Sunday, August 22, 2010

"සුවඳ සමන්" 1


. හැමදාම කරදර කරනව පරණ කතාවක් කියන්න කියලා,හ්ම්ම්....ඒකත් නරකම නෑ.ඒත් අමා අපි කොතනින්ද පටන් ගන්නෙ.හිත හිතා ඉද්දි තමයි "සුවඳ සමන්"විවාහ ආරාධනාව" අරන් හිතෙන් එලියට ඔලුව දැම්මෙ.(සිනා සමඟ සිනා).
සුවඳ සමන්ව මුලින්ම දැක්කෙ සමන් දේවාලෙදි.අම්මගෙ ඔෆීසියෙ විනෝද චාරිකාවෙ පලවෙනි දවසෙ හවස් වරුවෙදි.අහිංසක හුරුබුහුටි තැන්පත් කොලුගැටයා.දුටු පමණින් සිත පැහැදෙන ප්‍රේමණීය හිනාව,අමාට හිනා වෙන්න හිතක් පහල වුනේ නෑ කොහෙත්ම.ඒත් මූණුවර මතක හිටියා අපූරුවට.
කතරගමට යද්දි හැන්දෑ වෙලා,බස් රියෙන් බැහැගත්ත ගමන් සුවඳ සමන්ගෙ අම්ම අමාගෙ අම්ම ලඟට ආව.දෙන්න බරපතල මිතුරියො.අමාට සුවඳ සමන් ගැන අම්ම කියපු පරණ කතා ටික මතකෙට ගලාගෙන ආවා.
පව්!සුවඳ සමන්ට තාත්ත නෑ.සුවඳ සමන් පොඩි කාලෙමයි ඇක්සිඩන්ට් එකකින් තාත්ත නැති වෙලා තියෙන්නෙ.
ඊට පස්සෙ කතාව හරිම සාමාන්‍යයි.සුවඳ සමන් අමා එක්ක හිනා වෙනවා.රෑ සුහද හමුවෙදි කතා කරනවා.ලා බාල යුවතියක් හරහා ප්‍රේමයත් ප්‍රකාශ කරනවා.අමාත් කතන්දරේ විය යුතු විදිහටම අකමැත්ත ප්‍රකාශ කරනවා.ගමනෙ අවසානය වෙන්නෙ බොහොම ලස්සන සංඛපාල විහාරෙ විහාර මලුව.

ඒක තමා අමාගෙ ජීවිතේ ප්‍රථම ප්‍රේමාරාධනාව වෙන්නෙ.අමා එකඟ වෙන්නෙ මිත්‍රත්වයකට විතරඉ.ඒ ඇත්තටමද කියල අදටත් අමාට හිතා ගන්න බෑ.අමාගෙ හීන වල ඉන්න ඇත්තෙ ඊට වඩා වෙනස් කුමාරයෙක් නිසා වෙන්න ඇති.
මිත්‍ර ලීලාවෙන් අමා සුවඳ සමන් එක්ක ලිපි හුවමාරු කරන්න පටන් ගන්නව.සුවඳ සමන් අමාගෙ බොහොම හොඳ මිත්‍රයෙක් වෙන්නෙ අමා නොහිතන වේගෙන්.සුවඳ සමන්ගෙ මිත්‍රත්වය තැවරූ ලිපි වලට යටින් සියුම් ආදරයක් ගලනවා.අමා නොතේරුනා වාගෙම ඉන්නව.:)
අපූරුම සිදුවීම වෙන්නෙ ඊට පස්සෙ.අමාගෙ ඉස්කෝලෙ නාට්‍ය සංගමේ සභාපති වෙන්නෙ අමා.ළමා නාට්‍ය උළෙලට යවන නාට්‍යයෙ පුහුණුවීම් අතරෙ අමාට අහම්බෙන් සුවඳ සමන්ගෙ ගමේ සිසුවියක් මුණ ගැහෙනවා.හෙහ්!සුවඳ සමන් මේ ළමයටත් තමන්ගෙ අමා පිලිබඳ ප්‍රේමය ගැන කියලා.අමාට සුවඳ සමන්ගෙ ආදරේ තරම දැනෙන්නෙ එදා.
ඔන්න දැන් අමා බලාගෙන ඉන්නෙ සුවඳ සමන් තමාගෙ ප්‍රේමය අමා ඉස්සරහ එලි කරනකල්.ඒත් ගමක ඉපදුණු සුවඳ සමන් ගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.අමා කාලෙත් එක්කම ඒක අවබෝධ කරගෙන හිත හදා ගන්නව.(එහෙමලු )
යෝධයා අමාගෙ ප්‍රේමවන්තයා වෙන්නෙ ඊට පස්සෙ.(සිනා පිට සිනා).සුවඳ සමන් ගමෙන් නගරෙට එනවා.කොළඹ ලොකු කවුන්සිලේක රස්සාවක් ලැබෙනවා.අමාගෙ අම්මා අතේම තමන්ගෙ ජංගමයගෙ අංකෙ අමාට එවනවා.කාලෙකින් තොරතුරු දනගන්න කලින් සුවඳ සමන්ට විහිලුවක් කරන්න හිතාගෙන අමා දුරකතන අංකෙ දෙන්නෙ තමන්ගෙ ප්‍රාණ සම මිතුරියට.......

Wednesday, August 11, 2010

------------------------------------------------------------------------------------

ඉඳිකට්ටා අත්කරගෙන හිටපු ජීවිත බිම්කඩ හදිස්සියෙම හිස්වුණා.කාටවත් පුරවන්න බැරි ජීවිත පුරප්පාඩුවක්.
අද ඉඳන් හැම දුකක්ම,සැපක්ම,කඳුලක්ම,අවිනීතකමක්ම,සම්මතෙන් පිට කියන්න පුලුවන් හැම දේම මම කියන්නෙ ඔයාට අමා.
ලෝකෙ උපත් මරණ අනුපාතිකය හුඟක්ම අඩුයිලු මෙහෙ.
අපරාදෙ!
එහෙම නොවෙන්න ,වින්නඹුවකගෙ අඩු දැනුම හේතුවෙන් අඩුමාසෙන් ඉපදිච්ච වීතරාගී උපන් ගෙයිම මල දරියක් හැටියට පවුල් පොතේ රන් අකුරින් ලිය වෙලා මතක් වුනොත් පොඩි කඳුලක් උපද්දවන චරිතයක් වෙන්න තිබුනා.

ඉබ්බල,ඉඳිකට්ටල ,ජෙමාලා...........................................................

මලවුන් අතරෙදි මුණ ගැහෙන්න, එකට අන්තර් බව වල සරිසරන්න,තන්මාත්‍රික ක්ෂුද්‍ර
ප්‍රාණීන් හැටියට අවංක හැඟීම් බෙදාගන්න,ශාරීරික සීමාවෙන් ඔබ්බට හුදු ප්‍රේමය බෙදා ගන්න,බරපතල වචන දවටන්නෙ නැතුව (හරියට මේ වගේ)ලෝකෙට හිත නිරුවත් කරන්න මට තිබුණා අමා.

ගැහැණු ආත්මයක් ශරීරෙකට ඈඳලා එකට සම්මතය යට තියෙන පාක්කුඩම් හොන්ඩරයක් ගැට ගහලා ඇදගෙන පලයන් කියන එක රීති ගත කරලා මේ විදිහට මාව හිරකලාට වඩා ඉපදුන වෙලාවෙම කකුල් කෙටියෙන් උස්සල දෝත බදලා මාව පොලවෙ ගැහුවනම් ඉවරයි.

ඉඳි කට්ට කියන්නෙ මේවා අපිම කරපු කියපු දේවල විපාක ලු.කාටද ඒක එහෙමයි කියන්න පුලුවන්.එහෙම නෙවී කියන්නත් පුලුවන්.

ජෙමා කියන්නෙ මේ ප්‍රපංච ඇතුලෙ අපිව හිරකරලා නටවන අදිසි බලයක් වගෙ දෙයක් කියල.මොන අට මගල හරි ඇයි ?ඇයි දුවන අතකට යන්න නොදී හැඟීම බලු දම්වැල් ඇත්තටම "බලු"දම් වැලින් ගැට ගහන්නෙ?දම් වැල කඩා ගත්ත එකාට සාතන් කියල ගල් ගහල මරන්නෙ?


සාතන් කියන්නෙ දේවත්වය නොවෙන්න පුලුවන්.ලෝක සම්මතය ඇතුලෙ පවතින්න පුලුවන් සාතන්ල නොවන අයට විතරද ?මට මැරෙන්න බෑ අමා.
ජීවත් වෙන්න්න ඕනෙ,
අනේ!මාව නිදහස් කරන්න කියන්න...............

Monday, August 2, 2010

පිරිමි හරි කැමතී ගෑණුන්ගෙ දුර්වල කම් වලට.දුර්වලකම් අගේ කරන්න,හුරතල් කරන්න,පටලවගෙන සද්දෙ දාන්න.වීර නෙල්සන් කෙනෙක් වෙන්න.ලිහා දැමීම ,දක්කගෙන යාම කැමති දෙයක් . . එකනෙ ගෑණුන්ගෙ ඇඬිල්ල ඔච්චරම ඩිමාන්ඩ්.අවස්තාවෙ හැටියට බනින්න හෝ හුරතල් කරන්න.......කැමැත්තක්.මම රැව්වා ඉඳිකට්ටව පිච්චිල යන්න.ඉඳිකට්ටා සූ.......ගාගෙන අහකට පැන්න.

Monday, June 28, 2010

පොතක් ලියන්න තරම් දක්ෂකමක් වත්,ලේඛන කලාව ගැන කරපු කිසිම හැදෑරීමක්වත් නැති එකේ මේ කතන්දර පොතක් කරන්නෙ මොකටද කියලාමයි උත්තරාට හිතුනෙ.අනෙක පිලිවෙලක් නැති කෑලි අමුණපු මේ කතාවට රහ කවල හැඩ දාල පොතක් කරන්නෙ කොහොමද?එක අතකට පොතක් ලියන්න කතාවක්ම ඕනේ යැයි?හිතේ තියෙන හැමදේම ලිව්ව කියල ඒක පොතක වෙනවයැ.නිකන්ම නිකන් ගිත හෑල්ලු කරගැනිල්ලක් විතරයි,පෑන අතට ගත්ත උත්තරා ඊලඟට කල්පනා කරන්න ගත්තෙ ඒ ටික.
ඉස්සර නං ප්‍රශ්ණයක් ආපු ගමන් කරන්නෙ උත්තරයක් ලැබුනත් නොලැබුනත් "රයන්"ගෙන් අහන එක.අවුරුදු ගානක්ම උත්තරාගෙ ප්‍රශ්ණ.උත්තර ,විසඳුම් රයන්ගෙ.ක්‍රියාත්මක කරන්නේ උත්තරා.
රයන්ට තමන්ගෙ ජීවිතේ එච්චර තැනක් දුන්නෙ ඇයි කියලා උත්තරාටත් පුදුමයි.ඒක ආදරේද?ආදරේ තමයි.ඒත් ඇයි එහෙනම් රයන් වෙනුවෙන් ජීවත් වෙන්න බැරි?බැරි කමකුත් නැහැ.අවුරුදු පහක් කියන්නෙ පොඩි කාලයක් නෙවේ නෙ.උත්තරා අවුරුදු පහක්ම කලේ රයන් කියපු දේවල්.මින් ඉස්සරහටත් ඒක එහෙමමයි නෙ.ඉඳලා හිටලා පාරෙන් පිට පනින කෝච්චියක් වාගෙ උත්තරාටත් වලංගු නැති හිත පීලි පනිද්දි නම් උත්තරාට තරහයි.රයන් කියන දේ කරලා රයන්ගෙ හිත සතුටු කලාම ප්‍රශ්න නෑ නෙ.ඉඳලා හිටලා රයන්ට ටිකක කේන්ති යනවා තමයි.ඒත් පතන හැමදේම ජීවිතේදි ලැබෙන්නෙ නෑ කියලා තේරුම් ගන්න බැරිතරමේ පොඩි එකෙක් නෙවීනෙ උත්තරා.
ඇයි එහෙනම්?ඇයි මේ???රයන් ඕන කරන හැම දේම දෙද්දිත් උත්තරා පීලි පනින්න හදන්නෙ,නැහැදිච්ච කමද?ආදරේ නැති කමද?රයන්ගෙ ආදරේ උත්තරාගෙ හීන එක්ක නොගැලපුන එකද?
මන්දා,කොහොම වුනත් ජීවිතේ හරිය වරද කියලා දෙයක් තියෙනවද?

ඔක්කොම දමල ගහලා මම නැගිට්ටෙ පිරිත් පොත ගන්න.

Wednesday, June 23, 2010

මේ ලියන්නට කියන්නට තබා කිසිවෙකුත් හා කතාවටද නුසුදුසුම වේලාවකි.දිනයකි.නෙල්ලි සුවඳ හමන ෂැම්පු බෝතලයෙන් කාලක්ම ඉහට හලාගෙන ගිනි ගිනි අකුණු කොටන මහ වැස්සේ මිදුලේ කරාමයෙන් සතුටට හෝ දුකට ගැලුවාදැයි නිශ්චිතවම හඳුනා ගන්නට බැරි කඳුළු දියබත්ව යන්ටම නාගත්තේත් ,නිදි ඇඳුම 8.00 වෙද්දී දමාගෙන පිලිවෙල වූයේත් අද දවස කතාවට හෝ ලියවිල්ලට උචිත නොවන වග හැඟුණු නිසාවෙනි.මේ යැයි නිශ්චිතවම පහදා කිව නොහැකි කරුණක් නිසා සිදු වූ මේ විලම්භීතය මින් එහාට කිසිවක්ම නොලියන්නැයි මට බල කරන නිසාවෙන් ලිවිල්ල මින් නවතා ලීමට තීරණය කරමි.කෝප වූවෝ කමා කරත්වා!

Friday, June 18, 2010

මම ආව ජොහැන්නස්බර්ග් නගරෙට.පුරුදු පරිසරයක් නොවුනට මට පුරුදු සුවඳක්.පෙට්‍රල් සුවඳ දිග ඉව අල්ලගෙන ගිහින් මම නැවතුනෙ පාර අයිනට වෙන්න ගලාගෙන ගිය කුණු ඇලක් ළඟ.මම කුණු ඇලට එබුණා.කන්නාඩියකින් බැලුවා වාගෙ මගෙ මූණ වෙනදාටත් වඩා පැහැදිලිව පෙනුණා.මම හිනාවුණා.කුණු ඇලත් හිනා වුණා.වතාවක් දෙකක්.පාර අයිනටම වෙන්න පිපිල තිබුණ කළු රෝස මලත් මා එක්ක හිනාවුණා.එත්!!දැකල පුරුදු මූණක් නේද?ම්හ්!මතකයට එන්නෙම නෑ.නාලාගිරිගෙද?මේ වගෙ කළු හීනි මූනක් තිබුනෙ?හැම වෙලේම හිනා වෙන කළු මූණක්.දූවිලි දැවටුණ.
අමතක කරමු ඉතිහාසය.වාමාවර්තිකව හර්‍ද තර|න්ගයක් ඇවිත් මස්තිෂ්ක පිණ්ඩිකාව කම්පනය කලා.දෙදුරුමට මම තව ටිකෙන් කුණු ඇලේ....

Tuesday, April 13, 2010

.ඉඳිකට්ටෝ.අපි ඔක්කොම පව් නේද?

ඉඳිකට්ටා සිල් අරන්.ඔන්න බේබද්දා මාක් එකට යටින් උපාසක ලේබලය වැදෙන්නයි යන්නෙ.ඒකත් හොඳයි,නැත්නම් කොල්ලයි බල්ලයි ඔක්කොම ඉඳිකට්ටට නක්කලේ දානවා.ඒකට නම් මම කැමතිම නෑ.ඉඳිකට්ටක් වගෙ සරීර කූඩුවක් තිබුනට ඒක ඇතුලෙ මහා සද්දන්ත කරුණාවක් හිර වෙල තියෙන බව මම දන්නව.මෙච්චරම හිත නැහෙන්නෙ ඒක නිසා මිසක් අහවල් දේකටද?
ආත්මාර්ථයට එහ මොකොවත්ම නෑ අමා............

අවුරුදු ගින්න සැරට ඇවිලෙනවා.මාව පිච්චෙනවා වගෙ.ඉඳිකට්ටා ලඟටා ගිහින් පපුවෙ ඇන ගන්න හිතෙනවා.
කිරි කල හතකින් නාල ආවත් මේ ගිනි ගින්න නිවෙන එකක් නැහැ.
ඉඳිකට්ටා කියනව වගෙ මේක අත අරින්නම ඕන.හප්පා.ඉඳිකට්ටෙක් මට කල දෙයක්.!
පන්සල් පල්ලි කොවිල් දේවාල,අවුරුදු විසි පහකට මේ කොහෙටවත් නොපෙනුන ගින්දරක් ඉඳිකට්ටට මම පෙන්නුවා.ඉඳිකට්ටට දුක හිතෙන්න ඇති.මම පව්!

.ඉඳිකට්ටෝ.අපි ඔක්කොම පව් නේද?