Wednesday, January 6, 2016

"රිබන් පටිය"

    කට වචනෙට එනවැයි කිව්වට මම නම් කීයටවත් හිතුවෙ නැ "රිබන් පටිය" එයි කියලා.ඒත් ආවා. ආවම නෙවියි.එන්න සිද්ද වෙලා,හදිසියෙ අසනීපවෙලා තිබුණෙ ලෝකෙ ලොකුම ලොකු නිවාඩු දවසෙ.රටේ එකම එක ඉස්පිරිතාලෙක විතරක් බෙහෙත් කරන දවසක්.මම හිටියෙත් එහෙ.තිබුණෙ නාඩි බලලා ,මූණ බලලා ලෙඩේ හොයාගෙන බෙහෙත් දෙන්න.මූණ නම් ඉතින් අමුතුවෙන් බලන්න දෙයක් නැ නෙ.අවිස්වාසයක් ඇති කරගන්න කාරණාවක් නැ.කළුවරේ හරියටම නොපෙනුනත් එදා ලප,කැලැළ් ,ආවාට වල සමීප රූපයක් පෙනී නොපෙනී තිබුණ නෙ මිනිත්තු පහක් විතර.එක දිග..........................ටම


මම එලි වෙනකල් ම නිදි මරලයි හිටියෙ."රිබන් පටිය"ට ගැලපෙන කුර්තාවක් තෝරන්න ගිහින්.දන්නෙම නැතිව එළි වුණ දවසක් ඒක.ඒ හින්දා නින්ද නොනින්ද අතර වුණ දේකට මගෙන් සහතික ඉල්ලනවා හෙම නෙවී ඕං.


      යන්නෙ කොහෙද ,ඇයි කියලා තීන්දු තීරණ ගන්න තරම් නිරවුල් නැති හිතක්,උණුවෙලා දිය වෙලා වාෂ්ප වෙන්න ඔන්න මෙන්න හිතක ඇලුනාම ආයෙ කවර කථාවක්ද?එහෙම නොඇලෙන්න අර දෙවෙනි "රිබන් පටි"මයෝකාඩියම හ‍ර්ද අකරණීයකට යන බව මම දැනගෙනමයි හිටියෙ. විගහට ,තෝරගෙන ආව කුර්තාව අන්දවලා ,මම ම ගොතපු මෆ්ලර් එක බෙල්ල වටේ එතුවා.වෙලාවෙ හැටියට දෙන්න පුළුවන් හොඳම ප්‍රථමාදාර දීලා උණු උණු කිරි හදලා පොවලා , බත් දෙකටක් කවලා හයිය හත්තිය අරන් දුන්නා.මමය කියල වෙන මොනවා නම් කරන්නද?


ඕන්න ආයෙමත් බෙහෙත් කරන දවස."රිබන් පටිය"කහ පාටට දිලිසි දිලිසි මා ඉස්සරහම.මම සුදු මැලිව සහ විස්මයාකූලව.හරිද මන්දා ඒ යෙදුම.ඒ කිව්වෙ පුදුමය මුසු නොසන්සුන් බව .පටු කොරිඩෝව දිගේ මම රිබන් පටිය ඉනේ හංගගෙන බේත් උයනටම ආවා.බේත් සුවඳට රිබන් පටිය කෙලින් වෙලා බිමට පැන්නා.දුවගෙන ගිහින් බුළු ගහට නැගලා ඔන්චිලි පදින්න ගත්තා.ඊට පස්සෙ මගෙ ඉන වටේ පැටලිලා කහ මල් වැටුණු කළු තාර පාර දිගේ උඩහට පහලට දුවන්න .මෙන්න ටිකකින් බලද්දි අර කවියෙ තිබ්බ ඇහැල ගහ යට හොඳටෝම නිදි.



"
වසන්ත සාදයට
බලෙන් ඇදගෙන ආ
පොඩි ඇහැල ගස් වලත්
ඉඟ ඉහ පුරා

මල්!
මල්!
මල්!"





මම හිමීට පුරුදු හාද්ද දීල කූද්දන්නත් හදලා ආයෙත් ඒ ගහ යටින්ම වාඩි වුණා."රිබන් පටියෙ"කෙට්ටු අතක් මගේ මූණෙ හැප්පුණා.


සාක්කුවෙන් බිමට වැටුණ කඩදාසි පෙත්තක මෙහෙම ලියවිලා තිබුණා.

බෙහෙත් ඔරුව
කොහි සිටද මේ එන්නේ
පාවීගෙන
පෙඳ පාසි දෙබෑකරගෙන
ඛාදනය වී ඇති
ඉවුරකට

බෙහෙත් ඔරුව
ලියා තබමි කවියක්
ඔබට
ගං ඉවුරෙහි වූ
වැල්ල මත

ඕලු මලක් තබා එහි
රැගෙන යා හැකිය
ඒ කවිය

බෙහෙත් ඔරුව
යාත්‍රා කළ යුතුය ඔබ
කොඳ මල් අතරින්
පෙරට ......


No comments:

Post a Comment