් නවසිය හතලිහක් මහත්තයාගේ අතේ තියපි.බලන්න දුකේ බැ අප්ප.කෙල්ලගේ ඇස් දෙකෙන් දියලුමේ වාගේ කඳුළු වරුසාව.කොල්ලන්ට හිතා ගන්න බැහැ.මරදානට යනකන් නෙවී කෙල්ලගේ ඇඬිල්ල නැවතුනේ.ඉකිත් ගහනවා.කොල්ලොත් හුම් නැ.අන්තිමට බලද්දි කතන්දරේ මේකයි.කෙලි පැටික්කි තුන් වෙනි පන්තියෙ සීසන් කට්ටෙන් තමයි කලබලේට දෙවෙනි පන්තියෙ මැදිරියක වාඩි වෙලා ඇවිත් තියෙන්නේ.

කාට කියන්නද?ඔන්න නෝනලා මාත්තුරු
ල.දු.දෙ කෝච්චියෙ යනවා නම් නොවරදවා දාහේ පටියක් හැඹිලි‍යාස්සෙ හන්ගාගෙන ගියාට කවදාවත් පාඩුවක් වෙන එකක් නැහැ.

ප.ලි: හා දන්න කෙනෙක් කියමු බලන්න මං ටක්කෙටම ගාන නවසිය හතලිහයි කිව්වෙ කිව්වේ කෝමෙයි කියලා.. ;)

Tuesday, September 6, 2011

පේරාදෙණි සිහිනය







ආත්ම දෙක තුනකට මෙහායින් මා පේරාදෙණියේ සරසවි සිසු අත් දැකීම් ලබන්නට ඇතැයි යන්න යමක් තේරෙන දා සිටම මට දැනී නොදැනී ගිය හැඟීමකි.සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය නරඹද්දීත්,අමරදේවයන්ගේ "හන්තානේ කඳුමුදුන "ගීය අසද්දීත්,අටපට්ටමේ පේරාදෙණියේ කහ මල් යාය පෙන්වද්දීත්,මද්දල් හඬක් ඇසෙන විටත්,නන්දා හන්තාන අඩවිය ගයද්දීත් ,"හන්තානේ කතාව"නරඹද්දීත් ,මේ හැඟීම ඇති වී නැති වී ගොස් ඇත.

බලාපොරොත්තුව තරම් අගනා යමක් නොදන්නා කාලයකදී සරසවි පිවිසුම් අමුතුවෙන් අපේක්ෂා වඩවා ලබා ගත යුත්තක් නොව ,අන් කඩ ඉම් සේම අනායාසයෙන් මා සතු වන්නක් වෙතැයි අපේක්ෂා කලෙන් පේරාදෙණියේ දොරගුලු මට වැසී ගියේය.අගනුවර පරිසරයෙන් මිදෙන්නට දෛවය මට ඉඩ නුදුන්නා සේය.කැළණිය සරසවියේ වසර පහක ඒකාකාරී හා ආතතිබර අධ්‍යයන කාලයකින් පසු එතෙක් මෙතෙක් මා තුල වූ සියුම් හැඟීම් අතරින් ඉතිරි වී තිබුණේ අතලොස්සකි.ඉඳ හිට පදයක් දෙකක් ගලපා කවියක් කුරුටු ගැම හැරෙන්නට රසකාමී හැඟීම් පුබුදුවාලන කිසිවකට ඉඩ කඩක් නොවිනි.


ප්‍රේමය ,විවාහය මට යා නොදෙන්නක් වූයෙන් හා ඒ පිළිබඳ වූ උදාසීන බව සීමාව ඉක්මවා ගියෙන් මගේ නිදහසේ නිම් වලලු සොයනු පිණිස ප්‍රථම ප්‍රේමයාගෙන් වෙන වන්නට මට සිදු විය.මේ කිසිවක් නොදන්නා ඔබ අහිමි වූ පේරාදෙණි සිරියාව ගෙන හිස් ජීවිතයකට එබිකම් කලේ ඔය අතරේදීය.

තෙල් බැම්මේ වාඩි වී පැටලුමේ ගැට එක එකෙහි පීඩාවන් ඔබ හමුවේ තබා කඳුලින් කඳුල දුක දියකර හරිද්දීත් , බොලඳ ආලවට්ටම් කවටකමකින් ඒ ඇසින්ම කඳුළු පනිද්දීත් ඔබේ සිනා මුහුණ මට ගෙන ආවේ පේරාදෙණි සිරියාවමය.මහ හඬින් කැ ගසා "උත්තම වන් ලොව පතලා......"නාඩගම් ගීය ගයද්දීත් ,කැන්ටිමට රිංගා ප්ලේන්ටියක් සමග උණු වඩයක රස බලද්දීත් මා මීට පෙර සරසවියක සිටි එකියක වග මට අමතකම වී තිබිණි.ඔබ හන්තාන තරමට සිහිල් සිනාවෙන් පවන් සලද්දී , මුදු වදනින් හිත නලවද්දී මට කඳුළු ආයේ මර්වින් පෙරේරාගේ "මේ නගරය......." සිහි වූ නිසාවෙනි.

අදත් සඳ පායා ඇති ඇතැම් දිනකදීත්,වෙල් යාය පිස වැහි කුණාටුවක හීගතුව මේ කුඩා නිවස වටලන විටකදීත් , තෙල් බැම්ම මත දුටු ඔබේ සිනා මනා වත මට පේරාදෙණියේ කහ මල් යාය සේ මැවි මැවී පෙනේ.කඩුව වැදි රජු අත තබා පේරාදෙණි වලේදීම කුමරිය මනමේ රජුට පිටුපැ වග අසා ඇත්තෙමි.එල්ෆින්ස්ටන් රඟ හලේදී දැක ඇත්තෙමි.අදටත් මනමේ කුමරිය පිළිබඳ කහටක් මා සේම ඔබ තුලත් නොවන වග දන්න බැවිනි මේ පියාපතක් වන් සැහැල්ලුව හද බැඳලන්නේ......

නැවත කියමි.පේරාදෙණිය කිසිදා මට ළඟා වීමට නොහැකි වූ සහ නොහැකි වන ආත්මගත බැඳියාවක් වග මට අදටත් හැඟේ......

මංගලම්!


සරසවිය හරිම කලබලයි.කිරිල්ලිගෙ හිතත්.උදේම නෝක්කාඩු වුණ කුරුල්ල හින්දා එක හිතින් මොකුත්ම කරගන්න කිරිල්ලිට තාම බැරි වුණා.මුතු කුමාරයා ඈත එනවා දැක්ක කිරිල්ලි පොඩි තට්ටකින් ඇස් පිහගත්තා.

මුතු කුමාරගේ අතේ මොනවදෝ ගුලි වෙලා තිබ්බා.ගොළු හදවතේ දම්මි වගේ මුතු කුමාරයා ඇවිත් කිරිල්ලි ඉස්සරහා අත්ල දිගැරියා.

සිප්පි බෙල්ලෙක්.
රතුපාට වයිරම් වටේටම.
දිලිසෙන රේඛාවක් මැද්දෙන්.

ඇස් ලොකු කරගත්ත කිරිල්ලි ටික වෙලාවක් බලගෙන හිටියා.

"
මේ ඔයාට..."

මුතු කුමාරයා ඇස් දෙකෙන් කිව්වා.කේලම්කාර කුරුල්ලෙක් දේශන ශාලාවට පියාඹගෙන ආවා.එකපාරටම මොකුත්ම හිතාගන්න බැරි වුණ කිරිල්ලි සිප්පි බෙල්ලාව අතට ගුළිකරගත්තා.නන්දගෙ කතාවෙ වගේ සිප්පි බෙල්ලා නැවතුණේ කිරිල්ලිගෙ අල්මාරිය අස්සෙ. ඇයි කියන්න කිරිල්ලි අදටත් දන්නෙ නැහැ.

මුතු කුමාරයා හෙට මුතු රාජධානියේ ඔටුනු පළඳිනවා.කුරුලු ඇස් පස්සෙන් ගිහින් වැඩක් නැහැ කියලා හිත හදා ගත්තට පස්සෙ පැටලුණ මුතු ඇස් හිමි කුමාරිත් එක්ක..............

පාළු වෙරළෙ ඉන්න කොට කිරිල්ලිට හදිසියෙම මෙහෙම හිතුනාලු........


නීල දුර අහස සරණට
තටු ලබා උපන් කිරිලිය
නිම් නොවී නිලට පෙම් බැඳ
මං මුළා වුණී

සාගරේ රුදුරු රළ මැද
මුදු හදවතක් උරුමව
ප්‍රේම වැලි කැටෙන් කැවෙණා
නෙතක් දුටුවෙමී

දරා කඳුළ සෙනෙහෙන
මුතු පබළු විලස හිනැහෙන
දවස දැක දැකම අහසට
සිනා පෑවෙමී

සොඳුරු සුබ පැතුම් අතරට
පෙමින් ඇරඹි මුතු දමකට
ඉතින් මංමුළා කිරිලි ගී පද
එකතු කරවමී.....


සුබ මංගලම් වේවා එහෙනම්! :)


Saturday, September 3, 2011

නොකියමි...!


කොයි තරම් නම් කාලයක්
ඉන්න පුලුවන්ද?
රෝගී ප්‍රේමයක් එක්ක...
එක්කෝ මමත් රෝගීවෙලා
නැත්නම්?

කැමතියි මම
පහසුවෙන් ඉන්න
හුස්ම ගන්න
පහසුවෙන් ප්‍රේම කරන්න
සිප ගන්න සහ තවත් බොහෝ දේ....

ඔබ ළඟ සුවඳ තියෙනවා.ඒත් මල් නැහැ.වචන තියෙනවා .ඒත් කවි නැහැ.අපූරු මුහුණක්.ඒත් සිනා නැහැ.

මට මල් තියෙනවා .සුවඳ නැහැ,වියැකිලා බොහොම කල්.ඒත් සරසන්න පුළුවන් තවමත් ජීවිතයක්.එකක් ,දෙකක් ,තුනක්.මම එහෙම කරලා තියෙනවා.වැරදුනත් එහෙම කරන්න උත්සාහ කරලා තියෙනවා.අඩි දෙකයි දෙකේ පුංචි කුටියකට ප්‍රේමය පැය දෙකාමාරකට ගොණු කරන හැටි මම ප්‍රගුණ ක‍රලා තියෙනවා.

ඒ මායාවක් නෙවෙයි.විඳීමක්.ආත්මය පසාරු කරගෙන, හැඟීම් අවුළුවාගෙන.......ඔබව විඳිම තරම් සුන්දර යමක් මෙතෙක් හමු වී නැහැ.ඔබ කැමතිනම් ආතුර වෙන්න, සදාකාලිකවම වෙදදුරුකමකට සූදානම් මම.ඒත් වේදනාව දැන දැන කොහොම කියන්නද?නොපිලිගන්නා බවත් දැන දැනම...

කිසිදා වෙරළ - රළ හමුව නොදකින්නට
උයනත සුව විඳින්නට නොවිඳින්නට
මග තොටක සිනා නොවී නොසිටින්නට
උවමනා ලෙසටම හැකි වුණා සැබැයි!


ඒත්!අමතක කරන්නට බැහැ මට.කිසිම දවසක.ෆ්ලොරසන්ට් එළිය යටත් රුව ගුණ සුවඳ පිරි මල් පොකුරු පිටින් හිනැහුණු වග .ස්තුතියි ඔබට .
කිසිවක්ම නොදී නොසිටියාට :)
කිසිවක්ම නොදී නොසිටියාට......!

Wednesday, August 31, 2011

"ආනන්ද බවන් " නොයා ඉමු ද ?


කෑම බීම ගැන නම් කියන්න කොයි තරම් කතා තියෙනවද?පවුලක් එකතු කරන්න වගෙම කඩා බිඳ දාන්නත් කෑමකට පුලුවන් කිව්වොත් විස්වාස කරනවා නේද?ලෝකෙ මොනතරම් දියුණුයි කිව්වත් ,අධ්‍යාත්මික දියුණුව පෙරට වැඩියි කිව්වත්, රස තෘෂ්ණාවට මිනිස්සුගෙ නැඹුරුව ඉහලයි තවමත්.මැක්ඩොනල්ඩ් ,KFC වගේ පොඩි පහේ ;) ඉස්තාන වලට වගෙම තරු පහේ,හතේ බෝජනාගාර වලටත් එක සීරුවට ජන සමූහය ඇදෙන්නෙ කුස පුරවාගැනීමට පමණක්ම නොවන බව අපි දන්නවනෙ.මෙලෝ රහක් නැතුව කාලෙ ගතවෙන එකේ ළඟදි රහ බලපු මේ කෑම ගැන පොඩි පහේ සටහනක් ලියන්න හිතුනෙ ඒකයි. ;) සටහනක්ම නෙවෙයි.එහෙන් මෙහෙන් අහුලගත්ත ඕපදූප එකතුවක් වගෙ දෙයක්,. බලමුකෝ එහෙනම් .......


(1)ඉට්ලි

ඉට්ලි හදා ගන්න මෙව්වා තමයි වශ්‍ය ද්‍රව්‍ය:
සුදු හාල් ග්‍රෑම් 250
උළුඳු ඇට ග්‍රෑම් 150
ලුණු කුඩු මයිසූර් පරිප්පු ග්‍රෑම් 50

හදන්නෙ මෙහෙමයි.

මුලින්ම
හාල්, උළුඳු ඇට, පරිප්පු වෙන වෙනම පැය 8 ක්‌ පෙඟෙන්නට දමන්න ඕන. ඊට පස්සෙ වෙන වෙනම වතුර දන්නෙ නැතුව අඹරන්න ඕන. මේ වර්ග තුන එකට එකතු කරලා ලුණු දාල පැය 6 ක්‌ තියලා දුහුල් රෙදි කැබැල්ලකින් වත්කරලා (වන්ඩුවේ කඩ පිමි එහෙම බැඳලා). හුමාලයෙන් තම්බාගන්නවා.එච්චරයි :)

(2)පූරි

පූරි කියන්නෙ මං ළඟකදි කාපු අමතක නොවෙන තව කැමක්.අනිත් අයට කොහොම වේවිද දන්නෙ නැහැ.තෙල් ,බැදුම් රහට කැමති මට නම් ඒක මටම හදපු කැමක් වගෙ. ;)මෙන්න මෙහෙමයි පූරි හදනවා කියන්නෙ.
(3)චපාති


තිරිගු පිටි කෝප්ප 2
උණුවතුර කෝප්ප 1/2
බටර් හෝ එළගි තෙල් තේ හැදි 2


මුලින්ම භාජනයක් අරගෙන පිටි මෝලියක් හදාගන්න. ඒකට බටර් හෝ එලගිතෙල් දමා නැවත අනා මෝලිය හදාගන්න (විනාඩි 10 ක් හෝ 15 ).මේ මෝලිය බෝලයක් ආකාරයට හදාගෙන ඒ භාජනයේම පැයක් විතර රෙදි කැබැල්ලකින් වහලා තියන්න . ඊටපස්සෙ මෝලිය ආයෙත් විනාඩි 5ක් විතර මිශ්‍රකරලා කැබලිවලට කඩලා ඒවා කුඩා බෝල හැඩයට හදාගන්න. ඒ බෝල විෂ්කම්භය ගෙන තුනීකරගන්න. දැන් භාජනයකට තෙල් දාලා හොදින් රත්වුනාට පස්සෙ හදාගත්ත චපාතිය ඒකට දාලා පපඩම වගේ පිපුණට පස්සෙ තෙල් බදුනින් අයින් කරන්න.සමහරු නම් තෙලෙන් බදින්නෙ නැහ.කබලෙ දාලා අරන් දෙපැත්ත තෙත කපු රෙද්දකින් තෙපුල් දෙනවා.පහල වීඩියෝවෙ විදිහට.
සුදු නෝනලා චපාති හදන්නෙ නම් මෙහෙමයි. ;)

මේ කැමවල රහ තිතටම වදින්න නම් සාම්බාරුවක් ඕනෙමයි.දැන් නම් කඩේ හදාපු කල් තියාගන්න පුළුවන් පැකට් කරපු සාම්බාරු ජාතිත් තියෙනවාය කියන්නෙ. සාම්බාරුව සහ අපෙ පොල්සම්බෝලයට තරමක් සමාන දියාරු මිශ්‍රණයක් තමයි. සාමාන්යෙන් ඉට්ලි,පූරි සහ චපාති වගෙම තෝසා එක්කත් අපාට් කන්න ලැබෙන්නෙ.ඊට අමතරව,විශේෂ ඉන්දියානු අච්චාරු,මස් ,මාලු ව්‍යංජන වගෙම සීනි එක්කත් මෙව්වා ආහාරෙට ගන්න පුලුවන්.
ඕන්න ඔය සම්බෝලෙ නැත්නම් චට්නිය මෙහෙම හදා ගන්න පුලුවන් ලු.


ඕන දේවල්:
ගාගත් පොල් කෝප්ප 01
කඩල පරිප්පු තේ හැඳි 02
අමු මිරිස් කරල් 01
ඉඟුරු ස්වල්පයක්
ලුණු අවශ්‍ය පමණ

බැදුමට
රතු පරිප්පු තේ හැඳි 01
අබ තේ හැඳි 3/4
සූදුරු අවශ්‍ය පමණ
කරපිංචා
රතු(වියලි) මිරිස්
තෙල් ස්වල්පයක්

මුලින් කියපු සියළු ද්‍රව්‍ය වතුර ටිකක් එක්ක හොඳින් අඹරා ගන්න ඕන.ඊට පස්සෙ සාස්පානකට තෙල් ටික දාල අබ, ටිකක් බැදෙන්න දාන්න ඕන.ඊළඟට සූදුරු ,රතු පරිප්පු,. එකතු කරලා රන්වන් පාට වෙනකල් බැද ගන්න ඕන.කරපිංචයි,රතු මිරිසුයි(වියලි මිරිස්) එකතු කරන්නෙ අන්තිමට. පදමට ආවට පස්සෙ මේ ටික අර අඹරා ගත්ත මිශ්‍රණේට දාන්නයි තියෙන්නෙ :) ස්ස්ස්ස්ස්ස්ස්ස්..................................................
දැන් මේ ඔක්කොම කතන්දර කියලා සාම්බාරුව ගැන නොකියා කොහොමද.

ඒකට ඕනෙ දේවල් තමා මේ.
පරිප්පු කෝප්ප 02
එළවලු 250ග් ( මුරුංගා,වම්බටු,කොළ මිරිස් හෝ හිනි කොච්චි,වට්ටක්කා....)

උළුහාල් තේ හැඳි 1/4
රතු මිරිස් කරල් 03
අමු මිරිස් කරල් 03
තුනපහකුඩු තේ හැඳි 01
කරපිංචා ලුණු තේහැඳි 01
අබ තේ හැඳි 02
සියඹලා තේ හැඳි 1/4
සුදුසු තෙල් වර්ගයක් තේ හැඳි 04

එළවළු හොඳින් හෝදගෙන පරිප්පු සියඹලා ටිකක් සහ ලුණු එක්ක වතුර ටිකක් දාලා මද ගින්නේ තම්බා ගන්න. රත්වුන සාස්පානකට තෙල් ටිකක් දාල අබ,උළුහාල්,අමු මිරිස්,රතු මිරිස්,කරපිංචා,තුනපහ කුඩු,සියඹලා ඉතිරිය මද වේලාවක් බැද ගන්න ඕන. ඊට පස්සෙ මේ මිශ්‍රණය අර එළවලු මිශ්‍රනයට එකතු කරගන්නයි තියෙන්නෙ. :)



මෙව්වයෙ මීට වඩා රහ ගුණ දන්න ඇත්තො තව අනන්තවත් ඇති.ඒ විස්තරත් බෙදා ගන්න තරමටම රහ වැඩි වේවි ඕං. :)

Monday, July 25, 2011

නිරාශා


නිරාශා පිළිබඳ සිහිවන විට අදත් හිත පුරා පැතිරී යන්නේ නොසියුම් හිරියක්.අවසන් වසර ප්‍රායෝගික පුහුණුව අතරතුර සතියකට වරක් පැමිණ අප භාරයේ ප්‍රථිකාර ලබමින් සිටි ඇය පිළිබඳ මතකය අදටත් මා මෙන්ම කණ්ඩායමේ අනෙකුන් තුලද නිරන්තර සිහි කැඳවීම් නගනු ඇති වග නිසැකයි.උපතින් සාමාන්‍ය දැරියක් වූ ඇය වෛද්‍ය විද්‍යාවේ ම අත් වැරැද්දක් නිසා අප හමුවන විටත් මානසික ව්‍යාකූල තාවයකින් හා වයසට සරිලන කායික මානසික නොවැඩීමේ තත්වයකින් වසර 12ක් පමණ පීඩා විඳිමින් සිටියා.

කිසිවකු හා කතා බහ නොකරන,කිසිවකු හෝ කිසිවක් කෙරෙහි ප්‍රියතාවයක් නොදක්වන ,පෙර දැනුම්දීමකින් තොරව දැඩි ආවේගශීලීස්වභාවයකින් හැසිරෙන මේ යුවතිය වසර 12ක් තිස්සේ පවුලේ සියල්ලන්ට හා අසල්වාසීන්ට හිසරදයක්ම වූ බවක් පෙනෙන්නට තිබුණා.කෝප වූ විටෙක අසුවන අසුවන දේ පොළවේ දමා ගසන ඇය,විටෙක ශීතකරනයේ වූ සියල්ල බිමට ඇද දැමීමටත්,සරසවි සිසුවකු වූ බාල සොයුරාගේ පොත් පත් ඉරා දමන බවටත් පැමිණිල්ලක් ඇගේ මව මුල්වරට අප ඉදිරියේ තබා තිබුණා.පලමු හමුවේදී කතිකාචාර්‍ය වෛද්‍යවරයා ඉදිරි පිට අසුනේ වාඩිවීම පවා ඇය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා.අධික පවිත්‍රතාවය කෙරෙහි සැලකිලිමත් වූ ඇය ප්‍රතිකාරය දැඩි ලෙස ප්‍රතික්ශේප කලේ අප අපහසුවට පත් කරමින්.එහෙත් කාරුණික වෛද්‍යවරයා අපද විස්මයට පත්කරමින් වේගයෙන් ඇය ප්‍රථිකාරයට හුරු කිරීම අරඹා තිබුණා.

දෙවන දින ඇය දෙතුන් වරක අප්‍රසාදය පල කිරීමෙන් පසු ප්‍රතිකාරයට එළැඹී තිබුණා.මගේ හිතවත් වෛද්‍ය සිසුවියන් දෙදෙනා සමඟ මා කතිකාචාර්‍යවරයා සමඟ දිගින් දිගට සංවාද පවත්වමින් සිටියා.ඇයගේ රෝග තත්වයට පාරම්පරික සම්බන්දයක්ද පැවති බව අප හඳුනා ගත්තේ එහිදීයි.ඇගේ මිත්තනිය උත්සවයකට සහභාගී වීමේදී ආහාර ගැනීම පිණිස අවැසි හැඳි ගැරුප්පු නිවසින්ම රැගෙන යන බවත් දිනකට 25 වතාඅවකට ආසන්න වාර ගනනක් දෙ අත් දෙපා සෝදන බවත් නිරාශාගේ මව අප සමඟ පවසා සිටියා.තෙවන දිනයේ නිරාශා මගේ මිතුරිය සමඟ සිනා සී තිබුණා.

නිරාශා අපව පුදුමයට පත් කලේ සුළු මාත්‍රාවන්ගෙන් නොවේ.වරෙක ඉතා සියුම් මැහුම් ගෙතුම් රටාවන්ගෙන් ඇය විසින්ම හැඩ කළ ඇත් රුවක් අප වෛද්‍යවරයා වෙත තැගි කර තිබුණා.එය ඇය වැන්නියක විසින් සිදු කළ වගක් ඇගේ මව විසින් තහවුරු නොකරන්නට අප කිසිසේත්ම නොපිලිගන්නට තිබුණා.මගේ මියගිය මිත්තනියගේ මැහුම් රටා සහිත පොතක් ඇයට තැගි කරන්නට මගේ සිත බල කරන්නට ගත්තේ ඉන් පසුවයි.කථිකාචාර්යවරයාගේ අවසරය මත අප දිනක් එය ඇය අතට පත් කළ විට"ස්තූතියි..ඒත් මේක පරණයි"ඇය සිනා මුසුව එය ප්‍රතික්ෂේප කලේ අප සිනා ගන්වමින්.

ක්‍රමයෙන් නිරාශා කතිකාචාර්‍යවරයාට දුරකතනයෙන් අමතා ප්‍රතිකාර සහ අනෙකුත් ඕපා දූප දෙඩවීමෙන් සිනාසීමට කරුණු සොයනා සාමන්‍ය යුවතියක බවට පත් වෙමින් සිටියේ අප පුදුමයට පත් කරවමින්.විටක ඇය "චූටි ඩොක්ටර්ලා"මතක් කිරීමටද අමතක කර තිබුණේ නැහැ. තරුණ විය පසු කරමින් සිටි ඔහු ඉන් මද අපහසුවකට පත්ව සිටින බවත් ඔහුගේ විස්වාසවන්ත ගෝලයන් වන අපට ඔහු යාන්තමින් හඟවා තිබුණේ එය ඇගේ රෝගයේ නවතම මුහුණුවරක් ලෙස හඳුන්වා දෙමින්.

ඇගේ මව ඉතා ප්‍රීතිදායක් බවක් පෙන්වමින් සිටියා.රැලි වැටුණු ඇගේ දෙනෙත් අග වෙනදා නොවූ සිනා දිලිසෙමින් තිබුණා.හෙට යැයි කියන දිනයක නිරාශා ප්‍රතිකාරයට පැමිණීමට නියමිතව තිබියදී'යි ඒ තටු ලැබූ ආරංචිය අප සොයා පැමිණියේ....

ආහාර ආසාත්මිකතවයක් නිසා ඇතිවූ වමනයට ප්‍රතිකාර ලැබීමට රෝහල්ගතව සිටියදී නිරාශා අධික විජලනයවීමකට ලක්ව ජීවිතයෙන් සමුගෙන තිබුණා....

අවසන් වසර පරීක්ෂණයට සූදානම් වෙමින් සිටි අප දැඩි කම්පනයට පත් කරන්නට ඇය සමත්වී සිටියා.කථිකාචාර්යවරයා පවුලේ හිතවතෙක් ලෙස ඇගේ මරණයේ සියළු කටයුතු වලට හැකි ලෙස සම්බන්ද වී සිටියා.අප ඇගේ නිවසට යන විටත් අසල්වාසීන් සමඟ ඇගේ වූ නෝක්කාඩුව නිසා අප හැරෙන්නට එහි රැඳී සිටියේ ඇගේ සොයුරාගේ සරසවි මිතුරන් කිහිප දෙනෙක් පමණයි."සුදූ මේ... චූටි ඩොක්ටර්ලා..."ඇගේ මව අප ආපසු එන විටත් ඉකි ගසමින් සිටියා.

නිරාශා!අදට ත් ඔබ කිසිදු ලෙසකින් සුව නොවන,දරුණු වණයක් වැනි යමක් මා හදවතේ පාර පාරා ,රෝහල් කොරිඩෝවේ ඔබ සිනාසෙමින් සිටින දසුන මා හිරි වැටීමට පත් කරනවා.ඔබට නිවන් සුව !