Thursday, October 28, 2010

අවංක බමරෙක්

බම්බලපිටිය මුහුද රෑට මේ තරම් දඩබ්බර බව මං දැනගෙන හිටියෙම නෑ.මූදු හුළඟ දිගේ ගහගෙන ආව ලුණු පෙත්තක් මූණ වහ ගනිද්දි අනිත් ඇලයට හැරුණා මං.අඩ කුඹු කරපු විදුලි පහනක්.අඩවන් වෙලා තිබුණ එක ඇහැක් හිමීට උස්සල මගෙ දිහා බැලුවා. .මම හිමීට ඉඳිකට්ටගෙ උරිස්සට වාරුවුණා.ඉඳිකට්ටගෙ දකුණු අත ඇවිත් මගෙ ඉහ මුදුනෙ නැවතුණා.හයියෙන් හුස්මක් ගන්න විතරයි පුළුවන් වුණේ මට.මැජෙස්ටික් නගරෙ නියෝන් එළි යට දූවිලි පිහින්න වැස්සක් වහින්න ගත්තා.යාන්ත්‍රික වැස්සක්.වීදුරුවකට එපිටින් ගලන වැස්සකින් කොහොමද හදවතක් උණුසුම් වෙන්නෙ.අහස පුරා රිදීරේඛා .මුහුද නිසොල්මන්ව.සියළු බර දරන්න සූදානමින්.ඇස් තද කරලා පියාගත්තම මම ඉන්නෙ ඉඳිකට්ටගෙ උණුහුමේ වග මතක් වුණා.එහෙම මතක් නොවෙනවා නම්.
ජීවිතේ එතනින් නැවතුණා.
එදායින් පස්සෙ මම ජීවත් වුණේ නැහැ.


අලුතෙන් මිලදී ගත්ත මුඩු ඉඩම ක්ෂේම භූමියක් කරන්න පුළුවන් වග මම දන්නවා.ඒත් මල් පිපෙන්න ගත්තම මට ඉහිළුම් නැතුව යන බව දැන දැනම ඒක මුඩු බිමක් හැටියටම තියා ගන්නයි අවංක බමරෙක් හැටියට මගෙ හිතේ කැමත්ත.
හිතේ කැමත්ත.
ආදර හිත!

Sunday, October 24, 2010

පාන් & පාං

යෝදයා මගේ ඉතිහාස පොත සුද්ද කරලා අරගෙන.එක යෝදයාම තමයි පැත්තකට විසි කරලා දැම්මෙ.ඇත්තම කියනවනම් ඒක මගෙම නෙවි.මගෙ හර්දය වස්තුවෙ ඉතිහාසපොත.යෝදය ජස ලෙන්චිනාව නැවත රඟ දක්වන්න වගෙ යන්නෙ.අනේ!මට පාං යැයි!
මාරි ඇන්ටොයිනට් ඇවිත් ජනේලෙන් එළිය බලද්දි මමත් හිටියෙ කෑ ගහන ජනතාව අතරෙ.මගෙ මල්ලෙ පාන් ගෙඩියකුත් තිබුණා.පාන් ගන්න යන අතර තුරේ තමයි පෙලපාලිය ඉස්සරහට ආවෙ.දන්න කාලෙ ඉදන් විප්ලවේට කැමැත්තෙන් හිටි මම කතන්දරේ හැටියටම පෙලපාලියට එකතුවුණේ මොකුත්ම නොදැන.යෝදයාත් හිටියෙ මං හිටිය පාන් පෝලිමේ මයි!ඉතිහාසෙ හැටියට අපේ පළමු හමුවීම ඕක.යෝදයට ඕන වුණා රටින් පිටුවහල් වෙන්න.ඒත් කන්න පානුත් තිබුණ එකේ මට නම් කිසිම උවමනාවක් තිබුණෙ නෑ ඒකට.යෝදයා බලකලා.කාරුණිකව කිව්ව .අඬල කිව්වා.අන්තිමට මමත් එකඟ වුණා යෝදයත් එක්ක පිටුවහල් වෙන්න.අපේ නැවට යන්න පුලුවන් වුණේ දවස් 4ක් 5ක් විතරයි.නැවේම හිටිය වෙස් වලාගත්ත සෙබළු දෙන්නෙක් අපිව අල්ලගත්තා.එක්කො ආපහු යන්න ඕන.නැත්නම් පාං ගෙඩිය මුහුදට විසි කරන්න ඕන.මොකද පාං ගෙඩියක් රටින් පිටුවහල් කිරීම බරපතල පාපයක්.දෙවෙනි වෙන්නෙ මිනී මැරුමකට විතරයි.අන්තිමට අපි තීරණය කලා පාං ගෙඩිය විසි කරන්න.ඒක හිතපු තරම් පහසු වුණේ නෑ .හරිම වේදනාබර අත්දැකීමක්.යෝදයගෙ ඇස් වලත් කඳුළු තිබුණා. අපි හිතට ගත්ත සුමානෙකට කලින් කාපු කේක් වල හයිය.නැංගුරම් දාපු පලවෙනි වතාවෙම අපි පහුරක් හදාන නැවෙන් පිට වුණා.ඒත් අවාසනාවක මහත.දෙවෙනි වතාවෙත් අර සෙබළු දෙන්න අපිව අල්ල ගත්ත.ඒ වතාවෙ පාං ගෙඩිය තිබ්බෙ යෝදයගෙ මල්ලෙ.ජොහැන්නස්බර්ග් වල පුංචි වරායෙ කණ්ඩියක් උඩට වෙලා මම පාං ගෙඩියයි යෝදයගෙ මල්ලයි දෙකම මුහුදට විසි කළා. පුදුමෙක මහත.පාං ගෙඩිය ඇතුලෙ තමයි යෝදයට ඇලඩින් දුන්න මුද්ද තිබිලා තියෙන්නෙ.පාං ගෙඩිය මුහුදට වැටිලා මිනිත්තු 5යි ගියෙ.යෝදයාගෙ මූණ පාං ගෙඩියක් වුණා නෙ.

Wednesday, October 20, 2010

පාර


අපි හුඟාක් දුර ඉදන් මේ ගමන එන්නෙ.තාර පාර දිගට අඟුරු වලින් කවි ලියන අදහස මුලින්ම ආවෙ මට.කවදාවත් එහෙම එකක් වෙන කාටවත් නම් පහල වෙන්නෙ නැති බව මට විස්වාසයි.මට ඒක තහවුරු වුණේ ඉඳිකට්ට ඒක අහල ඇඳල පෙන්නපු විශ්මයාර්ත සලකුණ දැකලා.
අපි මුලින්ම පටන් ගත්තෙ මඟ නැගුමකට කලින් හදපු ගල් ගැලවුණු තාර පාරකින්.ඒත් අපිට එකෙ කවි ලියන්න ලැබුනෙ දවසයි.පහුවදා යද්දි එක සිමෙන්තිවලින් වහලා.
ඊළඟට ඉඳිකට්ටා හොයාගෙන තිබුණා රේල් පාරක් හරහා යන පාරක් .එතනදි බාදාවට හිටියෙ අපි රේල් පාර මැද්දට ඇවිත් විසි පස්වෙනි කවියෙ 4 වෙනි පේලිය ලියද්දි ගැලවිච්ච කෝච්චි රෝදයක තිබිල අමුතු අකුරු වගයක් ගැන පොලිසිය හොයන්න ගත්ත බව ආරංචි වුණාට පස්සෙ. ඉස්ටේසම ළඟ අලුත් දැන්වීමක් ගහල තිබුණා

"පලිබෝදනාසක අනතුරු සහිතයි,ප්‍රවේසමෙන් පරිහරනය කරන්න"
කියල,
අනේ මෝඩ ඉඳි කට්ට ඒකට හොඳටම බය වුණා නෙ.
ඉතින් අන්තිමටම අපි තීරණය කලා නොපසුබට වීර්යයෙන් තව දුරටත් මේ කවි ලිවිල්ල කරලා,ලෝක වාර්තාවක් තියල ගිනස් පොතට නම දාගෙන,ඔස්ට්‍රියාවෙ පදිංචියට ගිහින් කිරි හර්ක් පට්ටියකුයි තණකොල වත්තකුයි සල්ලිවලට අරන් යෝගට් කඩයක් දාගන්න.එත් නරක වෙලාව.අන්තිම දවසෙ වැස්සට තෙමිලා ඉඳිකට්ට තෙමිල මලකඩ කන්න ගත්ත නිසා අපිට වැඩෙ අත අරින්න වුණා.වැස්සට වඩා මිනිහා බය වෙලා.
හෙහ්!
කිරිපට්ටියෙම තනියම කිරි දොවන්න වෙයි කියලා.!

Wednesday, October 13, 2010

රතු ඉර


ඉලුක් හුළඟට දුවන
දුක නොඅඩු පියස යට
ඉල් අහස ගැබ්බරව ඇති කලේ

ඉස්පාසුවක් නොවන
හෙට අනිද්දාවක පිබිද
ගිය හකුර නමට හඬනා මලේ

මහ කන්නයට පිපුණ
රතු ඉරට ගත දැවුණ
අප්පච්චි තවම ඒ මහ කැලේ

මරු වැල්ද මකාගෙන
උන්නොදුටු දිසාවට
උඹට පය නඟනු හැකි වෙද මලේ

Monday, October 4, 2010

වෙරළත


ඇනී ඒ කගපත
ගිනි හිරු දුරක වීසිකල
මතක දහරක ලෝහිත
සීතල වීය හද මත

දිනෙක මේ වෙරළත
මහ හෝටලය අබියස
උනුන් පටලා අත
සියක් පෙම්වත් සුසුම් පැතිරෙත

ඔය ගල් තලාවම මත
මතුවු හිරිගල් කටුව විනිවිද
ගිනි හිරු අඳුර සිපගත
අහස දියවී සිපී මිහිකත

දියබත් ඔබේ රළු වත
මුවාකරගත් ඒ මියුරු රත
වියලවා හද තෙත
කොයිබ ගිය විද සොයයි සඳවත

තුති පුද:http://poerty-dawson.blogspot.com/

Friday, October 1, 2010

සෙල්ලම් ගෙදර



ඉඳිකට්ටට මං අඬගැහුවෙ සෙල්ලම් කරන්න.මේසෙ යට සෙල්ලම් ගෙදර.මිනිහා බෑ කිව්ව.එයාට ඕනලු මුහුදු මංකොල්ලකාරයෙක් වෙන්න.මුහුදෙ විතරක් නෙවෙයි.ගොඩබිම බස් හෝල්ට් කෝච්චිවල එහෙම ඉන්න, එක ඇහැක් වහගත්ත මුහුදු මංකොල්ල කාරයෙක් වෙන්න.ඉඳිකට්ට ඩිරෙක්ට්‍රිය පෙරලගෙන tatoo shops තියෙන තැන් හොයන්න ගත්ත.අම්ලපිත්තයාට පින් සිද්ද වෙන්න ක්‍රීම් ක්‍රැකර් ජාතික ආහාරෙ කරන් පහුගිය සතියෙම දුක් වින්ඳ මං, උයාපු සෙල්ලම් බත් මුට්ටියම බිමට හැලුවා(.මගේ මූණ රතු වෙන්න ඇති.නාහෙ දික් වෙන්න ඇති.)
හෙහ්!කම්මුලේ කිනිස්සක් කොටලා ,පිටේ යෝද කොටි මූණක් කෙටුවනම් හරි.හැබැයි පපුවට හරියන්නෙ හිපපොටේමස් මූණක්."යකා මාක්"දැම්මට (පට්ට ) අහිංසක සතා නෙ.හදිස්සියෙ වුනත් මිනිහා පැයක් ඇතුලත වෙලාවක් වෙන්කරගෙන "පච්ච කුමාරි"ගෙ සාප්පුවට ගියා පාදුක්කෙ.මං සෙල්ලං ගෙදර වලං ටිකත් හෝදල දාල ඉඳිකට්ටගෙ කාමරේට රිංග ගත්තා.

හප්පා!;) කවි පොත් ,කතා පොත් විමානයයි.සලමන් කාන් ගෙ රූපෙට යටින් මිනිහා මරපු මුවාගෙ රූපෙ පොඩියට රාමු කරල ගහගෙන.මං කවිපොත් ගොඩක් උඩ වාඩි වෙලා කතා පොතක් පෙරල ගත්තා.කකුල් දෙක තියගත්තා ජනෙල් ගැට්ට උඩින්.අනේ! මගේ කකුල හැප්පිලා ඉඳිකට්ට ඇහැක් වගේ බලාගත්ත "පාණී පත්‍ර" තියෙන මල් පැලේ බිමට වැටුණා.ජංජාලයයි! (මල් පෝච්චියේ ගහලා තිබුණා"මලක් ගහලා මලත් සැපයි"කියලා.ඒක නම් මට තේරුනේ නෑ )

මං ආවෙ ඉඳිකට්ටගෙ කමිස ගබඩාවට රිංගන්න .මතු ප්‍රයෝජනයට සහ බඩගින්නේ තැබීමට පොඩි "හිත හොඳ හෝ හොඳ හිත පෑම" පිණිස.ඇමතුමේ හැටියට ඉඳිකට්ට ආපහු එන්න තව පැය 2ක් වත් යනවා.කොහොමටත්"මගදිග සේවා ලාභිනියක්"මුණ ගැහුණොත් ඕක 4ක් වෙන්නත් බැරි නෑ නෙ.
මං මෙහෙයුම පටන් ගත්තා.මුලින්ම අහුවුණේ තද දම් පාට කමිස රත්නෙ. පිට මැදට මධ්‍ය ලක්ෂ්‍යය හිටින්න මම කැපුවා බිත්තරයක්.දෙවෙනි තුන්වෙනි කමිසෙට යද්දි ඉලිප්සේ වුර්තයකටත් ,වුර්තය මලකටත් හැරුණා.ආ..................මලක්!
මල එක පාරටම සමනලයෙක් වෙලා බිම පෙරලිලා තිබුණ මල් පැලේ ළඟට ගිහින් ඉව කළා.ඊට පස්සෙ ජනෙල් පඩිය උඩට පාවෙලා ගිහින් නිදි කිරන්න ගත්තා. මට කම්මැලියි! මං කපාගත්ත කමිස කෑලි ටික මූට්ටු කරල පාපිස්සක් මහන්න හිතන් ආපහු ආවා.
(තුති පුද:මරකත කුසුමට නොහොත් රුබීට )

ඉඳිකට්ටා ගැන තවත් කතා
වීතරාගී: ඉඳිකට්ටා
වීතරාගී: මම ගෙම්බන්ට ප්‍රේම නොකරමි!

වීතරාගී: මායා බෝංචි
වීතරාගී: .ඉඳිකට්ටෝ.අපි ඔක්කොම පව් නේද?