Saturday, October 22, 2011

කට ඇති පුතාලා ද ? කට ඇති දුවාලා ද? ;) හා..හා... කට කට!!!!






මේ කතාන්දරේ ලියන්න ඕන කියලා හිතුනේ දුකා අයියගේ මේන්න මේ කතාව හින්දා.මම බ්ලොග් ලිවිල්ලට හේත්තු වෙන්න දුකා බ්ලොග් රාජයත් ලොකුම හේතුවක් වුණ නිසා දුකා අයියගේ බස් රේඩියෝ කතාවට සුබ පතන ගමන්ම මේ කතාවට එන්නම්කෝ.ආ...කකා කියවන අය දන්නවනේ "නේම් ඩ්‍රොපින්" කතාන්දර ගැන.පටන් ගන්න කලින් කියන්නේ මේකත් ටික වෙන්න ඒ වර්ගේ එකක්.පස්සෙ චරු චුරු බැහැ හරිය?...:)

කලිනුත් මහගෙදර විත්ති වල කියලා තියෙන හැටියට පවුලට එකතු වෙච්ච බාලයෝ දෙන්නට පින් සිද්ද වෙන්න වීතරාගීගෙ බාල කාලෙන් වැඩි කාලයක් ගෙවුණේ මහගෙදර නෙ.ඒ කිව්වේ වීතරාගීගේ පියාණන්ගේ දෙමාපියෝ වසන නිවාසේ.නිවාසේ සහ අක්කරයකට ආසන්න පලවැලින් බර වත්තකට වෙලා තනි මට කරන්න මොන තරම් දේවල් තිබ්බද කියලා මේ කතාන්දර බලපු අයට මතක ඇති.

ඔය කාලේ ලංකාවෙ වැඩිය ටීවී තිබ්බ කාලයක් නෙවෙයි.ඒත් ආච්චිලාගේ ගෙදර ටීවී එකක් සහ රේඩියෝ එකක් තිබීම වීතරාගී තමන්ගේ ගෙදර පස් පාගන්නවත් කැමැත්තක් නැති ළමයෙක් කළා කිව්වොත් වරදක් නැහැ.ඔය කාලේ වීතරාගී අකමැතිම කාරණාවකට තිබ්බෙ රැ අටට නිස්සබ්දව සීයා ළඟ වාඩි වෙළා ප්‍රවෘත්ති බලන්න එක අනිවාර්යවෙච්ච එකයි,නිදා ගන්න කලින් ආච්චි ලයිට් නිව්වොත් හුස්ම හිරවෙලා මැරෙයි කියලා තිබ්බ බයයි විතරයි. ;)

ඒ කාලෙ අර දුකා අයියා කිව්ව විදිහට දවල් දොළහට විතර ආච්චිගෙ කරවල බැදුමේ , අල කිරි හොද්දේ සුවඳ ගේ පුරා දෝරේ ගලමින් බඩ පණුවන් පිනුම් ගස්සන වෙලාවට තමයි "ඩින්ගො ඩින්ගි ඩින්....."මියුසික් එකත් එක්ක රම්‍යා වනිගසේකර නෝනා ප්‍රවෘත්ති කියන්න පටන් ගන්නේ.වීතරාගීට මතක කාලෙක ඉඳන් සාලෙ එලපු පොඩි කලාලෙක වාඩි වෙලා වීතරාගී බත් කන්න ගන්නේ ඒ රම්‍ය කටහඬ අහගෙන.ටික ටික ලොකු වෙලා අලුත් අලුත් නිවේදිකාවෝ කොච්චර ප්‍රවෘත්ති කියනවා දැක්කත් වීතරාගීගේ හිතට කාවැදිච්චම හඬ වුණේ රම්‍යා වනිගසේකර මහත්මියගේ හඬ.

ඔහොම කාලේ ගෙවිලා වීතරාගී සිස්සතේ එහෙම පාස් වෙලා බාලිකාවට යන්න ගත්තා.බාලිකාවේ ලොකු "සන්නිවේදන ඒකකය"ක් (Broadcasting Unit ) තිබ්බනෙ.උදේට ධම්ම පදය කියන,ප්‍රවෘත්ති කියන,පන්සිල් දෙන එව්ව ඔක්කොම කළේ අර හැම පන්තියකටම හයි කරලා තිබ්බ පෙට්ටියක් වගේ එකකින් නේ.ඒ කාලේ සන්නිවේදන ඒකකේ "නිවුස්" කියන අක්කලා මුළු ඉස්කෝලෙ ම ප්‍රසිද්ධයි.මිස්ලගෙනුත් විශේෂ සැලකිලි නැතුවාම නෙවෙයි.ඉතින් වීතරාගී ඉස්කෝලෙට ගිය කාලේ ඉඳන් "නිවුස් කියන අක්කෙක් " වෙන්න ඕනෙ කියන එක හිතේ වැඩ කලේ හරියට කවදා හරි"ඇමරිකන් අයිඩල් වෙනවා" වගේ ටිකක් ලොකු සයිස් එකේ ටාගට් එකක් හැටියට.


ඕන්න ඉතින් කාලේ ගෙවිලා ගෙවිලා වීතරාගීත් අක්කලාගෙ වයසට ඒ කිව්වෙ දොලහේ පන්තියට ආවා.ඔය සන්නිවේදන ඒකකේ වැඩත් ටිකක් අමුතුයි.හැම අවුරුද්දකම මුල වාරේ දවසක 12 වසරේ ඉන්න ළමයින්ට නිවේදනයක් දෙනවා ප්‍රවෘත්ති නිවේදිකාවන් වෙන්න බලාපොරොත්තු වෙන අය අහවල් ශිෂ්‍ය නායිකාවට නම් දෙන්න කියලා.ඊට පස්සේ දවසක හවසක මේ හැමෝටම ප්‍රධාන ශාලාවට එන්න කියලා ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා ඉදිරිපත් කරල පෙන්නන්න කියනවා.එතනින් ආරාධිත විනිශ්චය මණ්ඩලය තෝරන හොඳම දහදෙනා තමයි ඒ අවුරුද්දෙම පාසලේ ප්‍රවෘත්ති කීම සහ අනෙක් හැම උත්සවේකම වාගේ නිවේදන කටයුතු කරන්නේ.

ඕන්න අදාල හවස උදා වුණා.මෙන්න බොලේ12 වසරින් බාගයක්ම වාගේ එතන.එකසිය පනහක් දෙසීයක් විතර.ඔය වයසට ඉතින් ඔය වගේ දේවල් වලට ඇල්ම නැත්නම් ඒක ලෙඩක් වෙන්න ඕනනෙ. :P දැන් නම් වීතරාගීට ආපු මෝඩකම් කියලයි හිත.ආපහු යන්න හදනකොටම තමයි දැනගත්තේ නිවේදිකාවෝ තෝරන්න ඇවිත් තියෙන්නේ කවුද කියලා.ආයේ වෙන කවුද .......

අපේ රම්‍යා වනිගසේකර නෝනා මහත්මිය මිසක. :)

ඕන්න ඉතින් වීතරාගීත් තරඟෙට සහභාගී වුණා.වීතරාගීගෙ වීරවරියත් හොඳට හිනාවෙලා ලකුණු දානවා වීතරාගී බලාගෙන.එදා ගෙදර ගියේ ඒ හිනාව හිත පුරාම ඇඳගෙන.ඉස්කෝලෙට මොනතරම් ජනප්‍රිය චරිත ආව ගියත් ළදරු කාලේ ඉඳන් වීරවරියක් මෙහෙම මුණගැහීමේ අමුතුම එකක් තියෙනවනේ....

කතාව එච්චරයි.දවස් දෙක තුනකින් තෝරගත්ත නිවේදිකාවන්ගේ නම් දාල තිබුණා ප්‍රධාන දැන්වීම් පුවරුවේ. වීතරාගීගෙ නමත් උඩින්ම තිබ්බය කියන්නේ.. :))))))

ඒක වීතරාගීගේ ජීවිතේ වැඩී.......යෙන්ම සතුටු වුණ දවසක් කිව්වොත් බොරුවක් එහෙම නෙවෙයි ඕන්.... :)

ඒත් එක්කම ප්‍රවීණ නිවේදිකාවක් වගේම දක්ෂ චරිතාංග නිළියක් වන රම්‍යා වනිගසේකර මහත්මියට,මගේ නිවේදන ලෝකේ වීරවරියට දීර්ඝායුෂ ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. :)

6 comments:

  1. විනඩි තුනකින් අතීතයට ගිහින් ආයෙමත් ආවා වගේ හිතට දැනෙන්නේ. මාත් ඔය මියුසික් එකට හරිම ආසයි. අඩ ඩින්ගෝ ඩින්ගෝ ඩින් කියලා මියුසික් එක ඉවර වෙලා ටීක් ටීක් ටී....
    කියන එකටත් ගොඩක්ම ආසයි.

    ReplyDelete
  2. ඊට පස්සෙ අවමංගල්්ය දැන්වීම් නේද?මටත් මතකයි මං ටක් ගාල ඕෆ් කරනවා ඒවා අහන්න තියන අකමැතිකමට!

    ReplyDelete
  3. හරියටම 12.45 ට තමයි ඔය ප්‍රවුත්ති යන්නේ ..මටත් අද වගේ මතකයි ඒ කටහඩ...අපේ මාමලා ඔය තාලෙට සින්දුවක් හදලා තිබුනා ..."ඇන් ඇම්ට පුලුවන්ද හත් හවුල පෙරලන්න // කැත සිරිමා // උබ තුහ්" හරියටම ඒ තාලෙට හරියන්න ඕක කියනවා......

    ReplyDelete
  4. මට මෙකෙන් ආයෙත් ඔයාගෙ මහගෙදර කතා සෙට් එක බලන්න හිතුනා..ඒ ටික මම ආසම අක්කෙ..
    ඔයා ඉතින් එදා ඉඳන් දස්සි නෙ..

    ReplyDelete
  5. මටනං කට ඇති දුවලා පෙන්නන්ඩ බෑ :)

    ReplyDelete
  6. දැං තමයි බ්ලොග් එක දැක්කෙ... පාඩුවෙ කියවනවං කියලා ආපු එකේ කොමෙන්ටුවක් දාන්ට හිතුනා.... කියවලාම දානකං හොඳේ...

    ReplyDelete