Thursday, January 27, 2011

මහ ගෙදර කතාව 2



මහගෙදර කතාව 1 පටන් ගත්තෙ ගෙතිල්ල ගැන කියන්න නෙ.අන්තිමට කතාව යන්නෙ කොහෙද මල්ලෙ පොල් වුණා.මුලින් මුලින් ආච්චි මට ගොතන්න කියලා දුන්නෙ අර ගෝනි වල තියෙන ලනු වලින්.ඉස්සර කඩ වලින් සීනි පරිප්පු ගත්තම පත්තරේ ඔතලා ඒ හීනි නූලක් වගෙ ලණුවලින් ගැටගහලා දෙන්නෙ.අපෙ ආච්චි හරි අරපිරිස්සම්කාරයි.පස්සෙ උවමනා වුණම ගන්න කියලා ඒවා එකතු කරලා තියා ගන්නවා.ඒවා විතරක් නෙවි.වත්තෙ වැටිලා තියෙන කොට්ට පොල් ගෙඩියක් වත් අහකට නම් යන්නෙ නැ.රහට කොට්ට පොල් සම්බෝල හදන්න ආච්චි දන්නවා.
ආච්චි තරුණ කාලෙ හෙදියක් ලු.ඒත් විවාහෙන් පස්සෙ ආච්චි රස්සාව කරනවට අපේ සීය කැමති වෙලා නැ.( :/ )ඉතින් ආච්චි මම වගේ නොවුණ හින්දම ,සීයගේ සුවච කීකරු බාරියාව වෙල ගෙදර නැවතුණාලු.මට අවුරුදු 3ක විතර කාලෙ තමයි ආච්චිගෙ අම්ම නැති වුණේ.ආච්චිවත්, සුදු ආච්චි ඒ කිව්වෙ ආච්චිගෙ නංගි වත් කැගහලා ඇඬුවෙ නැ.පස්සෙ කාලෙක ඕක ගැන කතාවක් ඇදුණ වෙලාවක ආච්චි කිව්වෙ ආච්චිල ගෙදර ඉන්න කාලෙ, ඒ කාලෙ හැටියට ගැනු ළමයෙක්ට නොදෙන තරමේ නිදහසක් දුන්න ආච්චිගෙ අම්මා වෙනුවෙන් බොරුවට කැගහලා නොඇඬුවට, ඉටුකරන්න ඕන යුතුකම් සේරම ඉශ්ට කලා කියලයි.ඒක නම අදටත් මට තෙරුම් ගන්න බැරි කතාවක්.සමහර විට ආච්චි තමන්ගෙ විවාහෙ ගැන අසතුටින් උන්න වෙන්නත් ඇති.
ඉතින් මම මේ ආච්චිලගෙ ගෙදරම වාඩි ගහගෙන හිටියෙ ඇයි කියලත් හිතෙනවා ඇති නෙ . ;).මම ඉපදුන කාලෙ අම්ම රැකියාවක් කරමින් ඉඳල තියෙන්නෙ.ඒත් මට අවුරුදු 2ක් විතර වුණාට පස්සෙ අම්මට ආපහු රැකියාවට යන්න අපෙ අප්පච්චි අවසර දීල තියෙනවා.අම්මා කරලා තියෙන්නෙ දුරින් නැදැ වෙන ආච්චි කෙනෙක්ව මාව බලා ගන්න තියලා මාව මහ ගෙදර නවත්තන එක.හි හි!!ඊට පස්සෙ තමයි මරු කතාව.අපෙ ආච්චි අර මාව බලා ගන්න තිබ්බ කෙනාට කියලා වී තම්බන්නයි ,කඩේ යවන්නයි පටන් අරන්.අන්තිමට මාව බලා ගන්න වෙලා තියෙන්නෙ අපේ ආච්චිටම තමයි.අර ආච්චි යන්න ගිහින්.
ආහ්! ගෙතිල්ල.ඔන්න ඉතින් අහිංසක මම ගෝනි ලනු වට කරන් ගොතනවා දැකලා දුක හිතුන අපේ සීයා මට අලුත්ම වූල් බෝල 2ක් ගෙනත් දුන්න.දම් පාටයි කළු පාටයි.අදටත් මගෙ ප්‍රියතම පාට දම්.කොහොම හරි මට ආච්චිගෙන් ඉගෙන ගන්න පුළුවන් වුණේ කටු දෙකෙන් යන්තම් පටියක් ගොතන තරම විතරයි.පස්සෙ කාලෙක මම ශිෂ්‍යත්වෙ පාස් වෙලා නුවර යාම,නංගිලා මල්ලිලා පවුලට එකතු වීම,ආච්චි සහ සීයා අසනීප වීම වගෙ මෙකී නොකී කාරණා හුඟක් ඒකට බලපාන්න ඇති.

2 comments:

  1. ඔයා මැහුම අස්සෙන් රසවත් කතාවකුත් මහගෙන යනව නේද?

    ReplyDelete