Sunday, February 13, 2011

සඳ මල් වරුසාව


මල් පියල්ලක් නොවට
අඳුරු නිම්නයෙ රුවට
නොව ලබැඳිවම පෙමට
සඳක මල් වැසි විසුල

හොවා ඇකයේ පෙමින
මුදුව කෙහෙරැළි අතර
දුවා අතැඟිළි තුඩින
සෙනේ ඇතිරූ මහිම

නොමැති වත්සුණු සුවඳ
කැහැටු අතැඟිළි සිඹින
මතක සුණු හැඩි කෙරුව
යහන නිදනා තනිව

සුවඳ අරගෙන දුරට
ඔබ ඉගිල ගිය පසුව
පහන් කණුවෙන් ගලන
මුඩු එළිය කුමට මට

Monday, February 7, 2011

ඉබ්බෝ!

මං කොයි තරම් නම් උත්සහ කලාද කවි ලියන්න..පදයකට දෙකකට එහා යන්න බැරි වුණා කවදාවත්.ඉස්සර අපි එකතු වුණාම කවි පොත් හයියෙන් කියවනවා.එතනදි නං ඉස්සරහින්ම ඉන්නෙ මං.කැගහලා තාලෙට සමුද්රඝෝෂ විරිතෙන් කවි කියද්දි යාලුවෝ නිස්සද්දව අහගෙන ඉන්නවා.මම අහංකාර නොවුනට ආඩම්බරයි.ඇස් කොනින්වත් බලන්නෙ නැ එයා දිහා.එයත් දන්නවා උවමනාවෙන්ම නොබලා ඉන්න වග.එයා කවි කිව්වෙ නැ.ලස්සනට ලිව්ව.පොත් ගනන් ලිව්ව.

කවි-කවි-කවි

කැගහලා තාලෙට කියනන් පුලුවන් ජාතියෙ එව්වා.එයා ඉන්න තැන නොගැයුවට සමහර වෙලාවට ගෙදර කාමරේ දෙදරන්න කෑ ගහලා මම ඒවා කියවනවා.
එයාට කතා කරන්න පුළුවන් වුණා නම් මං දන්නවා එයා වැඩියෙන්ම කතා කරන්නෙ කවි ගැන.නාරදගෙ ඉඳන් ජයවර්දනට එනකල්ම .අපිට ව‍රු ගනන් පාක් එකේ බංකුවකට වෙලා කවි ගැන කතා කර කර ඉන්න තිබුණා.බංකුවකට වඩා සුදුසු හොර ගහක ,සපු ගහක මුලක් වගෙ තැනක්.එහෙම ඉන්න එක හරි මදි වගෙ නම් අපිට පුළුවන් නෙ එයාගෙ හරි මගෙ හරි යාළුවෙක්ව අඬ ගහ ගන්න.

අපි මුලින්ම මුණ ගැහුනෙ සරසවි උයනෙදි.රේල් පාර දෙපැත්තෙම ලෝක ප්රසිද්ධ කෙටිකතාකාරයගෙ ලංකා ගමනෙදි හිටවපු රබර් ගස් පෝලිමක් තිබ්බ මට හොඳටම මතකයි.කහපාට,රෝස පාට මල් පිපෙන රබර් ජාතියක්.දුලබ වර්ගයක් ලු.;)

ඒ මං නුවර ඉඳන් එන ගමන්.එයා නුවර අත ඇරලා එන ගමන්.රතු මල් කුඩයක් අරන් එයා පහසුවෙන් පල්ලම් බහිමින් ඉද්දි මම ඒ කන්දෙම අවසාන කොටස නගිමිනුයි.මගෙ මල් මල් කුඩෙත් එයාගෙ වගෙමයි.එයා නැවතිලා "අපි කුඩ දෙක මාරු කරගමුද ? "වගෙ බැල්මකින් මා දිහා බැලුවා.මං ගස්සලා අහක බලා ගත්ත වේගෙට ඔලුව සිග්නල් කනුවක හැප්පුනාද කොහෙද.සිහිය එද්දි කුඩ දෙකම ලෙඩ ඇඳ ළඟ කබඩ් එක උඩ තිබුණා.මට දීලා තිබුණෙ ඉබි ලේ.ඒව කලූඌඌ පාටයි.මට ගැලපෙන ලේ වර්ගෙකට තිබිලා තියෙන්නෙ එච්චරයි.

ඉබ්බෝ ඇති කරන ,බලා හදා ගන්න ආසාව නවත්තගන්න බැරි තත්වෙකට ආවෙ ඊට පස්සෙ.එයා මට ඉබ්බො ඇති කරන තැන් ගැන ඔත්තු කීපයක් දීලා තිබුණා.විවේක ඇති හැම වෙලාවකම මට ඕන වුනේ එයා එක්ක එකතු වෙලා ඉබ්බන්ට කෑම දාන්න.සමහරදාට බනිස් කිලෝ දෙකක් විතර අපි ඉබ්බන්ට දෙනවා.ඉබ්බො කං කුං වලට කැමතියි කියලා එයා කොහෙන්දෝ හොයාගෙන තිබුණා.මම එදා ඉඳන් කං කුං කෑම නැවැත්තුවා.

ඔහොම පර්යේෂණ සහ සොයා ගැනීම් ගණනාවකට පස්සෙ ක්‍රමයෙන් දියුණු වෙලා අපට අන්තිමට පුළුවන් වුණා රහසිගත කැස්බැ වගා මධ්‍යස්ථානයක් පටන් ගන්න.අපිට යාලුවෝ ගොඩක් ලැබුණා මේ වැඩේ නිසා.එයා ඉබ්බෝ ගැන කවි ලිවිල්ල නවත්තලා කැස්බැවො ගැන ලියන්න පටන් ගත්තා."කැස්බෑවී" කියල පොතකුත් ගැහුවා.ඒකෙන් මම තේරුම් ගත්ත අපි දෙන්න ගොඩක් සමානයි කියලා.කොහොමත් ලියන්න බැරි වුණත් මම කවි වලට කැමතියි.එයත් ගයන්න බැරි වුණත් මගෙ ගැයුමට කැමති බව පෙන්නලා තියෙනව.කොහොමත් මට ගයන්න පුලුවන් .මට මම ගැන විස්වාසයි.

ඒකට කියන්නෙ ආත්මාභිමානෙ කියලා.මං ජාතිකාභිමානෙ ගැන කියවෙන නන්දගෙ ගීත කිහිපයක් එයාගෙ fb wall post හැටියට දැම්මා.එයා පහුවදාම ප්රතභාකරන් තවමත් ජීවමාන බව පෙන්වන්න හදපු ව්යාගජ රූප සහිත ඊමේල් තොගයක්ම එවලා තිබුණා.මං එයාට ආදරෙයි කියලා මට හරියටම හිතුනෙ එදා.
අපි පන්සල් ගැනත් හුඟක් විස්තර හෙව්ව.විශේෂෙන් පොකුණු තියෙන පන්සල්.පුරාණ රජමහා විහාර වගේ එව්වා.සමහර පන්සල් වල අවුරුදු සිය ගණනක් පරණ ඉබ්බො හිටියා.ඉබ්බො කිව්වට ඉබ්බොම නෙවී.ඉබි කටු.මං ඒවට පුදුම විදිහට බැඳිලා හිටියෙ.මේ දවස්වලම තමයි එයාගෙ හැසිරීමෙ මාව නුරුස්සන පාටක් පේන්න ගත්තෙ.

"ඔයා........
ඔයා පසුගාමී
ඔයා පසුගාමී මානසික බලවේග වලට ආවඩන්නියක්!"

ලා රෝස පාට චූටි කොලේක ලියලා මට දුන්නා.ඒක තමා එයා මං ගැන ලිව්ව පලවෙනි කවිය.මට දැනුන සතුට කියා ගනන් බැරි වුණා.කිව්වට තේරුමකුත් නැ නෙ.අනික මට කවි ලියන්නත් බැ නෙ.කවියකට වාක්‍ය රචනාවකින් ප්‍රතිප්‍රේමය පෙන්නන්නත් මට හිතුනෙ නැ.කලින්ම කිව්වනෙ .ආඩම්බරකමට මම හිනා වෙලා නිහඬවම සතුට දරා ගත්තා.ඔය වගේ නොතේරෙන කවි කීපයක්ම එයා සැරින් සැරේ මට දීල තිබුණා.මම එව්වා ඒ දවස් වල කියවමින් හිටි "The island of blue dolphiins "පොත ඇතුලෙ දාලා අරන් තිබ්බා.

දවසක් මට එයාටත් නොදන්වා හදිස්සියෙම කැස්බැ කොටුවට යන්න වුණා.මෙන්න මම යද්දි එයා ඉන්නවා කලපුව ළඟ ලොකු වී ලාහක් වගෙ පෙට්ටියකුත් තියාන.පෙට්ටියට අත දදා මොනවදෝ අරන් වතුරට විසි කරනවා.මං එහා පැත්තෙ තිබුණ අඳුරණ වැටකේ ගහකට මුවා වෙලා බලාන හිටියා.

දෙයියෝ සාක්කි!

මේ මනුස්සයා මෝරන්න දාලා තිබුණ කැස්බැ බිත්තර එක එක අරන් මුහුදට විසි කරනවා.මට කේන්තිය ඉහිලුම් නැතුව ගියා.අසිහියෙන් වගෙ දුවගෙන ගිහින් අතේ තිබ්බ රතු මල් කුඩෙන් ගහල ගහල කලපුවට තල්ලු කරලා මම ගෙදර ආවා.

පසුගාමී බලවේගය!-බම්බුව!

ඉබ්බො දැකලා පටන් ගන්න වැඩ අසුබයි ලු.අම්මා ඉස්සර නිතරම කියනවා.අන්තිමටම ඉබිකටු බලන්න ගිය රජමහ විහාරෙ මලුවකට වෙලා පැය ගානක් අඬලා අඬලා මම හිත හදා ගත්තා.ඊට පස්සෙ කවදාවත් මං සමුද්‍රඝෝෂ විරිතෙන් කවි කිව්වෙ නැ.

Wednesday, February 2, 2011

මහගෙදර කතාව 4





මහගෙදර කතාව 1
මහගෙදර කතාව 2
මහගෙදර කතාව 3



ඔන්න ඉතින් මේ ලියන්නෙ මහ ගෙදර කතාවෙ අවසාන කොටස.අන්තිමට ලිව්වෙ හවසට අපි මල් කඩන කතාන්දරේ නෙ.රංගයියලා ගියාට පස්සෙ මම ආච්චි රැට කැම හදනකල් එයා පස්සෙ දැවටි දැවටි ඉන්නවා.හවසට පාං එහෙම ගෙනත් තිබ්බොත් තමා මරු.ආච්චි පාන් කන්න නියම ක්‍රමයක් හදලා දීල තිබ්බා.අර තැටි පාන් කියන්නෙ.එව්ව විතරයි මම කන්නෙ.ආච්චි කරන්නෙ පාන් ගෙඩිය තුනට කපලා ඒකෙන් එක කැල්ලක් හතරැස් චූටි චූටි කොටු වලට කපන එක.අඟලෙ විතර.ඊට පස්සෙ ඉදුණු ඇඹුල් කෙසෙල් අරගන ඒකත් හීනි පෙති වලට කපලා අර හැම පාන් කැටයක් උඩින්ම කෙසෙල් පෙත්ත ගානෙ තියලා දෙනවා.සීයා ඒවට කියන්නෙ "කෙසෙල් බර්ගර්" කියලා.

පාන් නැත්නම් සීයා මාරි බිස්කට් අරන් එනවා.දැන් තියෙන්නෙ ටිකිරි මාරි නෙ.ඉස්සර තිබ්බ මාරි ලොකුයි.දැන් වාගෙ එක කටට කන්න බැ.ආච්චි බිස්කට් පිඟානකට දාලා කිරි ජොග්ගුවකුත් හදලා දෙනවා.පොතක් පතක් කියවන්න පුලුවන් තරමට ලොකු වුන කාලෙ පොතකුත් ළඟ ඇත්නම් මට ආයෙ වෙන මොකුත් ඕන නැ.මුලින්ම මාරි බිස්කට් ඔක්කොම වාටි කඩලා වාටි ටික "ලකිය"ට ඒ කිව්වෙ අපෙ බලුස් ට දෙනවා.ඊට පස්සෙ එක බිස්කට් එකක් එක කටට කාලා කිරි උගුරක් බොනවා.කිරි එක ඇල් වෙලා බොන්න බැරි වෙලා(සමහර විට කූඹි එබෙමින් සිටින),පොත කියවන්න බැරි තරමට කලුවර ආවම තමයි ළමයා පියවි ලෝකෙට එන්නෙ.:D



හත විතර වෙද්දි ආච්චි උයලා ඉවරයි.ඊට පස්සෙ අපි දෙන්නම මූණ හෝදලා ,ආච්චි ඔසරියෙන් කිමෝනාවට බැහැලා,මං පිජාමාව දාලා,තෙල් ගාලා ඔලුව පීරලා බුදුන් වඳින්න යනවා.එහෙ තිබ්බෙ මම පස්සෙ කාලෙක ඉගෙන ගත්ත විදිහට මථුරා සම්ප්‍රදායට අයිති අභය මුද්‍රාවෙන් ඉන්න ලස්සන රෝසපාට කිරි ගරුඬ බුදු පිලිමයක්.ආච්චි ගාථා කියලා වඳිනකල් මං පහන් දැල්ලට දිලිසෙන බුදු පිලිමේ දිහා බලාගෙන ඉන්නවා.ආච්චි මට හෙමිහිට ඇඟිල්ලෙන් ඇනලා ගාථා කියන්න කියනවා.මම ඉතින් පද ගැට ගහ ගහ කියවනවා.මම කැමතිම "මහියංගනං නාග දීපං ......."ගාථාවට.ආච්චි නිසාම දෙක වසරට එද්දි මට කරණීය මෙත්ත සූත්‍රය කට පාඩම්.ඉස්කෝලෙ ගොඩක් ළමයි අහල නැති ගාථත් මම දැනගෙන හිටියා.ශිෂ්‍යත්වෙ පාස් වෙලා හය වසරෙ පන්තියෙදි සොලොස්මස්ථානෙ වඳින ගාථාව ඇහුවම පන්තියෙන්ම දැනගෙන හිටියෙත් මම විතරයි.;)

මම ගාථා කියන වෙලාවට ආච්චි ළඟටම වෙලා ඉන්නෙ ඒ වෙලාවට සීය ටීවී බලන හින්දා .ප්‍රවෘත්ති යන වෙලාවට සීයා හරි වසයි.හ්ම්ම් කියන්නවත් බැ.පොඩි සද්දයක් කලත් "මෙතනින් ඉඳගෙන මේක අහගෙන ඉන්නවා" කියලා සද්දෙ දානවා.එදත් අදත් ප්‍රවෘත්ති බැලිල්ල මට වහ වාගෙ.මම කරන්නෙ ආච්චි ළඟටම ගිහින් කිමෝනාවට ඔලුව තියාගෙන ඉන්න එක.

ආච්චි බත් බෙදලා ඉවර වේගන එද්දි සීයා"නෝනා ඔෂින් පටන් ගත්තා ....."කියනවා.ආච්චි මාවත් ඇදගෙන ගිහින් සාලෙට නගින්න තියන පොඩි පඩියෙ වාඩි කරගෙන බත් කවන්න ගනන්වා.අයියෝ .ඒක තමා එපාම කරපු බත් කැම.ආච්චි බත් කවන්නෙ ටකේශි දිහා බලාගෙන.මගෙ මූණ ,නහය පෝෂණය කරන්න.අනික ඉතා මං වහන්සෙත් ඔෂින් දිහා බලාගෙන නෙ ඉන්නෙ.ඉතින් හරියට කැව්වත් මම කන්නෙ නුහුරට.

ඔන්න ඉතින් බත් කාලා දත් මැදලා අපි නිදා ගන්න එනවා.ඒ කාමරේ ලොකු ඇඳන් දෙකයි.ලොකූ..... අල්මාරියයි.මම ඒ අල්මාරියට හරි කැමතියි.එක පැත්තක් ආච්චිගෙ සාරි සහ බැග්.අනිත් පැත්තෙ තියෙන්නෙ සීයගෙ බඩු.මැනුම් කෝදු,ටේප්,ඔප්පු,චෙක්පොත්,ඩයරි සහ බොහෝ දේ.සීය බැරි වෙලාවත් මම ඉන්න වෙලාවක අල්මාරිය ඇරියොත් එහෙම විනාසයි.මම කැමතිම අර අපේ කවකට්ට වගෙ පහක් විතර ලොකු කවකටු සහ කෝන මාන වගෙ එව්ව තියෙන බඩු සෙට් එකට.සීය නැති වෙලාවක අර පියාඹන පීරිසිය වගෙ ටේප් එක අහු වුනොත් මට දවසටම ඒක ඇති.අම්මල කියන්නෙ පුංචි කාලෙ මම සෙල්ලම් බඩු හරි වෙන දෙයක් හරි අතට ගත්තම හරි අර පරිපරිස්සම්ලු.මම ඉපදුන දවසෙ සීය ගෙනත් දුන්න පුළුන් හාවො දෙන්න නංගි, මල්ලි දෙන්නම ඉපදෙනකල්ම කවරෙන්වත් එලියට අරන් තිබ්බෙ නැලු.නංගි දණගාන වයසෙදි පලමු හාවත්,මල්ලි අතපය ගහන්න ගන්න කාලෙදි දෙවෙනි හාවත් පරලෝසැපත් වුනාලු.

කොහොම හරි ආච්චියි,මායි නිදා ගන්නෙ අර දෙකෙන් ලොකු ඇඳේ.මට ඔලුවට කොට්ටයයි,දෙපැත්තට කොට්ට දෙකයි,කකුලට එකයි,තුරුල්කරගන්න එකයි.හවස විදිහටම ආච්චි නින්ද යනකල් පිටට තට්ටු කරනවා.නිදා ගන්න කම්මලි හිතුණ දාට හෙම්බිරිස්සවකුත් තිබ්බොත් මරු.මම හුස්ම ගන්න බැ කියලා කැගහන්න ගන්නවා.(කොහොමත් පොඩි කාලෙ මම හිතාගෙන හිටියෙ කාමරේ ලයිට් නිව්වම හුස්ම හිර වෙනවා කියලා.කවුරු හරි මට නින්ද යන්න කලින් ලයිට් නිව්වොත් එහෙම හරිම තමා.මම එකෙලහ දොලහ වෙනකල් කැ ගහ ගහ අඬනවා.පස්සෙ කාලෙක මම ජීවිතය පරදුවට තියලා ආච්චිව විස්වාස කරල තමයි ලයිට් නිව්වම හුස්ම හිරවෙන්නෙ නැ කියලා ඉගෙන ගත්තෙ) ආච්චි ඔන්න බටු තෙල් රත් කරලා පපුවෙ ගානවා.හෙම්බිරිස්සාව නැති දාට මට දරුණු බඩේ වේදනාවක් හැදෙනවා,එදාට ආච්චි මොනවදෝ බොරු මන්තරයක් කියලා බඩට මතුරනවා.ඒකෙනුත් හරි ගියෙ නැත්නම් සුදුලූණුයි,ගම්මිරිසුයි,ලුනුයි අඹරලා ගුලියක් හදල දෙනවා.ඒක බීම නම් ටිකක් කරදර වැඩක්.ආච්චිට අනුපාතෙ වැරදුන දාට ගුලිය පැණියක් වෙනවා.ඒ හින්දා මම බඩෙ අමාරුව දුර දිග ගෙනියන්නෙ කලාතුරකින්.පස්සෙ කාලෙක දැනගත්ත විදිහට ආච්චිගෙ තත්තා වෙද මුහන්දිරම් කෙනෙක් ලු.සමහරවිට අර බඩට මතුරපු එව්ව ඇත්ත වෙන්නත් ඇති.මොකද ඇත්තටම බඩේ අමාරුව හැදුනමත් ආච්චිගෙ මැතිරිල්ලෙන් ඉක්මනටම ඒක සනීප වෙන නිසා.

ඔහොම තමයි ඉතින් වීතරාගීගෙ සිඟිති කාලෙ ගෙවිලා ගියෙ,සීය මුණුබුරු මිණිබිරින්ගෙන් වැඩියෙන්ම ආදරේවුණේ මට.සීයගෙ පුටුවෙ වාඩි වෙන්න,සීයගෙ පිඟානෙ කැම කන්න,සීයගෙ ඇඳේ නිදා ගන්න සහ හැම අලුත් පන්තියකටම ඕන හැමදෙයක්ම අරන්දීම වගෙ වරප්‍රසාද ලැබුනෙ මට විතරක්ම තරම්.ඒකට හේතුව අදටත් හිතා ගන්න බැහැ.මම ශිෂ්‍යත්වෙ ඉස්කෝලෙන්ම වැඩිම ලකුණු අරන් පාස් වුණ දවසෙ සීයගෙ ඇස් වලට කඳුලු ආවා.ආච්චි විනාඩි 10ක් විතර මාව තුරුල් කරන් හිටියා.ඒ දෙන්නගෙ ආදරේ තව තවත් වැඩි වුණා. අපි තුන් දෙනා ඒ කිව්වෙ නංගි,මල්ලි සහ මාව අපෙ ගෙදර ඉඳන් මහ ගෙදර එක්ක යද්දි සීයා අතින් අල්ලගෙන යන්නෙ මාව.පොඩි ඩබල ඉස්සර වෙලා යන්න ඕන.ආච්චිත් මම දන්න තරමින් අර තරම් කතන්දර ගොඩක් කියලා බත් කවලා තියෙන්නෙ මට විතරයි.

මම නුවර ගියාට පස්සෙ මහගෙදර යාම අඩු වුණා.ඒත් පුළුවන් හැම වෙලාවෙම මම එහෙ යනවා.නුවර ඉස්කෝලෙ හරි වෙනස්.හය හත පන්ති වල වාර විභාග ඉවර වෙලා නිවාඩු දෙනකල් කාලෙ විනෝද සමය වාගෙ.ළමයි එක එක දේවල් කරනවා.සමහරු වීඩියෝ ගේම් අරන් එනවා.සමහරු චක බ්ලාස්ට් වගෙ ගේම්.සමහරු ලේන්සු මහනවා.මල් මහනවා.සමහරු වූල් ගොතනවා.එක දවසක් කෞෂි වූල් ගොතනවා දැකලා මට ඉතිහාසෙ වේගෙන් මතක් වෙන්න ගත්තා.කෞෂිට මම කටු දෙකෙන් ගොතන හැටි කියලා දුන්න .එයා තනි කටුවෙන් ගොතන්න කියලා දුන්නා.(මේ දවස් වල මම හිත මිත්‍රයෙක්ගෙ යෝජනාවකට අනුව වසරක් තිස්සේ බ්ලව්ස් පොඩ්ඩක් ගොතනවා.;). )

මම හත වසරෙ විතර ඉද්දි ආච්චි අසනීප වුණා.සීයටත් බ්ලඩ්ශුගර් ආවා.ආච්චිගෙ ඇස් ඔපරේශන් කරන්න ගියාට පස්සෙ ආච්චි නැන්දලාගෙ ගෙදර නතර වුණා.සීයව බලාගත්තෙ බාප්පලා.මම හැම සෙනසුරාදම ඉංග්‍රීසි පන්ති යන්න කලින් සීය බලන්න යනවා.සීය දෙන පොකට් මනිත් අරගෙන පන්ති ගිහින් එනකල් සීය මට බත් පංගුව තියලා තියනවා.
මම අට වසරෙ ඉන්න කාලෙ එක සෙනසුරාදාවක හවස මට සීය බලන්න යන්න බැරි වුණා,යාලුවෙක්ගෙ ගෙදර වාහනෙන් මාවත් අපේ ගෙදරට බස්සවගෙන ගියා.අදා රැ යන්තම් කලුවර වැටීගෙන එද්දී බාප්පා ආවා.බාප්පගෙ ඇස් රතු වෙලා.අප්පච්චිට මොනාද කිව්වම අප්පච්චි අපිවත් අරන් මහගෙදරට ගියා.කවුරුත් කතා කලේ නැ.සීයා ඇඳේම නිදාගෙන හිටියා."ලොකු දුව එනකල් දෙපාරක්ම පාරට ගිහින් බල බල හිටියා" පුංචි ඇස් රතු කරගෙන .දවස් 2ක් සීයා සැටින් අතුරපු පෙට්ටියක දාල තියාගෙන ඉඳලා සීයගෙ ඕබීඒ එකේ සීයලගෙ කතා වලින් පස්සෙ අප්පච්චිලා කරට ගන්න ලැස්ති වුණා.මම කැගැහුව.ඒත් උගුරෙන් සද්දයක් ආවෙ නැ.අම්මයි නැන්දයි දෙන්නම කැගහල පෙට්ටිය බදා ගත්තා."අප්පච්චො...මට සීයා බලන්න ඕන" මම ඇස් වල කඳුළු පුරවගෙන කිව්වම අප්පච්චි ආයෙත් පෙට්ටිය ඇරලා පෙන්නුව.මම සීයව බදාගෙන ඇඬුවා.ජීවිතේ දුකයි කියලා පලවෙනි පාරට දැනුන දවස එදා.අදටත් ඒ වේදනාව මතක් වෙන්නෙ පපුවෙන් පලාතක් හිරි වට්ටගෙන.

ආච්චි ඊට පස්සෙ ටික කාලයක් මෙහෙ ඉඳලා අයෙත් නැන්දා ළඟටම ගියා.මම සා.පෙලට ,උසස් පෙලට හිර වෙලා හිටි නිසා නිතර යන්න බැරි වුණත් පුළුවන් හැම වෙලාවෙම ආච්චි බලන්න ගියා.අර වගේම මූසල දවසක නැන්දා කෝල් කරලා අපි එහෙ ගියා.ඒ වෙද්දි ජීවිතේ දුකක්ම විතරක් වග මම හුඟක් දුරට තේරුම් ගනිමින් හිටියෙ.ආච්චි කවදාවත් නොදාපු වර්ගෙ මුතු මාලයක් දාගෙන ,සිල්ක් සුදු ඔසරියක් ඇඳගෙන නිදාගෙන හිටියා.
ජීවිතේ එහෙමයි.සතුට රැඳෙන්නෙ බොහොම ටික කාලයයි.මහගෙදර ගෙවපු ආදරය පිරිලා ඉතිරිලා තිබ්බ ජීවිතේ මට ආයෙ කවදාවත්ම විඳින්න ලැබුනෙම නැති තරම්.සෝකාන්තයක් නොවුණට අර තරම් ලොකු ආදරයක් වින්ද මට එහෙව් ලෙංඟතු කමක් ඊට පස්සෙ ලැබුනෙ නැ කිව්වොත් හරි.ආච්චි තරමට මට සමීප නොවුණට අම්මා වෙනස්ම විදිහට අද මම ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන මනුස්ස පරාණෙ වෙලා හිටියත් අප්පච්චිට කවදාවත් සීයගෙ තැනට එන්න ලැබුණෙ නැ.සමහර විට මම සීයා තරම් ලිහිල් ආදරයක් අප්පච්චිගෙනුත් බලපොරොත්තුවුන නිසා වෙන්න ඇති.
අදටත් සමහර සෙනසුරාදාවල් වලට සීයත් එක්ක පොලේ ගිය ගමන මතක් වෙලා,අලව්වෙ මහ පාලම දැක්කම ආච්චි එක්ක පූස කාපු වෙලාවෙ විස වෙද්දු හොයන් අලව් ගිය ගමන මතක් වෙලා මගෙ ඇස් වලට කඳුළු එනවා.හෙම්බිරිස්සවක් හැදුනම ආච්චිගෙ බටු තෙල් මතක් වෙනවා.යෝදයගෙ නපුරුකම් වලදි ආච්චිගෙ හුරතලේ මතක් වෙනවා.අප්පච්චි දොස් කියන වෙලාවලදි සීය හිටියනම් කියලා හිතෙනවා.කලුවරට තනියම යන්න තාමත් තියෙන බයට කට්ටිය හිනා වෙද්දි ,යාලුවො ඔක්කොම සාරි අඳිද්දි මම විතරක් ඔසරි අඳිද්දි ආච්චිව මතක් වෙනවා.

තාමත්.අදටත්......

මහගෙදර කතාව 3


මහගෙදර කතාව 1
මහගෙදර කතාව2

ආච්චිගෙ ගොතන කටු මොණර නිල් පාටයි.ඒවා තිබුණෙ අල්මාරියෙ උඩම තට්ටුවෙ සාරි අස්සෙන් තියලා.ආච්චිට තිබ්බ සාරිවලින් මම කැමතිම සාරියත් මොණර නිල් පාටයි.
සමහරදාට මම ටීචාච්චිගෙ හවස පන්ති යන්නෙ දවල්ට බත් නොකා.එහෙම දවස් වලට සීය සීයගෙ බත් පංගුවෙන් කොටසක් මම එනකල් පලඟානෙම ඉතුරු කරලා තියෙනවා.පන්ති යන්න "පොකට් මනී "දීම පුරුදු කරගත්තෙත් සීයම තමා.පහ වසරෙ ශිෂ්‍යත්වෙට ඉගෙන ගන්න කාලෙ ගෙදරින් එහෙම සල්ලි ලැබුණෙ මට විතරයි.ඉස්කෝලෙ ඇරිච්ච ගමන්ම අපි ටීචාච්චිලගෙ වැටෙන් පැනලා මහ ගෙදරට එනවා.ගෙවල් වලින් ගෙනාපු බත් මුල් ලිහාගෙන කාලා වත්තෙ තියෙන ගස් ටිකත් සුද්ද කරලා ආපහු ඉස්කෝලෙට යන්නෙ සීය දුන්න පොකට් මනී වලින් කඩචෝරුත් අරන්.හැබැයි ආච්චි නම් සීයට දොස් කියනවා මාව නරක් කරනවා කියලා.

සෙනසුරාදා දවසක් නම් සීයා එක්ක මම පොලේ යනවා.ගෙදර ආවම පොලේ ගිය බජට් එක සීයා මතකෙන් කියවනවා.කරෝල කාරයින්ට බනිනවා.ඒ දවස් වල සීය තමයි මම දන්න හොඳම ගණිතඤයා.සීයගෙ මතකෙ මට අදහාගනන් බැරි තරම්.මම තමයි ඒ ගනන් එකතු කරලා බිල හදන්නෙ .කැම මේසෙට වාඩි වෙලා සීයගෙ පැනෙන් ගනන් ලියලා එකතු කරද්දි මම ඉන්නෙ ඒසේ මෙසේ ආඩම්බර කමකින් නෙවේ.

පොලේ යාම මට සතියේ ප්‍රියතම ගමන වෙන්න කාරණා කීපයක් බලපානවා.එකක් එදාට මම කැමතිම විදිහේ උණු උණු රට කජු කන්න ලැබීම.ගෙදරට කරවල් ඔතලා ගේන කොලයක් හරි කියවන්න කියලා අපිට කියල දුන්නෙ ටීචාච්චි.ඒ කෙරුවාව සීයගෙ හිතට මදි හින්දා සිළුමිණ පත්තරෙයි,මුතුහර සඟරාවයි අරන් දෙන්නෙත් සෙනසුරාදට.සීය නිතර ගමන් යන කෙනෙක් නෙවි.පෙන්ෂන් ගන්නයි,ඕබීඒ එකේ මීටින් වලටයි ඇරුනම අනිත් ඔක්කොම වැඩවලට ගියෙ සෙනසුරාදට.සමහර දාට සීය කොන්ඩෙ කපන" කාන්ති සැලුන් " එකෙන්ම මටත් කොන්ඩෙ කපා ගන්න ලැබෙනවා.සීය අලුත් කලිසමක් ,කමිසයක් මහන්න දුන්නම ඒකෙ ඉතුරු කැල්ලෙන් පියදාස ටේලර් මටත් කොට කලිසමකුයි,කමිසෙකුයි මහලා දෙනවා.අවුරුද්දට සීයා නැගම් යද්දි මමත් සීයගෙ අනුරුව වාගෙ මේ ඇඳුම ඇඳගෙන යන්නෙ හරි ආඩම්බරෙන්.


ඕන්න ඉතින් හවස් වේගන එද්දී මට අහල පහල මිත්‍රයොයි කියලා ඉන්න ඩබලම මහ ගෙදරට දුව ගෙන එනවා.රංග අයියයි රනිල් අයියයි.(පස්සෙ කාලෙක දැන ගත්තෙ රනිල් කාරයා මට වඩා මාස 2ක් විතර බාලයි කියලා.ඒ ටීචාච්චිගෙ පන්තියෙදි.)ගෙදරට කිව්වට වත්තට ඇවිත්" සුදු නංගී මල් කඩන්ට එන්ඩෝ...... " කියලා කැගහනවා.මමත් ආච්චිගෙ තැඹිලි පාට මල් කූඩෙ අරන් යනවා.කැම කාමරෙන්
එලියේ ලොකු වතුසුදු ගහක් තියෙනවා.ගහ ළඟම පැලයකුත් නොවන ගහකුත් නොවන ජම්බු ගහක් තියෙනවා.මම ජම්බු ගහේ පහල අත්තක ඉඳගෙන ඉද්දි මේ අයියා මලෝ මටත් එක්ක මල් කඩලා දෙනවා.
මල් කඩලා ඉස්තෝප්පුවෙ කන්ඩිය උඩින් තියලා කන්ඩිය පහල පඩියෙ වාඩි වෙලා අපි කතන්දර කියනවා.සින්දු කියනවා.ආ...ඔය කන්ඩිය ගැනත් මරු කතාවක් තියෙනවා.කන්ඩියක් කිව්වට එතන අඩ සඳ හැඩේ ආරුක්කු 2ක්ම තියෙනවා.මම ඉස්සර හරි කැමතියි ඔය ආරුක්කුවට නැගලා නිදාගෙන ඉන්න.අප්පච්චි සමහර දාට එහෙම ඉන්නවා මම දැකලා තියෙනවා.ආච්චි කියනවා ගේ හදන්න ආව බාස් ඔතන නිදාගෙන ඉඳලා බිමට වැටිලා දත් 2 ක් කැඩුනලු.මටත් එහෙම වෙයි කියල එතනට නගින්න දෙන්නෙ නැ.ඒ වුණාට ආච්චි ගෙදර නැති හුඟක් වෙලාවලට මම ඉන්නෙ එතන.;)

Sunday, January 30, 2011

ලදල්ල


නරකම කාල වල ලැබෙන "හොඳම" හිතවතුන් කාලෙ තවත් නරක් වෙද්දි දුරස් කරන්නට වීම කොයි තරම් නරකද?මම ධර්මය ටිකක් විතර දන්නවා.අඩුම ගානෙ දන්නවා කියල හිතාගෙන ඉන්නවා.මම මැතකදි පිලිවෙලකට ඉගෙන ගෙන තියෙනවා.ධර්මය දත් තැන් වලින් ඉගෙන ගෙන තියෙනවා.

ප්‍රියතම කියන කොටසට අයිති වස්තු,ජීවිත,චරිත මේ ඕන දෙයක් වෙනස් වෙනවා කියලා දන්නවා.නිරන්තර වෙනස් වීම.

මඳ සුළං.
සුළි සුළං.
කුණාටු.

නැවත
මඳ සුළං


නැතත් ඒ පිළිබඳ අපේ සිතිවිලිත් කාලෙත් එක්ක වෙනස් විදිහට වැඩ කරන්න පුලුවන් කියලා දන්නවා.අත්දැකීමෙන් ම දන්නවා.

ධර්මය ඉගෙන ගත් තැන් වලට ම ඒවා යොදවන්න බැරි නියමයක් ධර්මයේ තියෙනවද?

ප්‍රසන්න වස්තූන් අප්‍රසන්නව දකින්න පහසු මඟක් තියෙනවද?

ගස් තියෙද්දි,මල් පිපුණු ගස් තියෙද්දි මුල් උදුරා දාන්න ක්‍රමවේදයක් දන්නවද?

පිළිතුරක් ඇති කියලා අනුමාන කරනවා ඔබ ළඟ.එහෙම අනුමානවත් කරන්න පුලුවන් කෙනෙක්ට ඉන්නෙ ඔබ විතරයි.ඒත් කොයි තරම් සාධාරණද?අනුන්ගේ ප්‍රශන්වලටම පිලිතුරු සෙවීම වෙනුවෙන් තවත් "අනුන්" කෙනෙක් කැප කරවීම.මගේ නිධානය ගන්න ඔබව බිලිදීම.ඇමක්?ඔබවම ?ඔබ කොයි තරම් හොඳද?නිර්වින්දිත ප්‍රතිමාව.දසතින් පිදුම් ලබන.

පරාගනය විය යුතුමද?උවමනාව මලට ම ද? සොබා දහමටද?ඵල පතන අපටද?වඳ පීදුණු ගස් පලක් ඇත්තේම නැද්ද?
එතකොට ජෛව විවිධත්වය?
පරිණාමය?

ප්‍රශ්ණ පමණයි.පිළිතුරක් ඇහැට දැක්ක කාලයක් මතක නැහැ.

මගේ දොස් නොදැක අනිකාගේ ගුණ කොහොම දකින්නද ?මම එක ම එක පුරුකක් පමණයි.තාල වර්ගයේ ගසක මුදුන් දලුව.මෝරා වේලී ගිහින් , වේලී ගිහින් ඉඩ දී ඉවත් විය යුතු.අලුත් දලුවකට ගුණ පන පෙන්වන්නට .දෙකෙහිම ඉරණම සමාන වග පුන පුනා පවසන ඔබ.විශේෂ පත්‍ර ව්‍යුහයක් පතන මම.විකෘතියක් වුවත් කම් නැති.උද්දච්ච .අහිංසක .එකට පැවතිය නොහැකි ගුණ එකට පවතින කලාතුරකින් බිහිවන වර්ගයේ.විස්වාස කල නොහැකි තරමේ අහම්බය.

සුවපත් වීම.ඔබ පෙනෙන නොපෙනෙන දුරක.අහුලා ගන්න පහත් වන මම.නැවතත් නිර්වින්දිත ඔබ.

පලා යන්නට සැරසෙමින් පලා නොයා තැවෙන අසාමාන්‍ය ලදල්ල.
මම මම මම ...............................................................

Thursday, January 27, 2011

මහ ගෙදර කතාව 2



මහගෙදර කතාව 1 පටන් ගත්තෙ ගෙතිල්ල ගැන කියන්න නෙ.අන්තිමට කතාව යන්නෙ කොහෙද මල්ලෙ පොල් වුණා.මුලින් මුලින් ආච්චි මට ගොතන්න කියලා දුන්නෙ අර ගෝනි වල තියෙන ලනු වලින්.ඉස්සර කඩ වලින් සීනි පරිප්පු ගත්තම පත්තරේ ඔතලා ඒ හීනි නූලක් වගෙ ලණුවලින් ගැටගහලා දෙන්නෙ.අපෙ ආච්චි හරි අරපිරිස්සම්කාරයි.පස්සෙ උවමනා වුණම ගන්න කියලා ඒවා එකතු කරලා තියා ගන්නවා.ඒවා විතරක් නෙවි.වත්තෙ වැටිලා තියෙන කොට්ට පොල් ගෙඩියක් වත් අහකට නම් යන්නෙ නැ.රහට කොට්ට පොල් සම්බෝල හදන්න ආච්චි දන්නවා.
ආච්චි තරුණ කාලෙ හෙදියක් ලු.ඒත් විවාහෙන් පස්සෙ ආච්චි රස්සාව කරනවට අපේ සීය කැමති වෙලා නැ.( :/ )ඉතින් ආච්චි මම වගේ නොවුණ හින්දම ,සීයගේ සුවච කීකරු බාරියාව වෙල ගෙදර නැවතුණාලු.මට අවුරුදු 3ක විතර කාලෙ තමයි ආච්චිගෙ අම්ම නැති වුණේ.ආච්චිවත්, සුදු ආච්චි ඒ කිව්වෙ ආච්චිගෙ නංගි වත් කැගහලා ඇඬුවෙ නැ.පස්සෙ කාලෙක ඕක ගැන කතාවක් ඇදුණ වෙලාවක ආච්චි කිව්වෙ ආච්චිල ගෙදර ඉන්න කාලෙ, ඒ කාලෙ හැටියට ගැනු ළමයෙක්ට නොදෙන තරමේ නිදහසක් දුන්න ආච්චිගෙ අම්මා වෙනුවෙන් බොරුවට කැගහලා නොඇඬුවට, ඉටුකරන්න ඕන යුතුකම් සේරම ඉශ්ට කලා කියලයි.ඒක නම අදටත් මට තෙරුම් ගන්න බැරි කතාවක්.සමහර විට ආච්චි තමන්ගෙ විවාහෙ ගැන අසතුටින් උන්න වෙන්නත් ඇති.
ඉතින් මම මේ ආච්චිලගෙ ගෙදරම වාඩි ගහගෙන හිටියෙ ඇයි කියලත් හිතෙනවා ඇති නෙ . ;).මම ඉපදුන කාලෙ අම්ම රැකියාවක් කරමින් ඉඳල තියෙන්නෙ.ඒත් මට අවුරුදු 2ක් විතර වුණාට පස්සෙ අම්මට ආපහු රැකියාවට යන්න අපෙ අප්පච්චි අවසර දීල තියෙනවා.අම්මා කරලා තියෙන්නෙ දුරින් නැදැ වෙන ආච්චි කෙනෙක්ව මාව බලා ගන්න තියලා මාව මහ ගෙදර නවත්තන එක.හි හි!!ඊට පස්සෙ තමයි මරු කතාව.අපෙ ආච්චි අර මාව බලා ගන්න තිබ්බ කෙනාට කියලා වී තම්බන්නයි ,කඩේ යවන්නයි පටන් අරන්.අන්තිමට මාව බලා ගන්න වෙලා තියෙන්නෙ අපේ ආච්චිටම තමයි.අර ආච්චි යන්න ගිහින්.
ආහ්! ගෙතිල්ල.ඔන්න ඉතින් අහිංසක මම ගෝනි ලනු වට කරන් ගොතනවා දැකලා දුක හිතුන අපේ සීයා මට අලුත්ම වූල් බෝල 2ක් ගෙනත් දුන්න.දම් පාටයි කළු පාටයි.අදටත් මගෙ ප්‍රියතම පාට දම්.කොහොම හරි මට ආච්චිගෙන් ඉගෙන ගන්න පුළුවන් වුණේ කටු දෙකෙන් යන්තම් පටියක් ගොතන තරම විතරයි.පස්සෙ කාලෙක මම ශිෂ්‍යත්වෙ පාස් වෙලා නුවර යාම,නංගිලා මල්ලිලා පවුලට එකතු වීම,ආච්චි සහ සීයා අසනීප වීම වගෙ මෙකී නොකී කාරණා හුඟක් ඒකට බලපාන්න ඇති.

මහගෙදර කතාව 1





ගෙතිල්ල පහසු කාර්යක් නෙවී.මුලදි මුලදි හොඳ අවදානයෙන් නොහිටියොත් ආපහු කොනක හිටන් වැඩේ පටන් ගන්න වෙනවා.මුලින්ම ගොතන්නෙ දම්වැල.එතනින් එහාට පිරවිල්ල .කාලෙත් එක්ක මේ කෙරුවාව ඇස් පියාගෙන කරන මට්ට්මට කෙනෙක්ට හුරු වෙන්න පුලුවන්.
මම මුලින්ම ගෙතුමක් දැක්කෙ ආච්චිගෙ.ආච්චි ගොතන්නෙ කටු දෙකෙන්.ආච්චි ළඟ ගෙතුම් රාමුවකුත් තිබුණා.ඒක මට අවුරුදු 3ක 4 ක කාලෙ සෙල්ලම් බඩුවක්.අන්තිමටම ඒක තියෙනවා දැක්කෙ පීල්ල ළඟ වැලි ගොඩේ.ආච්චිගෙන් අහගෙන කටු දෙකෙන් යන්තමට ගෙතිල්ලක් ඉගෙනගනිද්දි මම දෙක වසරෙ විතර.ඒ වෙද්දිත් ඉස්කෝලෙ ගිහින් ඇවිත් මට බත් කවන්නෙ ආච්චි.හුරුල්ලො බැදලා,ගොටුකොල සම්බෝල හදලා,කැරට් ඉව්වම මට රාජ බෝජන වගෙ තමයි.මොන බොජුන තිබ්බත් කතාවක් කියලා බත් ටික කැව්වෙ නැත්නම් මට බඩගින්න ගානක් නැති බව ආච්චි දන්නවා.අනික සියගෙ ප්‍රියතම මිණිබිරිය වුණ මාව බඩගින්නෙ තැබිල්ලෙන් දොස් අහන්න වෙන්නෙත් ආච්චිටමනෙ.මට හොඳටම මතක කට පහ රජ්ජුරුවන්ගෙ කතාව.ඒක ආච්චිගෙ ජනප්‍රියම කතාව.

දවල්ට බත් කැවට පස්සෙ සීය ඇඳට වැටෙනවා.ආච්චි ඇඳට යාන්නෙ මාවත් ඇදගෙනමයි.කාපු ගමන් ඇඳට වැටෙනවා කියන්නෙ මට මරන්නා වගෙ.ආච්චිට කරන්නෙ මාව බිත්තිය අයිනට දාල නින්ද යනකල් පිටට තට්ටු කරන එක.තට්ටු හත අටක් යද්දි තට්ටුව ඉබේම නවතිනවා,ආච්චිට නින්ද ගිහින්.හිමින් සැරේ ඇඳ පහලට රූටලා බැහැගන්න හදද්දිම ආච්චිට ඇහැරෙනවා.ආයෙත් මාව නිදි කරවා ගන්නවා.ඒත් කලින් වතාවෙ වගෙම තට්ටු කිරිලි හත අටක් යද්දි ආච්චි නිදි.මම කරන්නෙ ආච්චිව හොලවලා ඇහැරවලා තට්ටු කරන්න කියන එක.අද මතක් වෙද්දි ආච්චි කොච්චර පවු ද සහ මම කොච්චර ඇම්බැට්ට කෙල්ලෙක් වුණාද කියලා හිනත් යනවා.කොහොම හරි ජයග්‍රාහී දෙවන නැත්නම් තුන්වෙනි උත්සාහයෙන් මම ඇඳට පැන ගන්නවා.කෙලින්ම නවතින්නෙ මිදුලෙ.මහගෙදර වත්තම පළතුරු යායක්.මම කරන්නෙ තනියම අහල පහළ තියෙන ගෙඩියක් කඩාගෙන කඩයක් දාන එක.මුදලාලිත් ගැනුම්කරුවාත් මමම තමයි.
සමහර දාට මහගෙදර වී තම්බන්න එන කිරි අත්තම්ම එයාගෙ මිණිබිරිත් එක්කගෙන එනවා.ඒළමයා මට වඩා අවුරුදු 2ක් විතර බාලයි.හොර පූසි වගේ ආ වෙලාවෙ ඉඳන් වට පිට බලන්නෙ.කතා කරාට කතාවක් නැ.දවසක් සීයයි මමයි කොළඹ ගියා.ආ...මට මහගෙදර හිටිය පූසා කාලා ඒකට ඉන්ජෙක්ශන් දෙන්න මාව කාසල් එක්කගෙන ගිය දවස.මම මූණත් බෙරි කරන් ගෙදර එද්දි මෙන්න මේ හොර පූසි මගෙ මල් පිඟානෙ බත් කනවා.ඒ ළමයා ගියාට පස්සෙ ආච්චි මට ඒ පිඟානටම බත් බෙදාගෙන ආවා.මම නෙවෙයි බත් එක දිහාවෙ ඇහැක් ඇරලා බැලුවෙ.සීයත් ආච්චිට දොස් කියලා සීයගෙ රන්පාට පිඟානට බත් බෙදලා දීලා පහුවදාම මට අළුත් පිඟානක් ගෙනත් දුන්නා.(අම්ම අදටත් කියන්නෙ මට තියෙන්නෙ සීයගෙම උද්දච්චකම කියල;)
ඉස්කෝලෙ දෙක වසරෙ ඉද්දි ආච්චි මාවත් එක්කරගෙන ගියා මල ගෙදරකට.එන ගමන් අපෙ ඉස්කෝලෙ හිටපු නපුරුමයි කියලා ප්‍රසිද්ද ගුරුවරියක් සහ ළඟම ඥාතී වරියකගෙ ගෙදර ගියා.එයා "සුදු අක්කේ" කියලා ආච්චිව බදා ගත්තා.කොහොමින් කොහොමින් හරි අන්තිමට වුණේ මාව හවසට හවසට ඒ ටීච‍්රගෙ ගෙදර යැවිල්ල.එයා මාව පන්තියෙ පිටිපස්සෙන්ම වාඩිකරවලා උගන්නනවා.හිටපු ගමන් ප්‍රශ්න අහනකොට පණ්ඩිත කමට මමත් උත්තර දෙනවා.පහ වසරෙ අක්කල අයියලට බැරි දේවල් මේ පොඩි ළම්යා තේරුම් ගන්නවා කියලා "ටීච ආච්චි " හවස බිස්කට් එක්ක තේත් දීලා මාව මහ ගෙදර වැට ළඟට ගෙනත් අරලිනවා.කොහොම හරි පහ වසරෙදි මම ටීච ආච්චිගෙ පන්තියට නොවැටුණ එක අපෙ ආච්චිට හරියට හිතට අමාරුවක් වුණා.මම වැටුණෙ පහවසර -1 පන්තියට.කොහොමද කියන්න දන්නෙ නැ.ඒ පන්තියෙ මට ඉන්න වුණෙ එක දවසයි.පහුවදාම මම ටීචාච්චිගෙ පන්තියෙ.:)
අපේ සීය තමයි ගමෙන් ම මුළින් ම ආනන්දෙට ගිහින් තිබුණෙ.ජපන්නු බෝම්බ දාද්දි ඉස්කෝලෙ ඩෙස්ක් යට රිංගලා කෝටු කටේ ගහන් හිටිය හැටි සීය කියන්නෙ පෙන්ශන් දාට සෝමෙ මාම එක්ක කාමරේට වෙලා කතාව දාගෙන ඉද්දි.මට බෙහෙත් ගත්ත "බංගලාවෙ දොස්තර" සීයගෙ හොඳම යාළුවා.ශිෂ්‍යත්වෙ ළං වෙලා මට හිසරදයක් හැදුණා,මම ඉතින් හුරතලේටත් එක්ක සීයගෙ සරම් ඔඩොක්කුවට පැනලා අඬනවා.සීය ලැස්ති වුණෙ මාව කාසල් අරන් යන්න.කොහොම හරි "බංගලාවෙ දොස්තර"ගෙ බෙහෙත් වලින්වත් කාසල් එකෙන් දුන්න බෙහෙත් වලින්වත් අඩු නොවුන හිසරදය විභාගෙ කිට්ටු වෙනවත් එක්කම ඉබේම සනීප වුණා.ආච්චි කිව්වෙම මගෙ සෙම කර වෙලා කියලමයි.සීය කිව්වෙ මම කළුවරේ පොත් කියවන නිසා කියලා.