Friday, February 3, 2012

ලතාගෙ කතා සහ මායිං ගොඩ කිරීං


"අනේ මන්දා බබාලත් මේව්වට කට වහගෙන ඉන්නවනෙ .මට නම් තේරෙන්නෙ නැහැ...... "ලතා විටක් හපාගෙනම ගෙට ගොඩ වෙයි.නංගී කතාවක් අසන්නට සැරසී කුස්සියට එයි.

"අනේ අපට මොකද ලතා.ඔව්ව යන තැනකට අරගෙන යන්නෙ නැ නෙ.ඔය මිනිස්සු ඔව්වා විඳවයි කවදා හරි......" අම්මා ධර්මය ඉස්සරහට දායි.

"විඳවයි කියන්නෙ ආය අමුතු දෙයක් ඕනෙන් නැ.කෝ තාම ළමයෙක්වත් ඉන්නවයැ.අනුන්ගේ එව්වා පොදි ගහලා ගහලා අනුන්ටම දීලා යයි කවදා හරි.පොඩි කෙල්ල බැන්ද කොල්ලත් හිරේ ලු,.ඒකනේ ඔය සතියකට සැරයක් මෙහෙ ඇවිත් ළමය දාල අම්මණ්ඩි එක්ක උදේට උදේට යන්නෙ...."

"අපරාදෙ හැබැයි.ඒ ළමයා ඒලෙවල් වෙනකල් ඉගෙන ගත්තා.අලුතෙන් ආව කෙල්ල වගෙ නෙවී.මනුස්සකම් තියෙනවා.."

"බබා දන්නවද .ඔය අලුත් බඩුවට ගමේ මිනිස්සු කියන්නෙ සුනාමි කියලා.ආවෙත් සුනාමි කාලෙ මාතර පැත්තෙන් නෙ.කටත් සුනාමිය වගේ .එල්ලි එල්ලි කතාව ..."

"කටක් තියෙන්නෙ කතා කරන්න නෙ..."නංගී සිනා වී අසන්නේ ලතා අවුස්සන්නටය.

"බබාලා ඔව්වා දන්නෙ නැ.ගැනියෙක්ගෙ හැදිච්ච කම තියෙන්නෙ හැම එකටම හොට දාලා කච කච ගාද්දි නෙවී.දැන් බලන්න ලොකු බබා.පාරෙ යනවා.ඔලුව උස්සලා කෙනෙක් දිහා බලනවද?කතා කරනවද?මොකෝ කතා කරන්න බැරුවද?අපි දැක්කනෙ එදා කැම්පස් එකෙන් ගෙනාව සීඩී පටියෙ කැගහපු හැටි.මන්ත්‍රී නෝනා කෙනෙක් වගේ...ඒ ඌමනා වෙලාවට"

"හීඊඊඊහ්! එයාගෙ සද්දෙ දන්නෙ අපි නෙ ලතා.ඔලුව නූස්සන්නෙ නම් ඉතින් උද්දච්චකමට .සීයගෙම මිනිබිරී නෙ.."නගාට කලින් අම්මා කට ඉස්සර කරයි.මම හිනා වෙමි.

"ඒ වුණාට ඔය මිනිස්සුන්ගේ වැඩ නොසලකා ඉන්න එක නම් හරි නැ,බබාලා අප්පච්චිට කියනන්කෝ ඇන්ටියක් දන්න කියලා ඉඩම් මායිම් වෙනස් කොන්නවා,කුඹුරු ගොඩ කොන්නවා කියලා...ඔව්වා අන්තිමට කෙළවර වෙන්නෙ උසාවි වොලින්.මුන්දලාත් ලේසි පුත්තු නෙවී නෙ.එක මිනිය මරපු මිනිහට තව එකක් කජ්ජක් නෙවී නෙ.."ලතා කම්මුලේ අත තබා ගනී.

"අනේ මට නම් දේපල වලට වඩා ජීවිත වටිනවා.මේ ළමයින්ටවත්,එයාලයි අප්පච්චිටවත් කටක් අරින්ට නොදෙන්නෙ මම......"

"උසි ගන්නනවා නෙවී හාමිනේ.මට දුකයි.ලොකු බබා බලාගන්ට එන කාලෙ ඔය දෙල්ගහ තමා මායිම.දැන් අඩි හතරක් විතර මෙහාට මායිම ඇවිත්.මම ඊයෙත් දැක්ක මහ මිනිහා කුඹුරට බැහැ ගෙන පස් අරන් ගොඩ කොන්නවා.ඔව්ව නම් සහ ගහන අපරාද....."

"අපෝ..ලතා නොදන්න කොච්චර ජාති තියෙනවද..අම්මා දැන් අක්කටයි මටයි ළිඳේ නාන්න දෙන්නෙත් නැ.ඔය මිනිහා ගස් අස්සට වෙලා බලන් ඉන්නවනෙ....."නගා ගෙ කට ඉස්සර වෙයි.අම්මා ගෙ රැවිල්ල ඇය දවා අලු කරන තරම් ය.

"එයාලා කරන එව්ව එයාලට.අපි කරන එව්වා අපිට .බැරිම වුණෝත් අපි මෙව්ව විකුණල දාලා ගමට යනවා.දැන් මේ ළමයින්ගෙ ඉගෙන ගන්න වැඩත් ඉවරනෙ."

"මුන්ට රජ මගුල් තියෙයි..පරම්පරා දේපල මුන්ට බයේ දාලා ගියොත්......"ලතා ගේ ඇස් කෝපයෙන් නලියයි.ලතා කවදත් පවුලේ කෙනෙක් ලෙසටම අපට පක්සපාතීය.

"වෙන මොනා කරන්නද ලතා.මොකෝ මිනී මරා ගන්න කියලයැ.!"

1 comment:

  1. ගම්වල ඇවිදින වැටවල් මාත් දැකල තියෙනවා. ඊට පස්සෙ වැටන් දෙපැත්තෙ ඉඳන් මරා ගන්නවා. ඉඩම් නඩු පටන් ගත්තෙ වැඩිහරියක් ඔහොමනෙ. ඉස්සර නම් නගරයෙත් වෙන්න ඇති සමහරවිට. දැන් නම් හැමෝම වගේ තාප්ප ගහගන්න නිසා මේ වගේ දේවල් වෙනව අඩුයි වගේ.

    සැබෑ ප්‍රශ්ණයක් මැදට දාල කතාව ගොතපු හැටි හරිම අපූරුයි.

    ReplyDelete