Wednesday, February 2, 2011

මහගෙදර කතාව 4





මහගෙදර කතාව 1
මහගෙදර කතාව 2
මහගෙදර කතාව 3



ඔන්න ඉතින් මේ ලියන්නෙ මහ ගෙදර කතාවෙ අවසාන කොටස.අන්තිමට ලිව්වෙ හවසට අපි මල් කඩන කතාන්දරේ නෙ.රංගයියලා ගියාට පස්සෙ මම ආච්චි රැට කැම හදනකල් එයා පස්සෙ දැවටි දැවටි ඉන්නවා.හවසට පාං එහෙම ගෙනත් තිබ්බොත් තමා මරු.ආච්චි පාන් කන්න නියම ක්‍රමයක් හදලා දීල තිබ්බා.අර තැටි පාන් කියන්නෙ.එව්ව විතරයි මම කන්නෙ.ආච්චි කරන්නෙ පාන් ගෙඩිය තුනට කපලා ඒකෙන් එක කැල්ලක් හතරැස් චූටි චූටි කොටු වලට කපන එක.අඟලෙ විතර.ඊට පස්සෙ ඉදුණු ඇඹුල් කෙසෙල් අරගන ඒකත් හීනි පෙති වලට කපලා අර හැම පාන් කැටයක් උඩින්ම කෙසෙල් පෙත්ත ගානෙ තියලා දෙනවා.සීයා ඒවට කියන්නෙ "කෙසෙල් බර්ගර්" කියලා.

පාන් නැත්නම් සීයා මාරි බිස්කට් අරන් එනවා.දැන් තියෙන්නෙ ටිකිරි මාරි නෙ.ඉස්සර තිබ්බ මාරි ලොකුයි.දැන් වාගෙ එක කටට කන්න බැ.ආච්චි බිස්කට් පිඟානකට දාලා කිරි ජොග්ගුවකුත් හදලා දෙනවා.පොතක් පතක් කියවන්න පුලුවන් තරමට ලොකු වුන කාලෙ පොතකුත් ළඟ ඇත්නම් මට ආයෙ වෙන මොකුත් ඕන නැ.මුලින්ම මාරි බිස්කට් ඔක්කොම වාටි කඩලා වාටි ටික "ලකිය"ට ඒ කිව්වෙ අපෙ බලුස් ට දෙනවා.ඊට පස්සෙ එක බිස්කට් එකක් එක කටට කාලා කිරි උගුරක් බොනවා.කිරි එක ඇල් වෙලා බොන්න බැරි වෙලා(සමහර විට කූඹි එබෙමින් සිටින),පොත කියවන්න බැරි තරමට කලුවර ආවම තමයි ළමයා පියවි ලෝකෙට එන්නෙ.:D



හත විතර වෙද්දි ආච්චි උයලා ඉවරයි.ඊට පස්සෙ අපි දෙන්නම මූණ හෝදලා ,ආච්චි ඔසරියෙන් කිමෝනාවට බැහැලා,මං පිජාමාව දාලා,තෙල් ගාලා ඔලුව පීරලා බුදුන් වඳින්න යනවා.එහෙ තිබ්බෙ මම පස්සෙ කාලෙක ඉගෙන ගත්ත විදිහට මථුරා සම්ප්‍රදායට අයිති අභය මුද්‍රාවෙන් ඉන්න ලස්සන රෝසපාට කිරි ගරුඬ බුදු පිලිමයක්.ආච්චි ගාථා කියලා වඳිනකල් මං පහන් දැල්ලට දිලිසෙන බුදු පිලිමේ දිහා බලාගෙන ඉන්නවා.ආච්චි මට හෙමිහිට ඇඟිල්ලෙන් ඇනලා ගාථා කියන්න කියනවා.මම ඉතින් පද ගැට ගහ ගහ කියවනවා.මම කැමතිම "මහියංගනං නාග දීපං ......."ගාථාවට.ආච්චි නිසාම දෙක වසරට එද්දි මට කරණීය මෙත්ත සූත්‍රය කට පාඩම්.ඉස්කෝලෙ ගොඩක් ළමයි අහල නැති ගාථත් මම දැනගෙන හිටියා.ශිෂ්‍යත්වෙ පාස් වෙලා හය වසරෙ පන්තියෙදි සොලොස්මස්ථානෙ වඳින ගාථාව ඇහුවම පන්තියෙන්ම දැනගෙන හිටියෙත් මම විතරයි.;)

මම ගාථා කියන වෙලාවට ආච්චි ළඟටම වෙලා ඉන්නෙ ඒ වෙලාවට සීය ටීවී බලන හින්දා .ප්‍රවෘත්ති යන වෙලාවට සීයා හරි වසයි.හ්ම්ම් කියන්නවත් බැ.පොඩි සද්දයක් කලත් "මෙතනින් ඉඳගෙන මේක අහගෙන ඉන්නවා" කියලා සද්දෙ දානවා.එදත් අදත් ප්‍රවෘත්ති බැලිල්ල මට වහ වාගෙ.මම කරන්නෙ ආච්චි ළඟටම ගිහින් කිමෝනාවට ඔලුව තියාගෙන ඉන්න එක.

ආච්චි බත් බෙදලා ඉවර වේගන එද්දි සීයා"නෝනා ඔෂින් පටන් ගත්තා ....."කියනවා.ආච්චි මාවත් ඇදගෙන ගිහින් සාලෙට නගින්න තියන පොඩි පඩියෙ වාඩි කරගෙන බත් කවන්න ගනන්වා.අයියෝ .ඒක තමා එපාම කරපු බත් කැම.ආච්චි බත් කවන්නෙ ටකේශි දිහා බලාගෙන.මගෙ මූණ ,නහය පෝෂණය කරන්න.අනික ඉතා මං වහන්සෙත් ඔෂින් දිහා බලාගෙන නෙ ඉන්නෙ.ඉතින් හරියට කැව්වත් මම කන්නෙ නුහුරට.

ඔන්න ඉතින් බත් කාලා දත් මැදලා අපි නිදා ගන්න එනවා.ඒ කාමරේ ලොකු ඇඳන් දෙකයි.ලොකූ..... අල්මාරියයි.මම ඒ අල්මාරියට හරි කැමතියි.එක පැත්තක් ආච්චිගෙ සාරි සහ බැග්.අනිත් පැත්තෙ තියෙන්නෙ සීයගෙ බඩු.මැනුම් කෝදු,ටේප්,ඔප්පු,චෙක්පොත්,ඩයරි සහ බොහෝ දේ.සීය බැරි වෙලාවත් මම ඉන්න වෙලාවක අල්මාරිය ඇරියොත් එහෙම විනාසයි.මම කැමතිම අර අපේ කවකට්ට වගෙ පහක් විතර ලොකු කවකටු සහ කෝන මාන වගෙ එව්ව තියෙන බඩු සෙට් එකට.සීය නැති වෙලාවක අර පියාඹන පීරිසිය වගෙ ටේප් එක අහු වුනොත් මට දවසටම ඒක ඇති.අම්මල කියන්නෙ පුංචි කාලෙ මම සෙල්ලම් බඩු හරි වෙන දෙයක් හරි අතට ගත්තම හරි අර පරිපරිස්සම්ලු.මම ඉපදුන දවසෙ සීය ගෙනත් දුන්න පුළුන් හාවො දෙන්න නංගි, මල්ලි දෙන්නම ඉපදෙනකල්ම කවරෙන්වත් එලියට අරන් තිබ්බෙ නැලු.නංගි දණගාන වයසෙදි පලමු හාවත්,මල්ලි අතපය ගහන්න ගන්න කාලෙදි දෙවෙනි හාවත් පරලෝසැපත් වුනාලු.

කොහොම හරි ආච්චියි,මායි නිදා ගන්නෙ අර දෙකෙන් ලොකු ඇඳේ.මට ඔලුවට කොට්ටයයි,දෙපැත්තට කොට්ට දෙකයි,කකුලට එකයි,තුරුල්කරගන්න එකයි.හවස විදිහටම ආච්චි නින්ද යනකල් පිටට තට්ටු කරනවා.නිදා ගන්න කම්මලි හිතුණ දාට හෙම්බිරිස්සවකුත් තිබ්බොත් මරු.මම හුස්ම ගන්න බැ කියලා කැගහන්න ගන්නවා.(කොහොමත් පොඩි කාලෙ මම හිතාගෙන හිටියෙ කාමරේ ලයිට් නිව්වම හුස්ම හිර වෙනවා කියලා.කවුරු හරි මට නින්ද යන්න කලින් ලයිට් නිව්වොත් එහෙම හරිම තමා.මම එකෙලහ දොලහ වෙනකල් කැ ගහ ගහ අඬනවා.පස්සෙ කාලෙක මම ජීවිතය පරදුවට තියලා ආච්චිව විස්වාස කරල තමයි ලයිට් නිව්වම හුස්ම හිරවෙන්නෙ නැ කියලා ඉගෙන ගත්තෙ) ආච්චි ඔන්න බටු තෙල් රත් කරලා පපුවෙ ගානවා.හෙම්බිරිස්සාව නැති දාට මට දරුණු බඩේ වේදනාවක් හැදෙනවා,එදාට ආච්චි මොනවදෝ බොරු මන්තරයක් කියලා බඩට මතුරනවා.ඒකෙනුත් හරි ගියෙ නැත්නම් සුදුලූණුයි,ගම්මිරිසුයි,ලුනුයි අඹරලා ගුලියක් හදල දෙනවා.ඒක බීම නම් ටිකක් කරදර වැඩක්.ආච්චිට අනුපාතෙ වැරදුන දාට ගුලිය පැණියක් වෙනවා.ඒ හින්දා මම බඩෙ අමාරුව දුර දිග ගෙනියන්නෙ කලාතුරකින්.පස්සෙ කාලෙක දැනගත්ත විදිහට ආච්චිගෙ තත්තා වෙද මුහන්දිරම් කෙනෙක් ලු.සමහරවිට අර බඩට මතුරපු එව්ව ඇත්ත වෙන්නත් ඇති.මොකද ඇත්තටම බඩේ අමාරුව හැදුනමත් ආච්චිගෙ මැතිරිල්ලෙන් ඉක්මනටම ඒක සනීප වෙන නිසා.

ඔහොම තමයි ඉතින් වීතරාගීගෙ සිඟිති කාලෙ ගෙවිලා ගියෙ,සීය මුණුබුරු මිණිබිරින්ගෙන් වැඩියෙන්ම ආදරේවුණේ මට.සීයගෙ පුටුවෙ වාඩි වෙන්න,සීයගෙ පිඟානෙ කැම කන්න,සීයගෙ ඇඳේ නිදා ගන්න සහ හැම අලුත් පන්තියකටම ඕන හැමදෙයක්ම අරන්දීම වගෙ වරප්‍රසාද ලැබුනෙ මට විතරක්ම තරම්.ඒකට හේතුව අදටත් හිතා ගන්න බැහැ.මම ශිෂ්‍යත්වෙ ඉස්කෝලෙන්ම වැඩිම ලකුණු අරන් පාස් වුණ දවසෙ සීයගෙ ඇස් වලට කඳුලු ආවා.ආච්චි විනාඩි 10ක් විතර මාව තුරුල් කරන් හිටියා.ඒ දෙන්නගෙ ආදරේ තව තවත් වැඩි වුණා. අපි තුන් දෙනා ඒ කිව්වෙ නංගි,මල්ලි සහ මාව අපෙ ගෙදර ඉඳන් මහ ගෙදර එක්ක යද්දි සීයා අතින් අල්ලගෙන යන්නෙ මාව.පොඩි ඩබල ඉස්සර වෙලා යන්න ඕන.ආච්චිත් මම දන්න තරමින් අර තරම් කතන්දර ගොඩක් කියලා බත් කවලා තියෙන්නෙ මට විතරයි.

මම නුවර ගියාට පස්සෙ මහගෙදර යාම අඩු වුණා.ඒත් පුළුවන් හැම වෙලාවෙම මම එහෙ යනවා.නුවර ඉස්කෝලෙ හරි වෙනස්.හය හත පන්ති වල වාර විභාග ඉවර වෙලා නිවාඩු දෙනකල් කාලෙ විනෝද සමය වාගෙ.ළමයි එක එක දේවල් කරනවා.සමහරු වීඩියෝ ගේම් අරන් එනවා.සමහරු චක බ්ලාස්ට් වගෙ ගේම්.සමහරු ලේන්සු මහනවා.මල් මහනවා.සමහරු වූල් ගොතනවා.එක දවසක් කෞෂි වූල් ගොතනවා දැකලා මට ඉතිහාසෙ වේගෙන් මතක් වෙන්න ගත්තා.කෞෂිට මම කටු දෙකෙන් ගොතන හැටි කියලා දුන්න .එයා තනි කටුවෙන් ගොතන්න කියලා දුන්නා.(මේ දවස් වල මම හිත මිත්‍රයෙක්ගෙ යෝජනාවකට අනුව වසරක් තිස්සේ බ්ලව්ස් පොඩ්ඩක් ගොතනවා.;). )

මම හත වසරෙ විතර ඉද්දි ආච්චි අසනීප වුණා.සීයටත් බ්ලඩ්ශුගර් ආවා.ආච්චිගෙ ඇස් ඔපරේශන් කරන්න ගියාට පස්සෙ ආච්චි නැන්දලාගෙ ගෙදර නතර වුණා.සීයව බලාගත්තෙ බාප්පලා.මම හැම සෙනසුරාදම ඉංග්‍රීසි පන්ති යන්න කලින් සීය බලන්න යනවා.සීය දෙන පොකට් මනිත් අරගෙන පන්ති ගිහින් එනකල් සීය මට බත් පංගුව තියලා තියනවා.
මම අට වසරෙ ඉන්න කාලෙ එක සෙනසුරාදාවක හවස මට සීය බලන්න යන්න බැරි වුණා,යාලුවෙක්ගෙ ගෙදර වාහනෙන් මාවත් අපේ ගෙදරට බස්සවගෙන ගියා.අදා රැ යන්තම් කලුවර වැටීගෙන එද්දී බාප්පා ආවා.බාප්පගෙ ඇස් රතු වෙලා.අප්පච්චිට මොනාද කිව්වම අප්පච්චි අපිවත් අරන් මහගෙදරට ගියා.කවුරුත් කතා කලේ නැ.සීයා ඇඳේම නිදාගෙන හිටියා."ලොකු දුව එනකල් දෙපාරක්ම පාරට ගිහින් බල බල හිටියා" පුංචි ඇස් රතු කරගෙන .දවස් 2ක් සීයා සැටින් අතුරපු පෙට්ටියක දාල තියාගෙන ඉඳලා සීයගෙ ඕබීඒ එකේ සීයලගෙ කතා වලින් පස්සෙ අප්පච්චිලා කරට ගන්න ලැස්ති වුණා.මම කැගැහුව.ඒත් උගුරෙන් සද්දයක් ආවෙ නැ.අම්මයි නැන්දයි දෙන්නම කැගහල පෙට්ටිය බදා ගත්තා."අප්පච්චො...මට සීයා බලන්න ඕන" මම ඇස් වල කඳුළු පුරවගෙන කිව්වම අප්පච්චි ආයෙත් පෙට්ටිය ඇරලා පෙන්නුව.මම සීයව බදාගෙන ඇඬුවා.ජීවිතේ දුකයි කියලා පලවෙනි පාරට දැනුන දවස එදා.අදටත් ඒ වේදනාව මතක් වෙන්නෙ පපුවෙන් පලාතක් හිරි වට්ටගෙන.

ආච්චි ඊට පස්සෙ ටික කාලයක් මෙහෙ ඉඳලා අයෙත් නැන්දා ළඟටම ගියා.මම සා.පෙලට ,උසස් පෙලට හිර වෙලා හිටි නිසා නිතර යන්න බැරි වුණත් පුළුවන් හැම වෙලාවෙම ආච්චි බලන්න ගියා.අර වගේම මූසල දවසක නැන්දා කෝල් කරලා අපි එහෙ ගියා.ඒ වෙද්දි ජීවිතේ දුකක්ම විතරක් වග මම හුඟක් දුරට තේරුම් ගනිමින් හිටියෙ.ආච්චි කවදාවත් නොදාපු වර්ගෙ මුතු මාලයක් දාගෙන ,සිල්ක් සුදු ඔසරියක් ඇඳගෙන නිදාගෙන හිටියා.
ජීවිතේ එහෙමයි.සතුට රැඳෙන්නෙ බොහොම ටික කාලයයි.මහගෙදර ගෙවපු ආදරය පිරිලා ඉතිරිලා තිබ්බ ජීවිතේ මට ආයෙ කවදාවත්ම විඳින්න ලැබුනෙම නැති තරම්.සෝකාන්තයක් නොවුණට අර තරම් ලොකු ආදරයක් වින්ද මට එහෙව් ලෙංඟතු කමක් ඊට පස්සෙ ලැබුනෙ නැ කිව්වොත් හරි.ආච්චි තරමට මට සමීප නොවුණට අම්මා වෙනස්ම විදිහට අද මම ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන මනුස්ස පරාණෙ වෙලා හිටියත් අප්පච්චිට කවදාවත් සීයගෙ තැනට එන්න ලැබුණෙ නැ.සමහර විට මම සීයා තරම් ලිහිල් ආදරයක් අප්පච්චිගෙනුත් බලපොරොත්තුවුන නිසා වෙන්න ඇති.
අදටත් සමහර සෙනසුරාදාවල් වලට සීයත් එක්ක පොලේ ගිය ගමන මතක් වෙලා,අලව්වෙ මහ පාලම දැක්කම ආච්චි එක්ක පූස කාපු වෙලාවෙ විස වෙද්දු හොයන් අලව් ගිය ගමන මතක් වෙලා මගෙ ඇස් වලට කඳුළු එනවා.හෙම්බිරිස්සවක් හැදුනම ආච්චිගෙ බටු තෙල් මතක් වෙනවා.යෝදයගෙ නපුරුකම් වලදි ආච්චිගෙ හුරතලේ මතක් වෙනවා.අප්පච්චි දොස් කියන වෙලාවලදි සීය හිටියනම් කියලා හිතෙනවා.කලුවරට තනියම යන්න තාමත් තියෙන බයට කට්ටිය හිනා වෙද්දි ,යාලුවො ඔක්කොම සාරි අඳිද්දි මම විතරක් ඔසරි අඳිද්දි ආච්චිව මතක් වෙනවා.

තාමත්.අදටත්......

7 comments:

  1. අදනම් දුකායි,...ඔන්න දැන් නම් හරියටම හොද නවකතා කාරියෙක් ගෙ ලක්ෂන මැනවින් පේනව..දැන් පැන්ඩ ඊලග එකත් කියනව.කතා පොතකුත් ලියමු.නලාවට වඩා පැන අතට ගැලපෙනවද මන්ද.කවි ත් දාල හොද හැඩ කතා පොතක් ලියමු.එතකොට මටත් පුලුවන් ලා එලියෙ ඇස් චුටි කරගෙන කිරි එකක් හදා ගෙන එකෙ මාරි ඔබල කන ගමන් හාන්සි පුටුවට වෙලා ඔයාගෙ පොත ඉස්සර වගේ කියවන්න.

    ReplyDelete
  2. ඔබ ඔබේ සීයත් ආච්චිත් නිදහස් කළා වීතරාගි.
    මම හිතන්නෙ ඔබ කළේ හොඳම දේ.
    ඔබ ලද ආදරය සහ වියෝව අපද අනුමෝදන් උනේ ඉතා කැමැත්තෙන්.

    ඔබගේ රචනා විලාශය අපූරුයි. භාවාතිශය අලංකරණයන්ගෙන් තොර මෙවන් වියමන් වලට මා ඉතා ප්‍රියයි.

    ReplyDelete
  3. පැන්ඩටත් Charmi ට ත් බොහොම ස්තුතියි!
    :)

    ReplyDelete
  4. ඔයාගෙ ළමා කාලෙ හුඟක් ලස්සනට ලියල තියෙනවා විතරාගි. පපුවෙ පලාතක් හිරිවට්ටගෙන එන දුක මටත් දැනුනා කියවද්දි.

    මාරි කියද්දි මතක් උනේ. මටත් උණු නෙස්කැෆේ එකයි, ක්‍රීම් ක්‍රැකර් පැකට් එකයි, නවකතා පොතයි තියෙනව නම් දවසම එකම විදිහට ඉන්න පුලුවන්. තව වැස්සකුත් වැටෙනව නම් ආයෙ කවර කතාද?

    ReplyDelete
  5. ඔයා ලස්සනට ලියනවා (අක්කා කියන්නද නංගී කියන්නද දන්නේ නැනේ)...ඇත්තටම ඔය ගොඩක් වාසනාවන්තයි....මොකද ගොඩක් ළමයින්ට සීයලා අච්චිලත් එක්ක ඉන්න ලැබෙනවා ගොඩක් අඩුයි....
    අපේ ජිවිතේ කියන්නේ දුක සතුට තමයි.... ඒ ගැන කතා කරන එක තේරුමක් නෑ.. දිගටම ලියන්න...මම අද තමයි ඔයාගේ බ්ලොග් එක බැලුවේ....
    යෝධයා ගැනත් ලියන්නකෝ....

    ReplyDelete
  6. ලියන්න ඕන නචී!ලඟදිම ලියන්න ඕන.කොච්චර නම් දේවල් තියෙනවද එයා ගැන ලියන්න.;)
    මේ පැත්තෙ ආවට බොහොම ස්තුතියි! ආයෙමත් එන්න යාලුවේ :)

    ReplyDelete