Wednesday, March 1, 2017

දෙදහස් එක් රැය

කොට්ටම්බා අතු මිදුල පුරාම වැටුණ වැටුණ තැන නිදාගෙන උන්නා. කේන්තියි මට. ඉදලත් අරන් ඇවිත් උදේ අතුගාපු මිදුලට මම ආයෙත් ටොකු අනින්න ගත්තෙ ඒ කේන්තියෙන්මයි. චන්දෙට කොඩිවැල් ඇදලා. කැඩිච්ච රබර් සෙරෙප්පුවක් කොට්ටං ගහ මුල.

කොට්ටං අතුටික ගහ මුලට කරලා කුස්සියෙන්  ගෙට ගොඩවුණා විතරයි. සාලෙ දොරට තට්ටු කරනවා. සුපුරුදු තට්ටුව. මට කට කොණකට හිනාවක් ආවා. අම්මා ලිප ළඟ. සාලෙ දොර හරියට අරින්න වුණෙත් නෑ.

බොහ්! පිස්සු නරියා ඇඟට පැනලා අත්දෙකෙන් අල්ලගත්තා.

"කොල්ලො මිදුල වනසලා නේද? සුමාල්ගෙ සෙරෙප්පුවත් කැඩුණා ඊයෙ මෙතනදිම. අපි ඉතින් ගහමුලින් තියලා ගියා ඔයාට අපිව මතක් වෙන්න කියලා"

"වැඩේමයි! "

අත ගසලා දාලා කුස්සියට හැරෙද්දි  පිස්සු නරියා කොන්ඩෙන් අල්ලගත්තා

"වැඩේට තමයි"

"වලා" කොණ්ඩෙ ඇදල අරන් දිව දික්කරලා මම කිව්වා.

"ඇන්ටී!තේ එකක් බොමුද? " පිස්සු නරියා කුස්සිය දිහාවට එබිලා කෑහැහුවා.

"ඉතින්?" නරි ඇස් හිනාවුණා. ඇහේ බබත් හිනාවුණා.
"කොහොමද එදා පේපර් එක?" මං ඇහුවා.

"හා!වෙලාවට මතක් කලේ. ඔයාව දාලා හෝල් එකට යද්දි පැය භාගයක් පරක්කුයි. එහෙන් තෙමිලා. මෙන්න ලිව්ව උත්තරේ "

දෙයියනේ! එග්සෑම් හෝල් එකේ ඉඳන් මේ මනුස්සයා උත්තරපත්තරේ ගෙදරගෙනත්. මම ඒක උදුරලා ගත්තෙ ඉවසුම් නැති කේන්තියෙන්. මොන මෝඩයෙක්ද ඇත්තට...

ඒත්!..... පළවෙනි පිටුවෙ උඩින්ම ලියලා තිබුණෙ මෙහෙමයි.

ආදරණීය සංදීපනී!.........................................................................


ෆුල්ස්කැප් සයිස් පිටු අටක් පුරා ආදරේ උතුරන බොලඳ වචන. අඬන්නද හිනාවෙන්නද කියලා මටම හිතාගන්න බැරි වුණා





....................................................................


ඊයෙ රෑත් ඒ වගේ හොරෙන්ම  ඇවිත් රෝස රිබන්පටියක් දොරකඩින් දාලා ඔයා ගිහින්. ඒත් මේ ඒ ගෙදරවත්, ඒ ඔයාවත්, ඒ මමවත් නෙවෙයි. අඬන්නද හිනාවෙන්නද කියලා මට තාම හිතාගන්න බෑ.



2 comments:

  1. රෝස්මරි රිබන් පටි දොර ගාවින් දාලා යන පිස්සු නරි තාම ඉන්නවා නේ?
    කොච්චර දෙයක්ද!!

    ReplyDelete
  2. සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑලු ලිශා!

    ReplyDelete