Tuesday, September 27, 2022

රුවන් සර්!



 ගුරුවරු  - ඒක හරි ලොකු මාතෘකාවක්.


කවදාවත් ගුරුවරියක් වෙන්න කියලා මට පොඩිවත් බලාපොරොත්තුවක් තිබිලා නෑ. අහම්බෙන් වගේ "ගුරුකමේ" යෙදෙන්න ලැබුණ අවුරුදු තුනක් වගේ කාලෙදි ඒක බොහොම හොඳ තෘප්තියක් ලැබිය හැකි වෘත්තියක් බව අඳුනාගන්න ලැබුණත් දෛවය හෝ එවන් අන් තැනක මගෙ නම ඉදිරියේ එහෙම වාසකමක් දිගටම ලියවිලා තිබුණෙ නෑ.


මගෙ පෙර පාසල්, ප්‍රාථමික පාසල් සහ අනෙකුත් පාසල් ඉතිහාසෙ බැලුවම  ඒක හරිම සුමුදු සුදු මුදු ගමනක්. අවුරුදු දහ හතරටම පෙරපාසල්  හා පාසල් කාලෙ මට ආදරණීය "ටීචලා" "මිස්ලා" මිසක් "සර්ලා" මුණ ගැහිලාම නැති තරම්. දහම් පාසලේ නම් ටිකක් මරුමුස් "සර්" කෙනෙක් හිටි බවට ලා මතකයක් තියෙනවා. ;)


චාලට් ටීච,  විජේසිංහ ටීච, කොඩිකාර ටීච, විජේනායක ටීච, සෝමා මිස්, ඉන්ද්‍රා මිස්, ප්‍රියානි මිස්, අදටත් එක හුස්මට  නම් වැලක් වාගෙ මතකෙට එනවා.


විශ්වවිද්‍යාල ආචාර්‍ය, මහාචාර්‍ය ලයිස්තුව  පොඩ්ඩක් පැත්තකින් තිබ්බම මට නිතර මතකෙට එන අපූරු චරිතයක් ගැන ලියන්නයි මේ ලියමන පටන් ගත්තෙ.


මේ කියන ගුරුවරයා වෙනස්. විවෘත විශ්වවිද්‍යාලෙ ඇතුලෙ අපිට කවදාවත් ඇහැට ඉලක්කයක් වෙයි කියලා හිතන්නවත් බැරි දේවල් "රුවන් සර්" ට පේනවා. අපි නිතර දකින මූණු, සර් මූණුපොතට රූප කාව්‍ය කරලා අරගෙන එනවා


සර් උගන්නනෙ මොන පීඨෙද , මොන විෂයක්ද කියලා මම දන්නෙ නෑ. ඒත් සර්ගෙ ඇස් හොයාගන්න රූපරාමු ඇතුලෙ තරුණකම, ජවය, ආදරය, සැහැල්ලුව, දෝරෙගලනවා. අපිව අවුරුදු හත අටක් අතීතෙට අරන් යනවා.


පුංචි බත්කූරො, ඇහැල්ගස්  අතු ඉති අගිසිවල අමාරුවෙන් එල්ලිලා ඉන්න පිනිබිංදු, තරුණ මානවිකාවන්ගෙ  ඇස්වල උතුරන ආදරේ, පොඩි මඩවගුරක දඟලන අවිච්චි පැටවුන්ගෙ හුරතලේ  ; 



සර් හවසට - හවසට ෆේසබුක් එකේ අලවලා තියෙනවා. වෙහෙසවෙලා වැඩකරලා ගෙදර එන අපේ ඇස්වලට ඒවා අපූරු නිවනක් අරන් එනවා.


ගුරුවරියක් වෙන්න බලාපොරොත්තුවක් නොතිබුණ මම දැන් ගුරු වෘත්තියට ආදරේ කරනවා. ගයනිලා, තුලනිලා , රුවන්තිලා,ක්‍රිෂ් අක්කලා ඒ වෘත්තියේ බර සහ වෙහෙස මට ආයෙ ආයෙත් මතක් කරලා දෙනවා. <3 <3 <3


නිතරෝම හිත නිදහස් කරන, සැහැල්ලු කරන, දැකුම් , ලියුම්, වචන පතන ඕනම කෙනෙක් වගෙ මමත් හිස් අවකාශයකට වඩා පිය සල්ලාප, ප්‍රභාශ්වර රූපරාමු, රසවත් කවි -කතා  අතරේ මරණෙට කලින් උදාවෙන කාලෙන් වැඩි කොටසක් ගෙවාදාන්න කැමතියි. 





එතනදි "රුවන් සර් "  සමාන්තර වෙනස් ලෝකෙක ඉඳන් ඇස් ඉස්සරහ ගෙනත් තියන සුන්දර පාඩමේ නිස්කලංක තප්පරවලට මම වඩ වඩාත් කැමතියි.


එතුමා එක වචනයක් නොහොල්ලා මගෙ ගුරුවරයෙක් වෙන්නෙ එහෙමයි!


ස්තුතියි සර්!❤

1 comment:

  1. අද හොඳ දවසක්!
    සත්තකින්ම . . . . !
    "වීතරාගී" හා "හිතුවක්කාරී" බ්ලොග් දෙකම නැවත ලියන්නට පටන් ගෙන. අපගේ දත්ත වලට අනුව ඔබ දෙපල මේ ලියන්නේ වසරකින්, වසර ගනනාවකින් පසුවයි.
    කවුද මේ අපි කියන්නේ?
    sandhakadapahana.blogspot.com හෙවත් සඳකඩ පහන සින්ඩිය.
    දැනට අවකාශයේ ඇති වඩාත්ම පුළුල් වපසරියක් තුල පැතිරී ගිය; තවත් ලෙසකින් කියනවානම් වැඩිම බ්ලොග් අඩවි ගනනාවකට පිවිසිය හැකි දොරටුව වන්නේ අපගේ සඳකඩපහන සින්ඩියයි.
    මේ වන විට ඔඅබ දෙපලගේ බ්ලොග් අඩවි පිළිවෙලින් "කැටපත් පවුර" හා "බ්ලොග් සඟරා" කොලම ද්විත්වය තුල පෙලගස්වා ඇත! බොහොමත්ම ස්තූතියි නැවතත් ලියනට පෙළඹීම ගැන!
    අපගේ සින්ඩියට ගොඩ වැදී බලන්න.
    හැකිනම් අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොග් අඩවිය තුලින් ප්‍රචාරණයක් දෙන්න.
    ඔබගේ අදහස් වලට අපි බොහෝ කැමැත්තෙමු!

    ReplyDelete