Saturday, December 11, 2010

නුරාගී-විරාගී


මම ඉන්නේ සිහින දකිමින්මයි.නිරන්තරව පියවෙන - විවර වන දෙනෙතින්.ඇරෙන වැහෙන ඇස්වලින්,අඳුරට හුරුවීම මම කාලයක් තිස්සේ භාවනාවක් වගේ ප්‍රගුණ කල දෙයක්.මේ වෙද්දි මම එහි ප්‍රතිඵල භුක්ති විඳිමිනුයි ඉන්නෙ,ඔබ දකින තාක් මම හිටියේ ඒ අඳුරෙම ඈත කොනක.දැකීම,ඇසීම,දැනීම එකමත සමපාත කරන්න පුලුවන්.සූක්ෂම විදිහට.කලින් සඳහන් කල පරිචය ලබාගත් අයට ඒ කාර්යය වඩාත් පහසුයි.පලමුව ඇසීම.රැහැන් හරහා පොදු දුරකතන කුටියක සිට ජංගමයා වෙත.අඳෝනාවකට සමාන ස්වරයකින්.හදවතේ තත් කම්පනය කල නොහැකි පරාසයකින්.කාරුණික ප්‍රතික්ෂේපයක් වගේ.කාරණාව මොකක් වුණත්සම්බන්දතාවයයි වැදගත්.ඉන් පස්සෙ වුණු දේ එකක් නැර ලියා තැබීම යම් තාක් දුරට අසීරු වෙන්නෙ මතු ආරක්ෂාව පිණිස පමණක්ම නෙවෙයි.වචන වලට හැඟීම් ගොනු කිරීමේදී මම දක්වන දුර්වලකමත් නිසාමයි.
වසර පහක් හයක් තුල සිදුවිය යුතු, ඇති විය යුතු බැඳීමක් ඇතිවීමට ඒ ආරම්භය හොඳටම සැහෙනවා.ප්‍රේමය වගේ අර්ථකතනයක් හෝ අනුරාගයට සමාන කිසිවකින් මේ හැඟීම අලංකාර කිරීමට ඉඩක් නොලබා පසු වීම සුවිශේෂයි.ලැබුණා නම් එකමෙක අවස්ථාවක් පමණයි.ඔබේ දැඩි වීර්යය තුල සහ නොසලකිල්ල යැයි විටෙක වේදනා උපදවන හැසිරීම නිසාම අවම හානියක් සහිතව ආරක්ෂා කරගත් හැඟීම් ගොන්නක්.

කොතෙක් කලකට මේ සිතිවිලි මේ අයුරින්ම පවත්වාගන්න හැකි වේවිද.?පිළිතුරු නොලැබෙන තාක් සතුට රැඳී පවතීවි.නොනවතින වග දැන දැනම නවතින්න කියන්න පුලුවන් කමක් නැහැ.නවතින්න හැකිවේවි යැයි විස්වාසයෙන් කියන්නත් බැහැ.සඳක් හෝ කවියකට සමාන කිරීමෙන් අපහාසයක් කරන්න අසීරුයි.පොතක් වගේ කිව්වත් විෂයකට සීමා වෙන්න පුළුවන්.ආලෝකය!සම්පූර්ණයෙන්ම කියන්නත් බැහැ.


"අඩ අඳුර"
ඒකයි සුදුසුම.මන්දස්මිතය වගේ.
සිනාසෙමින් හෝ නොවෙමින්!
පහන් දැල්වෙමින් හෝ නොමැතිව.!

Friday, December 10, 2010

මායාකාරිය!




ප්‍රබන්ධයකට සුදුසු විදිහට දැන් කතාන්දරය ගොඩනැඟිලයි තියෙන්නෙ.ඇය උත්සාහ කරනවා අසාමාන්‍ය මිත්‍රත්වයක් පෙන්වමින් මට සමීප වෙන්න.මා සහ මට සමීප අය කිට්ටුවන්තයින් බවට පත් කරගන්න.එක්කෝ ඇය ඉතාමත්ම අසාමන්‍ය ආකාරයේ අහිංසක තැනැත්තියක් විය යුතුයි.නැත්නම්..........ඔබ අකමැති වුණත්, ඒක මට පේන්නේ කට්ටකමක් විදිහට වග නොකියාම බැහැ.
ඊරිසියාව මට නුහුරු හැඟීමක් නෙවී.ඉස්සරම කාලෙ මගෙම සහෝදරියට දෙමාපියන් ගේ වැඩි ආදරය ලැබීම ගැනත් මම ඊරිසියා කලා.යෝධයා සම්බන්ධව පවා මට ඊරිරිසියාකාරී හැඟීම් පහල වෙලා තියෙනවා.ඇය හෙවත් "වනිතාව" ඉඳිකට්ට ට සමීප වීමෙදි එහෙම හැඟීමක් ඇති නොවුනොත් තමයි පුදුමෙ.

ඇගේ ක්‍රමවේදය තරමක් සුවිශේෂයි. වෙලාවකට අසාමන්‍යය හිසරදයක් සහ තවත් විටෙක "කැසීමෙන්" පමණක්ම සුවය දනවන "කැසිල්ලක් "වගේ.ඇගේ ක්‍රමය ඇයටම ආවේනිකයි.සහජයෙන්ම උරුම කටහඬ ඇගේ ගමනට ආශිර්වාදයක්.මායාකාරී .සිහින්.(මායාකාරිය!).කැමත්ත අකමැත්ත පිලිබඳ නොතේරුනා සේ හිඳීම තමයි ඇගේ හොඳම තුරුම්පුව.

අපහාසය මෙතනින් නවත්තන්නේ මගේ හොඳකම ඉස්මතු වීම පිණිසමයි.නැත්නම් කිව යුතු පෙන්වා දියයුතු දේ අවසන් නිසා නෙවී.වාසනාවක් නැත්නම් ඉල්ලම් හැරීමේ පලයක් නැති වෙනවා.වාසනාවයි වඩා වැදගත්.!එහෙම හිතුවම මම පසුගාමී වෙලා වග මට පැහැදිලි වෙනවා.මෙහෙම හිතමු.වාසනාව නැතත් උට්ටාන විර්‍යයයි වැදගත්!දක්ෂ දුනුවායෙක් හරියටම ඉලක්කය ගන්න විදිහට.ලබා ගැනීමෙන් පස්සෙ පලයක් නැති බව ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගෙන හිටියත් "පැරදීලා පලා ගියේ නැ"කියන හැඟීමයි මට වැදගත්.

කොහොම වුණත් මේ වෙනකල්ම සැකයේ වාසිය සහ තවත් බොහොමයක් දේ බර වෙලා තිබුණේ මා දෙසටයි .කාලෙත් එක්කම වෙනසක් වෙන වගක් දැනීමත් එක්කම මං පටන් ගත්තා ඒ ගැන අධ්‍යයනය කරන්න.ජෙමාටත් තත්වය පැහැදිලි කලා සරලව අතිජාත මිත්‍රරත්නයක් හැටියට.මෙහෙයුම තනිව දියත් කරන ගමන්ම ප්‍රතිපල දැන ගැනීමේ උපාය මාර්ගයක් විදිහට.

මං බොහොම දුප්පත් .දවස් ගානක වැස්ස නිසා උළු දියබත් වෙලා .ඇතුලටත් තෙත බේරෙනවා.පොදු වහරින් පැල්පතකට සමීපයි.සින්ඩරෙල්ලා කතාවටත් පොඩි සමානකමක් තියෙනවා.ඒත් ඉඳිකට්ටා හෝ යෝදයාට ඒ තතවය තේරුම් ගැනීම අසීරු විය හැකියි.එහෙම බැලුවාම වනිතාවගෙ පැත්තේ බර ටිකක් වැඩි වෙනවා.අනික රූපයත් වැදගත් සාධකයක් වෙන්න පුළුවන් නෙ.ඉඳිකට්ටගෙ කුමාර ජීවිතය ගැන මම උන්දැගෙ ඒ වචන වලින්ම අහලා තියෙනව.එහෙම බැලුවාම වනිතාව කෙරෙහි ඉරිසියාවක් උපදවා ගන්නවත් මට අයිතියක් නැති තරම්.වත්කම් සහ හිමිවීම් කවදත් අවමයි මට.
කුමාරයා සුදු නැහැ.අශ්ව කරත්තයක තිබුනෙත් නැහැ.ගමන් පොදුජනතා සේවයට කැපවුන එකකින්.අදහසුත් ජනතා සේවයටමයි .විශේෂයෙන් කඳුලු බර ඇදීමට සහය වීම් සහ දුක්ගැනීම්.

Thursday, December 2, 2010

වැස්ස


වැස්ස පරද්දන්න අපට පුලුවන් වුණා.ඔව් !හරිම ජයග්‍රාහී විදිහට,මම වාඩිවෙලා හිටියෙ .පස්සෙන් එලවගෙන ආව වැස්ස පහුකරපු බස් තැන ගැඹුරු හුස්මක් ගත්තා.ඉතුරු ටිකත් ඒ වේගෙන්ම .ආයෙමත්.මට තරඟය අවසන් වෙනකල් දැකගන්න ලැබුනෙ නෑ.මාව අතරමඟ බස් නැවතුමකට විසිකරලා බස් තැන ආයෙමත් රේස් එකට වැටුණා.පස්සෙන්ම එලවගෙන ආපු වැස්ස මාවත් තෙමාගෙනම ඉස්සරහට .උද්යෝගිමත් සුළං මිත්‍රයොත් සහායට.මට හූවකුත් කියාගෙනම....හෙහ්!අපි සැලෙයි.

Tuesday, November 16, 2010

ඉතින් කම් නෑ බැස ගියත් සඳ......

උත්තම පුරුෂය වෙනස් කරන්න වැඩියෙන්ම දායක වුණේ කව්ද කියල කවුරු හරි ඇහුවොත් දෙන්න උත්තරයක් දැන් මගෙ ළඟ තියෙනවා.පැනපු ගමන් මෝඩ විදිහට හිතන්න එපා මං ප්‍රේමෙන් වෙලිලා කියලා.අහවල් ප්‍රේමද?මේක ඇවිල්ලා ඉන්ද්‍රජාලික හමුවීමක්.මැජික් එකක් වගෙ දෙයක් කිව්වත් වරදක් නෑ.
මැජික් වල ඇති දෙයක් නෑ කියල දන්නවනෙ කවුරුත්.ඇල්ලන්න බෑ.ඇල්ලුවට හපන්න බෑ.අසාමාන්‍ය වටිනකමක් දීල මේ ඉන්ද්‍රජාලික හැඟීම් ගොන්න පුම්බන්න මම කැමති නැ.ඒත් සාමන්‍ය විදිහට මේකට ප්‍රතිචාර දක්වන්නත් මට තේරෙන්නෙ නෑ.මෝඩ වීතරාගී.

ඉඳිකට්ටා සංකල්පෙ ඇතුලෙ මොන මොන සෙල්ලම් දැම්මත් ඒකෙන් පිටට ක්‍රියාත්මක වෙන්න මට හැකියාවක්වත් ඕනකමක්වත් නෑ කියලා කවුරුත් දන්නවනෙ.නොවෙනවාම නෙවි.පලක් නැති දේට වෙහෙසිලා පලක් නැ කියල මට අපෙ ඉඳිකට්ට කියල දීල තියෙනවා.මම ඉඳිකට්ටට ආදරේ.ඒක වෙනම දෙයක්.ඒත් බදා වැලඳ සිප සනසන්න ගියොත් ඔය ආදරය වගෙ එක කුඩේ කුඩු වෙන වගත් දන්න නිසා මම ඉවසනවා.පාලනයක් නෙවී.අවබෝදෙන් දරා ගැනීමක්.ඒකත් හරියටම කියල දුන්නෙ ඉඳිකට්ටා සංකල්පෙ ඉගෙන ගනිද්දි තමයි.

හ්ම්ම්...මගේ විකාර කියවීමෙන් කාටවත් සෙතක් වෙන්නෙ නෑ.

එක දවසක් ඔන්න මෙහෙම වැඩක් වුණා.පොරොන්දු දේශයේ ඉඳන් ආව හුළඟක් එක්ක අමනාපෙන් හිටය කුමාරිකාවක් හිටියා.කුමාරයෙක් නොහිටිය නිසා කුමාරිගෙ කතාව බොහොම ලස්සනට ගලාගෙන ගියා.පොරොන්දු දේශය තමන්ගෙ පාඩුවෙ හිටියා.දවසක් මේ කුමාරිට යෝනක දේශයෙන් ආව කුමාරයෙක් මුණ ගැහුණා.කුමාරය හැඩකාර වුණේ නෑ.ඒත් බොහොම සියුමැලි කාරුණික හදවතක් තිබ්බ කෙනෙක්.ප්‍රේමයක් නොවන හැඟීමක් විතරයි උපදවාගන්න පුලුවන් උපරිම තලයේ බැඳීමක් ඇති වුනත්. අම්‍රිත! කුමාරයගෙ නම. අපේ කුමාරි වගෙම මේ කුමාරයත් පොරොන්දු දේශයෙ සුළඟ නිසා කැලඹීමකින් හිටියෙ.ඉතින් දෙන්න මිත්‍රයෝ වුණා.අත් පටලාගෙන යන තරමට.ආදර කතා කියල ඇස් රතු වෙන තරමට,.දුරස් වෙන්න වුණොත් කඳුලක් දෙකක් වැටෙන තරමට.ඒත් ඇත්තමයි ප්‍රේමයක් තිබුණෙ නෑ.එහෙම මිත්‍රකම් පවතින්න පුලුවන්ද කියලා වීතරාගීට තහවුරු කරන්න බෑ.සහතික වෙන්නත් බෑ හැබැයි ඕං.

කොහොමින් කොහොමින් හරි පොරොන්දු දේශය මහා සුළි කුණාටුවක් එවනවා කතන්දරේ තිබිය යුතු විදිහටම.ගස් අඹරවන විදිහටම ජිවිත අඹරවලා පොඩිපට්ටම් කරලා දාන.(ඔන්න මේ වෙලාවෙත් මට ඉඳිකට්ටා මතක් වෙනවා.කලින් අහපු දෙයක් ලියවෙද්දි මට ඉඳිකට්ටව මතක් වෙන එක දැන් පුරුද්දක් වෙලා)අපේ කථානායිකාව අසරණ වෙනවා.මතක වස්ත්‍ර දෙන්නවත් ඉඩක් ලැබෙන්නෙ නෑ.මිත්‍රයා රාජධානියකට පියෑඹුව වග කුමාරි දැන ගන්නවා.පලායමක් නෙවේ වෙන්න ඇති.ඒත් කලගුණ පිණිස වචනයක් වත් කියා ගන්න බැරි වීම.මොන තරම් වේදනාවක්ද?මට හිතා ගන්න බෑ,ඔබට පුලුවන් වෙයි සමහරවිට!

ඉඳි කට්ටෝ!මම ආදරෙයි!මෙහෙම කියන්නෙ කවදාවත් හැබැවින් කියන්න හිතකවත් නැති නිසා. :) කවදාවත්ම කියාගන්න උවමනාවක් "නැතිකරගෙන"ඉන්න නිසා.ඉඳිකට්ටා උඩට යන්න ඕන.ආදරේ කරන්න ඕන.සතුටින් ඉන්න ඕන.ඒත් මාත් එක්ක නෙවී.ඉතිහාසෙ මතක් කරලා එදාට දුක් නොවෙන්නයි මේ කියන්නෙ.

ඉඳිකට්ටෝ මම ආදරෙයි!

සිනා පිපෙන
නෙත
කඳුළු
බිඳක් ලෙස
සැඟව
මතු නොවී
ඉන්ටයි!

Friday, November 12, 2010

ඇය. වීතරාගී ඔහු:යෝදයා


නමක් ගමක් නොතිබුනත් ඒ ආරාධනා පත්‍රෙ තිබුණෙ මගෙ මේසෙ උඩ.මේසෙ අයිති මට.එහෙනම් මේකත් අයිති වෙන්න ඕන මට.වෙහෙසකර ශල්‍යකර්ම දෙකකට පස්සෙ විවේකයක් ගන්න හිතාගෙනයි මම ආවෙ.එකක් වෙඩිඋණ්ඩෙකට තුවාල වෙච්ච හදවතක්.ශරීරය බේර ගන්නවද හදවත බේර ගන්නවද.?මට වැදගත් වුනේ හදවත.ඒත් ශල්‍ය කර්මය පටන් ගන්න කලින්ම හදවත නැවතිලා තිබුණා යථා තත්වයට ගන්න බැරි තරමට.පහසුවෙන් ලාබදායී මරණයක්.අවම ශාරීරික පීඩාවන් සහිතව.මෘත දේහය ලස්සනට තියේවි.
අනිත් එක මස්තිෂ්ක අර්බුදයක්.brain tumorඑකක්.මිනිත්තු කිහිපයක පමාවට නැති වෙන්න තිබුණ ජීවිතයක් අපි බේර ගත්තා.ශල්‍යාගාරෙන් පිටවෙද්දි බඩතඩි මුදලාලිගෙ හාමිනේ කඳුළු පිහගන්නවා මම දැක්කා ."තව පැය භාගෙකින් වාට්ටුවට දානවා"සහායක් හෙදිය එහෙම කිව්වම ඇගේ මූණ වෙනස් වුණා.කඳුලු වේලිලා ඇස් දෙක එළියට පනින්න වගෙ.
මේසෙ ළඟ පුටුවට වැටුණු මං ආරාධනාව කියවන්න ගත්තා.දෙයියනේ.මේක වෙන්න පුළුවන්ද?හැමදාම සිද්ධ නොවේවා කියලා පතපු විවාහෙ.පරමාදර්ශී ප්‍රේමෙ අවසානය.කඳුළු කැට දෙකක් ඇස්දෙකෙන් පැනලා රන්වන් පෑනෙන් ලියවුණු මුතු අකුරු බොඳ කලා.මේ අකුරු කාගෙ වෙන්න පුලුවන්ද?මනාලියගෙ මව් තුමියගෙ?මනාලියගෙ නම් නෙවී.
"යෝදයා ආදරේ කරන්න නම් අපූරුයි,ඒත් කසාද බැඳ ගන්න නම්???මංදා"
කිරලි කියපු කතාව මට මතක් වුණා.
බඩ තඩි මුදලාලිගෙ හාමිනේගෙ මූණෙ තිබ්බ කළුව මට ආයෙ මතක් වුණා.ජීවිතේ වෙහෙසකරයි තමයි.ඒත් අනාගත බිම් කඩ පුරාවටම පතොක් වගාවක් දාන්න ඉඩ දෙන්න පුළුවන්ද?මලක් පිපුණත් කාටවත් නොපෙනෙන කාන්තාර ඉඩමක් ????හිනාවුණත් අහසෙන් කල්පෙකට තෙතමනයක් නොලැබෙන වග දැන දැනම?

මම මොකද කරන්නෙ ඉඳිකට්ටෝ?

ඇය. වීතරාගී
ඔහු:යෝදයා
----------------------------------------
...............................................................
**********************************
----------------------------------------------
-----------------------------------------
?=)(/&%$"£$%&/()=?^?=)(/&%$£"£$%&/()=

Wednesday, November 3, 2010

කලහාරි කාන්තාරයෙ රත්තරන් නිධිය

අද ලියන්න හිතුනා පරණ කතාවක්,සමහරු නම් මං පරණ කතා ලියනවට බොහොම අමනාපයි.පරණ කුණු අවුස්සලා කාට පලක් ද අහනවා.ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ.

මම පුංචි ළමයෙක් වෙලා ගෙවුණ කාලෙ ඉවර වුණාට පස්සෙ ලස්සන සුරංගනා කතාවක් කියෙව්වා.ඒක කලහාරි කාන්තාරයෙ තිබුණ රත්තරන් නිධියක් ගැන කතාවක්.කාන්තාරෙ මහ කාලයක් රැඳී ඉන්න රත්තරන් නිධියට වාසනාවක් තිබුණෙ නෑ .එහෙම නැත්නම් තමන්ගෙ ළඟ රත්තරන් නිධිය තියා ගන්න කාන්තාරයට පුළුවන් වුණේ නෑ.
මේ වෙද්දි අර ළමයෙක් නොවුණ ළමයා රත්තරන් වලට ආස කරන වයසෙයි ඉන්නෙ.ඒත් ඉතින් ළමයෙක් නෙ.සිරියාවන්ත වනිතාරත්නයකට පුළුවන් වුනාට රත්තරන් කන්දක් බලා කියාගන්න එයාට බැරි බව ළමයා හොඳින්ම දන්නවා.ඉතින් ළමයා දිගටම බලගෙන ඉන්නවා රත්තරන් කන්ද දිහා.
සමහරවිට ළමයා ලොකූ..... ළමයෙක් වෙළා, වනිතාවක් වෙළා, අළුත් රත්තරන් නිධියක අයිතිකාරියක් වෙන්නත් ඉඩ තියේවි.ඒත් අර ළමයෙක් නොවන ළමයෙක් කාළෙ දැක්ක රත්තරන් නිධිය තරම් කොයි එකක් වත් ළමයගෙ හිතේ රැඳෙන්නෙම නැති වෙයි කියලයි ළමයා කියන්නෙ.එහෙම කියන්න හේතුවකුත් ඇති නෙ .නේද? :) සමහර විට රත්තරන් නිසා වෙන්න ඇති.නැත්නම් ජීවිතේදි දැක්ක පළමු වටිනාම වස්තුව නිසා වෙන්න ඇති.කාටවත් හිතා ගන්න තේරුම් ගන්න බැරි පුදුමාකාරම හැඟීමක් නිසා වෙන්නත් පුළුවන්.කොහොම වුණත් හැම බක් වසන්තෙකදිම ඒ "පළමු වසන්තය" මතක් වෙන වග තමයි ළමයා කියන්නෙ.

Thursday, October 28, 2010

අවංක බමරෙක්

බම්බලපිටිය මුහුද රෑට මේ තරම් දඩබ්බර බව මං දැනගෙන හිටියෙම නෑ.මූදු හුළඟ දිගේ ගහගෙන ආව ලුණු පෙත්තක් මූණ වහ ගනිද්දි අනිත් ඇලයට හැරුණා මං.අඩ කුඹු කරපු විදුලි පහනක්.අඩවන් වෙලා තිබුණ එක ඇහැක් හිමීට උස්සල මගෙ දිහා බැලුවා. .මම හිමීට ඉඳිකට්ටගෙ උරිස්සට වාරුවුණා.ඉඳිකට්ටගෙ දකුණු අත ඇවිත් මගෙ ඉහ මුදුනෙ නැවතුණා.හයියෙන් හුස්මක් ගන්න විතරයි පුළුවන් වුණේ මට.මැජෙස්ටික් නගරෙ නියෝන් එළි යට දූවිලි පිහින්න වැස්සක් වහින්න ගත්තා.යාන්ත්‍රික වැස්සක්.වීදුරුවකට එපිටින් ගලන වැස්සකින් කොහොමද හදවතක් උණුසුම් වෙන්නෙ.අහස පුරා රිදීරේඛා .මුහුද නිසොල්මන්ව.සියළු බර දරන්න සූදානමින්.ඇස් තද කරලා පියාගත්තම මම ඉන්නෙ ඉඳිකට්ටගෙ උණුහුමේ වග මතක් වුණා.එහෙම මතක් නොවෙනවා නම්.
ජීවිතේ එතනින් නැවතුණා.
එදායින් පස්සෙ මම ජීවත් වුණේ නැහැ.


අලුතෙන් මිලදී ගත්ත මුඩු ඉඩම ක්ෂේම භූමියක් කරන්න පුළුවන් වග මම දන්නවා.ඒත් මල් පිපෙන්න ගත්තම මට ඉහිළුම් නැතුව යන බව දැන දැනම ඒක මුඩු බිමක් හැටියටම තියා ගන්නයි අවංක බමරෙක් හැටියට මගෙ හිතේ කැමත්ත.
හිතේ කැමත්ත.
ආදර හිත!

Sunday, October 24, 2010

පාන් & පාං

යෝදයා මගේ ඉතිහාස පොත සුද්ද කරලා අරගෙන.එක යෝදයාම තමයි පැත්තකට විසි කරලා දැම්මෙ.ඇත්තම කියනවනම් ඒක මගෙම නෙවි.මගෙ හර්දය වස්තුවෙ ඉතිහාසපොත.යෝදය ජස ලෙන්චිනාව නැවත රඟ දක්වන්න වගෙ යන්නෙ.අනේ!මට පාං යැයි!
මාරි ඇන්ටොයිනට් ඇවිත් ජනේලෙන් එළිය බලද්දි මමත් හිටියෙ කෑ ගහන ජනතාව අතරෙ.මගෙ මල්ලෙ පාන් ගෙඩියකුත් තිබුණා.පාන් ගන්න යන අතර තුරේ තමයි පෙලපාලිය ඉස්සරහට ආවෙ.දන්න කාලෙ ඉදන් විප්ලවේට කැමැත්තෙන් හිටි මම කතන්දරේ හැටියටම පෙලපාලියට එකතුවුණේ මොකුත්ම නොදැන.යෝදයාත් හිටියෙ මං හිටිය පාන් පෝලිමේ මයි!ඉතිහාසෙ හැටියට අපේ පළමු හමුවීම ඕක.යෝදයට ඕන වුණා රටින් පිටුවහල් වෙන්න.ඒත් කන්න පානුත් තිබුණ එකේ මට නම් කිසිම උවමනාවක් තිබුණෙ නෑ ඒකට.යෝදයා බලකලා.කාරුණිකව කිව්ව .අඬල කිව්වා.අන්තිමට මමත් එකඟ වුණා යෝදයත් එක්ක පිටුවහල් වෙන්න.අපේ නැවට යන්න පුලුවන් වුණේ දවස් 4ක් 5ක් විතරයි.නැවේම හිටිය වෙස් වලාගත්ත සෙබළු දෙන්නෙක් අපිව අල්ලගත්තා.එක්කො ආපහු යන්න ඕන.නැත්නම් පාං ගෙඩිය මුහුදට විසි කරන්න ඕන.මොකද පාං ගෙඩියක් රටින් පිටුවහල් කිරීම බරපතල පාපයක්.දෙවෙනි වෙන්නෙ මිනී මැරුමකට විතරයි.අන්තිමට අපි තීරණය කලා පාං ගෙඩිය විසි කරන්න.ඒක හිතපු තරම් පහසු වුණේ නෑ .හරිම වේදනාබර අත්දැකීමක්.යෝදයගෙ ඇස් වලත් කඳුළු තිබුණා. අපි හිතට ගත්ත සුමානෙකට කලින් කාපු කේක් වල හයිය.නැංගුරම් දාපු පලවෙනි වතාවෙම අපි පහුරක් හදාන නැවෙන් පිට වුණා.ඒත් අවාසනාවක මහත.දෙවෙනි වතාවෙත් අර සෙබළු දෙන්න අපිව අල්ල ගත්ත.ඒ වතාවෙ පාං ගෙඩිය තිබ්බෙ යෝදයගෙ මල්ලෙ.ජොහැන්නස්බර්ග් වල පුංචි වරායෙ කණ්ඩියක් උඩට වෙලා මම පාං ගෙඩියයි යෝදයගෙ මල්ලයි දෙකම මුහුදට විසි කළා. පුදුමෙක මහත.පාං ගෙඩිය ඇතුලෙ තමයි යෝදයට ඇලඩින් දුන්න මුද්ද තිබිලා තියෙන්නෙ.පාං ගෙඩිය මුහුදට වැටිලා මිනිත්තු 5යි ගියෙ.යෝදයාගෙ මූණ පාං ගෙඩියක් වුණා නෙ.

Wednesday, October 20, 2010

පාර


අපි හුඟාක් දුර ඉදන් මේ ගමන එන්නෙ.තාර පාර දිගට අඟුරු වලින් කවි ලියන අදහස මුලින්ම ආවෙ මට.කවදාවත් එහෙම එකක් වෙන කාටවත් නම් පහල වෙන්නෙ නැති බව මට විස්වාසයි.මට ඒක තහවුරු වුණේ ඉඳිකට්ට ඒක අහල ඇඳල පෙන්නපු විශ්මයාර්ත සලකුණ දැකලා.
අපි මුලින්ම පටන් ගත්තෙ මඟ නැගුමකට කලින් හදපු ගල් ගැලවුණු තාර පාරකින්.ඒත් අපිට එකෙ කවි ලියන්න ලැබුනෙ දවසයි.පහුවදා යද්දි එක සිමෙන්තිවලින් වහලා.
ඊළඟට ඉඳිකට්ටා හොයාගෙන තිබුණා රේල් පාරක් හරහා යන පාරක් .එතනදි බාදාවට හිටියෙ අපි රේල් පාර මැද්දට ඇවිත් විසි පස්වෙනි කවියෙ 4 වෙනි පේලිය ලියද්දි ගැලවිච්ච කෝච්චි රෝදයක තිබිල අමුතු අකුරු වගයක් ගැන පොලිසිය හොයන්න ගත්ත බව ආරංචි වුණාට පස්සෙ. ඉස්ටේසම ළඟ අලුත් දැන්වීමක් ගහල තිබුණා

"පලිබෝදනාසක අනතුරු සහිතයි,ප්‍රවේසමෙන් පරිහරනය කරන්න"
කියල,
අනේ මෝඩ ඉඳි කට්ට ඒකට හොඳටම බය වුණා නෙ.
ඉතින් අන්තිමටම අපි තීරණය කලා නොපසුබට වීර්යයෙන් තව දුරටත් මේ කවි ලිවිල්ල කරලා,ලෝක වාර්තාවක් තියල ගිනස් පොතට නම දාගෙන,ඔස්ට්‍රියාවෙ පදිංචියට ගිහින් කිරි හර්ක් පට්ටියකුයි තණකොල වත්තකුයි සල්ලිවලට අරන් යෝගට් කඩයක් දාගන්න.එත් නරක වෙලාව.අන්තිම දවසෙ වැස්සට තෙමිලා ඉඳිකට්ට තෙමිල මලකඩ කන්න ගත්ත නිසා අපිට වැඩෙ අත අරින්න වුණා.වැස්සට වඩා මිනිහා බය වෙලා.
හෙහ්!
කිරිපට්ටියෙම තනියම කිරි දොවන්න වෙයි කියලා.!

Wednesday, October 13, 2010

රතු ඉර


ඉලුක් හුළඟට දුවන
දුක නොඅඩු පියස යට
ඉල් අහස ගැබ්බරව ඇති කලේ

ඉස්පාසුවක් නොවන
හෙට අනිද්දාවක පිබිද
ගිය හකුර නමට හඬනා මලේ

මහ කන්නයට පිපුණ
රතු ඉරට ගත දැවුණ
අප්පච්චි තවම ඒ මහ කැලේ

මරු වැල්ද මකාගෙන
උන්නොදුටු දිසාවට
උඹට පය නඟනු හැකි වෙද මලේ

Monday, October 4, 2010

වෙරළත


ඇනී ඒ කගපත
ගිනි හිරු දුරක වීසිකල
මතක දහරක ලෝහිත
සීතල වීය හද මත

දිනෙක මේ වෙරළත
මහ හෝටලය අබියස
උනුන් පටලා අත
සියක් පෙම්වත් සුසුම් පැතිරෙත

ඔය ගල් තලාවම මත
මතුවු හිරිගල් කටුව විනිවිද
ගිනි හිරු අඳුර සිපගත
අහස දියවී සිපී මිහිකත

දියබත් ඔබේ රළු වත
මුවාකරගත් ඒ මියුරු රත
වියලවා හද තෙත
කොයිබ ගිය විද සොයයි සඳවත

තුති පුද:http://poerty-dawson.blogspot.com/

Friday, October 1, 2010

සෙල්ලම් ගෙදර



ඉඳිකට්ටට මං අඬගැහුවෙ සෙල්ලම් කරන්න.මේසෙ යට සෙල්ලම් ගෙදර.මිනිහා බෑ කිව්ව.එයාට ඕනලු මුහුදු මංකොල්ලකාරයෙක් වෙන්න.මුහුදෙ විතරක් නෙවෙයි.ගොඩබිම බස් හෝල්ට් කෝච්චිවල එහෙම ඉන්න, එක ඇහැක් වහගත්ත මුහුදු මංකොල්ල කාරයෙක් වෙන්න.ඉඳිකට්ට ඩිරෙක්ට්‍රිය පෙරලගෙන tatoo shops තියෙන තැන් හොයන්න ගත්ත.අම්ලපිත්තයාට පින් සිද්ද වෙන්න ක්‍රීම් ක්‍රැකර් ජාතික ආහාරෙ කරන් පහුගිය සතියෙම දුක් වින්ඳ මං, උයාපු සෙල්ලම් බත් මුට්ටියම බිමට හැලුවා(.මගේ මූණ රතු වෙන්න ඇති.නාහෙ දික් වෙන්න ඇති.)
හෙහ්!කම්මුලේ කිනිස්සක් කොටලා ,පිටේ යෝද කොටි මූණක් කෙටුවනම් හරි.හැබැයි පපුවට හරියන්නෙ හිපපොටේමස් මූණක්."යකා මාක්"දැම්මට (පට්ට ) අහිංසක සතා නෙ.හදිස්සියෙ වුනත් මිනිහා පැයක් ඇතුලත වෙලාවක් වෙන්කරගෙන "පච්ච කුමාරි"ගෙ සාප්පුවට ගියා පාදුක්කෙ.මං සෙල්ලං ගෙදර වලං ටිකත් හෝදල දාල ඉඳිකට්ටගෙ කාමරේට රිංග ගත්තා.

හප්පා!;) කවි පොත් ,කතා පොත් විමානයයි.සලමන් කාන් ගෙ රූපෙට යටින් මිනිහා මරපු මුවාගෙ රූපෙ පොඩියට රාමු කරල ගහගෙන.මං කවිපොත් ගොඩක් උඩ වාඩි වෙලා කතා පොතක් පෙරල ගත්තා.කකුල් දෙක තියගත්තා ජනෙල් ගැට්ට උඩින්.අනේ! මගේ කකුල හැප්පිලා ඉඳිකට්ට ඇහැක් වගේ බලාගත්ත "පාණී පත්‍ර" තියෙන මල් පැලේ බිමට වැටුණා.ජංජාලයයි! (මල් පෝච්චියේ ගහලා තිබුණා"මලක් ගහලා මලත් සැපයි"කියලා.ඒක නම් මට තේරුනේ නෑ )

මං ආවෙ ඉඳිකට්ටගෙ කමිස ගබඩාවට රිංගන්න .මතු ප්‍රයෝජනයට සහ බඩගින්නේ තැබීමට පොඩි "හිත හොඳ හෝ හොඳ හිත පෑම" පිණිස.ඇමතුමේ හැටියට ඉඳිකට්ට ආපහු එන්න තව පැය 2ක් වත් යනවා.කොහොමටත්"මගදිග සේවා ලාභිනියක්"මුණ ගැහුණොත් ඕක 4ක් වෙන්නත් බැරි නෑ නෙ.
මං මෙහෙයුම පටන් ගත්තා.මුලින්ම අහුවුණේ තද දම් පාට කමිස රත්නෙ. පිට මැදට මධ්‍ය ලක්ෂ්‍යය හිටින්න මම කැපුවා බිත්තරයක්.දෙවෙනි තුන්වෙනි කමිසෙට යද්දි ඉලිප්සේ වුර්තයකටත් ,වුර්තය මලකටත් හැරුණා.ආ..................මලක්!
මල එක පාරටම සමනලයෙක් වෙලා බිම පෙරලිලා තිබුණ මල් පැලේ ළඟට ගිහින් ඉව කළා.ඊට පස්සෙ ජනෙල් පඩිය උඩට පාවෙලා ගිහින් නිදි කිරන්න ගත්තා. මට කම්මැලියි! මං කපාගත්ත කමිස කෑලි ටික මූට්ටු කරල පාපිස්සක් මහන්න හිතන් ආපහු ආවා.
(තුති පුද:මරකත කුසුමට නොහොත් රුබීට )

ඉඳිකට්ටා ගැන තවත් කතා
වීතරාගී: ඉඳිකට්ටා
වීතරාගී: මම ගෙම්බන්ට ප්‍රේම නොකරමි!

වීතරාගී: මායා බෝංචි
වීතරාගී: .ඉඳිකට්ටෝ.අපි ඔක්කොම පව් නේද?

Thursday, September 30, 2010

"සුවඳ සමන්" 2


හ්ම්ම්ම්! මතකනෙ සුවඳ සමන්.(වීතරාගී: "සුවඳ සමන්")අමාගෙ ප්‍රේම පුරාණෙ ඔටුණු පලඳින්න ඔන්න මෙන්න කියල ඉඳල මග හැරුණු "ප්‍රේම කුමාර්".කතාව නැවතුනේ සුවඳ සමන්ගෙ ජංගමයාගෙ අංකෙ මිතුරියගෙ අතට යාමත් එක්කනෙ.මිතුරිය කටකාර,දඟකාර හැඩකාර තරුණියක්.(අමා වගේ )
.කාලෙත් එක්ක යෝධයගෙ "මහා"ප්‍රේමාන්විත හැල හැප්පිලි එක්ක අමාට දු.ක ගැන අමතකම වෙලා යනවා සුවඳ සමන්ගෙ.
හදිස්සියෙ සුවඳ සමන් අමාලගෙ ගෙදර එන්නෙ ඔය අතරෙ.අමා ඉන්නෙ පැටලිලි ගොඩක.යෝධයා අමාගෙ අප්පච්චිටත් වඩා දරුණු විදිහට "යෝධ පරිපාලනයක්"ගෙනියද්දි නිදහසේ හැදුණු අමා විඳවන කාලෙක.අමාල තාමත් ඉන්නෙ කුලී ගෙදරක කියල සුවඳ සමන් දැන ගන්නෙත් ඔය ගමනෙන්.වෙනසක් නොපෙන්ව ඉන්න සුවඳ සමන් උත්සහ කරනව.මහා ප්‍රේමයක් විඳින බව පෙන්නනයි අමාගෙ වෑයම.ඒත් උවමනා වෙන්නෙ නෑ.සුවඳ සමන් වෙනස් වෙන්නෙ අමාගෙ ප්‍රේමෙ ගැන නොදැනමයි.සුවඳ සමන් යන්නෙ එද්දි ගෙනපු හිත අමාගෙ ගෙදර ළඟ කුණු කාණුවෙ දාල වග අමා තේරුම් ගන්නෙ කාලෙකට පස්සෙ.

අමාගෙ අර ප්‍රාණසම මිතුරිය සහ සුවඳ සමන් දෙන්නම අමාගෙන් නොහිතුව වේගෙන් දුරස් වෙන්න පටන් ගන්නව.අමා කාරණාව අනුමාන කලත් නොහිතූ ඉක්මණට ප්‍රත්‍යක්ෂ වෙන්නෙ සුවඳ සමන් පිට පාරෙන් මිතුරියගෙ ගෙදරට යන්න එන්න පටන් ගත්තට පස්සෙ.
(අපොයි!මේක මල්පත්තරයක සුවඳ කතාවක් වේගන එනෝ කියල එහෙම දෝස් මුරේ පටන් ගන්න එපා.සුවඳ සමන් කියල නම දැම්මෙ ඕන්න ඔය කාරණාව නිසාමයි ;) )
ඊට පස්සෙ කතාව හරිම සරලයි සුගමයි පැහැදිලියි.අමාට මිතුරා සහ ප්‍රේම කුමාර් දෙන්නම අහිමි වෙනවා.අමා යෝධයාගෙ කතාව තිර පිටපතක් කරලා ජීවිත සිනමාවට නඟනවා.යෝධයත් එක්ක විවාහ ගිවිස ගන්නවා.

එච්චරයි.
එච්චරෝමයි!

Monday, September 20, 2010

අරණ

පහන් දොර මුල හිඳන්
පෙති දෙපෙති දිග හරින
ඉරට මේ කඳුළු කැට පේනවා
අඳුර අර දුර දුවන
මතක හීතල රැගෙන
නව දිනක් ගෙනාවෙමි 'හිතනවා

අත මායිමෙම වුණත්
හිත මායිමට නො එන
තව දහක් " දිය කඳුළු "තියෙනවා
හිතේ ගිණියම වෙතත්
නිවන මග පෙනි පෙනිත්
කඳුළකට හද අරණ දැවෙනවා

Sunday, August 22, 2010

"සුවඳ සමන්" 1


. හැමදාම කරදර කරනව පරණ කතාවක් කියන්න කියලා,හ්ම්ම්....ඒකත් නරකම නෑ.ඒත් අමා අපි කොතනින්ද පටන් ගන්නෙ.හිත හිතා ඉද්දි තමයි "සුවඳ සමන්"විවාහ ආරාධනාව" අරන් හිතෙන් එලියට ඔලුව දැම්මෙ.(සිනා සමඟ සිනා).
සුවඳ සමන්ව මුලින්ම දැක්කෙ සමන් දේවාලෙදි.අම්මගෙ ඔෆීසියෙ විනෝද චාරිකාවෙ පලවෙනි දවසෙ හවස් වරුවෙදි.අහිංසක හුරුබුහුටි තැන්පත් කොලුගැටයා.දුටු පමණින් සිත පැහැදෙන ප්‍රේමණීය හිනාව,අමාට හිනා වෙන්න හිතක් පහල වුනේ නෑ කොහෙත්ම.ඒත් මූණුවර මතක හිටියා අපූරුවට.
කතරගමට යද්දි හැන්දෑ වෙලා,බස් රියෙන් බැහැගත්ත ගමන් සුවඳ සමන්ගෙ අම්ම අමාගෙ අම්ම ලඟට ආව.දෙන්න බරපතල මිතුරියො.අමාට සුවඳ සමන් ගැන අම්ම කියපු පරණ කතා ටික මතකෙට ගලාගෙන ආවා.
පව්!සුවඳ සමන්ට තාත්ත නෑ.සුවඳ සමන් පොඩි කාලෙමයි ඇක්සිඩන්ට් එකකින් තාත්ත නැති වෙලා තියෙන්නෙ.
ඊට පස්සෙ කතාව හරිම සාමාන්‍යයි.සුවඳ සමන් අමා එක්ක හිනා වෙනවා.රෑ සුහද හමුවෙදි කතා කරනවා.ලා බාල යුවතියක් හරහා ප්‍රේමයත් ප්‍රකාශ කරනවා.අමාත් කතන්දරේ විය යුතු විදිහටම අකමැත්ත ප්‍රකාශ කරනවා.ගමනෙ අවසානය වෙන්නෙ බොහොම ලස්සන සංඛපාල විහාරෙ විහාර මලුව.

ඒක තමා අමාගෙ ජීවිතේ ප්‍රථම ප්‍රේමාරාධනාව වෙන්නෙ.අමා එකඟ වෙන්නෙ මිත්‍රත්වයකට විතරඉ.ඒ ඇත්තටමද කියල අදටත් අමාට හිතා ගන්න බෑ.අමාගෙ හීන වල ඉන්න ඇත්තෙ ඊට වඩා වෙනස් කුමාරයෙක් නිසා වෙන්න ඇති.
මිත්‍ර ලීලාවෙන් අමා සුවඳ සමන් එක්ක ලිපි හුවමාරු කරන්න පටන් ගන්නව.සුවඳ සමන් අමාගෙ බොහොම හොඳ මිත්‍රයෙක් වෙන්නෙ අමා නොහිතන වේගෙන්.සුවඳ සමන්ගෙ මිත්‍රත්වය තැවරූ ලිපි වලට යටින් සියුම් ආදරයක් ගලනවා.අමා නොතේරුනා වාගෙම ඉන්නව.:)
අපූරුම සිදුවීම වෙන්නෙ ඊට පස්සෙ.අමාගෙ ඉස්කෝලෙ නාට්‍ය සංගමේ සභාපති වෙන්නෙ අමා.ළමා නාට්‍ය උළෙලට යවන නාට්‍යයෙ පුහුණුවීම් අතරෙ අමාට අහම්බෙන් සුවඳ සමන්ගෙ ගමේ සිසුවියක් මුණ ගැහෙනවා.හෙහ්!සුවඳ සමන් මේ ළමයටත් තමන්ගෙ අමා පිලිබඳ ප්‍රේමය ගැන කියලා.අමාට සුවඳ සමන්ගෙ ආදරේ තරම දැනෙන්නෙ එදා.
ඔන්න දැන් අමා බලාගෙන ඉන්නෙ සුවඳ සමන් තමාගෙ ප්‍රේමය අමා ඉස්සරහ එලි කරනකල්.ඒත් ගමක ඉපදුණු සුවඳ සමන් ගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.අමා කාලෙත් එක්කම ඒක අවබෝධ කරගෙන හිත හදා ගන්නව.(එහෙමලු )
යෝධයා අමාගෙ ප්‍රේමවන්තයා වෙන්නෙ ඊට පස්සෙ.(සිනා පිට සිනා).සුවඳ සමන් ගමෙන් නගරෙට එනවා.කොළඹ ලොකු කවුන්සිලේක රස්සාවක් ලැබෙනවා.අමාගෙ අම්මා අතේම තමන්ගෙ ජංගමයගෙ අංකෙ අමාට එවනවා.කාලෙකින් තොරතුරු දනගන්න කලින් සුවඳ සමන්ට විහිලුවක් කරන්න හිතාගෙන අමා දුරකතන අංකෙ දෙන්නෙ තමන්ගෙ ප්‍රාණ සම මිතුරියට.......

Wednesday, August 11, 2010

------------------------------------------------------------------------------------

ඉඳිකට්ටා අත්කරගෙන හිටපු ජීවිත බිම්කඩ හදිස්සියෙම හිස්වුණා.කාටවත් පුරවන්න බැරි ජීවිත පුරප්පාඩුවක්.
අද ඉඳන් හැම දුකක්ම,සැපක්ම,කඳුලක්ම,අවිනීතකමක්ම,සම්මතෙන් පිට කියන්න පුලුවන් හැම දේම මම කියන්නෙ ඔයාට අමා.
ලෝකෙ උපත් මරණ අනුපාතිකය හුඟක්ම අඩුයිලු මෙහෙ.
අපරාදෙ!
එහෙම නොවෙන්න ,වින්නඹුවකගෙ අඩු දැනුම හේතුවෙන් අඩුමාසෙන් ඉපදිච්ච වීතරාගී උපන් ගෙයිම මල දරියක් හැටියට පවුල් පොතේ රන් අකුරින් ලිය වෙලා මතක් වුනොත් පොඩි කඳුලක් උපද්දවන චරිතයක් වෙන්න තිබුනා.

ඉබ්බල,ඉඳිකට්ටල ,ජෙමාලා...........................................................

මලවුන් අතරෙදි මුණ ගැහෙන්න, එකට අන්තර් බව වල සරිසරන්න,තන්මාත්‍රික ක්ෂුද්‍ර
ප්‍රාණීන් හැටියට අවංක හැඟීම් බෙදාගන්න,ශාරීරික සීමාවෙන් ඔබ්බට හුදු ප්‍රේමය බෙදා ගන්න,බරපතල වචන දවටන්නෙ නැතුව (හරියට මේ වගේ)ලෝකෙට හිත නිරුවත් කරන්න මට තිබුණා අමා.

ගැහැණු ආත්මයක් ශරීරෙකට ඈඳලා එකට සම්මතය යට තියෙන පාක්කුඩම් හොන්ඩරයක් ගැට ගහලා ඇදගෙන පලයන් කියන එක රීති ගත කරලා මේ විදිහට මාව හිරකලාට වඩා ඉපදුන වෙලාවෙම කකුල් කෙටියෙන් උස්සල දෝත බදලා මාව පොලවෙ ගැහුවනම් ඉවරයි.

ඉඳි කට්ට කියන්නෙ මේවා අපිම කරපු කියපු දේවල විපාක ලු.කාටද ඒක එහෙමයි කියන්න පුලුවන්.එහෙම නෙවී කියන්නත් පුලුවන්.

ජෙමා කියන්නෙ මේ ප්‍රපංච ඇතුලෙ අපිව හිරකරලා නටවන අදිසි බලයක් වගෙ දෙයක් කියල.මොන අට මගල හරි ඇයි ?ඇයි දුවන අතකට යන්න නොදී හැඟීම බලු දම්වැල් ඇත්තටම "බලු"දම් වැලින් ගැට ගහන්නෙ?දම් වැල කඩා ගත්ත එකාට සාතන් කියල ගල් ගහල මරන්නෙ?


සාතන් කියන්නෙ දේවත්වය නොවෙන්න පුලුවන්.ලෝක සම්මතය ඇතුලෙ පවතින්න පුලුවන් සාතන්ල නොවන අයට විතරද ?මට මැරෙන්න බෑ අමා.
ජීවත් වෙන්න්න ඕනෙ,
අනේ!මාව නිදහස් කරන්න කියන්න...............

Monday, August 2, 2010

පිරිමි හරි කැමතී ගෑණුන්ගෙ දුර්වල කම් වලට.දුර්වලකම් අගේ කරන්න,හුරතල් කරන්න,පටලවගෙන සද්දෙ දාන්න.වීර නෙල්සන් කෙනෙක් වෙන්න.ලිහා දැමීම ,දක්කගෙන යාම කැමති දෙයක් . . එකනෙ ගෑණුන්ගෙ ඇඬිල්ල ඔච්චරම ඩිමාන්ඩ්.අවස්තාවෙ හැටියට බනින්න හෝ හුරතල් කරන්න.......කැමැත්තක්.මම රැව්වා ඉඳිකට්ටව පිච්චිල යන්න.ඉඳිකට්ටා සූ.......ගාගෙන අහකට පැන්න.

Monday, June 28, 2010

පොතක් ලියන්න තරම් දක්ෂකමක් වත්,ලේඛන කලාව ගැන කරපු කිසිම හැදෑරීමක්වත් නැති එකේ මේ කතන්දර පොතක් කරන්නෙ මොකටද කියලාමයි උත්තරාට හිතුනෙ.අනෙක පිලිවෙලක් නැති කෑලි අමුණපු මේ කතාවට රහ කවල හැඩ දාල පොතක් කරන්නෙ කොහොමද?එක අතකට පොතක් ලියන්න කතාවක්ම ඕනේ යැයි?හිතේ තියෙන හැමදේම ලිව්ව කියල ඒක පොතක වෙනවයැ.නිකන්ම නිකන් ගිත හෑල්ලු කරගැනිල්ලක් විතරයි,පෑන අතට ගත්ත උත්තරා ඊලඟට කල්පනා කරන්න ගත්තෙ ඒ ටික.
ඉස්සර නං ප්‍රශ්ණයක් ආපු ගමන් කරන්නෙ උත්තරයක් ලැබුනත් නොලැබුනත් "රයන්"ගෙන් අහන එක.අවුරුදු ගානක්ම උත්තරාගෙ ප්‍රශ්ණ.උත්තර ,විසඳුම් රයන්ගෙ.ක්‍රියාත්මක කරන්නේ උත්තරා.
රයන්ට තමන්ගෙ ජීවිතේ එච්චර තැනක් දුන්නෙ ඇයි කියලා උත්තරාටත් පුදුමයි.ඒක ආදරේද?ආදරේ තමයි.ඒත් ඇයි එහෙනම් රයන් වෙනුවෙන් ජීවත් වෙන්න බැරි?බැරි කමකුත් නැහැ.අවුරුදු පහක් කියන්නෙ පොඩි කාලයක් නෙවේ නෙ.උත්තරා අවුරුදු පහක්ම කලේ රයන් කියපු දේවල්.මින් ඉස්සරහටත් ඒක එහෙමමයි නෙ.ඉඳලා හිටලා පාරෙන් පිට පනින කෝච්චියක් වාගෙ උත්තරාටත් වලංගු නැති හිත පීලි පනිද්දි නම් උත්තරාට තරහයි.රයන් කියන දේ කරලා රයන්ගෙ හිත සතුටු කලාම ප්‍රශ්න නෑ නෙ.ඉඳලා හිටලා රයන්ට ටිකක කේන්ති යනවා තමයි.ඒත් පතන හැමදේම ජීවිතේදි ලැබෙන්නෙ නෑ කියලා තේරුම් ගන්න බැරිතරමේ පොඩි එකෙක් නෙවීනෙ උත්තරා.
ඇයි එහෙනම්?ඇයි මේ???රයන් ඕන කරන හැම දේම දෙද්දිත් උත්තරා පීලි පනින්න හදන්නෙ,නැහැදිච්ච කමද?ආදරේ නැති කමද?රයන්ගෙ ආදරේ උත්තරාගෙ හීන එක්ක නොගැලපුන එකද?
මන්දා,කොහොම වුනත් ජීවිතේ හරිය වරද කියලා දෙයක් තියෙනවද?

ඔක්කොම දමල ගහලා මම නැගිට්ටෙ පිරිත් පොත ගන්න.

Wednesday, June 23, 2010

මේ ලියන්නට කියන්නට තබා කිසිවෙකුත් හා කතාවටද නුසුදුසුම වේලාවකි.දිනයකි.නෙල්ලි සුවඳ හමන ෂැම්පු බෝතලයෙන් කාලක්ම ඉහට හලාගෙන ගිනි ගිනි අකුණු කොටන මහ වැස්සේ මිදුලේ කරාමයෙන් සතුටට හෝ දුකට ගැලුවාදැයි නිශ්චිතවම හඳුනා ගන්නට බැරි කඳුළු දියබත්ව යන්ටම නාගත්තේත් ,නිදි ඇඳුම 8.00 වෙද්දී දමාගෙන පිලිවෙල වූයේත් අද දවස කතාවට හෝ ලියවිල්ලට උචිත නොවන වග හැඟුණු නිසාවෙනි.මේ යැයි නිශ්චිතවම පහදා කිව නොහැකි කරුණක් නිසා සිදු වූ මේ විලම්භීතය මින් එහාට කිසිවක්ම නොලියන්නැයි මට බල කරන නිසාවෙන් ලිවිල්ල මින් නවතා ලීමට තීරණය කරමි.කෝප වූවෝ කමා කරත්වා!

Friday, June 18, 2010

මම ආව ජොහැන්නස්බර්ග් නගරෙට.පුරුදු පරිසරයක් නොවුනට මට පුරුදු සුවඳක්.පෙට්‍රල් සුවඳ දිග ඉව අල්ලගෙන ගිහින් මම නැවතුනෙ පාර අයිනට වෙන්න ගලාගෙන ගිය කුණු ඇලක් ළඟ.මම කුණු ඇලට එබුණා.කන්නාඩියකින් බැලුවා වාගෙ මගෙ මූණ වෙනදාටත් වඩා පැහැදිලිව පෙනුණා.මම හිනාවුණා.කුණු ඇලත් හිනා වුණා.වතාවක් දෙකක්.පාර අයිනටම වෙන්න පිපිල තිබුණ කළු රෝස මලත් මා එක්ක හිනාවුණා.එත්!!දැකල පුරුදු මූණක් නේද?ම්හ්!මතකයට එන්නෙම නෑ.නාලාගිරිගෙද?මේ වගෙ කළු හීනි මූනක් තිබුනෙ?හැම වෙලේම හිනා වෙන කළු මූණක්.දූවිලි දැවටුණ.
අමතක කරමු ඉතිහාසය.වාමාවර්තිකව හර්‍ද තර|න්ගයක් ඇවිත් මස්තිෂ්ක පිණ්ඩිකාව කම්පනය කලා.දෙදුරුමට මම තව ටිකෙන් කුණු ඇලේ....

Tuesday, April 13, 2010

.ඉඳිකට්ටෝ.අපි ඔක්කොම පව් නේද?

ඉඳිකට්ටා සිල් අරන්.ඔන්න බේබද්දා මාක් එකට යටින් උපාසක ලේබලය වැදෙන්නයි යන්නෙ.ඒකත් හොඳයි,නැත්නම් කොල්ලයි බල්ලයි ඔක්කොම ඉඳිකට්ටට නක්කලේ දානවා.ඒකට නම් මම කැමතිම නෑ.ඉඳිකට්ටක් වගෙ සරීර කූඩුවක් තිබුනට ඒක ඇතුලෙ මහා සද්දන්ත කරුණාවක් හිර වෙල තියෙන බව මම දන්නව.මෙච්චරම හිත නැහෙන්නෙ ඒක නිසා මිසක් අහවල් දේකටද?
ආත්මාර්ථයට එහ මොකොවත්ම නෑ අමා............

අවුරුදු ගින්න සැරට ඇවිලෙනවා.මාව පිච්චෙනවා වගෙ.ඉඳිකට්ටා ලඟටා ගිහින් පපුවෙ ඇන ගන්න හිතෙනවා.
කිරි කල හතකින් නාල ආවත් මේ ගිනි ගින්න නිවෙන එකක් නැහැ.
ඉඳිකට්ටා කියනව වගෙ මේක අත අරින්නම ඕන.හප්පා.ඉඳිකට්ටෙක් මට කල දෙයක්.!
පන්සල් පල්ලි කොවිල් දේවාල,අවුරුදු විසි පහකට මේ කොහෙටවත් නොපෙනුන ගින්දරක් ඉඳිකට්ටට මම පෙන්නුවා.ඉඳිකට්ටට දුක හිතෙන්න ඇති.මම පව්!

.ඉඳිකට්ටෝ.අපි ඔක්කොම පව් නේද?

Thursday, April 8, 2010

මායා බෝංචි

-පටක රෝපණය සඳහා උත්කෘෂ්ට ප්‍රේමයක් අවශ්‍යව තිබේ.හමු වූ අයකු වෙතොත් ගන්නොරුව භෝග පර්යේෂණායතනය අමතන්න.-

මට හොඳ වර්ගයේ වෙක්ටරයක් වෙන්ට බැරි වුණා.මේ ප්‍රේම පූට්ටුව ඉරි තලන්ට ඇත්තේ ඒකයි.පෑවිල්ලට ඉරිතලපු හැටියට මම හිතුවෙම ගම්පහ අපායට යනකල්ම ගිලා බහීවි කියලා.මොන.එක වැහි දෙකයි.ඔය යසට නිල්ල ගහල තියෙන්නේ.

ඒත් මේ කතාන්දරය දැන් යන්නේ අපාය දිසාවටමයි,මට කටු ඉඹුලේ ඉඹුල් මල් සුවඳ දැනෙනව වගේ....
ඉඳිකට්ටා හිනා වෙනවා.මට හිනාවෙනවා.කමක් නෑ.මිනිහගෙත් ආසාවනෙ.ඉඳිකට්ටා අහනව ඉඹුල් මල් වලින් එන්නේ සීනි සම්බෝල සුවඳද කියල..........

මට දැනෙන්නෙ මායා බෝංචි වැල දිගට ආපු යෝදයට දැනුන සුවඳ......

විතරාගී...........
යෝදයා කෑ ගහනවා.........

ඉඳිකට්ටා බිම බලා ගත්තා.
මම පව්!

මම ගියා යෝදයට කෑම අරින්න.
කටවල් පහට බත් තසිම් පහක්!
එලවළු පහට තසිම් විසි පහක්!
යෝදයට කටවල් පහයි.

මම ගෙම්බන්ට ප්‍රේම නොකරමි!

මල්කුමාරයා අනංගයාගේ රන් දුන්න ගෙන මට විද්දා මතකය.සිහිය එන විට මා සිටියේ රෝහල සයනයක් මත උඩුකුරුවය.ගලා ගිය සේලයින් දහරාව මගේ රතු සුදු රුධිර සෛල හා හාදව ගිය ගමන නැවතුනේ කොතැනදැයි නොදනිමි.ඇතැම් විට ඔවුන් මගේ අක්මාවේ හෙපටොසයිට තුල ප්‍රේමයේ අවසන් මල් සමය ගෙවනවා විය යුතුය.එය කොතරම් වේදනා බර අත්දැකීමක් දැයි හැඟීම් දැනීම් නැති මට පහදාගත හැක්කේ නොවේ.............

පරණ කෝන්තරයක් තිබූ ඉඳිකට්ටා අයේ අයේමත් පෙම් කවි ලියන්නට පටන්ගෙන ඇත.මට අයේමත් සේලයින් ඕනෑ නැත..
පෝයටවත් පන්සල් නොයන ඉඳිකට්ටා ගැන මට දුක හිතෙන්නේ නැත.මම ඉඳිකට්ටාට බයද නැත.වෙලාවකට කණෙන් අල්ලා දෙපැත්තට ඇද කණ මිරිකා හයියෙන් ටොක්කක් අනින්නට හිතෙන්නේ මොකා කියාදුන් මෝඩ සුරංඟනා කතාවේ තිබුණු විදිහටදැයි මතක නැත.ඕ.................!ඒක ගෙඹි කුමාරයාගේ කතාවය.ගෙම්බෙක් කොහොමටවත් රජෙක් වෙන්ට බැරි බව කැම්පස් තියා ඉස්කෝලෙකටවත් නොගිය මෝඩ රජ කුමාරිට හිතුනේම නැති හැටි...................

මම ගෙම්බන්ට ප්‍රේම නොකරමි!
සියලු ගෙම්බෝ නිදුක් වෙත්වා!
සුවපත් වෙත්වා!

හ්ම්ම්!!

Wednesday, April 7, 2010

බිත්තරය



මම අනුන් ලූ බිජුවටක් රකිමින් සිටිමි.උණුසුම් ප්‍රේම ඉන්ක්යුබේටරයක ලා ප්‍රශස්ත තත්ව යටතේ එකී නම නොදන්න බිජුවටය කල එළි බසින තෙක් දින ගනිමි.

ශක රාජ වසක් ගෙවී ගියේ යැ.............
සදෙව් ලෝ අසුරු සැනක් ගැසිණි!

නිකන් ඉන්ටම බැරි හිත් නියනට මිටිපහරක්...
එක කැටයමක්,දෙකක්,තුනක්,
හංස පූට්ටුවක්..............

කැටයම අවසන බිත්තරය අතුරුදන්ව තිබිණි.
බිත්තරය කෝකියා අතේය.
කල එළි බසින්ට සිටි සිඟිති කුරුලුවා වෙනුවෙන් වූ පණු කූඩයද,පොරි මල්ලද ගිලිහිණි.
කාමරය පුරා පොප් කෝන් ය.

බුල්සයි කිරීම හෝ ඔම්ලට් සෑදීම ඔහුම තීරණය කරණු ඇත.
මම හංස පූට්ටුව දෑතට හිර කර ගතිමි.

හෙට කතාන්දරය හංස පූට්ටුව වෙනුවෙනි.

නාභිනාලච්ඡේදනය



උත්තම පුරුෂය හිරිවැටීගෙන ගියේ ඇයි?
තාමත් ගල්වුණු හැටියෙම ඉන්න උත්තම පුරුෂය උණුවෙන්න මමම ගිනි කූරක් ලං කලා.අහසේ ඉන්න කුරුල්ලන්ට,මුහුදේ ඉන්න ඉකිරියන්ට මං ගැන මොකට වගක් වෙනවද?උන්ට පියාඹන්න අහස, පීනන්න මුහුද,එක යායට,එක නිල්ලට.මම නිකන්ම නිකන් .............


මම ඉන්නේ කතරක.අකුරු නැති කතරක.අකුරු,අකුරු....................ක්..ත...ර...ග...ම.....

Monday, April 5, 2010

ඉඳිකට්ටා

ඉඳිකට්ටා අතේ ඇමිනුනා.ගලාගෙන ගියේ ලේ නෙවියි.ඇනිමියා.වතුරපාට.ධාරාවට එරෙහි ප්රේතිරෝධය දුන්නෙ දබර ඇඟිල්ලා.මල් මල් ලේන්සුව,ප්රේමයට නව අරුතක්.අලුත් හීනයට කල එලියක්.උදලු ගාගෙන ගියා පලාතම.කොලපාට හේදෙන්න.දූවිල්ල ගහගෙන යන්න බොර ඇස් වරුසාව.හිත දූවගෙන ගිහින් මූණ ඔබා ගත්ත කවි උරේ.එදා වගේම ඇඟිලි දැවටුනා කිටිකිටියේ.භක්තිමත් හැඟීමක්.වෙන මොකුත්ම නැහැ.ඇඟිලි පැටලුනු තැන ප්රේමය තිබුනද ?මට මතක නෑ අප්පා.

වෙස්සන්තර ඇයි මන්ද්රී දන් දුන්නෙ.අයෙත් දරුවො හදන්න ,උන්ට කවන්න ,මොන තරම් කරදරද? මන්ද්රී හිටියොත් මේ චක්රේ එහෙමමයි,(එහෙනම් ඇඬුවෙ..ආහ්හ්!මේ ඇහට රොඩ්ඩක් ගියා..උදලු ගෑවට පස්සෙ දූවිල්ල.)මම මන්ද්රී වුනා නම් යන්නේ නෑ.ඒ වුනා නම් නේ.කවදාවත් වෙන්නේ නෑ.විස්වාසද හොඳටම??,මේ මල රතු පාට වුනා නම් තමා හොඳ...නැත්නම් හරි අතාත්විකයි.එහෙමද?මම මැහුවේ.මට ඔය පොඩි පොඩි මැහිලි පුලුවන්.ගොතන්නත් පුලුවන්.රේන්ද ගොතන්න ටිකක් දන්නවා.නිදන්න තමා කැමතිම....හි හි........!!

ඔන්න අහිතක් හිතන්න ඔට්ටු නෑ හරිද?


එපා බැඳෙන්න.දුර බලන්න .ලඟ නොබලන්න.වයිර නොකරන්න.

එහෙනම් මම ප්රේම කරන්නම්.දිගටෝම.......ඉහලට පහලට.......ඉහලට පහලට.....

නාස් පුඩු අතරින් ඇතුලට,,,,,,හෙමිහිට හෙමිහිට එලියට....ආයේත් ඇතුලට,,,,,,,එලියට........

ආදරේ පාට රතු.රතු රෝස,රතු ලේ..රතු හදවත්,රතු වද මල්....(වද කරදර ),රතු කඳුලු,

මම කැමතියි රතු පාටට,,මට ඇනීමියා,

ෆෙරස් ,ෆෙරික්, යකඩ හිතක්....

තමන් ගැන හිතන්න.තමන්ට ආදරේ වෙන්න,

ආ...අර යනව නේද??එයාට හතිය..ඇස්ත්මා මැරෙන්නම ගියා.බෙහෙතක් ගත්තේ නෑ.,පතපු ආදරේ ලැබුනෙත් නෑ.

ඉතින් ඉතින්??...ඉතින් මොකුත් නෑ.දැන් යසට ඉන්නවා.

ම්හ්!