Saturday, May 31, 2014

වජිරපාණී 2

       
             
                  කොහොමත් ඔය හුරතල් කිරිලි, නැලවිළි වාගෙ දේවල් මගේ ජීවිතේ තිබ්බෙ බොහොම අඩුවෙන්. බාලයාය කියලා මල්ලිටත් , වැඩුමලීය දක්සයාය කියලා අක්කටත් බෙදිලා ගිහාම මට ඉතුරු උණේ සොච්චමයි. එච්චරකට ඉගෙන ගන්නත් බැරි එකේ, මටය කියලා තේරෙන වයසක ඉඳන් අගේ කරන්න කියලා දෙයක් තිබ්බෙ ලස්සන විතරයි කියලා මම තේරුම් ගත්තද එහෙම නැත්නම් මං ගැන මම වත් අගේ කරන්න පාරක් හොයමින් ඉද්දි මට ඒක හම්බ වුණාද කියන්න මම දන්නේ නෑ.
   
          අපේ අක්ක ලස්සනත් නැ එහෙමට.අක්කයි මායි එකට තිබ්බම අක්ක නගෝ කියලා අඳුනගන්න පුළුවන්කම තිබ්බට මාව කොතනත් කැපිලාපෙනුණා රූපෙ හින්දා. අක්කට ඒක ගැන තරහක් ඉරිසියාවක් තිබ්බද කියන්න මම දැනගෙන උන්නේ නෑ. ඒත් එක පුන් සඳින් දුරු වෙයි ගනඳුරු කිව්වා වාගෙ පරම්පරා හතකට හරියන්න දස්සකං රාසියක් අපේ අක්කට පිහිටියෙ කොහොමද කියලා හිතන්නවත් බැරි තරමට මගෙ හිතේ කේන්තියක් වාගෙ දෙයක් පිරිලා තිබ්බෙ ඉරිසියාවට වෙන්න ඇති කියලා අද හිතද්දි මට දැනෙනවා.

         කවියට ගියත්, කතාවට ගියත්, නැටුමට ගියත්, ඉගෙනිල්ලට ගියත් හැම තැනම අක්කා පළවෙනි. එයා ඉසිස්සරෝම ප්‍රේමවන්තයෙක් හොයා ගනිද්දි වයස හරියටම දහ අටයි. මට ඒක එච්චරම මතක "මම නම් ආදරේ කරන්නෙ අවුරුදු දහ අට පිරුණට පස්සෙ" කියලා එයා ගෘහමූලිකයාණන් සහ මෑණියන් දෑ ඉදිරියේ එක දවසක් කරපු ප්‍රකාසේ මට හොඳට මතකෙ තිබ්බ හින්දා. තිබ්බ හොඳ නම ඔප් නංවා ගන්න චේතනාවෙන් එහෙම කිව්වා කියලා හිතුණට අනේ මෙයා දිහා බලන කොල්ලෝ කියලා මට අනිත් පැත්තට හිතුණා.

    එයාගෙ බොහොමයක් වැඩ වාගෙ ඒ ප්‍රේම ප්‍රකාශය සහ හතර වරිගයාට දැනුම් දීමත් හෙනම සාම්ප්‍රදායික වුණා. යාළු වෙන්න අඬගහන කොල්ලගෙ වග විස්තර ටික අම්මට කියලා තමයි එයා පළවෙනි හමුවට ගියාය කිව්වෙ. පහුවදාම කොලුවට කියලා තිබ්බා ගෙදර ඇවිත් අප්පච්චිගෙන් අවසර ගත්තොත් කැමැත්ත දෙනවා කියලා.

             විගඩං! මේවට කැමති වෙන මිනිහත් මෙයාටම හරියන දොන්ත පතාර් මොට්ට බතලයෙක් වෙන්න ඇති කියලා හිතුවට උන්දව දැක්ක වෙලාවෙ නම් මට අදහා ගන්න බැරි වුණා.

...................................................................................................................................................................
ප.ලි.

      ප්‍රලාපයකුත් නොවන, නොවන්නේද නොවන දිග කතාන්දරයක් ලිවීමේ ආසාව හිත කොනක පැහැවන්නේ කලක සිට ය. මේ වෑයම රජ වෙන්නට නොවේ කියා ත්‍රීවීලයක ලියා තිබූ වාක්ය දුටු දවසේ ඔන්න ඔහේ ලියා දමන්නෙමියි හිතා, දන්නා කියන හිත් ගත් කතාන්දර කීපයක් එක මල්ලක දමා අහඹු වීදුරු බෝලය ගන්නා විදියෙන් එක එක එළියට අදින්නට හිතාගත්තෙමි. කරදර වී කියවන්නට එන යන උන්දලා තවත් අපහසුවකට පත්වන්නේ නම් කමා කරත්වා!

Friday, May 30, 2014

වජිරපාණී 1

      

     මල්ලි ඉපදෙනකොට කළුම කළු  ලු. කෙට්ටුලු.ආච්චිගෙ නෑනා වෙන ආච්චි කෙනෙක් මල්ලිව වහලා තිබ්බ කූඩෙ ඇරලා ඇහුවලු අනේ මේ ළමයට පාණ්ඩුව වගේ නේද කන්නක්කෙ කියලා. මට ඔය කතා එච්චර මතක නැත්තෙ ඒ වෙද්දි මට අවුරුදු දෙකක්වත් නොවිච්ච හින්දා. ඒ වුණාට කෝටු අතපය තිබ්බ මල්ලිත් දොක්කගෙන අම්මා බැරි බැරි ගාතෙ ත්‍රීවිල් එකකින් ගෙදරට ගෙනාව හැටි චායාවක් වගේ මගේ හිතේ ඇඳිලා තියෙනවා.



           ආච්චිට කන්නක්කා කිව්වෙ ගම කන්නාදෙණිය හින්දා.ආච්චි දීග ඇවිත් තියෙන්නෙ ඇතෙකුත් එක්කලු.එච්චරකල් ආසාවට කර කර උන්න අට පාස් අයට ඒ කාලෙ දුන්න නර්ස් රස්සාවත් අත ඇරලා තියෙන්නෙ සීයගෙ අණඥාවට.ඉරිගේෂන් එකේ චීෆ් ක්ලාක්ගෙ නෝනා මොකටද රස්සාවට යන්නෙ. ගොඩින් අක්කර ගාණයි, මඩින් අක්කර ගාණයි නුවර පාර අයිනෙ කඩ කාමර හතරයි. හාල් පොල් ගෙදරම. මොන රස්සාද තව. එංගක්කා ඒ කිව්වේ සීයගෙ අම්මා කියලා තියෙන්නෙ එහෙමයි.
     

         වෙද මුලාදෑණියෙක් වෙච්ච අපෙ මුත්තා , ඒ කිව්වෙ ආච්චිගෙ සීයා කාලෙ තාලෙට වඩා ඉස්සරහින් හිතපු කෙනෙක් වෙන්න ඇති කියන එක මට හැමදාම හිතිච්ච දෙයක්. නැත්නම් අටේ පන්තිය වෙනකල් හරි ඉස්කෝලෙ යවලා, රස්සාවකටත් යවයි යැ පවුලෙ වැඩුමල් ලමිස්සිව.අනික ආච්චිගෙ සුකුරුත්තං වැඩවල, සීය එක්ක උණත් නොහොඳ නෝක්කාඩු වුණාම ගස්සන ඔරවන රටාවෙම අමුතු තාලයක් තිබ්බා. සමහර වෙලාවට මාවත් මුනින් හරෝපු වංගෙඩිය උඩ වාඩි කරවගෙන සීයට බනින්නෙ හිටිවන කවි හද හද. අනේ ඇත්තට එහෙම  කාලයක්.

Sunday, May 4, 2014

ගල්

                           ඉරිදා හවස කාලෙකට පස්සෙ ගෙදර හිටියා. දවාලට කද්දි හතරයි. නන්දා සාලෙට වෙලා "ඔබයි රම්‍ය සඳ කිරණ" කියද්දි සාෂයි, මනෝරම්‍යගෙ බබියි හුඟ කාලෙකට පස්සෙ සැටියට ඇවිත් නුගේගොඩ ටවුන් එක මැද්දෙ සිපාචාර කරන හැටි මතක් කරලා දුන්නා.

    මාස ගානක් තිස්සෙ මටම අමතක වෙලා හිටිය මං බයෙන් බයෙන් සැටිය පිටිපස්සෙන් මතු වුණා. මට මාව එළියට දාගන්න මෙච්චර කල් හොයගෙන යොදාගෙන උන්න මාධ්‍යය ගැන මට අලුතෙන්  ප්‍රශ්ණ කරන්න හිතුණා. "මේ මම මුලින් දැක්ක කෙනා නෙවෙයි වීතරාගි" කියලා ඉඳිකට්ට කිව්වෙ ඒ නිසා වෙන්න ඇති.

සමීපතමයො නොවුණත් දන්න කියන දෙන්නෙක්ගෙ දිවි නසාගැනීම්, ගෙදරින් දුරස් වීම, රස්සාවෙ වියළි බව, ඉඳිකට්ටාගෙ ස්ථාන මාරුව, තවමත් සෞම්‍යාලෝකය මිලදීගන්න බැරි වීම, ආදී එකී නොකී කාරණා සහ හඳුනා නොගත් ශේෂ කාරණ ලක්ෂ ගාණකට පස්සෙ මම ගල් වෙලා බව මට දැනෙනවා කියලා මම ඉඳිකට්ටට කිව්වා. මට එයාව පේන්නෙත් වටදාගේක කලුගල් කණුවක් වගේ.උස මහත විතරයි.වල් ඉස්ට්‍රෝබෙරි මලක් වගේ ග්‍රේගරි වැවේ බංකුවක් උඩ වාඩිවෙලා හිනාවුණේ මේ ඉඳිකට්ටමද කියලා මම ආයෙම සැරයක් හැරිලා බැලුවා.

  මහා පිපිරුමෙන් පස්සෙ ගෙදර ආයෙමත් සන්සුන් වෙලා. මල්ලිට දුවෙක්.නංගිට ලැප්ටොප් එකක්. කෙල්ල නලවනවා ඇරෙන්න අපිට වෙන වැඩක් නැති තරම්. විසිහතර විසිපහ වයසෙදි හිතට ඇවිත්  මැකිලා ගිය මවුවත්කමේ ශේෂ ලකුණු ආයෙත් අතු ඉති දාගෙන එනවා.

මිත්‍රවරුණි! 
මේ ඔක්කොමත් එක්ක වීතරාගීට ආයෙත් පණ ඇවිත්.... :)