Sunday, December 4, 2011

සරදා උඹ නිදිද?


සරදාගෙ ඇස් කළුයි.බොරයි.ජීවිතේ පාට කරන්න පාට ගොඩක් එක සැරේට ඒ ඇස් වලින් දියකරලා.ඒකි තව ටිකක් මට වාරු වුණා.හෙමීට කියවන්න පටන් ගත්තා.

"කැම්පස් එන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕන කියලා මම කවදාවත් හිතලා තිබ්බේ නැහැ.මම කවදාවත් විබාග වලට අමුතුවෙන් මහන්සි වෙලත් නැහැ.

මුලම කාලේ මම කවි ලිව්වා.ඊට පස්සෙ කෙටිකතා.චිත්‍ර ඇඳිල්ල නම් කවදාවත් බැහැ.මගේ පලවෙනි නව කතාව ලිව්වෙ එකොලහ වසරෙදි.ඉස්කෝලෙ යාළුවෝ ඒක කියවලා හිනා වුණා.උන්ට ඕන වුණේ එව්ව නෙවෙයි

මුලින්ම කොල්ලෙක්ට ආදරේ හිතුනේ අට වසරෙදි.උගේ අම්මයි තාත්තයි නැහැ කිව්ව අපේ එකියක්.පස්සේ දැනගත්තා බොරුවක් කියලා.දැන් ඌ බැඳලා ,වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නවා දැක්කා කැම්පස් ආව මුල දවස් වල.....

ඊට පස්සෙ එකොළහවසරෙදි ...ඌ හැන්ඩියා.මනමාලයි.දඟයි.කෙල්ලො ඒ වයසට හොයන නැහැදිච්ච කම උපරිමයි.කවි ලියන්න පටන් ගත්තේ ඌ හින්දා..වැඩක් වුණේ නැහැ.ඌත් බැන්දා මම සෙකන්ඩ් ඉයර් ඉද්දි.ඒ දවස්වලම කොල්ලො දෙන්නෙක් මගෙන් ඇහුවා.උන් දෙන්නම බැන්දා ගිය අවුරුද්දේ....

මොන මගුලක්ද බන්.බඳින්නෙ නැතුව ඉන්න බැරිද?........
මට නම් බැරි වෙයි.මම අහලා තියෙනවා.එක පාරක් ඇවිළුණ
හිත ගත මුල් අවස්ථාවට ගන්න බැරි වෙනවලු........කවදාවත්

ඒ ලෙවල් ඉවර වෙනකල්ම මම අර කවි ලියන ප්‍රේමේ ගැනම හිත හිත හිටියා.
ඌ ප්‍රේම කරමින්ම හිටියා.

වෙන කාටද.....

වාසල එක්ක ආදරේ වගේ මගුලක් පටන් ගත්තත් මගේ හිත එක තැනක තිබ්බේ නැ.වාසල ළඟ තිබ්බේත් මම හොයපු
දේ නෙවෙයි.වෙන වෙන දේවල්.ඌට ඕන වුණා තනි වෙන්න.සේරටම කලින් තනි වෙන්න.අපි දෙන්නා විතරක්.කාගෙවත් හුළඟක්වත් නොවදින තැනක.මම තනි වුණා.හිර වුණා.උගේ ආත්මේ පතුලේ.මම ඌට ආදරේ කළා.ඒ තරමට වෛරත් කළා.ඌ මට ආදරේ කළා.ඒ තරමට විනාසත්......විලි ලැජ්ජාවත්...කවදාවත් නොවින්ද තරමට

කල්ප ආවා .මම ඌට ආදරේ කරන්න ඇති.කවුරුත්ම නොකරපු විදිහකට.ඌ මට නොසැහෙන්න උදව් කලා ගොඩ එන්න.මට ඕන වුණේ පලි ගන්න.වාසලගේ වාසල් බිඳින්න.මම ඒක කලා.වාසලත් එක්ක තිබ්බ අන්තිම බැඳීමත් බින්දා.රැයක්!...එක රැයක්!දෙකක්!
සිහින ගැන කියවමින් මම කල්ප එක්ක නිදි මැරුවා.ආත්මය මැරුවා.දැන් මං අනාත්මයි.මේ මගේ දෙවන උපතයි..මම නිදහස්...කල්ප එක්ක පවතින්න බැහැ.කල්ප විනාසෙට කලින් මං ගෙදර ආවා.


සිහින උසයි සුදුයි.මගෙම පුරුෂාත්මේ කියලා මට හිතුණ වාර අනන්තයි.

ප්‍රමාදය! විඳවිල්ල විතරෝමද ඉතුරු කරන්නේ හැම විටම?

නැහැ!
හොඳම උදාහරනේ සිහින.
සිහින ආවා.ළඟම හිටියා.දැවටෙමින් නෙවෙයි.ප්‍රතාපවත්ව.හිනා වුනෙත් ගානකට.මිහිරි හඬ.අනාඩම්බර බැල්ම.ආදරේ කියලා මෙතුවක් හිතාගෙන හිටියේ මොන පුස් වෙඩිල්ලක්ද?තත්පරයක් පාසා මම හිටියේ දැල්වෙමින්...











. . . . . . සරදා!
නිදිද?

ඉතුරු ටික පස්සේ කියපන්...!

10 comments:

  1. කතාව කියවගෙන එන කොට සරදාට නින්ද ගිහින් ද ? එහෙනම් වීතරාඟිට වගේම අපටත් සරදා ඇහැරෙනකන් ඉන්න වෙනවා.

    ReplyDelete
  2. "සිහින ආවා.ළඟම හිටියා.දැවටෙමින් නෙවෙයි.ප්‍රතාපවත්ව.හිනා වුනෙත් ගානකට"
    ". . . . . . සරදා! උඹ නිදිද?"
    දැන්වත් නැගිටපන්.
    මැණික්

    ReplyDelete
  3. යකුනේ,හරියට පස්වෙනි මණ්ඩලේ ෆිල්ම් එකක් වගේ.මොකද්ද පුංචි ප්‍රේම කතාවක් මහා බැරෑරුම් විදියට,පාටකයාට මෙලෝ හසරක් තේරුනේ නැති උනත් තේරුණා වගේ ඉන්න ලස්සන නිර්මාණයක්.එලම එල.

    ReplyDelete
  4. සුනේත්‍රාගේ හෙවනැල්ල පේනවා...

    ReplyDelete
  5. හ්ම්ම්ම්...........

    ReplyDelete
  6. ගොඩක් ගැඹුරු අදහස් ප්‍රකාශනයක්. හැබැයි ඒ අදහස් ලස්සනයි..........

    සාරදා ඉක්මණ ට ඇහැරින්න. ජීවිත ගමනේ ඉතුරු ටිකත් කියනකම් අපි බලාගෙන ඉන්නවා......... :)))

    ReplyDelete
  7. ඇහැරෙන්න එපා..නිදාගෙනම ඉන්න..මොකද නිදාගෙන ඉන්නකං විතරයි හීන පේන්නේ..ඇහැරුන ගමන් ඇත්ත පේන්න ගන්නවා..ඊටපස්සේ ඇත්තට මූන දෙන්න වෙනවා..

    ReplyDelete