Wednesday, February 2, 2011

මහගෙදර කතාව 3


මහගෙදර කතාව 1
මහගෙදර කතාව2

ආච්චිගෙ ගොතන කටු මොණර නිල් පාටයි.ඒවා තිබුණෙ අල්මාරියෙ උඩම තට්ටුවෙ සාරි අස්සෙන් තියලා.ආච්චිට තිබ්බ සාරිවලින් මම කැමතිම සාරියත් මොණර නිල් පාටයි.
සමහරදාට මම ටීචාච්චිගෙ හවස පන්ති යන්නෙ දවල්ට බත් නොකා.එහෙම දවස් වලට සීය සීයගෙ බත් පංගුවෙන් කොටසක් මම එනකල් පලඟානෙම ඉතුරු කරලා තියෙනවා.පන්ති යන්න "පොකට් මනී "දීම පුරුදු කරගත්තෙත් සීයම තමා.පහ වසරෙ ශිෂ්‍යත්වෙට ඉගෙන ගන්න කාලෙ ගෙදරින් එහෙම සල්ලි ලැබුණෙ මට විතරයි.ඉස්කෝලෙ ඇරිච්ච ගමන්ම අපි ටීචාච්චිලගෙ වැටෙන් පැනලා මහ ගෙදරට එනවා.ගෙවල් වලින් ගෙනාපු බත් මුල් ලිහාගෙන කාලා වත්තෙ තියෙන ගස් ටිකත් සුද්ද කරලා ආපහු ඉස්කෝලෙට යන්නෙ සීය දුන්න පොකට් මනී වලින් කඩචෝරුත් අරන්.හැබැයි ආච්චි නම් සීයට දොස් කියනවා මාව නරක් කරනවා කියලා.

සෙනසුරාදා දවසක් නම් සීයා එක්ක මම පොලේ යනවා.ගෙදර ආවම පොලේ ගිය බජට් එක සීයා මතකෙන් කියවනවා.කරෝල කාරයින්ට බනිනවා.ඒ දවස් වල සීය තමයි මම දන්න හොඳම ගණිතඤයා.සීයගෙ මතකෙ මට අදහාගනන් බැරි තරම්.මම තමයි ඒ ගනන් එකතු කරලා බිල හදන්නෙ .කැම මේසෙට වාඩි වෙලා සීයගෙ පැනෙන් ගනන් ලියලා එකතු කරද්දි මම ඉන්නෙ ඒසේ මෙසේ ආඩම්බර කමකින් නෙවේ.

පොලේ යාම මට සතියේ ප්‍රියතම ගමන වෙන්න කාරණා කීපයක් බලපානවා.එකක් එදාට මම කැමතිම විදිහේ උණු උණු රට කජු කන්න ලැබීම.ගෙදරට කරවල් ඔතලා ගේන කොලයක් හරි කියවන්න කියලා අපිට කියල දුන්නෙ ටීචාච්චි.ඒ කෙරුවාව සීයගෙ හිතට මදි හින්දා සිළුමිණ පත්තරෙයි,මුතුහර සඟරාවයි අරන් දෙන්නෙත් සෙනසුරාදට.සීය නිතර ගමන් යන කෙනෙක් නෙවි.පෙන්ෂන් ගන්නයි,ඕබීඒ එකේ මීටින් වලටයි ඇරුනම අනිත් ඔක්කොම වැඩවලට ගියෙ සෙනසුරාදට.සමහර දාට සීය කොන්ඩෙ කපන" කාන්ති සැලුන් " එකෙන්ම මටත් කොන්ඩෙ කපා ගන්න ලැබෙනවා.සීය අලුත් කලිසමක් ,කමිසයක් මහන්න දුන්නම ඒකෙ ඉතුරු කැල්ලෙන් පියදාස ටේලර් මටත් කොට කලිසමකුයි,කමිසෙකුයි මහලා දෙනවා.අවුරුද්දට සීයා නැගම් යද්දි මමත් සීයගෙ අනුරුව වාගෙ මේ ඇඳුම ඇඳගෙන යන්නෙ හරි ආඩම්බරෙන්.


ඕන්න ඉතින් හවස් වේගන එද්දී මට අහල පහල මිත්‍රයොයි කියලා ඉන්න ඩබලම මහ ගෙදරට දුව ගෙන එනවා.රංග අයියයි රනිල් අයියයි.(පස්සෙ කාලෙක දැන ගත්තෙ රනිල් කාරයා මට වඩා මාස 2ක් විතර බාලයි කියලා.ඒ ටීචාච්චිගෙ පන්තියෙදි.)ගෙදරට කිව්වට වත්තට ඇවිත්" සුදු නංගී මල් කඩන්ට එන්ඩෝ...... " කියලා කැගහනවා.මමත් ආච්චිගෙ තැඹිලි පාට මල් කූඩෙ අරන් යනවා.කැම කාමරෙන්
එලියේ ලොකු වතුසුදු ගහක් තියෙනවා.ගහ ළඟම පැලයකුත් නොවන ගහකුත් නොවන ජම්බු ගහක් තියෙනවා.මම ජම්බු ගහේ පහල අත්තක ඉඳගෙන ඉද්දි මේ අයියා මලෝ මටත් එක්ක මල් කඩලා දෙනවා.
මල් කඩලා ඉස්තෝප්පුවෙ කන්ඩිය උඩින් තියලා කන්ඩිය පහල පඩියෙ වාඩි වෙලා අපි කතන්දර කියනවා.සින්දු කියනවා.ආ...ඔය කන්ඩිය ගැනත් මරු කතාවක් තියෙනවා.කන්ඩියක් කිව්වට එතන අඩ සඳ හැඩේ ආරුක්කු 2ක්ම තියෙනවා.මම ඉස්සර හරි කැමතියි ඔය ආරුක්කුවට නැගලා නිදාගෙන ඉන්න.අප්පච්චි සමහර දාට එහෙම ඉන්නවා මම දැකලා තියෙනවා.ආච්චි කියනවා ගේ හදන්න ආව බාස් ඔතන නිදාගෙන ඉඳලා බිමට වැටිලා දත් 2 ක් කැඩුනලු.මටත් එහෙම වෙයි කියල එතනට නගින්න දෙන්නෙ නැ.ඒ වුණාට ආච්චි ගෙදර නැති හුඟක් වෙලාවලට මම ඉන්නෙ එතන.;)

6 comments:

  1. හරිම සුන්දර ළමා කාලයක් වීතරාගී.
    මට ඉරිසියයි කියලා විතරක් කියන්නම්.

    ReplyDelete
  2. ඉස්සරහ ටිකත් තව එකකතාවකින් ලියලා නවත්තන්න හිතන් ඉන්නෙ.ඒ ටික නම් දුකයි.:(

    ReplyDelete
  3. කොහොමද ජිවිතේ..හොදින් ඉන්නව ඇති නේද ?
    ලස්සන ළමා කාලයක්..මටත් රට කජු හා මුතුහර නම් පොඩි කාලෙ ආසම ඒව තමයි.

    ReplyDelete
  4. හනේ!පැන්ඩ කොහෙද බොලේ ගිහින් හිටියෙ.විබාග එහෙම ඉවරද?ආ...සුබ පැතුම් පැන්ඩටයි පැන්ඩිටයි! අපිට රට කජු පාටියක් ඕනා.:)

    ReplyDelete
  5. මට මැවිල පේනවා සීයයි ඔයයි එකම විදිහට ඇඳලා යන හැටි

    ReplyDelete