Friday, May 30, 2014

වජිරපාණී 1

      

     මල්ලි ඉපදෙනකොට කළුම කළු  ලු. කෙට්ටුලු.ආච්චිගෙ නෑනා වෙන ආච්චි කෙනෙක් මල්ලිව වහලා තිබ්බ කූඩෙ ඇරලා ඇහුවලු අනේ මේ ළමයට පාණ්ඩුව වගේ නේද කන්නක්කෙ කියලා. මට ඔය කතා එච්චර මතක නැත්තෙ ඒ වෙද්දි මට අවුරුදු දෙකක්වත් නොවිච්ච හින්දා. ඒ වුණාට කෝටු අතපය තිබ්බ මල්ලිත් දොක්කගෙන අම්මා බැරි බැරි ගාතෙ ත්‍රීවිල් එකකින් ගෙදරට ගෙනාව හැටි චායාවක් වගේ මගේ හිතේ ඇඳිලා තියෙනවා.



           ආච්චිට කන්නක්කා කිව්වෙ ගම කන්නාදෙණිය හින්දා.ආච්චි දීග ඇවිත් තියෙන්නෙ ඇතෙකුත් එක්කලු.එච්චරකල් ආසාවට කර කර උන්න අට පාස් අයට ඒ කාලෙ දුන්න නර්ස් රස්සාවත් අත ඇරලා තියෙන්නෙ සීයගෙ අණඥාවට.ඉරිගේෂන් එකේ චීෆ් ක්ලාක්ගෙ නෝනා මොකටද රස්සාවට යන්නෙ. ගොඩින් අක්කර ගාණයි, මඩින් අක්කර ගාණයි නුවර පාර අයිනෙ කඩ කාමර හතරයි. හාල් පොල් ගෙදරම. මොන රස්සාද තව. එංගක්කා ඒ කිව්වේ සීයගෙ අම්මා කියලා තියෙන්නෙ එහෙමයි.
     

         වෙද මුලාදෑණියෙක් වෙච්ච අපෙ මුත්තා , ඒ කිව්වෙ ආච්චිගෙ සීයා කාලෙ තාලෙට වඩා ඉස්සරහින් හිතපු කෙනෙක් වෙන්න ඇති කියන එක මට හැමදාම හිතිච්ච දෙයක්. නැත්නම් අටේ පන්තිය වෙනකල් හරි ඉස්කෝලෙ යවලා, රස්සාවකටත් යවයි යැ පවුලෙ වැඩුමල් ලමිස්සිව.අනික ආච්චිගෙ සුකුරුත්තං වැඩවල, සීය එක්ක උණත් නොහොඳ නෝක්කාඩු වුණාම ගස්සන ඔරවන රටාවෙම අමුතු තාලයක් තිබ්බා. සමහර වෙලාවට මාවත් මුනින් හරෝපු වංගෙඩිය උඩ වාඩි කරවගෙන සීයට බනින්නෙ හිටිවන කවි හද හද. අනේ ඇත්තට එහෙම  කාලයක්.

2 comments:

  1. හිටිවන කව් වලින් බනිනවා අහන්න ආසයි.. හැක්

    ReplyDelete
  2. මට තියෙන ප්‍රශ්නේ මෙච්චර දේවල් මතකේ ගබඩා කරන් ඉන්න රහට ලියන්න පුළුවන් අය යලට මහට ලියන්නේ ඇයි කියලයි.

    ReplyDelete