Saturday, June 4, 2011

මතක ! මතක! මතක!



දවස් ගත වී හෙමිහිට
හෙමි හෙමින් විත් ළඟට ම
ඉස්සර වගෙයි තාමත්
හිත තැති ගැනෙන තරම ද

විරිත්තා හිනැහෙන
මෝඩකම් නැති මෝඩයා ඔබ

ලියන්නට මුළු හිත
සයිබර් තාප්පේ වට
හිතා පෙර එක දවසක
ඉඳිකට්ටාන ඔබ ගැන
ලීවා නොවේ කවි
ලියවුණා පද නොදැනිම

ඔබ ඒ මගම පහලට
මම හති දමන් ඉහලට
රතුම රතු මල් කුඩ
පාට බොඳ වූ දම් කුඩ
අඳුරු වත ඇති නෙක නෙක
කතා වී ඒ පෙර දින ;

මහතා කතන්දර
ලියා බෝ රස විසිතුර
ඇද ඇද එරස මුසු බස
පිනා ගිය වග වීය මුල් පොත

ගඩොල් සකිසඳ ඔබ ගැන
ලියන්නට ඇත නෙක පද
සයිබරේ මගතොට
පළමු සිනහව ඔබෙන් වූ සඳ

පැන්ඩා බඩ තඩි අහිංසක
සොයා රස රස උණ කොළ
විත් දුක සැපද විමසන
හද බසද හැඳිනීය නිවරද

සැම් හිත හොඳ දොස්තර
නාටකා වග විස්තර
පුම්බා මාව උස්කර
හදේ රැඳි වග කියමි මිත්තර ;)

සිතට සීතල දනවන
නෙතට
Link
තෙතමන ගෙන එන
පිණි බිඳු
පුංචි මිතුරිය
සිහිකරමි ඔබ ලතෙත් හැඟුමින


මධුරංග කොළුවා
අමතක කරනු බැරුවා
කොමෙන‍්ටුද කෙරුවා
හිත මිතුරුකම් සිතේ දැරුවා

යකා මුත් යකු වැඩ නැත
බුකවූ මූණ හැඩ නැත ;)
සාතා හදේ මුදුනත
සිටී නිති කිති කවයි හද මස

කතා නොදමමි කෙලෙසක
ටැබූ ඔබ වග විස්තර
පිපාසාවට දිය
විලස සෙව්වෙමි ඔබ කතන්දර

ටොපි ලියන රචියාද , දිවි දුක
"දුකා" නම ගෙන ලියන සකි සඳ
ප්‍රේමයෙන් ආතුරවු දන හද
තවන සනසන "ලිශා" "හිපි" නම

නිබඳ සමරමි සමර නම මම
අකුරු අතරින දිවි පොහොනි කළ
රසවතිය හා වචන ටැක්සිය
රස මගේ මා දුරක ගෙන යන

සුනේත්තරා ඔබ නම
සටහනක් පමණක්ම තබනෙමි
ලියන්නට බස සවි නැති
ගොලුවතක් පා නිහඬවම යමි

ලියා මෙහි මේ පද
තුති පුදමි නම නොදත් ඔබටද
ආවා ගියා වුව
තබා ගිය අඩි ඇතිය සුරැකිව

වීතරාගී නම ගෙන
ලියා ලා නෙක නෙක පද
සිස් කරන්නට හද ගැබ
සයිබරේ ඔබ වීය පන්හිඳ


මිත්‍රවරුණි! මේ වීතරාගීගෙ පනස්වෙනි පද ගැට ගැහිල්ල.ස්තූති
වන්තවෙන්න ඕනෙ හැමෝටම.තිස් තුනක් පදිංචිකාර මිතුරන්ට,"ආවෝ-ගියෝ" වුණ මිතුරන්ට .හිත් සැහල්ලුව සැහල්ලු වුණා. සම හද ඇතිවුන් හමු වුණා.සතුටුයි අපට අප්‍රමාණව. :)

Saturday, May 14, 2011

Xy සිනමා! :)))))))))






ආය දෙපාරක් හිත හිත හිටියෙ නැහැ.දැම්ම සඳුදත් නිවාඩු.කැන්සල් කර ගත්තා ඉරිදා උදේ රාජකාරියත්.ඕං අමා නිදහස්.ඉරිදා දවස නිදා ගැනීමට සහ ප්‍රියතම විනෝදාංශය වෙච්ච්ච බලාගත් අත බලා සිටීමට.අස් පස් කිරිලි කීසිවක් නොමැත.අම්මගේ නැදැ ගමන සහ ගෙවල් බලන්නට යාම පසුවට සලකා බලනු ලැබේ.


සඳුදා ඉඳිආප්පෙ එන එකක් නැහැ. ඒ හින්දම එදා අස් පස් කිරිලි,රෙදි සේදීම්,මූණ කට හැඩ වැඩ කරගන්න කටයුතු සහ රාජකාරී කටයුතු වල මඟ හැරුණු තැන් පියවීම්.

ඊට පස්සෙ වෙසක්.සිල් ගන්න සැලස්ම ස්ථිරයි.

ඊටත් පහුවදා සැලසුම් රහිතයි.

අමා මේ දවස් වල සතුටින්.ඉස්සරට වඩා බොහොම.හීන් දුකකුත් නැතුවාම නෙවෙයි.ඉර හඳ තාරකා අතට ගන්න බැරි බව දන්නවා තමයි.ඒත් ඇහැට පේන දුරක තිබීමත් සතුටු වෙන්න කාරණාවක් නේද?:D

අපූරු වීඩියෝවක් දැක්ක පහුගිය දවසක.ඒක අපූරුයි කියන්නෙ අපූරුම අපූරුයි.:)))))))))))))බලන්නලාකෝ!

Sunday, May 8, 2011

"රිබන් ඉඳි ආප්පෙ"


ඉඳිකට්ටා

ඉඳිකට්ටෝපහාරය

ඉඳිකට්ටෝ.අපි ඔක්කොම පව් නේද?



ඉඳිකට්ටගෙ නම වෙනස් කළා ඕං...."රිබන් ඉඳිආප්පෙ".කොටයි මහතයි ඉස්සර නම්.දැන් පට්ට කෙට්ටුයි.මහත් වෙන්න දෙන්න හිතෙනවා හාදු දාහක්.;)


වීතරාගී ඉන්නෙ අදහා ගන්න බැරි තරමේ ප්‍රීති ප්‍රමෝදයක් සහ පශ්චත්තාපයක් සම්මිශ්‍රන මානසික තත්වෙක.බර පතල වැඩියි වගෙ පෙනුනත් ඒක එහෙමමයි.

පව් අප්ප මගෙ ඉඳිකට්ට.එයානම් ඉතින් මගෙ විතරනෙ.ඒත් මේ ඉඳිආප්පෙට අයිතිකාරයො ගොඩයි.සමහරුන්ට ඕනෙ අල හොදි.සමහරුන්ට සම්බෝල.සමහරුන්ට ඇඹුල් තියල්.තව අයට පොළොස් පැහි.ම්හ්හ්!ඔක්කොම හදන්නෙ ඉඳි ආප්පෙව ඉවර කරන්න.එහෙම වුණාම හරිද?.දුකම කාරනාව විහාර මහා දේවි වෙලා බිලි වෙන්න පුළුවන් තත්වෙක ඉන්නෙ මම විතරයි.බිලි වුණාමයි කියමුකෝ.ඒත් ඉඳිකට්ටව නැති වෙනකොට මට බලන් ඉන්න පුළුවන්ද.වීතරාගී කෙනෙක් මේ ලෝකෙට ආවෙ ඉඳි කට්ට නිසාමයි නෙ.

වීතරාගීගෙ හිතේ අස්සක හිටිය පිස්සු පූසා සහ තවත් චමත්කාරජනක කතාකාර ජනතාව එළියට ගත්තෙ ඉඳිකට්ටා.දුක නැති කරන මග කියල දුන්නෙ ඉඳි කට්ටා.ලෝකෙ නුදුටු ලස්සන පෙන්නන මැජික් කැමරාව ගෙනත් දුන්නෙත් ඉඳිකට්ටා.ඇයි වදේ අර දුක වාෂ්ප කරන හිනාව.සූහ්......ඔහොම අමතක කරන්නද අප්පා.මට බැ බැ බැ මයි ඕං.

දුරස්ත භාවයේ බලවත් කම ගැන මේ ළඟදි මං මහා දේශනයක් ඇහුවා.ඇත්ත.දුරස්ව ඉන්න තාක් අපට වස්තූන් සහ පුද්ගල චරිත ගැන නිකැලැල් ඇහැකින් බලන්න පුලුවන්.දුරින් ඉන්නම්.ඒත් ඇතකට යන්නෙ නැ කියලා පොරොන්දු වෙනවානම් විතරයි.

ඉඳිකට්ටෝ!මං තාමත් ආදරෙයි...... :-*

Tuesday, May 3, 2011

කහ පැහැති ප්‍රේමයක්!


මම ගස් ලබු ගහක් .කිරි තියෙන .මල් ගහක් වෙලා හිටපු කාලෙකුත් තිබුණා මට මතකයි.මල් ගහක් කිව්වෙ මල් ගස් ලබු .කාටවත් පල නැති ගහක්.දැන් දැන් හැමෝම පරිපූර්ණත්වය වනන්න උදාහරනෙට ගන්නෙ මාව.එහෙමයි.ලෝක ස්වාබාවය.නොහිතන දෙවල් හිමි වෙනවා.නොහිතන විදිහට සමහර දෙවල් අහිමි වෙනවා.මටය කියලා ඔය කතාන්දරේ අමුතුවෙන් වෙනස් කරන්න දෙයක් නැ.වියයුතු විදිහටම දේවල් සිද්ද වුණා.
මල් පිපිච්ච කාලෙ වින්ද දුක් ගැහැට අමතක කරලා,හරියටම කිව්වොත් අමතක කරවලා ඇබිත්තන් ගෙඩියක් කඳ බදාගෙන හිටියා එක උදේක.සරසවියම නිදි.නිදි කිව්වෙ කාටවත් ඒක පෙනිලා නොතිබුණ නිසා.සුදුපාට,හරියටම කිව්වොත් රන්වන් කහ පාට.දවසින් දවස මාව වැලඳගෙන ම වැඩෙන්න පටන් ගත්තා.මට මාවම දැනෙන්න ගත්තා.ඉස්සර අහක බලන් ගිය හැඩ වැඩ කුරුල්ලෝ,කිරිල්ලියෝ මගෙ දිහා බලන්න ගත්තා.මම කවි ලිව්වා.රැයක් දවාලක් නැතුව.ඇඟෙන්ම උපන් දේකට කවි ලියන එක සිම්පල්!

මම එයාව පොෂණය කරනවා කියලා හැමෝම හිතුවත් හරියටම නම් එයයි මාව කවා පොවා ඇති දැඩි කරමින් හිටියෙ,සාමන්‍ය පිරිමියෙක් විදිහටම මම ඒ පුංචි ගස් ලබු ගෙඩිය ඉස්සරහ බබෙක් වෙමින් හිටියා විතරයි.දේශන,නිබන්දන,කලර්ස් නයිට්,ක්‍රීඩා උත්සව හැම දෙයක්ම පහු වුණා.ඒ හැම දෙයක්ම පහු කරගෙන කාලෙ විතරක් ඉදිරියටම.

හදිස්සියෙම උදේක වහින්න ගත්තා.එයා මට වාරු වෙලා අහස දිහා බලාගෙන හිටියා.වියයුතුයි කියල සම්මත කිසිම දෙයක් නොවී ම වැස්ස තුරල් කරා.එදා පටන් ගත්ත මහ වැස්ස ඉවරයක් වුණේ නැ.දවස් ගානක් එක දිගටම වැස්සා.මම තෙමී නොතෙමී එයා දිහාම බලන් උන්නා.වැස්ස ඉවරවෙද්දි මගෙ සන්තකේටම ඉතිරි වෙලා තිබ්බෙ එයා විතරයි.ගස් ලබු මලක ඉඳන් අනිත් හැම දෙයක්ම වැස්සට ගහගෙන ගිහින්.

දවසින් දවස එයා තව තවත් රන් වන් වෙමින් සහ "රන් බව" වට පිටාවට පෙන්වමින් වැඩුණා.මම ගසක් නොවී ඒ රන් වන් බව ම පමණක් බවට පත්වෙමින් හිටියා.ගසට පොත්ත සහ ජාඩියට මූඩිය.කොහොඹ කරවිල.

එකෝමත්තෙක දවසක "රන් බව" උපරිමේටම පත් කාලෙක ගහ වටේ කැරකුණ කුරුල්ලෙක් විහිළුවට වගේ හොටය කරකවා ඇ දෙස බලා තිබුණා.ගනන් කල නොහැකි දින ගනනකට පසු ඇය හිටියේ අවන්හලක.
..........................

නැ,ඔබ සිතුවා වැරදියි!

ඇය අවන්හලක රවුම් මේසයක් මත පලතුරු බීමක්(පපායා ජූස්) බවට පත් වී ....ඇය මම ම වූ කල ඒ මගේ ද ඉරණම නොවී තිබුණේ නැහැ.මමත් බෙරි වී ගිය ගස් ලබු ගෙඩිය පාගන්නට ඉඩ දී නිකන්ම නිකන් බලා සිටි බෙරි ළමයෙක් බවට පත් වී සිටියා.අදටත්,තවමත් බෙරිවුණු ඇගේ මුහුණ සහ හොටය කරකවා බැලූ කුරුල්ලා පිළිබඳ පහදාගත නොහැකි හැඟුමින් මම.ඇතැම් විට යසස් පිරි අවන්හලක ඇය මා සමඟ උන්නාට වඩා සතුටින්ද විය හැකියි.නිසැකවම එය එසේද විය යුතුයි! බෙරි වී මා පාමුලම වැටී කුණු වී ගියාට වඩා එය කොපමණ නම් හොඳද?සතුටුවෙන්නට මට ..........

Thursday, April 28, 2011

මල් සුවඳ



ක්ෂිතිජය දෙස බලා වත්
ළඟ ළඟම එන
මරණය ගැන
කවි ලියත හැකි වෙද ඔබට

වියලි මරු කතරක
කුඩා කෙම් බිම් කඩ පුරා
අයාලේ දුර යන
මල් සුවඳ හඳුනන විට

Thursday, April 14, 2011

අවුරුදු කිරිබත


ඕන්න වීතරාගීත් අවුරුදු සැමරුවාලු.ඒකත් යස්ස සැමරිල්ල.නිවාඩු තිබ්බෙත් දවස් දෙකෝම දෙකයි.පලවෙනි දවස ජාල ගත වෙන්නයි අතපසු වුණ නින්ද සම්පූර්ණ කරගන්නයි ගත වුණා .දන්න කියෙන යස්සයො බරාස්සයො එක්ක චැට කරලම කරුවල වැටුණා.ඊට පස්සෙ මව් තුමියගෙ දේශනාවකට සවන් දීල එහෙම ළමයා නිදා ගත්තෙ නොනගතේට කලින් නැගිටලා පොත් මේසෙ සහ ඇදුම් පෙට්ටගම් පිලිවෙලක් කරන්න හිතා ගෙන.

මොන උදේ පාන්දර 7ට විතර සද්දෙ ඇහිලා බැලින්නම් නොනගතේ උදා වෙලා ඉවරයි.මොනවා කරන්නද?තව පැයක් හමාරක් හාන්සි වෙලා ඉඳලා ලැජ්ජ නැති කමට ආයෙත් පරිගනකයාට මූණ ඔබා ගත්තා.යක්සයත් ඔන්ලයින්.ආයෙ ඉතින් කවර කතාද.උන්දා එක්ක කතාවක් දාල,ඉඳිකට්ටා එක්ක අවුරුද්ද ගැන සමාලෝචනේක යෙදිලා,ජෙමා එක්ක රටකරවන ඇත්තන්ට සුබ පතලා ,හච්චින් යවලා ඉවර වෙද්දි හත්වලාමේ වෙලාව 12යි.1ට නෙව අවුරුදු උදාව.කාල වරෙන්කො කිව්වලු.දඩි බිඩි ගාල අස් පස් කරලා නාන්න කරාමේ යටින් හිට ගත්තා විතරයි චට පට ගාලා පුපුරන්න ගත්තෙ නැද්ද.මම හිතන්නෙ මම නාන සතුටට.:))ඒ කිව්වෙ මේ සුබ අලුත් අවුරුද්ද වීතරාගී ඇරඹුවෙ කරාමයක් යට හිටගෙන.:)))))ඕකට යටි හිතින් අම්බානකට සතුටු වෙන අයත් ඉන්න බව මම දන්නවා.

ඊට පස්සෙ අපෙ ආදර බර මලයා අරන් දුන්න අලුත්ම වස්තරෙත් ඇඳගෙන පරිගනකයා ඉදිරියෙම වාඩි වෙලා වීතරාගී වැඩ.අම්ම ලිප ළඟ ඉද්දි මොනා වුනත් මේ ඉඳිල්ල නාකයි නෙව.ඒ හින්දම කුස්සියට පොඩ්ඩක් හොට දාල;

"එහෙනම් මම ලුණු මිරිස් හදන්නම් නේද?" කියලා ඇහුවා.

"ඒ මොකටද?"
අම්මා සිනා නොමසෙන් දසන් දක්වා ලීලාවෙන් ඇහුව.

"අයි කිරිබත් කන්න.."
මමත් බබා.

"මොන කිරිබත් ද..?මම ඉව්වෙ නැ.බතුයි කිරි බතුයි දෙකක්..."£$%&/()=?^?=)(/&%$%&/()=?^?=)(/&%$£$%&/.....

ඒ වතාවෙ නම් වීතරාගී හොඳටම අවුල් වුණා.තමන්ගෙ වරද නෙ.හොඳ වැඩේ.වැහුවා පරිගනකයාව.දිව්ව කුස්සියට .ගත්ත කැකුළු හාල් සහ පොල්.ඉව්ව කිරි බත්.කට්ට සම්බලුත් ඒ කිව්වෙ ලුනු මිරිසුත් හැදුවා.නැකත උදා වුණා.අම්මලා මල්ලිලා ඔක්කොම නිදි.බෙදා ගත්තා ලොකුවයින් කිරිබත් කැලී දෙකක්.තනියම දෙසා බැවා.ඔහොමයි වීතරාගීගෙ නව වසර.කාටවත් කියන්න එහෙම එපා.මේක තමයි වීතරාගී රසම කිරිබත් කාපු අවුරුද්ද...(අම්ම නිදි හොඳ වෙලාවට ;) )

කොහොමින් හරි උදා වුණ අලුත් අවුරුද්දෙ මේ සැනසුම දිග කලක් රැඳේවා හැමෝටම......අමතක කරන්න එපා අප්පමදෝ අමත පදං :)) ජය වේවා යාලුවනේ..:D

Tuesday, April 12, 2011

ළමයා සහ මම


කතාව 01

ළමයා අහිංසකයි.හිත යන පෙනුම.දැක්ක ගමන් හිත් බැඳුනද මන්දා.උත්සාහයකින් තොරව කොහොම අත හැර දමන්නද?ඒකයි උත්සහ කලේ.අසාර්තක වුණා තමයි.හැමදාම මෙහෙමම ඉන්න කල්පනා කලා තමයි.ඒත් හිතන පතන දේම කරන්න ලැබෙනවා නම් ජීවිතේ මොන තරම් සුන්දරද?හිත හදා ගත්තා.එහෙමයි සාමන්‍ය ව්‍යවහාරෙ.

විකල්පෙකට හිත හැරවෙන්නෙ ඒකයි.ඒකත් අවුරුදු 10කට පස්සෙ.සුපුරුදු සිනා කතා.නුපුරුදු දිස්නය.රස්නය.ඇලෙන්න බැඳෙන්න ඊටත් වඩා වෙන මොනවද?බැඳුණේ ඒකයි.වෙන හේතුවක් තිබුණෙ නැ.අවස්තාව දුක් බර එකක්.එහෙම අවස්තාවක ආකර්ෂණ විකර්ෂණ ප්‍රබලව සිද්ද වෙනවා.ආ වේගෙන්ම ආපහු යවන්න වුණේ දුක සමනය වුණා කියලා හිතුන නිසා වෙන්න ඇති.කිරිත් එක්ක සමහන්.

කතාව 02

ළමයා දඟකාරයි.කටකාරයි.හැඩකාර අඩු වුණාත් දයාබරයි.පෙම්බරයි.සුළි කුණාටුවකදි බේරගත්ත නැව.කොහොම අත හරින්නද?ඇලුම් බැඳුම් වේගවත්.වේගවත්.පරස්පර නොපෙනෙන්නෙ එපමණම තදින් බැඳී සිටිය නිසා වෙන්න ඇති.කවචය ඇතුලෙ ස්ථාවරව ඉන්න ලැබුණා තමයි.ඒත් පිටස්තරය එක්ක ගනු දෙනු අසාර්ථකයි.ළමයා දක්ෂයි.දක්ෂ විදිහට ගණුදෙනු කල නිසාම ව්‍යාපාරය දියුණු වුණා.යාන වාහන සහිත ප්‍රාග්ධන නැව් කර්මාන්තෙට යොදවද්දි මම සිප්පි බෙල්ලෙක් වෙලා පහලට වැටුනා.වැටුනම නෙවෙයි.මම වැටෙන්න දීලා බලාගෙන හිටියා.ඉකිරිච්චියෙක් ඇවිත් කට්ටෙන් ඇහැලා සිහිය ගන්න කල්ම මම හිටියෙ අසිහියෙන්.තවමත් අසිහියෙන්ද කොහෙද?ඉකිරිච්චියෙක්ට ආදරය කරන්න පුළුවන්ද?හැබැයි අපි දෙන්නටම කටු තියෙනවා ;)

කතාව 03

මේක තමා අමුතුම කතාව.දුකද සැපද නොතේරෙන.ළමයා ආඩම්බරයි.ආඩම්බර වෙන්න තිබ්බෙ කටුවක් විතරයි.අනින්න පුලුවන් වර්ගේ.ඒත් කාටවත් අනින්න නොගිය නිසාම අහිංසක පෙනුමටයි පෙනුනෙ.මම අල්ල ගත්තා.කූඩු කරගත්තා.හිර කරගත්තා.සැනසුවා.සැනසීම සමඟ වැනසීම.සම ප්‍රමාන වලින්.සැනසීම වැනසීමට අනුපානයක් ලෙස.කූඩුව ගෙදර තියලා මම කිමිදුණා.මුතු හොයන්න.මාල බඳින්න හිතක නොතිබුණාම නෙවෙයි.මාලෙ හුය ගැලවුණා.තැනක් හොයා ගන්න බැරිවෙන්න.මම තවත් කිමිදෙමින්.ළමයා කටුවෙන් වැඩගන්නා හැටි තනිව උගනිමින්.


ප.ලි:සුබ අලුත් අවුරුද්දක් වේවා මට සහ සියළු ළමයින්ට....