Thursday, January 27, 2011

මහගෙදර කතාව 1





ගෙතිල්ල පහසු කාර්යක් නෙවී.මුලදි මුලදි හොඳ අවදානයෙන් නොහිටියොත් ආපහු කොනක හිටන් වැඩේ පටන් ගන්න වෙනවා.මුලින්ම ගොතන්නෙ දම්වැල.එතනින් එහාට පිරවිල්ල .කාලෙත් එක්ක මේ කෙරුවාව ඇස් පියාගෙන කරන මට්ට්මට කෙනෙක්ට හුරු වෙන්න පුලුවන්.
මම මුලින්ම ගෙතුමක් දැක්කෙ ආච්චිගෙ.ආච්චි ගොතන්නෙ කටු දෙකෙන්.ආච්චි ළඟ ගෙතුම් රාමුවකුත් තිබුණා.ඒක මට අවුරුදු 3ක 4 ක කාලෙ සෙල්ලම් බඩුවක්.අන්තිමටම ඒක තියෙනවා දැක්කෙ පීල්ල ළඟ වැලි ගොඩේ.ආච්චිගෙන් අහගෙන කටු දෙකෙන් යන්තමට ගෙතිල්ලක් ඉගෙනගනිද්දි මම දෙක වසරෙ විතර.ඒ වෙද්දිත් ඉස්කෝලෙ ගිහින් ඇවිත් මට බත් කවන්නෙ ආච්චි.හුරුල්ලො බැදලා,ගොටුකොල සම්බෝල හදලා,කැරට් ඉව්වම මට රාජ බෝජන වගෙ තමයි.මොන බොජුන තිබ්බත් කතාවක් කියලා බත් ටික කැව්වෙ නැත්නම් මට බඩගින්න ගානක් නැති බව ආච්චි දන්නවා.අනික සියගෙ ප්‍රියතම මිණිබිරිය වුණ මාව බඩගින්නෙ තැබිල්ලෙන් දොස් අහන්න වෙන්නෙත් ආච්චිටමනෙ.මට හොඳටම මතක කට පහ රජ්ජුරුවන්ගෙ කතාව.ඒක ආච්චිගෙ ජනප්‍රියම කතාව.

දවල්ට බත් කැවට පස්සෙ සීය ඇඳට වැටෙනවා.ආච්චි ඇඳට යාන්නෙ මාවත් ඇදගෙනමයි.කාපු ගමන් ඇඳට වැටෙනවා කියන්නෙ මට මරන්නා වගෙ.ආච්චිට කරන්නෙ මාව බිත්තිය අයිනට දාල නින්ද යනකල් පිටට තට්ටු කරන එක.තට්ටු හත අටක් යද්දි තට්ටුව ඉබේම නවතිනවා,ආච්චිට නින්ද ගිහින්.හිමින් සැරේ ඇඳ පහලට රූටලා බැහැගන්න හදද්දිම ආච්චිට ඇහැරෙනවා.ආයෙත් මාව නිදි කරවා ගන්නවා.ඒත් කලින් වතාවෙ වගෙම තට්ටු කිරිලි හත අටක් යද්දි ආච්චි නිදි.මම කරන්නෙ ආච්චිව හොලවලා ඇහැරවලා තට්ටු කරන්න කියන එක.අද මතක් වෙද්දි ආච්චි කොච්චර පවු ද සහ මම කොච්චර ඇම්බැට්ට කෙල්ලෙක් වුණාද කියලා හිනත් යනවා.කොහොම හරි ජයග්‍රාහී දෙවන නැත්නම් තුන්වෙනි උත්සාහයෙන් මම ඇඳට පැන ගන්නවා.කෙලින්ම නවතින්නෙ මිදුලෙ.මහගෙදර වත්තම පළතුරු යායක්.මම කරන්නෙ තනියම අහල පහළ තියෙන ගෙඩියක් කඩාගෙන කඩයක් දාන එක.මුදලාලිත් ගැනුම්කරුවාත් මමම තමයි.
සමහර දාට මහගෙදර වී තම්බන්න එන කිරි අත්තම්ම එයාගෙ මිණිබිරිත් එක්කගෙන එනවා.ඒළමයා මට වඩා අවුරුදු 2ක් විතර බාලයි.හොර පූසි වගේ ආ වෙලාවෙ ඉඳන් වට පිට බලන්නෙ.කතා කරාට කතාවක් නැ.දවසක් සීයයි මමයි කොළඹ ගියා.ආ...මට මහගෙදර හිටිය පූසා කාලා ඒකට ඉන්ජෙක්ශන් දෙන්න මාව කාසල් එක්කගෙන ගිය දවස.මම මූණත් බෙරි කරන් ගෙදර එද්දි මෙන්න මේ හොර පූසි මගෙ මල් පිඟානෙ බත් කනවා.ඒ ළමයා ගියාට පස්සෙ ආච්චි මට ඒ පිඟානටම බත් බෙදාගෙන ආවා.මම නෙවෙයි බත් එක දිහාවෙ ඇහැක් ඇරලා බැලුවෙ.සීයත් ආච්චිට දොස් කියලා සීයගෙ රන්පාට පිඟානට බත් බෙදලා දීලා පහුවදාම මට අළුත් පිඟානක් ගෙනත් දුන්නා.(අම්ම අදටත් කියන්නෙ මට තියෙන්නෙ සීයගෙම උද්දච්චකම කියල;)
ඉස්කෝලෙ දෙක වසරෙ ඉද්දි ආච්චි මාවත් එක්කරගෙන ගියා මල ගෙදරකට.එන ගමන් අපෙ ඉස්කෝලෙ හිටපු නපුරුමයි කියලා ප්‍රසිද්ද ගුරුවරියක් සහ ළඟම ඥාතී වරියකගෙ ගෙදර ගියා.එයා "සුදු අක්කේ" කියලා ආච්චිව බදා ගත්තා.කොහොමින් කොහොමින් හරි අන්තිමට වුණේ මාව හවසට හවසට ඒ ටීච‍්රගෙ ගෙදර යැවිල්ල.එයා මාව පන්තියෙ පිටිපස්සෙන්ම වාඩිකරවලා උගන්නනවා.හිටපු ගමන් ප්‍රශ්න අහනකොට පණ්ඩිත කමට මමත් උත්තර දෙනවා.පහ වසරෙ අක්කල අයියලට බැරි දේවල් මේ පොඩි ළම්යා තේරුම් ගන්නවා කියලා "ටීච ආච්චි " හවස බිස්කට් එක්ක තේත් දීලා මාව මහ ගෙදර වැට ළඟට ගෙනත් අරලිනවා.කොහොම හරි පහ වසරෙදි මම ටීච ආච්චිගෙ පන්තියට නොවැටුණ එක අපෙ ආච්චිට හරියට හිතට අමාරුවක් වුණා.මම වැටුණෙ පහවසර -1 පන්තියට.කොහොමද කියන්න දන්නෙ නැ.ඒ පන්තියෙ මට ඉන්න වුණෙ එක දවසයි.පහුවදාම මම ටීචාච්චිගෙ පන්තියෙ.:)
අපේ සීය තමයි ගමෙන් ම මුළින් ම ආනන්දෙට ගිහින් තිබුණෙ.ජපන්නු බෝම්බ දාද්දි ඉස්කෝලෙ ඩෙස්ක් යට රිංගලා කෝටු කටේ ගහන් හිටිය හැටි සීය කියන්නෙ පෙන්ශන් දාට සෝමෙ මාම එක්ක කාමරේට වෙලා කතාව දාගෙන ඉද්දි.මට බෙහෙත් ගත්ත "බංගලාවෙ දොස්තර" සීයගෙ හොඳම යාළුවා.ශිෂ්‍යත්වෙ ළං වෙලා මට හිසරදයක් හැදුණා,මම ඉතින් හුරතලේටත් එක්ක සීයගෙ සරම් ඔඩොක්කුවට පැනලා අඬනවා.සීය ලැස්ති වුණෙ මාව කාසල් අරන් යන්න.කොහොම හරි "බංගලාවෙ දොස්තර"ගෙ බෙහෙත් වලින්වත් කාසල් එකෙන් දුන්න බෙහෙත් වලින්වත් අඩු නොවුන හිසරදය විභාගෙ කිට්ටු වෙනවත් එක්කම ඉබේම සනීප වුණා.ආච්චි කිව්වෙම මගෙ සෙම කර වෙලා කියලමයි.සීය කිව්වෙ මම කළුවරේ පොත් කියවන නිසා කියලා.

10 comments:

  1. හරිම සුන්දර ලමා කාලයක් දැන් මම දන්නව විතරාගි ට ඔච්චර ලස්සන හිතක් ලැබුනෙ කොහොම ද කියල

    ReplyDelete
  2. ලස්සනයි විතරාගි. මට මතක් උනේ සුනේත්‍රාගේ රිදී තිරංගනාවී. ඒකෙත් තියෙන්නෙ ඔය වගේ ආච්චිට නින්ද යනකල් ඉඳලා ඇඳෙන් පැනලා සෙල්ලම් මළ ගෙවල් දාපු කෙල්ලෙක් ගැන.

    ReplyDelete
  3. අනේ ඔව් පැන්ඩෝ.ඕක තමා මගෙ ජීවිතේ මල් සමය......අදටත් මගෙ ජීවිතේ මම වැඩියෙන්ම ආදරේ කරන මනුස්ස පරාණෙ අපේ සීයා.ඉස්සරහට බලන්නකෝ තව.

    ReplyDelete
  4. @පිනි බිඳු
    ඔයා දන්නවද යාලුවේ?දහයෙ එකොලහේ පන්ති වල ඉන්න කාලෙ සුනේත්‍රා සින්ඩ්‍රෝමය නොවැලඳෙන්න වීතරාගී කෙනෙක් බිහි නොවෙන්න තිබුණා.
    අදටත් සුනේත්‍රාව මගෙ වීරවරියක්. :)

    ReplyDelete
  5. මාත් සුනේත්‍රා සින්ඩ්‍රෝමය හැදිච්ච කෙනෙක්. ඒ වචන වලට පුලුවන් හීනියට හිත රිද්දගෙන අමුතු රසක් දෙන්න.

    ReplyDelete
  6. අනිවාර්යෙන්ම....අවුරුදු ගානකට පස්සෙ උපන් ගමට ගියා වගෙ.:)

    ReplyDelete
  7. ඇත්තටම සුනේත්‍රා කියන්නෙ ලංකාවෙ සාම්ප්‍රදායික යුවතිය අභිබවා ගිහින් ඒ යුවතිය දිහා හොඳ ඇහැකින් අපි වගේ කොලු ගැටයන්ට බලන්න උගන්නන පොත් ලියපු කෙනෙක්.මම කියවපු පළවෙනි පොත සදුන් ගිර ගිනි ගනි..ඊට පස්සෙ මම විතරාගි අදුරගන්නෙ සුනේත්‍රා ගේ පොතක් ගැන ලියවෙන් බ්ලොග් පොස්ට් එකට දාපු කමෙන්ට් එකෙන්..අද මම කියෙව්ව පොතක් ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් ගෙ අප්‍රකට ලිපි කියල එකෙ පෙරවදන ලියල තියෙන්නෙ සුනේත්‍ර..දන්නවද හිමාලයේ මහ කැලෙ යොගීන් එක්ක තනියෙන් ඇවිදල භාවනා කරල හොයල බලපු කෙනෙක් සුනේත්‍රා කියල එකෙන් දැනගත්තා.අන්න එකයි මම කිව්වෙ ලංකාවෙ සාප්‍රදායික යුවතිය අභිබවා ගිහින් කියල.

    ReplyDelete
  8. මතකද පැන්ඩො ?අපේ යාලුකම පටන් ගත්තෙත් සුනේත්‍ර නිසා නෙ.:) එහෙම නොවෙන්න මට පැන්ඩ වගෙ අපූරුම අපූරු මිත්‍රයෙක් නරක විදිහට මිස් වෙනවනෙ.
    සුනේත්‍රා කියද්දිම මට මතක් වෙන්නෙ චීනෙ.කියවලා බලන්නකෝ සර්ව කාලත්‍ර ප්‍රේමෙ.පැන්ඩ කිව්ව පොතත් හොයාන කියවන්න ඕන.ආහ්! දන්නවද .අලුත් පොතක් ඇවිත් එයාගෙ."කවි කඳුර"වගෙ නමක් තියෙන. :)

    ReplyDelete
  9. ඔන්න වීතරාගි අද ඉඳන් තමා 'මහගෙදර' සීරීස් එක කියවන්න යන්නෙ. මේක ෂෝක්...
    (අනික මම අහන්ඩත් උන්නෙ පොඩි කාලෙ පූසෙක් එහෙම කෑවද කියලා)

    ReplyDelete
  10. @චර්මි
    සැම් ඉතින් දන්නවනෙ මට ටික වෙන්න පිස්සු බව.;)
    කියවලා බලන්ටකෝ එහෙනම්.:)

    ReplyDelete