Monday, February 6, 2012

අඹගල අඹගල සහ අඹගල






අඹගල ගැන කතාව පටන් ගන්නේ කෝමදැයි කියා හරියටම හිතා ගන්නට බැරි ය.මගේ කුඩා සන්දිය මහගෙදර ගෙවුණු වග වීතරාගිය කියවන අයට අමුතුවෙන් කියන්නට උවමනාද නැතුවා ය.උන්දා මට මුන ගැහුණේ එහෙදී ය.
ආච්චිගේ මලයකු වූ "සෝමෙ මාමා"මා දන්නා කාලයේ රස්සාවට යන්නට නැවතී උන්නේ මහගෙදර ය.සෝමෙ මාමා වැඩි කතා බතා නැත.බෙදා දෙන දෙයක් කා බී පාඩුවේ සිටියි.හවස හතරට ගෙදර එයි.අටට පරවෘත්ති බලයි.සති අන්තයේ ගමේ යයි..එච්චරය.සීයා එක්කවත් "දේසපාලන වලියක්" දමා ගන්නවා මා දැකලාවත් නැත.ගෙදරට එන පිරිමි අයගෙන් සීයා එක්කලා දේසපාලන වලියක් නොදා ගන්නේ එහෙමත් එක්කෙනෙක් වීම නිසා සෝමෙ මාමා ගැන මට අද හිතෙන්නේ මහන වෙන්න ඔන්න මෙන්න හිට අහම්බෙන් කසාදයක් පැටළුණ අහිංසක ජෝන් කෙනෙකු වෙන්නට ඕනා කියා ය.:)


සෝමෙ මාමා නැවතී උන්නේ සීයාගේ කන්තෝරු කාමරය ලෙස පාවිච්චි කළ කාමරයේ නිසා සීයාගේ ලට පට මිනුම් කෝදු ආදී නිධාන වස්තු සහිත මහා කබඩ් රාජයා තිබුණේද එහි ය.සීයාට යතුර දමන්නට අමතක වන දවසක ආච්චීට හවසට සැප නින්දක් ගියොත් එහෙම මට රජ මගුල් ය.සෝමෙ මාමාගේ කාමරයට තිබුණේ ලස්සන කැටයම් සහිත පිත්තල යතුරක් ය.සාලේ දොරේ ගැට්ටක සෝමෙ මාමා තිය යන ඒ යතුර ගත්තාට පසු මට මහ වැඩක් නැත.ආච්චිලාට ඇහෙන්නේ නැති වෙන්නට යතුර කරකවන එක විතරය.:)))
මගේ මේ එකම විනෝදාංශය දියුණු පමුණු කරගන්නට වැඩ සිද්ද වෙන්නේ අහම්බෙන් සෝමෙ මාමා "අඹගල " මාමාව අපේ ගෙදර එක්කාගෙන ආ දවසේ සිට ය.හදිසියේ නවාතැන අහිමි කරගෙන සිටි අඹගල මාමා තම මිතුරා නැවතීසිටි අපේ මහගෙදරට පැමිණ සිටියේ ටික දිනකට නවාතැන් බලාපොරොත්තුවෙන් ය.අදිමදි කීරීම් මැද උනත් සීයා කැමැත්ත දුන්නේ "මොනා වුණත් ඒ මිනිහා එක්ක යමක් කමක් කතා කරන්නවත් පුළුවන්.මොකද සෝමෙ බිල්ලා වගේ කාමරේට රිංග ගත්තම එළියට වත් එනවයැ"වැනි කතාවක් ආච්චීට කියමිනි.
මෙතුවක් කලකට මා දැක ඇති අසාමාන්‍යම කලාකාරයා මට මුන ගැහෙන්නේ ඔහොමය.සෝමෙ මාමා වගේ නෙවේ ය.අඹගල මාමා හතරට ගෙදර ඇවිත් කාමරයට රිංගා ගන්නේ නැත.සීයා සමග පැයක් පමණ වාද කරමින් සිටියි.ඒ වෙලාවට පොල් කොළයක් හෝ කඩදාසියක් අතට අහුවන මානයේ තිබ්බොත් කල්ල මරේ ය.මොකක් හෝ සුකුරුත්තමක් මට සෙල්ලම් කිරීමට අටවා දෙයි.එක්කෝ පොල්කොල සිග්/සැග් එකක් ,නැත්නම් පොල්කොළ ගිරවෙක් හෝ නෙළුම් මල් පොකුරක් ය. නැත්නම් කඩදාසි කැටයමක් ය,.එදා මහ රැ වෙනතුරුත්,පහුවදා හවස හතර වෙන තුරුත් මගේ වියායාමය කොහොමින් හෝ ඒ අත්කම හදන කලාව හරියට අල්ලා ගැනීම ය.සමහර දාට උත්සාහය හරි යයි.සමහරදාට දින දෙක තුනක පුහුණුවීමත් අසාර්ථක් වෙයි.ඒ වෙලාවට නම පිහියා කතුරු ගොක් කොළ වීසි කර අඬනවා ඇරෙන්නට වෙන දෙයක් කරන්නට නොහිතෙයි."අනේ මේ බූතයෙක් නවත්තගෙන මම විඳින කරදරයක්.ගොක් කොළ හොයන්නයි,කෙල්ලො නලවන්නයි........."ආච්චී ආවේස වීගෙන එන බව දුටු විට මගේ ඇඬිල්ල නවතින්නේ අඹගල මාමාට යන්නට කියාවිය යන සැකයෙනි.

අනෙක් අතට හවස් වරුවේ සීයාගේ කන්තෝරු කාමරයේ අල්මාරිය ගනන් ගන්නට වටිනා බඩුවක් නොවන බව මට වැටහෙන්නට ගත්තේද "අඹගල ආගමනය" ට පසුව ය.ජනෙල් කන්ඩිය දිගට පොල් ගෙඩිවලින් හා සැහැල්ලු ලී වලින් කපන ලද නොයෙක් ආකාර කැටයම් අපමණක් විය.ආච්චී මා හුරු බුහුටි ලෙස හදා තිබුණ නිසාදෝ ඒවා ගත් වගක් නොතේරෙන්නට ගත් තැනම තබා යන්නට තරම් ප්‍රවේසම්කාරී වීමට මට හැකි විය.;)

අඹගල මාමා එක එක විකාර කුරුටු ගැ ඇක්සයිස් පොත් බර ගානක් තිබිණ.ඒවායේ ලියා තිබෙන්නට ඇත්තේ කවි විය යුතු බව මට අද හිතේ.සීරුවට රටාවට කැටයම් කරන්නට දැන සිටි අඹගල මාමා දක්ෂ සිත්තරෙක්ද විය.ඉඳහිට සවස් වරුවක මා ප්‍රිය කරන කැමක් ගෙනත් දීමටද අමතක කලේ නැත.(ගමේ ගොස් එනවිට ගෙන ආ අමුතු හබරල කොළ ජාතියකින් ආච්චී හදා දුන්නේ මතක ඇති කාලයක මම කා ඇති රසවත්ම ව්‍යංජනයයි.)බොහෝ වෙලාවට ඒ බූන්දිය.බූන්දි කමින් ආච්චී උයන තුරු මිදුලට වී අපි එක්කෝ කැටයම් කැපුවෙමු.නැත්නම් ඩබල් රූල් පොතක් ගෙන රවුමට අකුරු ලීවෙමු.අමුතු හැඩතල ඩබල් රූල් පොතේ අඳිමින් අකුරු හැඩ කරගන්නා අමුතු කලාවක් අඹගල මාමා දැන සිටීම කැතම කැත බලි අකුරු ලියමින් සිටි මගේ වාසනාවක් විය.

හිටි හැටියේ දවසක අඹගල මාමා මහ ගෙදරින් යන්නට ගොස් තිබිණ .ඒ වෙද්දී මා හය හෝ හත වසරේ විය යුතු ය,පසු කාලයේ දැන ගත් හැටියට අසල්වාසී නිවසක් තරුණියක් සමග පලහිලව්වකට ඇගේ දෙමාපියන් සීයාට දොස් කීම නිසා සීයා අඹගල මාමාට යන්නට කියා ඇත.ඊට පසු කිසි දිනෙක මට අඹගල මාමා මුන ගැසුණේ නැත.අදත් මඟ තොටකදීවත් ඒ වැඩිහිටි මිත්‍රයා මට අහම්බෙන් හෝ හමු වෙතැයි මට සිතෙන වාර නැතුවා නොවේ..

අඹගල රත්නපුරයේ ගමක් බව ආච්චී කියනු මා අසා ඇත.සබරගමුව බොහෝ සොඳුරු මිනිසුන්ට උපත දුන් ඉසව්වක් වග මට හිතෙන්නට ගත්තේ සුනේත්තරා ,මස් ඉඹුල,හෂිත වැනි මිනිසුන් නිසාය.ඒ ලයිස්තුවේ ඉහලින්ම ලියා ඇති අඹගල මාමාගේ නම අයින් කරන්නට තවමත් මට හිතක් හිතී නැත.
ඉන්නා තැනක ඔහුට යහපතක් ම වේවා.!

Friday, February 3, 2012

ලතාගෙ කතා සහ මායිං ගොඩ කිරීං


"අනේ මන්දා බබාලත් මේව්වට කට වහගෙන ඉන්නවනෙ .මට නම් තේරෙන්නෙ නැහැ...... "ලතා විටක් හපාගෙනම ගෙට ගොඩ වෙයි.නංගී කතාවක් අසන්නට සැරසී කුස්සියට එයි.

"අනේ අපට මොකද ලතා.ඔව්ව යන තැනකට අරගෙන යන්නෙ නැ නෙ.ඔය මිනිස්සු ඔව්වා විඳවයි කවදා හරි......" අම්මා ධර්මය ඉස්සරහට දායි.

"විඳවයි කියන්නෙ ආය අමුතු දෙයක් ඕනෙන් නැ.කෝ තාම ළමයෙක්වත් ඉන්නවයැ.අනුන්ගේ එව්වා පොදි ගහලා ගහලා අනුන්ටම දීලා යයි කවදා හරි.පොඩි කෙල්ල බැන්ද කොල්ලත් හිරේ ලු,.ඒකනේ ඔය සතියකට සැරයක් මෙහෙ ඇවිත් ළමය දාල අම්මණ්ඩි එක්ක උදේට උදේට යන්නෙ...."

"අපරාදෙ හැබැයි.ඒ ළමයා ඒලෙවල් වෙනකල් ඉගෙන ගත්තා.අලුතෙන් ආව කෙල්ල වගෙ නෙවී.මනුස්සකම් තියෙනවා.."

"බබා දන්නවද .ඔය අලුත් බඩුවට ගමේ මිනිස්සු කියන්නෙ සුනාමි කියලා.ආවෙත් සුනාමි කාලෙ මාතර පැත්තෙන් නෙ.කටත් සුනාමිය වගේ .එල්ලි එල්ලි කතාව ..."

"කටක් තියෙන්නෙ කතා කරන්න නෙ..."නංගී සිනා වී අසන්නේ ලතා අවුස්සන්නටය.

"බබාලා ඔව්වා දන්නෙ නැ.ගැනියෙක්ගෙ හැදිච්ච කම තියෙන්නෙ හැම එකටම හොට දාලා කච කච ගාද්දි නෙවී.දැන් බලන්න ලොකු බබා.පාරෙ යනවා.ඔලුව උස්සලා කෙනෙක් දිහා බලනවද?කතා කරනවද?මොකෝ කතා කරන්න බැරුවද?අපි දැක්කනෙ එදා කැම්පස් එකෙන් ගෙනාව සීඩී පටියෙ කැගහපු හැටි.මන්ත්‍රී නෝනා කෙනෙක් වගේ...ඒ ඌමනා වෙලාවට"

"හීඊඊඊහ්! එයාගෙ සද්දෙ දන්නෙ අපි නෙ ලතා.ඔලුව නූස්සන්නෙ නම් ඉතින් උද්දච්චකමට .සීයගෙම මිනිබිරී නෙ.."නගාට කලින් අම්මා කට ඉස්සර කරයි.මම හිනා වෙමි.

"ඒ වුණාට ඔය මිනිස්සුන්ගේ වැඩ නොසලකා ඉන්න එක නම් හරි නැ,බබාලා අප්පච්චිට කියනන්කෝ ඇන්ටියක් දන්න කියලා ඉඩම් මායිම් වෙනස් කොන්නවා,කුඹුරු ගොඩ කොන්නවා කියලා...ඔව්වා අන්තිමට කෙළවර වෙන්නෙ උසාවි වොලින්.මුන්දලාත් ලේසි පුත්තු නෙවී නෙ.එක මිනිය මරපු මිනිහට තව එකක් කජ්ජක් නෙවී නෙ.."ලතා කම්මුලේ අත තබා ගනී.

"අනේ මට නම් දේපල වලට වඩා ජීවිත වටිනවා.මේ ළමයින්ටවත්,එයාලයි අප්පච්චිටවත් කටක් අරින්ට නොදෙන්නෙ මම......"

"උසි ගන්නනවා නෙවී හාමිනේ.මට දුකයි.ලොකු බබා බලාගන්ට එන කාලෙ ඔය දෙල්ගහ තමා මායිම.දැන් අඩි හතරක් විතර මෙහාට මායිම ඇවිත්.මම ඊයෙත් දැක්ක මහ මිනිහා කුඹුරට බැහැ ගෙන පස් අරන් ගොඩ කොන්නවා.ඔව්ව නම් සහ ගහන අපරාද....."

"අපෝ..ලතා නොදන්න කොච්චර ජාති තියෙනවද..අම්මා දැන් අක්කටයි මටයි ළිඳේ නාන්න දෙන්නෙත් නැ.ඔය මිනිහා ගස් අස්සට වෙලා බලන් ඉන්නවනෙ....."නගා ගෙ කට ඉස්සර වෙයි.අම්මා ගෙ රැවිල්ල ඇය දවා අලු කරන තරම් ය.

"එයාලා කරන එව්ව එයාලට.අපි කරන එව්වා අපිට .බැරිම වුණෝත් අපි මෙව්ව විකුණල දාලා ගමට යනවා.දැන් මේ ළමයින්ගෙ ඉගෙන ගන්න වැඩත් ඉවරනෙ."

"මුන්ට රජ මගුල් තියෙයි..පරම්පරා දේපල මුන්ට බයේ දාලා ගියොත්......"ලතා ගේ ඇස් කෝපයෙන් නලියයි.ලතා කවදත් පවුලේ කෙනෙක් ලෙසටම අපට පක්සපාතීය.

"වෙන මොනා කරන්නද ලතා.මොකෝ මිනී මරා ගන්න කියලයැ.!"