Saturday, October 22, 2011

කට ඇති පුතාලා ද ? කට ඇති දුවාලා ද? ;) හා..හා... කට කට!!!!






මේ කතාන්දරේ ලියන්න ඕන කියලා හිතුනේ දුකා අයියගේ මේන්න මේ කතාව හින්දා.මම බ්ලොග් ලිවිල්ලට හේත්තු වෙන්න දුකා බ්ලොග් රාජයත් ලොකුම හේතුවක් වුණ නිසා දුකා අයියගේ බස් රේඩියෝ කතාවට සුබ පතන ගමන්ම මේ කතාවට එන්නම්කෝ.ආ...කකා කියවන අය දන්නවනේ "නේම් ඩ්‍රොපින්" කතාන්දර ගැන.පටන් ගන්න කලින් කියන්නේ මේකත් ටික වෙන්න ඒ වර්ගේ එකක්.පස්සෙ චරු චුරු බැහැ හරිය?...:)

කලිනුත් මහගෙදර විත්ති වල කියලා තියෙන හැටියට පවුලට එකතු වෙච්ච බාලයෝ දෙන්නට පින් සිද්ද වෙන්න වීතරාගීගෙ බාල කාලෙන් වැඩි කාලයක් ගෙවුණේ මහගෙදර නෙ.ඒ කිව්වේ වීතරාගීගේ පියාණන්ගේ දෙමාපියෝ වසන නිවාසේ.නිවාසේ සහ අක්කරයකට ආසන්න පලවැලින් බර වත්තකට වෙලා තනි මට කරන්න මොන තරම් දේවල් තිබ්බද කියලා මේ කතාන්දර බලපු අයට මතක ඇති.

ඔය කාලේ ලංකාවෙ වැඩිය ටීවී තිබ්බ කාලයක් නෙවෙයි.ඒත් ආච්චිලාගේ ගෙදර ටීවී එකක් සහ රේඩියෝ එකක් තිබීම වීතරාගී තමන්ගේ ගෙදර පස් පාගන්නවත් කැමැත්තක් නැති ළමයෙක් කළා කිව්වොත් වරදක් නැහැ.ඔය කාලේ වීතරාගී අකමැතිම කාරණාවකට තිබ්බෙ රැ අටට නිස්සබ්දව සීයා ළඟ වාඩි වෙළා ප්‍රවෘත්ති බලන්න එක අනිවාර්යවෙච්ච එකයි,නිදා ගන්න කලින් ආච්චි ලයිට් නිව්වොත් හුස්ම හිරවෙලා මැරෙයි කියලා තිබ්බ බයයි විතරයි. ;)

ඒ කාලෙ අර දුකා අයියා කිව්ව විදිහට දවල් දොළහට විතර ආච්චිගෙ කරවල බැදුමේ , අල කිරි හොද්දේ සුවඳ ගේ පුරා දෝරේ ගලමින් බඩ පණුවන් පිනුම් ගස්සන වෙලාවට තමයි "ඩින්ගො ඩින්ගි ඩින්....."මියුසික් එකත් එක්ක රම්‍යා වනිගසේකර නෝනා ප්‍රවෘත්ති කියන්න පටන් ගන්නේ.වීතරාගීට මතක කාලෙක ඉඳන් සාලෙ එලපු පොඩි කලාලෙක වාඩි වෙලා වීතරාගී බත් කන්න ගන්නේ ඒ රම්‍ය කටහඬ අහගෙන.ටික ටික ලොකු වෙලා අලුත් අලුත් නිවේදිකාවෝ කොච්චර ප්‍රවෘත්ති කියනවා දැක්කත් වීතරාගීගේ හිතට කාවැදිච්චම හඬ වුණේ රම්‍යා වනිගසේකර මහත්මියගේ හඬ.

ඔහොම කාලේ ගෙවිලා වීතරාගී සිස්සතේ එහෙම පාස් වෙලා බාලිකාවට යන්න ගත්තා.බාලිකාවේ ලොකු "සන්නිවේදන ඒකකය"ක් (Broadcasting Unit ) තිබ්බනෙ.උදේට ධම්ම පදය කියන,ප්‍රවෘත්ති කියන,පන්සිල් දෙන එව්ව ඔක්කොම කළේ අර හැම පන්තියකටම හයි කරලා තිබ්බ පෙට්ටියක් වගේ එකකින් නේ.ඒ කාලේ සන්නිවේදන ඒකකේ "නිවුස්" කියන අක්කලා මුළු ඉස්කෝලෙ ම ප්‍රසිද්ධයි.මිස්ලගෙනුත් විශේෂ සැලකිලි නැතුවාම නෙවෙයි.ඉතින් වීතරාගී ඉස්කෝලෙට ගිය කාලේ ඉඳන් "නිවුස් කියන අක්කෙක් " වෙන්න ඕනෙ කියන එක හිතේ වැඩ කලේ හරියට කවදා හරි"ඇමරිකන් අයිඩල් වෙනවා" වගේ ටිකක් ලොකු සයිස් එකේ ටාගට් එකක් හැටියට.


ඕන්න ඉතින් කාලේ ගෙවිලා ගෙවිලා වීතරාගීත් අක්කලාගෙ වයසට ඒ කිව්වෙ දොලහේ පන්තියට ආවා.ඔය සන්නිවේදන ඒකකේ වැඩත් ටිකක් අමුතුයි.හැම අවුරුද්දකම මුල වාරේ දවසක 12 වසරේ ඉන්න ළමයින්ට නිවේදනයක් දෙනවා ප්‍රවෘත්ති නිවේදිකාවන් වෙන්න බලාපොරොත්තු වෙන අය අහවල් ශිෂ්‍ය නායිකාවට නම් දෙන්න කියලා.ඊට පස්සේ දවසක හවසක මේ හැමෝටම ප්‍රධාන ශාලාවට එන්න කියලා ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා ඉදිරිපත් කරල පෙන්නන්න කියනවා.එතනින් ආරාධිත විනිශ්චය මණ්ඩලය තෝරන හොඳම දහදෙනා තමයි ඒ අවුරුද්දෙම පාසලේ ප්‍රවෘත්ති කීම සහ අනෙක් හැම උත්සවේකම වාගේ නිවේදන කටයුතු කරන්නේ.

ඕන්න අදාල හවස උදා වුණා.මෙන්න බොලේ12 වසරින් බාගයක්ම වාගේ එතන.එකසිය පනහක් දෙසීයක් විතර.ඔය වයසට ඉතින් ඔය වගේ දේවල් වලට ඇල්ම නැත්නම් ඒක ලෙඩක් වෙන්න ඕනනෙ. :P දැන් නම් වීතරාගීට ආපු මෝඩකම් කියලයි හිත.ආපහු යන්න හදනකොටම තමයි දැනගත්තේ නිවේදිකාවෝ තෝරන්න ඇවිත් තියෙන්නේ කවුද කියලා.ආයේ වෙන කවුද .......

අපේ රම්‍යා වනිගසේකර නෝනා මහත්මිය මිසක. :)

ඕන්න ඉතින් වීතරාගීත් තරඟෙට සහභාගී වුණා.වීතරාගීගෙ වීරවරියත් හොඳට හිනාවෙලා ලකුණු දානවා වීතරාගී බලාගෙන.එදා ගෙදර ගියේ ඒ හිනාව හිත පුරාම ඇඳගෙන.ඉස්කෝලෙට මොනතරම් ජනප්‍රිය චරිත ආව ගියත් ළදරු කාලේ ඉඳන් වීරවරියක් මෙහෙම මුණගැහීමේ අමුතුම එකක් තියෙනවනේ....

කතාව එච්චරයි.දවස් දෙක තුනකින් තෝරගත්ත නිවේදිකාවන්ගේ නම් දාල තිබුණා ප්‍රධාන දැන්වීම් පුවරුවේ. වීතරාගීගෙ නමත් උඩින්ම තිබ්බය කියන්නේ.. :))))))

ඒක වීතරාගීගේ ජීවිතේ වැඩී.......යෙන්ම සතුටු වුණ දවසක් කිව්වොත් බොරුවක් එහෙම නෙවෙයි ඕන්.... :)

ඒත් එක්කම ප්‍රවීණ නිවේදිකාවක් වගේම දක්ෂ චරිතාංග නිළියක් වන රම්‍යා වනිගසේකර මහත්මියට,මගේ නිවේදන ලෝකේ වීරවරියට දීර්ඝායුෂ ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. :)

Friday, October 21, 2011

X සහ ‍Y (වරද කාගෙද ?)


දැන් ඔයාට රස්සාවක් කරන්නම ඕනද?

ම්හ්!නැත්නම් මොකටද අනේ ඉගෙන ගන්නේ?
ඉගෙන ගන්නෙ දැනුවත් වෙන්න.රස්සාවල් කරන්නෙ හම්බ කරන්න.

හි හි! එතකොට හම්බ කරන්නෙ?

හම්බ කරන්නේ වියදම් කරන්න.උවමනා හැමදේටම මම වියදම් කරනවා නම් ඔයාට මොකටද රස්සා??????

හ්ම්ම්ම්!බලමුකො!

ආයෙ මොනා බලන්නද?
.......................................................................

දැන් ඔය ගමන යන්නම ඕනද?නොගියොත් විභාගෙ කරගන්නම බැරිද?


නොයා කරගන්න අමාරුයි.ෆීල්ඩ් විසිට් එක ගැන එම්. සී. කිව් පහක්වත් තියෙයි

ඒ පහට විභාගෙ ෆේල් වෙන එකක් නැ නෙ?


බලමුකො!
ආයෙ මොනා බලන්නද?

.......................................................................

එතකොට ඔයාට අද හවසට එන්නම බැහැ???

පුළුවන්! ඒත් හතරටම බැහැ! ලෙක්චර් එක ඉවර වෙලා පහ විතර වෙද්දි පුළුවන්!

පහට බම්බු ගහ ගන්නවා!

........................................................................................
ඔයා මට ආදරෙයිද?

හ්ම්ම්ම්!

........................................................................................
මට ආදරෙයිද?

..............

........................................................................................

ආදරෙයිද?

මෝඩ කතා අහන්න එපා!
!!!!!!!!!!

........................................................................................

Sunday, October 9, 2011

කතාවක් නැති කතාවක්!


බලාපොරොත්තුව කියන්නේ මොන තරම් දැවීමක්ද?විශේෂෙන් ප්‍රේමය පිළිබඳ වූ.රාත්‍රී මැදියමේ නිදි වරමින් ප්‍රේමය පිළිබඳ පශ්චාත්තාපය මුසු වේදනාවකින් පීඩා විඳින තුරුණු යුවතියකගේ ඒ දැවීම පිළිබඳ පසු සටහනක් හෝ වාර්තාමය ලේඛනයක් ඔබට නුවමනා වග මම දන්නවා.ඒත් නිති හද පෙලන යොවුන් දාහයකින් ඇය විඳින්නේ පීඩාවක වග ඔබට පමණක් නොතේරීම පුදුමයක්.මෙවන් සඳ එළිය පිරි රැයක , මිහිරි ලෙස ප්‍රේමය දැවටූ අඩ අඳුරේ ඔබ හා තනි වන්නට , කොපුල මත සීතල................

"මොන සමයමක්ද බන්....

උඹලගේ ඔය මල් පත්තරේට ඔය කුනුහරුප දාල මේ ඉන්න කාලකන්නින්ව තවත් මෝල් කරවනවට වඩා නරකද උන්ට පලක් ප්‍රයෝජනයක් ඇති විදිහට මැහුමක් ගෙතුමක් ගැන , කැඩිච්ච ෆෝන් එකක් හදන හැටි ගැන ආටිකල් දෙක තුනක් දාල යහපතක් කරන එක..

අනේ මන්දා උඹලත් හිරිකිත නැතුව මේ ලබ්බවල් ලියනවනේ......"


මිහිරංගයා මම ලියලිය හිටිය කොළේට එබිලා බෙරිහන් දෙන්න ගත්තා. නොදකින් !මූ එක්ක මෙලෝ මලදානයක් සැනසිල්ලේ කරගන්න බැරි හැටි....මම ඌට උත්තර දෙන එක පැත්තකට දාලා ඊයෙ බාගෙට ටයිප් කරමින් හිටිය තීසිස් එක ඉතුරුටික අතට ගත්තා...

"දැන් බලපන්...උඹලා වගේ යමක් කමක් ඉගෙන ගත්ත එකාලත් මේ බයිලා ලියලා උන්ගෙන් ගාන කඩා ගන්නවා...

ඊට පස්සේ රටේ ඉන්න මහ එකාල ටික උන්ව අන්දලා තව දේවල් කඩා වඩා ගන්නවා..

අන්තිමට කොහෙ හරි යන ගෝතයෙක් හරි,සක්කරවට්ටමක් හරි උඹල ලියන සුර දූතයෝ කියලා හිතාන බෙල්ලෙ එල්ලගෙන මහ එකාලා දෙන ලණුව දිගටම කමින් සුවසේ වාසෙ.."


මිහිරංගයා කියවිල්ලෙන්ම ඇඳෙන් වාඩි වුණා.

"දැන් බලපන්...
උඹට වයස කීයද?
.
.
.

විසි පහයි.

චමින්ද සිල්වට?

තිස් පහක් ඇති නේ වැඩිම වුණොත්..

උඹට හීනෙකින්වත් සම්පූරණ කරන්න පුලුවන්ද තව අවුරුදු 10කින් ඌ කරපු රාජ කාරි ටික..
යකෝ ___ම කීයක්ද?
සල්ලි ?
මොකද තොට වගේ ඩිග්‍රි තිබිලද ?
පෝස්ට් ග‍්රැජුවේට් මල දානවල්ද?.
.
.
.
උඹල නම් හරක් ....අම්බ හරක්!"

යකෝ මූට අහවල් ගායක් හැදිලද ?ආ වෙලේ ඉඳන් රුවිතෙටමයි කතාව...මං තවත් කී බෝඩ් එකටම එබුණා.

.
.
.
.
.
ඒ පාර මූ සද්ද නැ.අමුතුම පොටකට වගේ එන්න හදන්නේ....බලමුකෝ!මේ දවස්වල පස්ස කාර්යාලේ වැඩත් අවුල් නේ.යුනියන් එකෙත් කචල්..මූට ආයේ අමුතුවෙන් කචල් යන්න හේතු ඕන නැ.

"මචං දිගා
! සනූගෙන් බේරෙන්න බැ බන්...
හික්කා බීච් පාටි යමු කියලා.

ඒකිට කට්ට ගහ ගත්තෙත් කොච්චර අමාරුවෙන්ද කියලා උඹ දන්නවනෙ.

පස්සෙ ශේප්මන්ට් එකක් දාගන්නකල් පොඩි ශෙයාර් එකක් ගන්න පුළුවන් වෙයි නේද සනා?

මේක ගොඩ ගියොත් පරපුරම ගොඩ තමා ආය.
එක විතරයි අමාරුව...දෙක තුන වානා!

මිහිරංගයා එපා කරපු හිනාවක් දැම්මා.


උඹව අමතක කරන්නේ නැ,ඩෙෆා උඹට සෙට් කරලා දෙනවා යූ.කේ ඉන්න නංගි කැල්ලව...

ඒකිත් සිරා මචං.සුහ්!"

ඌ ළඟටම ඇවිත් කසඩම හිනාවක් දාගෙන මගෙ මූණට එබුණා.
මං අතේ තිබ්බ අන්තිම දෙදාහ ඌට දික් කළා.

"බලපන්!
අරූ අද හොස්පිටල් එකේ පණ අදිනවා.

එකතු වෙලා පව් රැස් කරපු එක වනිතාවක් ළඟ ඉන්නවා කියලද ?
.
.
මමත් ඔව්ව නොදන්නවා නෙවී බන්!
මොකක්ද ඕකට කියන්නේ..

ආ... "අද අද එයි මරු පින් කරගන්නේ.."

Tuesday, October 4, 2011

උඩරට මැණිකේ ... මට තුට්ටු දෙකක් දියෝ...!


හත් ඉලව්වේ.මේකෙයි තියෙන කතා රාසිය.හිනා වෙලා පණ ගියා ඕන්.ඉතිං ආයේ මොටෝ හිත හිත ඉන්නෙ.මටා..හ් හිතුනා දන්න කියන අඩු වැඩිය දාලා හොඳවැයින් එකක් ලියන්ට.

මේ සංසිද්ධිය වුණේ කෝච්චියක.කෝච්චියක් කිව්වට සුළු පටු එහෙම නෙවී.උඩරට මැණිකෙ කොළඹ දුවන වෙලාවක ඕං.නුවර ඉඳන්ම දෙවෙනි පන්තියෙන් ආසන වෙන්කරගත්ත ඒත් දෙවෙනි පන්තියේ තියා හතර වෙනි එකටවත් දමන්ට බැරි කසඩ කොළු පරාන ටිකක් හතර අතට කින්ඩි බෙද බෙද ඉඳියලු.පොල්ගහවෙල දිහාවෙන් නැගපි වයසක පහේ ආතෙක්.අනේ මුන්දලා අතර හිටිය ඉලන්දාරිකොම වගෙම මනුස්සකොමත් අඩුනැති පුත්තරයෙක් මේ උන්දාට තමන්ගෙ ආසනය පුදපි.උඩරට මැණිකෙත් හැටට හැටේ තම ගමනේ.

ඔහොම යනකොට යනකොට මීරිගම දිහාවෙන් හුරුබුහුටි කෙලි පැටික්කියක් දුම්‍රිය ඉස්තානේ ජනතාව මැද්දේ බැබලි ඉන්නවලු.අපේ කතා නායක් ගැටවුන්ටත් ඉවසුම් නැහැ ලු.ඉහල ගත්ත හුස්ම පහල හෙලා ගන්ට බැරුව බලාන ඉන්නවළු. ;)

ඕන්න ඉතින් (අ )වාසනාවක මහත කෙලි පැටික්කිත් අපේ අයියලා උන්න පෙට්ටියටම ඇවිත් එතනින්ම හිට ගනිපි.ඒ මදිවට දඩාරියං මල්ලකුත් එල්ලගෙන ,සාරියකුත් පටලෝගෙන.ලාඩන් පතුරු දෙකකුත් පතුලෙ අලවන්.කෝච්චිය පැද්දෙන පාරක් ගානේ කෙල්ලත් පැද්දෙනවා.

අනේ කෙල්ල පැද්දෙන පාරක් ගානෙ අපේ කොල්ලොත් නෙක නෙක කතා කියනවා.එකෙක් කෙල්ලගෙ වයස ගනන් හදනවා.තව එකෙක් කෙල්ලගෙ උස මනින්න හදනවා.තව උන් දුම්‍රියේ සාපේස්ස ප්‍රවේගෙ ...හප්පා.එක විකාරයයි.

ඔහොම ඉන්නකොට,ඉන්නකොට,අර එතන හිටපු ආතා රාගමින් බැහලා ගියා.කෙල්ලත් ආයෙ හිතිල්ලක් නැහැ දඩස්! ගාල වාඩි දැම්මා.දාර සයිz ජන්ගමයෙක් එළ්ළියට අරන් කොටනවා හිටු කියලා.

විනාඩි පහක් නොයන්න ඇති.එක පාරටම නාකි පහේ හමුදාවක් සද්ද නැතුව දුම්‍රිය මැදිරියට පැනපි.ටිකට් පරීස්සක මාත්තුරු.අප්පා ගාම්බීරෙ.සං සං ගාලා ටිකට් පරීස්සාව.අනේ අර කෙළි පැටික්කිගෙ මූණ කජු ලෙල්ලක් වුණා.පරීස්සක මහත්තයා කෙල්ලට මොනවද කියනවා.කෙල්ල දුම්‍රිය මාසික වාර ප්‍රවේසපත්තරයක් ඒ කිව්වේ මේ සීසන් එකක් සීරු මාරුවට දික් කරපි.මහත්තය තව සද්දෙට ගෝරනාඩුව.

විනාඩියක් ගියෙ නැහැ .කෙල්ල හැඹිලිය හූරලා හූරලා රුපියල් නවසිය හතලිහක් මහත්තයාගේ අතේ තියපි.බලන්න දුකේ බැ අප්ප.කෙල්ලගේ ඇස් දෙකෙන් දියලුමේ වාගේ කඳුළු වරුසාව.කොල්ලන්ට හිතා ගන්න බැහැ.මරදානට යනකන් නෙවී කෙල්ලගේ ඇඬිල්ල නැවතුනේ.ඉකිත් ගහනවා.කොල්ලොත් හුම් නැ.අන්තිමට බලද්දි කතන්දරේ මේකයි.කෙලි පැටික්කි තුන් වෙනි පන්තියෙ සීසන් කට්ටෙන් තමයි කලබලේට දෙවෙනි පන්තියෙ මැදිරියක වාඩි වෙලා ඇවිත් තියෙන්නේ.

කාට කියන්නද?ඔන්න නෝනලා මාත්තුරු
ල.දු.දෙ කෝච්චියෙ යනවා නම් නොවරදවා දාහේ පටියක් හැඹිලි‍යාස්සෙ හන්ගාගෙන ගියාට කවදාවත් පාඩුවක් වෙන එකක් නැහැ.

ප.ලි: හා දන්න කෙනෙක් කියමු බලන්න මං ටක්කෙටම ගාන නවසිය හතලිහයි කිව්වෙ කිව්වේ කෝමෙයි කියලා.. ;)