Monday, February 18, 2013

කමලක්කා



                         හැමෝම අක්ක කිය කිය හිටියට කමලක්කට අපෙ අම්මට වඩා වයසයි. අලුතෙන් රස්සාවකට ගිහාම අපිට ඕන දේවල් කරන්න බැ නෙ. මටත් එයා කමලක්කම වෙච්චි. එහෙ තේ හැදිල්ලේ ඉඳන් ටෙලිෆෝන් ඔපරේටර් තනතුර දක්වම වැඩ බැලුව හින්දමද කොහෙද කමලක්ක මට කථාකරේ නමින්. මටත් ගානක් නැ. ආය මම එයාගෙ නම්බු නාම ගන්න ගියා නෙවෙයි නෙ. 

කමලක්කට දවසක් ගැස්ට්‍රයිටිස් වැඩි වුනා. එහෙමය කියලා කියාගෙන වැඩට ආවෙ එකොලහට විතර.මූණ බෙරි කරගෙන එහාට යනවා මෙහාට යනවා

එයැ‍යිගෙ අක්කලා,නගාලා, අයියලා බර ගානක් දොස්තරලා හිටියා. අපෙ අක්කා ආයුර්වේද වෛද්‍යවරියක් වෙච්ච වග දැනගත්ත දා ඉඳන් කමලක්කගෙ පුරාජේරුව වැඩි වෙච්චි. ජෙනරල් හොස්පිටල් එකේම කමලක්කගෙ නංගිලා දෙන්නෙක් හිටියා දොස්තරලා.  

දැන් කමලක්කා බෙරි මූණෙන් එහාට යනවා. මෙහාට යනවා. ශික්! ගානවා. අපෙ අක්කා හදලා දුන්න පොඩි ආයුර්වේද ප්‍රථමාධාර ටිකකුත් බැග් එකේ තිබ්බ හින්දම මෙහෙම අහන්න වෙච්චි.

"කමලක්කට ඕන නම් ආයුර්වේද බෙහෙත් කුඩක් තියෙනවා. තේ හැන්දක් කෝපි වාගෙ වක්කරලා බොන්න ඕන. දෙන්නද?"

බෙරි මූණ දෙබෙරි වුණා,

"එපා. මල්ලි බෙහෙත් ගෙනත් දුන්නා. අමතක වුණානෙ ගේන්න.අප්පිරියයි මට සිංහල බේත්. ...ම්... එක්කොත් අමාරුවෙන්වත් බොන්නම්. අමාරුයි හොඳටම. "

මලකුණක් වාගෙ බෙහෙත් පැකට් එක ඇඟිලි දෙකකින් එල්ලගෙන, බිමට පාත් වෙච්ච නිකට උස්ස උස්ස හීටරේ ගාවට ආව කමලක්ක විනාඩි පහකට පස්සෙ එද්දි බෙරිය අඩු වෙලා තිබ්බා.

 "නැති කමට බිව්වා. තාම බඩ දඟලනවා. පුදුම ගඳක් නෙ අනේ. ඒ මදිවට තිත්ත....අප්පා! ආයෙ නම් බෙහෙත් ටික අමතක කරන්නෙ නැ මොනවා වුණත්" 

බෙහෙත් පැකට් එක ගෙනත් තියලා එයා යන්න ගියා . මම මගෙ වැඩ . දවල්ට කාලා එහෙම ඉද්දි මෙන්න  ආයෙමත් මගෙ මේසෙ ගාව. 

"මේ අර බෙහෙතට අඩු වුනා නෙ. ආයෙමත් මට ටිකක් දෙනවද?"
මම පැකට් එකම මේසෙ උඩින් තිබ්බා.  

"ආයෙ කොයි වෙලේ වැඩි වෙයිද දන්නෙ නැ නෙ. මම චුට්ටක් අරන් තියා ගන්නම්" 
අඩියෙ කුඩු ඩිංගිත්තක් ඉතුරු වෙන්න ඇරලා කමලක්කා ඔක්කොම බෙහෙත් ටික පත්තර කොලේකට හලාගත්තා.