Wednesday, August 31, 2011

"ආනන්ද බවන් " නොයා ඉමු ද ?


කෑම බීම ගැන නම් කියන්න කොයි තරම් කතා තියෙනවද?පවුලක් එකතු කරන්න වගෙම කඩා බිඳ දාන්නත් කෑමකට පුලුවන් කිව්වොත් විස්වාස කරනවා නේද?ලෝකෙ මොනතරම් දියුණුයි කිව්වත් ,අධ්‍යාත්මික දියුණුව පෙරට වැඩියි කිව්වත්, රස තෘෂ්ණාවට මිනිස්සුගෙ නැඹුරුව ඉහලයි තවමත්.මැක්ඩොනල්ඩ් ,KFC වගේ පොඩි පහේ ;) ඉස්තාන වලට වගෙම තරු පහේ,හතේ බෝජනාගාර වලටත් එක සීරුවට ජන සමූහය ඇදෙන්නෙ කුස පුරවාගැනීමට පමණක්ම නොවන බව අපි දන්නවනෙ.මෙලෝ රහක් නැතුව කාලෙ ගතවෙන එකේ ළඟදි රහ බලපු මේ කෑම ගැන පොඩි පහේ සටහනක් ලියන්න හිතුනෙ ඒකයි. ;) සටහනක්ම නෙවෙයි.එහෙන් මෙහෙන් අහුලගත්ත ඕපදූප එකතුවක් වගෙ දෙයක්,. බලමුකෝ එහෙනම් .......


(1)ඉට්ලි

ඉට්ලි හදා ගන්න මෙව්වා තමයි වශ්‍ය ද්‍රව්‍ය:
සුදු හාල් ග්‍රෑම් 250
උළුඳු ඇට ග්‍රෑම් 150
ලුණු කුඩු මයිසූර් පරිප්පු ග්‍රෑම් 50

හදන්නෙ මෙහෙමයි.

මුලින්ම
හාල්, උළුඳු ඇට, පරිප්පු වෙන වෙනම පැය 8 ක්‌ පෙඟෙන්නට දමන්න ඕන. ඊට පස්සෙ වෙන වෙනම වතුර දන්නෙ නැතුව අඹරන්න ඕන. මේ වර්ග තුන එකට එකතු කරලා ලුණු දාල පැය 6 ක්‌ තියලා දුහුල් රෙදි කැබැල්ලකින් වත්කරලා (වන්ඩුවේ කඩ පිමි එහෙම බැඳලා). හුමාලයෙන් තම්බාගන්නවා.එච්චරයි :)

(2)පූරි

පූරි කියන්නෙ මං ළඟකදි කාපු අමතක නොවෙන තව කැමක්.අනිත් අයට කොහොම වේවිද දන්නෙ නැහැ.තෙල් ,බැදුම් රහට කැමති මට නම් ඒක මටම හදපු කැමක් වගෙ. ;)මෙන්න මෙහෙමයි පූරි හදනවා කියන්නෙ.
(3)චපාති


තිරිගු පිටි කෝප්ප 2
උණුවතුර කෝප්ප 1/2
බටර් හෝ එළගි තෙල් තේ හැදි 2


මුලින්ම භාජනයක් අරගෙන පිටි මෝලියක් හදාගන්න. ඒකට බටර් හෝ එලගිතෙල් දමා නැවත අනා මෝලිය හදාගන්න (විනාඩි 10 ක් හෝ 15 ).මේ මෝලිය බෝලයක් ආකාරයට හදාගෙන ඒ භාජනයේම පැයක් විතර රෙදි කැබැල්ලකින් වහලා තියන්න . ඊටපස්සෙ මෝලිය ආයෙත් විනාඩි 5ක් විතර මිශ්‍රකරලා කැබලිවලට කඩලා ඒවා කුඩා බෝල හැඩයට හදාගන්න. ඒ බෝල විෂ්කම්භය ගෙන තුනීකරගන්න. දැන් භාජනයකට තෙල් දාලා හොදින් රත්වුනාට පස්සෙ හදාගත්ත චපාතිය ඒකට දාලා පපඩම වගේ පිපුණට පස්සෙ තෙල් බදුනින් අයින් කරන්න.සමහරු නම් තෙලෙන් බදින්නෙ නැහ.කබලෙ දාලා අරන් දෙපැත්ත තෙත කපු රෙද්දකින් තෙපුල් දෙනවා.පහල වීඩියෝවෙ විදිහට.
සුදු නෝනලා චපාති හදන්නෙ නම් මෙහෙමයි. ;)

මේ කැමවල රහ තිතටම වදින්න නම් සාම්බාරුවක් ඕනෙමයි.දැන් නම් කඩේ හදාපු කල් තියාගන්න පුළුවන් පැකට් කරපු සාම්බාරු ජාතිත් තියෙනවාය කියන්නෙ. සාම්බාරුව සහ අපෙ පොල්සම්බෝලයට තරමක් සමාන දියාරු මිශ්‍රණයක් තමයි. සාමාන්යෙන් ඉට්ලි,පූරි සහ චපාති වගෙම තෝසා එක්කත් අපාට් කන්න ලැබෙන්නෙ.ඊට අමතරව,විශේෂ ඉන්දියානු අච්චාරු,මස් ,මාලු ව්‍යංජන වගෙම සීනි එක්කත් මෙව්වා ආහාරෙට ගන්න පුලුවන්.
ඕන්න ඔය සම්බෝලෙ නැත්නම් චට්නිය මෙහෙම හදා ගන්න පුලුවන් ලු.


ඕන දේවල්:
ගාගත් පොල් කෝප්ප 01
කඩල පරිප්පු තේ හැඳි 02
අමු මිරිස් කරල් 01
ඉඟුරු ස්වල්පයක්
ලුණු අවශ්‍ය පමණ

බැදුමට
රතු පරිප්පු තේ හැඳි 01
අබ තේ හැඳි 3/4
සූදුරු අවශ්‍ය පමණ
කරපිංචා
රතු(වියලි) මිරිස්
තෙල් ස්වල්පයක්

මුලින් කියපු සියළු ද්‍රව්‍ය වතුර ටිකක් එක්ක හොඳින් අඹරා ගන්න ඕන.ඊට පස්සෙ සාස්පානකට තෙල් ටික දාල අබ, ටිකක් බැදෙන්න දාන්න ඕන.ඊළඟට සූදුරු ,රතු පරිප්පු,. එකතු කරලා රන්වන් පාට වෙනකල් බැද ගන්න ඕන.කරපිංචයි,රතු මිරිසුයි(වියලි මිරිස්) එකතු කරන්නෙ අන්තිමට. පදමට ආවට පස්සෙ මේ ටික අර අඹරා ගත්ත මිශ්‍රණේට දාන්නයි තියෙන්නෙ :) ස්ස්ස්ස්ස්ස්ස්ස්..................................................
දැන් මේ ඔක්කොම කතන්දර කියලා සාම්බාරුව ගැන නොකියා කොහොමද.

ඒකට ඕනෙ දේවල් තමා මේ.
පරිප්පු කෝප්ප 02
එළවලු 250ග් ( මුරුංගා,වම්බටු,කොළ මිරිස් හෝ හිනි කොච්චි,වට්ටක්කා....)

උළුහාල් තේ හැඳි 1/4
රතු මිරිස් කරල් 03
අමු මිරිස් කරල් 03
තුනපහකුඩු තේ හැඳි 01
කරපිංචා ලුණු තේහැඳි 01
අබ තේ හැඳි 02
සියඹලා තේ හැඳි 1/4
සුදුසු තෙල් වර්ගයක් තේ හැඳි 04

එළවළු හොඳින් හෝදගෙන පරිප්පු සියඹලා ටිකක් සහ ලුණු එක්ක වතුර ටිකක් දාලා මද ගින්නේ තම්බා ගන්න. රත්වුන සාස්පානකට තෙල් ටිකක් දාල අබ,උළුහාල්,අමු මිරිස්,රතු මිරිස්,කරපිංචා,තුනපහ කුඩු,සියඹලා ඉතිරිය මද වේලාවක් බැද ගන්න ඕන. ඊට පස්සෙ මේ මිශ්‍රණය අර එළවලු මිශ්‍රනයට එකතු කරගන්නයි තියෙන්නෙ. :)



මෙව්වයෙ මීට වඩා රහ ගුණ දන්න ඇත්තො තව අනන්තවත් ඇති.ඒ විස්තරත් බෙදා ගන්න තරමටම රහ වැඩි වේවි ඕං. :)

Monday, July 25, 2011

නිරාශා


නිරාශා පිළිබඳ සිහිවන විට අදත් හිත පුරා පැතිරී යන්නේ නොසියුම් හිරියක්.අවසන් වසර ප්‍රායෝගික පුහුණුව අතරතුර සතියකට වරක් පැමිණ අප භාරයේ ප්‍රථිකාර ලබමින් සිටි ඇය පිළිබඳ මතකය අදටත් මා මෙන්ම කණ්ඩායමේ අනෙකුන් තුලද නිරන්තර සිහි කැඳවීම් නගනු ඇති වග නිසැකයි.උපතින් සාමාන්‍ය දැරියක් වූ ඇය වෛද්‍ය විද්‍යාවේ ම අත් වැරැද්දක් නිසා අප හමුවන විටත් මානසික ව්‍යාකූල තාවයකින් හා වයසට සරිලන කායික මානසික නොවැඩීමේ තත්වයකින් වසර 12ක් පමණ පීඩා විඳිමින් සිටියා.

කිසිවකු හා කතා බහ නොකරන,කිසිවකු හෝ කිසිවක් කෙරෙහි ප්‍රියතාවයක් නොදක්වන ,පෙර දැනුම්දීමකින් තොරව දැඩි ආවේගශීලීස්වභාවයකින් හැසිරෙන මේ යුවතිය වසර 12ක් තිස්සේ පවුලේ සියල්ලන්ට හා අසල්වාසීන්ට හිසරදයක්ම වූ බවක් පෙනෙන්නට තිබුණා.කෝප වූ විටෙක අසුවන අසුවන දේ පොළවේ දමා ගසන ඇය,විටෙක ශීතකරනයේ වූ සියල්ල බිමට ඇද දැමීමටත්,සරසවි සිසුවකු වූ බාල සොයුරාගේ පොත් පත් ඉරා දමන බවටත් පැමිණිල්ලක් ඇගේ මව මුල්වරට අප ඉදිරියේ තබා තිබුණා.පලමු හමුවේදී කතිකාචාර්‍ය වෛද්‍යවරයා ඉදිරි පිට අසුනේ වාඩිවීම පවා ඇය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා.අධික පවිත්‍රතාවය කෙරෙහි සැලකිලිමත් වූ ඇය ප්‍රතිකාරය දැඩි ලෙස ප්‍රතික්ශේප කලේ අප අපහසුවට පත් කරමින්.එහෙත් කාරුණික වෛද්‍යවරයා අපද විස්මයට පත්කරමින් වේගයෙන් ඇය ප්‍රථිකාරයට හුරු කිරීම අරඹා තිබුණා.

දෙවන දින ඇය දෙතුන් වරක අප්‍රසාදය පල කිරීමෙන් පසු ප්‍රතිකාරයට එළැඹී තිබුණා.මගේ හිතවත් වෛද්‍ය සිසුවියන් දෙදෙනා සමඟ මා කතිකාචාර්‍යවරයා සමඟ දිගින් දිගට සංවාද පවත්වමින් සිටියා.ඇයගේ රෝග තත්වයට පාරම්පරික සම්බන්දයක්ද පැවති බව අප හඳුනා ගත්තේ එහිදීයි.ඇගේ මිත්තනිය උත්සවයකට සහභාගී වීමේදී ආහාර ගැනීම පිණිස අවැසි හැඳි ගැරුප්පු නිවසින්ම රැගෙන යන බවත් දිනකට 25 වතාඅවකට ආසන්න වාර ගනනක් දෙ අත් දෙපා සෝදන බවත් නිරාශාගේ මව අප සමඟ පවසා සිටියා.තෙවන දිනයේ නිරාශා මගේ මිතුරිය සමඟ සිනා සී තිබුණා.

නිරාශා අපව පුදුමයට පත් කලේ සුළු මාත්‍රාවන්ගෙන් නොවේ.වරෙක ඉතා සියුම් මැහුම් ගෙතුම් රටාවන්ගෙන් ඇය විසින්ම හැඩ කළ ඇත් රුවක් අප වෛද්‍යවරයා වෙත තැගි කර තිබුණා.එය ඇය වැන්නියක විසින් සිදු කළ වගක් ඇගේ මව විසින් තහවුරු නොකරන්නට අප කිසිසේත්ම නොපිලිගන්නට තිබුණා.මගේ මියගිය මිත්තනියගේ මැහුම් රටා සහිත පොතක් ඇයට තැගි කරන්නට මගේ සිත බල කරන්නට ගත්තේ ඉන් පසුවයි.කථිකාචාර්යවරයාගේ අවසරය මත අප දිනක් එය ඇය අතට පත් කළ විට"ස්තූතියි..ඒත් මේක පරණයි"ඇය සිනා මුසුව එය ප්‍රතික්ෂේප කලේ අප සිනා ගන්වමින්.

ක්‍රමයෙන් නිරාශා කතිකාචාර්‍යවරයාට දුරකතනයෙන් අමතා ප්‍රතිකාර සහ අනෙකුත් ඕපා දූප දෙඩවීමෙන් සිනාසීමට කරුණු සොයනා සාමන්‍ය යුවතියක බවට පත් වෙමින් සිටියේ අප පුදුමයට පත් කරවමින්.විටක ඇය "චූටි ඩොක්ටර්ලා"මතක් කිරීමටද අමතක කර තිබුණේ නැහැ. තරුණ විය පසු කරමින් සිටි ඔහු ඉන් මද අපහසුවකට පත්ව සිටින බවත් ඔහුගේ විස්වාසවන්ත ගෝලයන් වන අපට ඔහු යාන්තමින් හඟවා තිබුණේ එය ඇගේ රෝගයේ නවතම මුහුණුවරක් ලෙස හඳුන්වා දෙමින්.

ඇගේ මව ඉතා ප්‍රීතිදායක් බවක් පෙන්වමින් සිටියා.රැලි වැටුණු ඇගේ දෙනෙත් අග වෙනදා නොවූ සිනා දිලිසෙමින් තිබුණා.හෙට යැයි කියන දිනයක නිරාශා ප්‍රතිකාරයට පැමිණීමට නියමිතව තිබියදී'යි ඒ තටු ලැබූ ආරංචිය අප සොයා පැමිණියේ....

ආහාර ආසාත්මිකතවයක් නිසා ඇතිවූ වමනයට ප්‍රතිකාර ලැබීමට රෝහල්ගතව සිටියදී නිරාශා අධික විජලනයවීමකට ලක්ව ජීවිතයෙන් සමුගෙන තිබුණා....

අවසන් වසර පරීක්ෂණයට සූදානම් වෙමින් සිටි අප දැඩි කම්පනයට පත් කරන්නට ඇය සමත්වී සිටියා.කථිකාචාර්යවරයා පවුලේ හිතවතෙක් ලෙස ඇගේ මරණයේ සියළු කටයුතු වලට හැකි ලෙස සම්බන්ද වී සිටියා.අප ඇගේ නිවසට යන විටත් අසල්වාසීන් සමඟ ඇගේ වූ නෝක්කාඩුව නිසා අප හැරෙන්නට එහි රැඳී සිටියේ ඇගේ සොයුරාගේ සරසවි මිතුරන් කිහිප දෙනෙක් පමණයි."සුදූ මේ... චූටි ඩොක්ටර්ලා..."ඇගේ මව අප ආපසු එන විටත් ඉකි ගසමින් සිටියා.

නිරාශා!අදට ත් ඔබ කිසිදු ලෙසකින් සුව නොවන,දරුණු වණයක් වැනි යමක් මා හදවතේ පාර පාරා ,රෝහල් කොරිඩෝවේ ඔබ සිනාසෙමින් සිටින දසුන මා හිරි වැටීමට පත් කරනවා.ඔබට නිවන් සුව !

Monday, June 27, 2011

ස්ස්ස්ස්ස්ස්.....!


ඉතාම ඇත අතීතයක ,හරියට ම ප්‍රොමිතියස්ගේ කාලයටත් පෙර ,කුඩා දූපතක පිහිටි ප්‍රාන්ත රාජ්‍යයක හුරුබුහුටි යුවතියක් වාසය කලා.තරමක් උගත් ,නමුත් අප්‍රවේශම් කාරීව වචන හසුරුවන.ජීවිතයේ ඉතාම දරුණු යැ'යි තමන්ම කියාගත් හැලහැප්පීම් වලට මුහුණ දුන්න මේ කුමාරිට අහම්බෙන් දිනක් සුරදූතයෙක් මුණ ගැහුණා.සුරදූතයා කුමාරිකාව හඳුනා ගත්තා.ඇගේ දුර්වලකම් හඳුණා ගත්තා.නුදුටුවා සේ සිටියා.අවැසි විටෙක ,උපදෙස් පතනා විටෙක,උපදෙසුත් දුන්නා.වචනය හරිම බලවත්!යුවතිය අවබෝද කරගත්තා.

දිනක් සුරදූතයා සමඟ දේව හමුවකට යන්නට කුමාරිකාවට අවස්ථාව ලැබුණා.සබාව අසාමන්‍ය විදිහට නොසන්සුන් .දේව දූතයන් වචනවලින් දමා ගසමින් එකිනෙකාගේ හිතවත් කම් දවා ගනිමින් සිටියා.දේව සබාවක මිනිස් දුවකට කළ හැකි යමක් නැහැ.යුවතිය තම අතේ තිබූ බට නලාව හෙමින් වාදනය කරන්න පටන් ගත්තා.

සුරදූතයන් නිහඬ වුණා .නිහඬ
තාවය මැදින් මිහිරි සංගීත රාවය සුර හිත්,හිස් මතින් ගලාගෙන ගියා.පුරුදු සාමය ම නොවුනත් සියල්ලන්ටම සතුටින් විසිර යන්නට මග සැලසුණා.අන්තිමට දේව සබාවේ නායක තැන යුවතියට එහි සංගීත සපයන්නියගේ තනතුර පැපිරස් පත්‍රයක ලියා පවරා දුන්නා.

වචනය බලවත් !
ඇත්තයි.

ඒත් නිහඬ බව ඇතැම් විටෙක ඊටත් වඩා බලවත් ...... :)

Sunday, June 19, 2011

අන්දකාරය සහ නිල් ඇස.


ඉඳිකට්ටා ආයෙමත් ඇවිත්.අවසානයක් නොපෙනෙන සුරංගනා කතාවක අත් පිටපතක් ඇතුලෙන් ආදරේ අලවලා ,ඒක නමක් ගමක් නැති රසකැවිලි පාර්සලයක් උඩින් තියාගත් , මං ලෝබයෙන්.අප්‍රමාණ ප්‍රේමයෙන්.ගැලවී යන්න සූදානමින්.ඇලවෙන්න ඉතා සූදානමින්.හීනි ඇස් ඇති බෝනික්කෙක් සහිත හීන නිතර නිතරම දකිමින්.

වේදිකාව ආයෙමත් අඳුරු වුණා.මේ දෙවන දර්ශනේ.මංගල දර්ශනේට එන්න බැරි වුණා.බැරි වුණා ම නෙමෙයි.හිතලම මග ඇරියා.ජනතාව අඩුයි .අඳුනන මූණක් නැතිම තරම්.ඇස් දෙකක් ඇවිත් සද්දන්ත වේදිකාව උඩ නැවතුණා..........

ගායක් පිරිස නිහඬයි.ප්‍රේක්ෂකාගාරෙත් නිහඬයි...............


මං ඉතා තදින්,සෙමින් හුස්ම ගනිමින්....../........../............./............../....................../

එක්වරම ........

ආයෙමත් ආලෝකය දැල්වුණා.
මහා හඬින් සිම්බලයක් නාද දුන්නා....////////////////

මද්දලය හා ඒකාත්මික වෙච්ච ගීත හඬ වේදිකාව ඉක්මවමින් ප්‍රේක්ෂකාගාරයත් දෙදරවන්න ගත්තා.
//::/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:///::/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/

................................................................................................................................................

ඉඳිකට්ටා ඉතා සියුම්ව මගේ ඇඟිලි තුඩු අල්ලාගෙන.
නිහඬවම.
තවමත්,
වේදිකාව අඳුරු වූ මොහොතේ සිටම..............

ඉතින් රසකැවිලි ගැන නොහිතා කොහොමද ? :)



Saturday, June 4, 2011

මතක ! මතක! මතක!



දවස් ගත වී හෙමිහිට
හෙමි හෙමින් විත් ළඟට ම
ඉස්සර වගෙයි තාමත්
හිත තැති ගැනෙන තරම ද

විරිත්තා හිනැහෙන
මෝඩකම් නැති මෝඩයා ඔබ

ලියන්නට මුළු හිත
සයිබර් තාප්පේ වට
හිතා පෙර එක දවසක
ඉඳිකට්ටාන ඔබ ගැන
ලීවා නොවේ කවි
ලියවුණා පද නොදැනිම

ඔබ ඒ මගම පහලට
මම හති දමන් ඉහලට
රතුම රතු මල් කුඩ
පාට බොඳ වූ දම් කුඩ
අඳුරු වත ඇති නෙක නෙක
කතා වී ඒ පෙර දින ;

මහතා කතන්දර
ලියා බෝ රස විසිතුර
ඇද ඇද එරස මුසු බස
පිනා ගිය වග වීය මුල් පොත

ගඩොල් සකිසඳ ඔබ ගැන
ලියන්නට ඇත නෙක පද
සයිබරේ මගතොට
පළමු සිනහව ඔබෙන් වූ සඳ

පැන්ඩා බඩ තඩි අහිංසක
සොයා රස රස උණ කොළ
විත් දුක සැපද විමසන
හද බසද හැඳිනීය නිවරද

සැම් හිත හොඳ දොස්තර
නාටකා වග විස්තර
පුම්බා මාව උස්කර
හදේ රැඳි වග කියමි මිත්තර ;)

සිතට සීතල දනවන
නෙතට
Link
තෙතමන ගෙන එන
පිණි බිඳු
පුංචි මිතුරිය
සිහිකරමි ඔබ ලතෙත් හැඟුමින


මධුරංග කොළුවා
අමතක කරනු බැරුවා
කොමෙන‍්ටුද කෙරුවා
හිත මිතුරුකම් සිතේ දැරුවා

යකා මුත් යකු වැඩ නැත
බුකවූ මූණ හැඩ නැත ;)
සාතා හදේ මුදුනත
සිටී නිති කිති කවයි හද මස

කතා නොදමමි කෙලෙසක
ටැබූ ඔබ වග විස්තර
පිපාසාවට දිය
විලස සෙව්වෙමි ඔබ කතන්දර

ටොපි ලියන රචියාද , දිවි දුක
"දුකා" නම ගෙන ලියන සකි සඳ
ප්‍රේමයෙන් ආතුරවු දන හද
තවන සනසන "ලිශා" "හිපි" නම

නිබඳ සමරමි සමර නම මම
අකුරු අතරින දිවි පොහොනි කළ
රසවතිය හා වචන ටැක්සිය
රස මගේ මා දුරක ගෙන යන

සුනේත්තරා ඔබ නම
සටහනක් පමණක්ම තබනෙමි
ලියන්නට බස සවි නැති
ගොලුවතක් පා නිහඬවම යමි

ලියා මෙහි මේ පද
තුති පුදමි නම නොදත් ඔබටද
ආවා ගියා වුව
තබා ගිය අඩි ඇතිය සුරැකිව

වීතරාගී නම ගෙන
ලියා ලා නෙක නෙක පද
සිස් කරන්නට හද ගැබ
සයිබරේ ඔබ වීය පන්හිඳ


මිත්‍රවරුණි! මේ වීතරාගීගෙ පනස්වෙනි පද ගැට ගැහිල්ල.ස්තූති
වන්තවෙන්න ඕනෙ හැමෝටම.තිස් තුනක් පදිංචිකාර මිතුරන්ට,"ආවෝ-ගියෝ" වුණ මිතුරන්ට .හිත් සැහල්ලුව සැහල්ලු වුණා. සම හද ඇතිවුන් හමු වුණා.සතුටුයි අපට අප්‍රමාණව. :)

Saturday, May 14, 2011

Xy සිනමා! :)))))))))






ආය දෙපාරක් හිත හිත හිටියෙ නැහැ.දැම්ම සඳුදත් නිවාඩු.කැන්සල් කර ගත්තා ඉරිදා උදේ රාජකාරියත්.ඕං අමා නිදහස්.ඉරිදා දවස නිදා ගැනීමට සහ ප්‍රියතම විනෝදාංශය වෙච්ච්ච බලාගත් අත බලා සිටීමට.අස් පස් කිරිලි කීසිවක් නොමැත.අම්මගේ නැදැ ගමන සහ ගෙවල් බලන්නට යාම පසුවට සලකා බලනු ලැබේ.


සඳුදා ඉඳිආප්පෙ එන එකක් නැහැ. ඒ හින්දම එදා අස් පස් කිරිලි,රෙදි සේදීම්,මූණ කට හැඩ වැඩ කරගන්න කටයුතු සහ රාජකාරී කටයුතු වල මඟ හැරුණු තැන් පියවීම්.

ඊට පස්සෙ වෙසක්.සිල් ගන්න සැලස්ම ස්ථිරයි.

ඊටත් පහුවදා සැලසුම් රහිතයි.

අමා මේ දවස් වල සතුටින්.ඉස්සරට වඩා බොහොම.හීන් දුකකුත් නැතුවාම නෙවෙයි.ඉර හඳ තාරකා අතට ගන්න බැරි බව දන්නවා තමයි.ඒත් ඇහැට පේන දුරක තිබීමත් සතුටු වෙන්න කාරණාවක් නේද?:D

අපූරු වීඩියෝවක් දැක්ක පහුගිය දවසක.ඒක අපූරුයි කියන්නෙ අපූරුම අපූරුයි.:)))))))))))))බලන්නලාකෝ!

Sunday, May 8, 2011

"රිබන් ඉඳි ආප්පෙ"


ඉඳිකට්ටා

ඉඳිකට්ටෝපහාරය

ඉඳිකට්ටෝ.අපි ඔක්කොම පව් නේද?



ඉඳිකට්ටගෙ නම වෙනස් කළා ඕං...."රිබන් ඉඳිආප්පෙ".කොටයි මහතයි ඉස්සර නම්.දැන් පට්ට කෙට්ටුයි.මහත් වෙන්න දෙන්න හිතෙනවා හාදු දාහක්.;)


වීතරාගී ඉන්නෙ අදහා ගන්න බැරි තරමේ ප්‍රීති ප්‍රමෝදයක් සහ පශ්චත්තාපයක් සම්මිශ්‍රන මානසික තත්වෙක.බර පතල වැඩියි වගෙ පෙනුනත් ඒක එහෙමමයි.

පව් අප්ප මගෙ ඉඳිකට්ට.එයානම් ඉතින් මගෙ විතරනෙ.ඒත් මේ ඉඳිආප්පෙට අයිතිකාරයො ගොඩයි.සමහරුන්ට ඕනෙ අල හොදි.සමහරුන්ට සම්බෝල.සමහරුන්ට ඇඹුල් තියල්.තව අයට පොළොස් පැහි.ම්හ්හ්!ඔක්කොම හදන්නෙ ඉඳි ආප්පෙව ඉවර කරන්න.එහෙම වුණාම හරිද?.දුකම කාරනාව විහාර මහා දේවි වෙලා බිලි වෙන්න පුළුවන් තත්වෙක ඉන්නෙ මම විතරයි.බිලි වුණාමයි කියමුකෝ.ඒත් ඉඳිකට්ටව නැති වෙනකොට මට බලන් ඉන්න පුළුවන්ද.වීතරාගී කෙනෙක් මේ ලෝකෙට ආවෙ ඉඳි කට්ට නිසාමයි නෙ.

වීතරාගීගෙ හිතේ අස්සක හිටිය පිස්සු පූසා සහ තවත් චමත්කාරජනක කතාකාර ජනතාව එළියට ගත්තෙ ඉඳිකට්ටා.දුක නැති කරන මග කියල දුන්නෙ ඉඳි කට්ටා.ලෝකෙ නුදුටු ලස්සන පෙන්නන මැජික් කැමරාව ගෙනත් දුන්නෙත් ඉඳිකට්ටා.ඇයි වදේ අර දුක වාෂ්ප කරන හිනාව.සූහ්......ඔහොම අමතක කරන්නද අප්පා.මට බැ බැ බැ මයි ඕං.

දුරස්ත භාවයේ බලවත් කම ගැන මේ ළඟදි මං මහා දේශනයක් ඇහුවා.ඇත්ත.දුරස්ව ඉන්න තාක් අපට වස්තූන් සහ පුද්ගල චරිත ගැන නිකැලැල් ඇහැකින් බලන්න පුලුවන්.දුරින් ඉන්නම්.ඒත් ඇතකට යන්නෙ නැ කියලා පොරොන්දු වෙනවානම් විතරයි.

ඉඳිකට්ටෝ!මං තාමත් ආදරෙයි...... :-*