Tuesday, April 13, 2010

.ඉඳිකට්ටෝ.අපි ඔක්කොම පව් නේද?

ඉඳිකට්ටා සිල් අරන්.ඔන්න බේබද්දා මාක් එකට යටින් උපාසක ලේබලය වැදෙන්නයි යන්නෙ.ඒකත් හොඳයි,නැත්නම් කොල්ලයි බල්ලයි ඔක්කොම ඉඳිකට්ටට නක්කලේ දානවා.ඒකට නම් මම කැමතිම නෑ.ඉඳිකට්ටක් වගෙ සරීර කූඩුවක් තිබුනට ඒක ඇතුලෙ මහා සද්දන්ත කරුණාවක් හිර වෙල තියෙන බව මම දන්නව.මෙච්චරම හිත නැහෙන්නෙ ඒක නිසා මිසක් අහවල් දේකටද?
ආත්මාර්ථයට එහ මොකොවත්ම නෑ අමා............

අවුරුදු ගින්න සැරට ඇවිලෙනවා.මාව පිච්චෙනවා වගෙ.ඉඳිකට්ටා ලඟටා ගිහින් පපුවෙ ඇන ගන්න හිතෙනවා.
කිරි කල හතකින් නාල ආවත් මේ ගිනි ගින්න නිවෙන එකක් නැහැ.
ඉඳිකට්ටා කියනව වගෙ මේක අත අරින්නම ඕන.හප්පා.ඉඳිකට්ටෙක් මට කල දෙයක්.!
පන්සල් පල්ලි කොවිල් දේවාල,අවුරුදු විසි පහකට මේ කොහෙටවත් නොපෙනුන ගින්දරක් ඉඳිකට්ටට මම පෙන්නුවා.ඉඳිකට්ටට දුක හිතෙන්න ඇති.මම පව්!

.ඉඳිකට්ටෝ.අපි ඔක්කොම පව් නේද?

Thursday, April 8, 2010

මායා බෝංචි

-පටක රෝපණය සඳහා උත්කෘෂ්ට ප්‍රේමයක් අවශ්‍යව තිබේ.හමු වූ අයකු වෙතොත් ගන්නොරුව භෝග පර්යේෂණායතනය අමතන්න.-

මට හොඳ වර්ගයේ වෙක්ටරයක් වෙන්ට බැරි වුණා.මේ ප්‍රේම පූට්ටුව ඉරි තලන්ට ඇත්තේ ඒකයි.පෑවිල්ලට ඉරිතලපු හැටියට මම හිතුවෙම ගම්පහ අපායට යනකල්ම ගිලා බහීවි කියලා.මොන.එක වැහි දෙකයි.ඔය යසට නිල්ල ගහල තියෙන්නේ.

ඒත් මේ කතාන්දරය දැන් යන්නේ අපාය දිසාවටමයි,මට කටු ඉඹුලේ ඉඹුල් මල් සුවඳ දැනෙනව වගේ....
ඉඳිකට්ටා හිනා වෙනවා.මට හිනාවෙනවා.කමක් නෑ.මිනිහගෙත් ආසාවනෙ.ඉඳිකට්ටා අහනව ඉඹුල් මල් වලින් එන්නේ සීනි සම්බෝල සුවඳද කියල..........

මට දැනෙන්නෙ මායා බෝංචි වැල දිගට ආපු යෝදයට දැනුන සුවඳ......

විතරාගී...........
යෝදයා කෑ ගහනවා.........

ඉඳිකට්ටා බිම බලා ගත්තා.
මම පව්!

මම ගියා යෝදයට කෑම අරින්න.
කටවල් පහට බත් තසිම් පහක්!
එලවළු පහට තසිම් විසි පහක්!
යෝදයට කටවල් පහයි.

මම ගෙම්බන්ට ප්‍රේම නොකරමි!

මල්කුමාරයා අනංගයාගේ රන් දුන්න ගෙන මට විද්දා මතකය.සිහිය එන විට මා සිටියේ රෝහල සයනයක් මත උඩුකුරුවය.ගලා ගිය සේලයින් දහරාව මගේ රතු සුදු රුධිර සෛල හා හාදව ගිය ගමන නැවතුනේ කොතැනදැයි නොදනිමි.ඇතැම් විට ඔවුන් මගේ අක්මාවේ හෙපටොසයිට තුල ප්‍රේමයේ අවසන් මල් සමය ගෙවනවා විය යුතුය.එය කොතරම් වේදනා බර අත්දැකීමක් දැයි හැඟීම් දැනීම් නැති මට පහදාගත හැක්කේ නොවේ.............

පරණ කෝන්තරයක් තිබූ ඉඳිකට්ටා අයේ අයේමත් පෙම් කවි ලියන්නට පටන්ගෙන ඇත.මට අයේමත් සේලයින් ඕනෑ නැත..
පෝයටවත් පන්සල් නොයන ඉඳිකට්ටා ගැන මට දුක හිතෙන්නේ නැත.මම ඉඳිකට්ටාට බයද නැත.වෙලාවකට කණෙන් අල්ලා දෙපැත්තට ඇද කණ මිරිකා හයියෙන් ටොක්කක් අනින්නට හිතෙන්නේ මොකා කියාදුන් මෝඩ සුරංඟනා කතාවේ තිබුණු විදිහටදැයි මතක නැත.ඕ.................!ඒක ගෙඹි කුමාරයාගේ කතාවය.ගෙම්බෙක් කොහොමටවත් රජෙක් වෙන්ට බැරි බව කැම්පස් තියා ඉස්කෝලෙකටවත් නොගිය මෝඩ රජ කුමාරිට හිතුනේම නැති හැටි...................

මම ගෙම්බන්ට ප්‍රේම නොකරමි!
සියලු ගෙම්බෝ නිදුක් වෙත්වා!
සුවපත් වෙත්වා!

හ්ම්ම්!!

Wednesday, April 7, 2010

බිත්තරය



මම අනුන් ලූ බිජුවටක් රකිමින් සිටිමි.උණුසුම් ප්‍රේම ඉන්ක්යුබේටරයක ලා ප්‍රශස්ත තත්ව යටතේ එකී නම නොදන්න බිජුවටය කල එළි බසින තෙක් දින ගනිමි.

ශක රාජ වසක් ගෙවී ගියේ යැ.............
සදෙව් ලෝ අසුරු සැනක් ගැසිණි!

නිකන් ඉන්ටම බැරි හිත් නියනට මිටිපහරක්...
එක කැටයමක්,දෙකක්,තුනක්,
හංස පූට්ටුවක්..............

කැටයම අවසන බිත්තරය අතුරුදන්ව තිබිණි.
බිත්තරය කෝකියා අතේය.
කල එළි බසින්ට සිටි සිඟිති කුරුලුවා වෙනුවෙන් වූ පණු කූඩයද,පොරි මල්ලද ගිලිහිණි.
කාමරය පුරා පොප් කෝන් ය.

බුල්සයි කිරීම හෝ ඔම්ලට් සෑදීම ඔහුම තීරණය කරණු ඇත.
මම හංස පූට්ටුව දෑතට හිර කර ගතිමි.

හෙට කතාන්දරය හංස පූට්ටුව වෙනුවෙනි.

නාභිනාලච්ඡේදනය



උත්තම පුරුෂය හිරිවැටීගෙන ගියේ ඇයි?
තාමත් ගල්වුණු හැටියෙම ඉන්න උත්තම පුරුෂය උණුවෙන්න මමම ගිනි කූරක් ලං කලා.අහසේ ඉන්න කුරුල්ලන්ට,මුහුදේ ඉන්න ඉකිරියන්ට මං ගැන මොකට වගක් වෙනවද?උන්ට පියාඹන්න අහස, පීනන්න මුහුද,එක යායට,එක නිල්ලට.මම නිකන්ම නිකන් .............


මම ඉන්නේ කතරක.අකුරු නැති කතරක.අකුරු,අකුරු....................ක්..ත...ර...ග...ම.....

Monday, April 5, 2010

ඉඳිකට්ටා

ඉඳිකට්ටා අතේ ඇමිනුනා.ගලාගෙන ගියේ ලේ නෙවියි.ඇනිමියා.වතුරපාට.ධාරාවට එරෙහි ප්රේතිරෝධය දුන්නෙ දබර ඇඟිල්ලා.මල් මල් ලේන්සුව,ප්රේමයට නව අරුතක්.අලුත් හීනයට කල එලියක්.උදලු ගාගෙන ගියා පලාතම.කොලපාට හේදෙන්න.දූවිල්ල ගහගෙන යන්න බොර ඇස් වරුසාව.හිත දූවගෙන ගිහින් මූණ ඔබා ගත්ත කවි උරේ.එදා වගේම ඇඟිලි දැවටුනා කිටිකිටියේ.භක්තිමත් හැඟීමක්.වෙන මොකුත්ම නැහැ.ඇඟිලි පැටලුනු තැන ප්රේමය තිබුනද ?මට මතක නෑ අප්පා.

වෙස්සන්තර ඇයි මන්ද්රී දන් දුන්නෙ.අයෙත් දරුවො හදන්න ,උන්ට කවන්න ,මොන තරම් කරදරද? මන්ද්රී හිටියොත් මේ චක්රේ එහෙමමයි,(එහෙනම් ඇඬුවෙ..ආහ්හ්!මේ ඇහට රොඩ්ඩක් ගියා..උදලු ගෑවට පස්සෙ දූවිල්ල.)මම මන්ද්රී වුනා නම් යන්නේ නෑ.ඒ වුනා නම් නේ.කවදාවත් වෙන්නේ නෑ.විස්වාසද හොඳටම??,මේ මල රතු පාට වුනා නම් තමා හොඳ...නැත්නම් හරි අතාත්විකයි.එහෙමද?මම මැහුවේ.මට ඔය පොඩි පොඩි මැහිලි පුලුවන්.ගොතන්නත් පුලුවන්.රේන්ද ගොතන්න ටිකක් දන්නවා.නිදන්න තමා කැමතිම....හි හි........!!

ඔන්න අහිතක් හිතන්න ඔට්ටු නෑ හරිද?


එපා බැඳෙන්න.දුර බලන්න .ලඟ නොබලන්න.වයිර නොකරන්න.

එහෙනම් මම ප්රේම කරන්නම්.දිගටෝම.......ඉහලට පහලට.......ඉහලට පහලට.....

නාස් පුඩු අතරින් ඇතුලට,,,,,,හෙමිහිට හෙමිහිට එලියට....ආයේත් ඇතුලට,,,,,,,එලියට........

ආදරේ පාට රතු.රතු රෝස,රතු ලේ..රතු හදවත්,රතු වද මල්....(වද කරදර ),රතු කඳුලු,

මම කැමතියි රතු පාටට,,මට ඇනීමියා,

ෆෙරස් ,ෆෙරික්, යකඩ හිතක්....

තමන් ගැන හිතන්න.තමන්ට ආදරේ වෙන්න,

ආ...අර යනව නේද??එයාට හතිය..ඇස්ත්මා මැරෙන්නම ගියා.බෙහෙතක් ගත්තේ නෑ.,පතපු ආදරේ ලැබුනෙත් නෑ.

ඉතින් ඉතින්??...ඉතින් මොකුත් නෑ.දැන් යසට ඉන්නවා.

ම්හ්!