Friday, September 21, 2012

කවිය අවිය විය!

      

 දැන් කවි වලට කිසි "ඩිමාන්ඩ්" එකක් නැහැ.ඉස්සර වගේ නෙවෙයි.දැන් පත්තර වලිනුත් කවි පිටු අයින් කරලා.එන්න එන්නම ඉල්ලුම වැඩි වෙන්නෙ කතාන්දර වලට.මිනිස්සු කැමතියි කෙටි බරපතල කවි වලට වඩා අලගිය මුලගිය විස්තර දාලා ලියපු කතාන්දර වලට.

කොහොමත් අපි ඉස්සර ඉඳලම කතන්දරවලට ලැදි ජාතියක් ලු නේ.ඒත් එහෙමම කියන්නත් බැහැ.මිනිස්සු කැටපත් පවුරේ කතා ලිව්වෙ නැ නෙ.ඒක නම් එක්කො මහන්සිය හින්දා වෙච්ච එකක් වෙන්ට ඇති .අර මහ පර්වතේ නැගලා නැගලා අසිරිමත් ආලකමන්දාව දැකලා නොලියා යන්ට බැරිකමට ලියපුවා වෙන්ටත් ඇති.රජ්ජුරුවන්ට මොනවා හිතෙන්න ඇද්ද?,මහේසිකාවො කොහොම ඉන්ට ඇද්ද?පිදුරංගල වඳින්ට යන්ට ඒ මහේසිකාවො කොහොම සූදානම් වෙන්ට ඇද්ද? ආදී වසයෙන් නෙක නෙක කතා හිතේ මැවිච්ච පලියට ඕක එක පාරටම ලියා ගන්ටත් බැරි වෙන්ට ඇති.ලේසියට කුරුට්ටක් කොටලා යන්න ඇති.කොයික කොහොම වුණත්එහෙම බැලුවම කවිය කියන්නෙ කතාන්දර දහසකින් කියන්ට බැරි දේවල් කියන්ට පුළුවන් මාධ්‍යක් කිව්වට වරදක් වෙන්නෙ නැහැ.
   
අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනේ ගොඩගේ මැදුරේ අර ඉස්ටේජ් එක උඩ තියෙන "ස්ටෝල්" එකේ බිත්තියක ලංකාවේ සාහිත්‍ය විකාශනය වෙච්ච හැටි ගැන විස්තරයක් ඩිජිටල් බැනරයක් හැටියට එල්ල්ලලා තිබ්බා.හරි හමනකට කියව ගන්න බැරි වුණේ රැ බෝවෙලා හින්දා අපි කාටත් එතනින් ඉක්මනට පිටවීමේ තදියමක් තිබ්බ හින්දා.ඒක හරියට කියව ගත්තා නම් මේ කතාව මීට වඩා ගැඹුරට විස්තර කරලා කියන්න තිබ්බා.

ආයෙමත් සීගිරි කුරුටු ගී වලට.ඉනාමළු කෝරලේ විතරක් නෙවෙයි හතර දිබ්බාගෙන්ම ආව මිනිස්සු මේ අසිරිමත් නිර්මාණේ දැකලා ,කලාගාරයක් නැරඹීමෙන් ලද ආශ්වාදය කවියක් බවට හරවලා ඉතිරි කරලා යාවි කියලා හිතන්න තරම් කැටපත් පවුර එතන පිහිටවපු කාෂ්‍යප රජතුමා හෝ අදාල ගෘහ නිර්මාණශිල්පියා මොන තරම් රසවතෙක් වෙන්න ඇතිද?ජීවිතය පරදුවට තියලා අවම පහසුකම් යටතේ මීටර් දෙසීයකට ආසන්න උස් පර්වතය තරණය කරන්න බාල මහළු වෙනසක් නැතුව ඇදී ආව මිනිස්සු මොන තරම් රසකාමියො වෙන්න ඇද්ද?

 සීගිරි ගී ලියන්න සීගිරි රසවතුන්ට ලැබුණ හොඳම උත්තේජකය වෙන්නෙ අවට සොබා සිරිය හා එක් වෙච්ච සීගිරි බිතුසිතුවම් නෙ.හයසිය අසූවක් විතර වුණ මේ සීගිරි ගීත සමකාලීන අනෙකුත් සාහිත්‍ය නිර්මාණවලට වඩා හාත්පසින්ම වෙනස් බවකුයි බෙල් මහත්තයයි,පරණවිතාන මහත්තයයි කියන්නෙ.ඇත්ත!කවුරු මොනවා කිව්වත් කවියා තමයි මම විශ්වාස කරන හැටියට කාලයට සාපේක්ෂව භාෂාව සහ චින්තනය එක්ක පෙරලිකාරකම් දක්වන නිර්මාණ කරුවො අතරින් ඉස්සරහින්ම ඉන්නෙ.


 ජයවේවා! කවියට සහ සියළුම කවියන්ට!

ඉතිරිය පසුවට....... 

4 comments:

  1. // දැන් කවි වලට කිසි "ඩිමාන්ඩ්" එකක් නැහැ.ඉස්සර වගේ නෙවෙයි.දැන් පත්තර වලිනුත් කවි පිටු අයින් කරලා.එන්න එන්නම ඉල්ලුම වැඩි වෙන්නෙ කතාන්දර වලට.මිනිස්සු කැමතියි කෙටි බරපතල කවි වලට වඩා අලගිය මුලගිය විස්තර දාලා ලියපු කතාන්දර වලට.//

    කතන්දර වලට ජයවේවා !!

    ReplyDelete
  2. කවිය පිළිබඳව ඔබේ කියවීම ගැන අර්ධ වශයෙන් මා එකඟයි. නමුත් මගේ අදහස නම් වර්තමාන කවිය සාමාන්‍ය පොදුජන සමාජයෙන් එපිටට ඉදිරිගාමී වී තිබෙනවා, අද කවි කියවන්නේ අතළොස්සක්, බොහෝවිට ඒ කවි ලියන පිරිසම පමණයි වාගේ. ජන කවිය සාමාන්‍ය මිනිසුන්ගේ අවිය වූයේ එය ඔවුන් සමග ඔවුන්ගේ භාශා විලාශය ,දැනුම සමග සමගාමී වූ නිසයි. නමුත් වර්තමානයේ තත්වය වෙනස් සංස්කෘතික සමානකම් එලෙසින්ම තිබියදී මිනිසුන් එකිනෙකා අතරෙහි පරතරය විවිධ සාධක සමග දුරස්වී තිබෙනවා... ඔබ හොදින් නිරීක්ෂණය කළහොත් පෙනේවි කවි කියවන කවි ලියන මිනිසුන් අතරෙහි පවතින සාදෘශ්‍යතාවයන්....

    ReplyDelete
  3. සීගිරිය නිර්මාණය කරපු රජතුමාගේ හෝ නිර්මාණ ශිල්පියාගේ රස කාමීත්වය පිළිබඳ ගැටලුවක් නැහැ.... නමුත් ඕකට ආපු අය ඔක්කොම රස කාමියෝ නම් වෙන්න බැහැ. එක ටිකක් අතීතකාමී සිතුවිල්ලක්... ඒත් මතක හිටින කවි ටිකක් ලියන්න තරම් අතලොස්සකුත් ඔතැනට එන්න ඇති...

    මමත් කවියන්ට තමයි වැඩිපුර කැමති.... මොකද ඉස්සරහට මාත් කවි ලියන්න හිතන් ඉන්න නිසා

    ReplyDelete