Wednesday, March 22, 2017

මම කැමති

ඇස්පියා ගත්තමත්
සීරුවට බිඳි බිඳී යන සද්දෙ

කෝඩුකාර උගුරක
ගුඩු ගුඩු සද්දෙට
බීර උගුරක් තරම් සීරුවට
මට කියන්න
ගලන්නට බැරි ඇයි ඔබට

කාර්‍යාලේ
පංකා පවා නිදිකිරන
දුරකතන රැහැන් අස්සේ
ඔබෙ කටහඬ ගලන්නෙත්
තවරගෙන නිදිමත
මධු විතක් තරම් මුදුවට
තොල්තෙමන්  ගලන්නට බැරි හැටි ඔබට
අපමණක් මධු වැනුම් ලිව්වට

මම දන්නවා
වර්ණනා කළ තරම්
මධු මතට ප්‍රේමයක් නැහැ ඔබට
ඔබ කැමති තනිකමට

ඇත්තයි
තෙල් කටාරමක පැහෙද්දී
ලුණු හුලඟක් උණත් සීතයි සනීපයි
ලපටි පාවහන්පටි ගැන කියද්දී
මට
ඉරිසියා හිතෙන්නේ ඒකයි

මූදු වෙරලක් ළඟ
නිවාඩු පාඩුවේ නිවෙන්නට නෙවෙයි
ලාබ උපමාවක් වුණත්
රැළි සරැළි නැති
මහ දෙනෙත් සාගරේ
කිමිදෙන්න
ඉපිලෙන්න
ඉඩ දෙතොත්
නවතින්න

මගේම විදිහකට
ඔබේ හිත
ප්‍රෙහෙලිකාවක් වගේ තෝරන්න

නොතේරෙන හැටි ඔබට
ඔබ ඉතා කැමති
වෛවර්ණයට දැනෙන
දුමක්, දුම් වලල්ලක් වාගෙ
අවසාන මොහොතේ
කිසිවකුට නොදැනෙන්න
තුනී වී මැකී වියැකී යන්න

ලෝකයක් යැයි යමක් නැති තැනක
අකනිටා බඹ ලොවට ළඟ තැනක
එකට දියවී යන්න

නොතේරෙන හැටි ඔබට...

ඒත්
වැඩියෙන්ම මම කැමතිත්
කතාවේ ඒ ටිකට
ඔබේ දැනුම් තේරුම් පථයෙන්
එපිට හෝ මෙපිට මං ඉන්නෙකට......



No comments:

Post a Comment