Thursday, January 7, 2016

කාංසාමය මනෝ විභ්‍රමික පැරඩි සවුදම! ( :O :O :O )


"අප්පච්චි මේ බලන්නකෝ! මෙයා මදර්ස් ඩේ එකටත් විෂ් කරලා මැසේජ් එවලා!"






(හත්පාරක් කෝල් කලා. කතා නොකරන්න මම අහවල් වරදක් කෙරුවාය කියලද? බලාගම්මු! )

ලෝකේ හැම දෙයක්ම පවතින්නේ පැවැත්ම උදෙසා පමණමද? 

වීරයන් සහ වීරවරියන් ලෙස "වරදවා වටහාගත්"  චරිත පමණක් ම මේ ජීවිත ගමනේදී මුණ ගැහෙන එක සාමාන්‍ය සහ සරල කාරණාවක් ලෙස සලකලා හිත හදා ගත යුතුද?

ඒක පැවැත්ම උදෙසා පරමාදර්ශී චරිත සොයමින් වෙහෙසවෙන අපි වගේ බාල පෘතග්ජනයින්ගේ ෆැන්ටසිය කුඩු කරන්න මේ "සිස්ටම්" එකෙන්ම හදලා දෙන ඉන්ද්‍රජාලික මායාවක් වගේ කතාන්දරයක්ද?

ඒක ජනතා විමුක්ති පෙරමුණත් සමාජ ජාල වෙබ් අඩවි වලින් "පැරඩි අතවරයට" ලක්වීමට සමපාත කරන්න පුළුවන්ද?


වැඩක් නෑ සෑම්! වැඩක් නෑ ! වරක් දෙවරක් නෙවෙයි සිය දහස් ලක්ෂ වාරයක් කතා කලත් මේක ගැන මීට වඩා කියන්න දෙයක් නෑ. මේකෙන් මීට වඩා කොරන්න පුළුවන් කෙරුවාවකුත් නෑ. (ආව් අම්මා! එහෙම කිව්වම මූණෙ එන හිනාව! ) මහා පුරුසයො, මහ ඉස්තිරියාවො මෙගාස්ටාර්ලා වාගෙ කාගන්න කා ගැනිල්ල, බෙලි කපන්න දිය රෙදි මූට්ටු කිරිල්ල දැන් පැටන් එකක් වෙලාදා කොහෙදෝ.

"මක් කිව්ව? ලක්ෂ වාරයක්?? ඒක ගණිතමය තාර්කික පදනමක ඉඳලා කරපු ප්‍රකාශයක්ද නැත්නම් නිකන්ම නිකන් මෝඩ ගැමි ගෑණු ව්‍යවහාරයක්ද?"

 මම යෝජනා කරනවා මෝඩකම කියන එක සාපේක්ෂතාවාදයට අනුව බොරුවක් බව ඔප්පුවෙලා තියෙන නිසා ඔය යෝජනා සහ චෝදනා සම්ප්‍රප්ප්‍රලාප ගණයේ ලා නොසලකා හරින්න පුළුවන් බවට."

කැමති විදිහකට හිතා ගන්න එකයි. 

ජනවාරි අට ජයග්‍රාණෙ ආපසු හරවන්න ආවොත් මරාගෙන මැරෙනවා යකෝව්! 



Wednesday, January 6, 2016

"රිබන් පටිය"

    කට වචනෙට එනවැයි කිව්වට මම නම් කීයටවත් හිතුවෙ නැ "රිබන් පටිය" එයි කියලා.ඒත් ආවා. ආවම නෙවියි.එන්න සිද්ද වෙලා,හදිසියෙ අසනීපවෙලා තිබුණෙ ලෝකෙ ලොකුම ලොකු නිවාඩු දවසෙ.රටේ එකම එක ඉස්පිරිතාලෙක විතරක් බෙහෙත් කරන දවසක්.මම හිටියෙත් එහෙ.තිබුණෙ නාඩි බලලා ,මූණ බලලා ලෙඩේ හොයාගෙන බෙහෙත් දෙන්න.මූණ නම් ඉතින් අමුතුවෙන් බලන්න දෙයක් නැ නෙ.අවිස්වාසයක් ඇති කරගන්න කාරණාවක් නැ.කළුවරේ හරියටම නොපෙනුනත් එදා ලප,කැලැළ් ,ආවාට වල සමීප රූපයක් පෙනී නොපෙනී තිබුණ නෙ මිනිත්තු පහක් විතර.එක දිග..........................ටම


මම එලි වෙනකල් ම නිදි මරලයි හිටියෙ."රිබන් පටිය"ට ගැලපෙන කුර්තාවක් තෝරන්න ගිහින්.දන්නෙම නැතිව එළි වුණ දවසක් ඒක.ඒ හින්දා නින්ද නොනින්ද අතර වුණ දේකට මගෙන් සහතික ඉල්ලනවා හෙම නෙවී ඕං.


      යන්නෙ කොහෙද ,ඇයි කියලා තීන්දු තීරණ ගන්න තරම් නිරවුල් නැති හිතක්,උණුවෙලා දිය වෙලා වාෂ්ප වෙන්න ඔන්න මෙන්න හිතක ඇලුනාම ආයෙ කවර කථාවක්ද?එහෙම නොඇලෙන්න අර දෙවෙනි "රිබන් පටි"මයෝකාඩියම හ‍ර්ද අකරණීයකට යන බව මම දැනගෙනමයි හිටියෙ. විගහට ,තෝරගෙන ආව කුර්තාව අන්දවලා ,මම ම ගොතපු මෆ්ලර් එක බෙල්ල වටේ එතුවා.වෙලාවෙ හැටියට දෙන්න පුළුවන් හොඳම ප්‍රථමාදාර දීලා උණු උණු කිරි හදලා පොවලා , බත් දෙකටක් කවලා හයිය හත්තිය අරන් දුන්නා.මමය කියල වෙන මොනවා නම් කරන්නද?


ඕන්න ආයෙමත් බෙහෙත් කරන දවස."රිබන් පටිය"කහ පාටට දිලිසි දිලිසි මා ඉස්සරහම.මම සුදු මැලිව සහ විස්මයාකූලව.හරිද මන්දා ඒ යෙදුම.ඒ කිව්වෙ පුදුමය මුසු නොසන්සුන් බව .පටු කොරිඩෝව දිගේ මම රිබන් පටිය ඉනේ හංගගෙන බේත් උයනටම ආවා.බේත් සුවඳට රිබන් පටිය කෙලින් වෙලා බිමට පැන්නා.දුවගෙන ගිහින් බුළු ගහට නැගලා ඔන්චිලි පදින්න ගත්තා.ඊට පස්සෙ මගෙ ඉන වටේ පැටලිලා කහ මල් වැටුණු කළු තාර පාර දිගේ උඩහට පහලට දුවන්න .මෙන්න ටිකකින් බලද්දි අර කවියෙ තිබ්බ ඇහැල ගහ යට හොඳටෝම නිදි.



"
වසන්ත සාදයට
බලෙන් ඇදගෙන ආ
පොඩි ඇහැල ගස් වලත්
ඉඟ ඉහ පුරා

මල්!
මල්!
මල්!"





මම හිමීට පුරුදු හාද්ද දීල කූද්දන්නත් හදලා ආයෙත් ඒ ගහ යටින්ම වාඩි වුණා."රිබන් පටියෙ"කෙට්ටු අතක් මගේ මූණෙ හැප්පුණා.


සාක්කුවෙන් බිමට වැටුණ කඩදාසි පෙත්තක මෙහෙම ලියවිලා තිබුණා.

බෙහෙත් ඔරුව
කොහි සිටද මේ එන්නේ
පාවීගෙන
පෙඳ පාසි දෙබෑකරගෙන
ඛාදනය වී ඇති
ඉවුරකට

බෙහෙත් ඔරුව
ලියා තබමි කවියක්
ඔබට
ගං ඉවුරෙහි වූ
වැල්ල මත

ඕලු මලක් තබා එහි
රැගෙන යා හැකිය
ඒ කවිය

බෙහෙත් ඔරුව
යාත්‍රා කළ යුතුය ඔබ
කොඳ මල් අතරින්
පෙරට ......


Tuesday, January 5, 2016

අපි සන්තෝසෙන් ඉන්නේ...........

   සන්තෝසෙන් ඉන්න කවුද අප්පා අකමැති.අලුත් අවුරුද්දෙ අහස් වෙඩිල්ලක් කාරිය පත්තු කරලා ඔය කොයි කවුරුත් ප්‍රාර්ථනා කරන්නෙ සාමය ගාවට "සතුට" පිරිච්ච සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා නෙව.


වීතරාගී විශ්වාසකරන හැටියට තමන් ආවෙ කොහෙන්ද, හිටියෙ කොතනද කියලා හිතේ තියෙනවා නම් ( ඒක හිතේ තිබ්බම ඇති.. :), යන්න ඕනෙ කොතනටද කියලා ඡායාවක් වාගෙ හරි අදහසක් තියෙනවා නම් සන්තෝසෙට යන පාරෙ පළමු අඩිය ඔයා දැනටමත් තියලා ඉවරයි.

   හිතන්නකෝ අත තියන තියන වැඩේ බකල් වෙන කාලයක් ආවා කියලා.අර කලේ පැන් නැති, නැවුම් රහ නැති, රොටියත් කරවෙන කාලය වගෙ එකක් කියලා හිතා ගන්නකෝ.

 ඒ වෙලාවට අයියෝ! දෙයියෝ! කිය කිය ඒක මත්තෙම වැටිලා හැපිලා උන්නොත් නම් වැඩේ තව තවත් අල වෙනවා මිසක  යහපතක් නම් වෙන්නෙ නෑමයි කියලයි වීතරාගීට හිතෙන්නෙ.



  ඕකට කරන්න පුළුවන් හොඳම, පළවෙනිම දේ තමයි ඔය ඔක්කෝටම අදාල පරිසරේ චේන්ජ් කරන එක. සිම්පල් නෙ. දාගන්නවා වන් ඩේ ට්‍රිපක්.ගත්ත බයිසිකලේ. ගියා රවුමක්.




නැත්තන් බුක් කලා ට්‍රේන් එක.ගියා!





ගමන ඉවර කරලා එනකොට හිතේ තිබ්බ අලකලන්චි වලින් සැහෙන ප්‍රමාණයක් වැනිෂ්!වෙහෙස මහන්සිය, දුක, සාංකාව කියන ගොඩක් කාරණා වලට මේ ක්‍රමය අත්දුටුවයි!සත්තයි!



අනිත් කැතම කතන්දරේ තමයි මෙහෙම අවුලක පැටළුණාම අපි හිතන්නෙ ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවකට ඕකට මූණදුන්න මිනිස් ප්‍රාණියා තමුන් කියලා. එහෙම නැත්නම් අපිට තමයි නරකම දේ සිද්ධ වුණේ කියලා. 



වැරදියි! 

වැඩි දුරක් ඕන නෑ ළඟ ළඟම ඉන්න කීප දෙනෙක්ගෙන අහලා බැලුවොත් ඔයිට හපන් ස්ටෝරීස් බර ගාණක් හොයා ගන්න පුළුවන් වෙයි.ජංජාලෙ පොඩ්ඩක් කරක් හැහුවොත්, නැත්නම් ඔයාගෙ වීරයින්ගෙ ලිස්ට් එකේ ඉන්න අයගෙ ජීවිත කථා පොඩ්ඩක් හොයාගෙන කියෙව්වොත් ඔයට තේරෙයි ඔයාගෙ ජීවිතේ කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද කියලා. :p






   තව ක්‍රමයක් තමයි පැත්තක් අල්ලගෙන ටිකක් කල්පනා කරලා ඔය සෝක ජනක අවස්ථාවෙ මූල බීජෙ හොයා ගන්න එක. එතකොට ඔයාට පුළුවන් මොන දේ හින්දා ආයෙ අප්සට් වුනා වුණත් ඔය හේතුවටම අප්සෙට් නොවෙන්න මාර්ගයක් හොයාගන්න.ඒකත් නරකම නෑ නේද?

ඔය කෝකටත් වඩා හොඳමම දේ තමා නිහඬව කාලයට ගලාගෙන යන්න දෙන එක. ගොඩක් අය මාත් එක්ක එකඟ වෙන්නෙ නැති වෙයි. 

ඒත් තමන්ට අදාල නොවෙන හරි, තමන්ට කොහෙත්ම පාලනය කරන්න බැරි හරි, අතාදාන්න ගියොත් තව තවත් වර්චස් වෙනවා වගෙ පේන හරි ප්‍රශ්ණයක් නම් කරන්න තියෙන හොඳම දේ තමයි නිහඬව ඉන්න එක. කියන තරම් ඒක ලේසි නෑ තමයි. ඒත් දවසක ප්‍රශ්ණෙටම උයාව එපා වෙලා දාල ගිහාම දැනෙන සැහැල්ලුව, සතුටට ඔයාටම හිතාගන්න බැරි වෙයි. අර සෆරින් වලට වෙන් කරන්න තිබ්බ කාලෙ ඔයා වැඩකට ඇති වෙන වැඩකට යොදවලා තිබ්බ නම් .... 

සුහ්හ්හ්!

ඕන සෝකයක් උපරිම ප්‍රීතිය බවට පත් කරගන්න මන්තරේ ඔයා හොයා ගත්තා වාගෙ තමයි! :D



හප්පා! වැරදි කොන් අලාගන්නවා හෙම නෙවෙයි ඕං!. :D

මේ උපදෙස් දෙන්නෙ මම සදා සුවෙන් සතුටෙන් ජීවත් වෙන මනුස්සයෙක් හින්දා නෙවෙයි. ඒ වුණාට ප්‍රශ්ණ එන්නෙ මිනිස්සුන්ට කියලත්, වැඩි හරියක් ඒවා මිනිස්සු හින්දා කියලත්, ඉතින් උත්තරේ හොයාගන්න ඕන මනුස්ස ගති ඇසුරෙන්ම කියලත් දන්න හින්දා., ඔය මොක මොක හරි කරලා මගේ විදිහට ජීවිතේ ගෙවලා දාන්න මම පුළු පුළුවන් හැම වෙලේම ට්‍රයි එක දෙනවා.

කාගෙවත් රූකඩයක් වෙලා කල්පයක් ජීවත් වුණත් මොකටද ආයිබොවන්ඩ?

අපිට ලෝකෙ මිනිස්සු හිතන පතන විදිහ වෙනස් කරන්න බෑ තමයි. ඒත් අපිව වෙනස් කරගන්න බැරි කමක් නෑ නේද? 

පොඩි කැපකිරීමක සතුට අවුරුදු ගානක සැනසීමක් දෙයි ඔයාට .



කරලම  බලන්නකෝ!!!!

(රහසක් කියන්නද? අපි සතුටෙන් ඉන්නවා දකින  එක තරම් දුකක්, දඬුවමක් ඔයාගෙ ප්‍රශ්ණ වලට නෑ තවත් නෑ. ;) )

Monday, December 28, 2015

කාලෙකට පස්සෙ බ්ලොග් ලිවීල්ල පටන් ගන්න හිතුවා!!!!!!

කාලෙකට පස්සෙ බ්ලොග් ලිවීල්ල පටන් ගන්න හිතුවා.පොඩි ඉස්ටඩියකුත් කරගෙන යනවා. ඒ ගැනත් ඉදිරියට සටහන් ලියවෙයි.ඉඳිකට්ටා, යෝධයා ගැනත් නොලියවුණු කතා බෝමයි.

බලමුකො ඒනම් ! 
ජය වේවා කිව්වා!

Saturday, May 31, 2014

වජිරපාණී 2

       
             
                  කොහොමත් ඔය හුරතල් කිරිලි, නැලවිළි වාගෙ දේවල් මගේ ජීවිතේ තිබ්බෙ බොහොම අඩුවෙන්. බාලයාය කියලා මල්ලිටත් , වැඩුමලීය දක්සයාය කියලා අක්කටත් බෙදිලා ගිහාම මට ඉතුරු උණේ සොච්චමයි. එච්චරකට ඉගෙන ගන්නත් බැරි එකේ, මටය කියලා තේරෙන වයසක ඉඳන් අගේ කරන්න කියලා දෙයක් තිබ්බෙ ලස්සන විතරයි කියලා මම තේරුම් ගත්තද එහෙම නැත්නම් මං ගැන මම වත් අගේ කරන්න පාරක් හොයමින් ඉද්දි මට ඒක හම්බ වුණාද කියන්න මම දන්නේ නෑ.
   
          අපේ අක්ක ලස්සනත් නැ එහෙමට.අක්කයි මායි එකට තිබ්බම අක්ක නගෝ කියලා අඳුනගන්න පුළුවන්කම තිබ්බට මාව කොතනත් කැපිලාපෙනුණා රූපෙ හින්දා. අක්කට ඒක ගැන තරහක් ඉරිසියාවක් තිබ්බද කියන්න මම දැනගෙන උන්නේ නෑ. ඒත් එක පුන් සඳින් දුරු වෙයි ගනඳුරු කිව්වා වාගෙ පරම්පරා හතකට හරියන්න දස්සකං රාසියක් අපේ අක්කට පිහිටියෙ කොහොමද කියලා හිතන්නවත් බැරි තරමට මගෙ හිතේ කේන්තියක් වාගෙ දෙයක් පිරිලා තිබ්බෙ ඉරිසියාවට වෙන්න ඇති කියලා අද හිතද්දි මට දැනෙනවා.

         කවියට ගියත්, කතාවට ගියත්, නැටුමට ගියත්, ඉගෙනිල්ලට ගියත් හැම තැනම අක්කා පළවෙනි. එයා ඉසිස්සරෝම ප්‍රේමවන්තයෙක් හොයා ගනිද්දි වයස හරියටම දහ අටයි. මට ඒක එච්චරම මතක "මම නම් ආදරේ කරන්නෙ අවුරුදු දහ අට පිරුණට පස්සෙ" කියලා එයා ගෘහමූලිකයාණන් සහ මෑණියන් දෑ ඉදිරියේ එක දවසක් කරපු ප්‍රකාසේ මට හොඳට මතකෙ තිබ්බ හින්දා. තිබ්බ හොඳ නම ඔප් නංවා ගන්න චේතනාවෙන් එහෙම කිව්වා කියලා හිතුණට අනේ මෙයා දිහා බලන කොල්ලෝ කියලා මට අනිත් පැත්තට හිතුණා.

    එයාගෙ බොහොමයක් වැඩ වාගෙ ඒ ප්‍රේම ප්‍රකාශය සහ හතර වරිගයාට දැනුම් දීමත් හෙනම සාම්ප්‍රදායික වුණා. යාළු වෙන්න අඬගහන කොල්ලගෙ වග විස්තර ටික අම්මට කියලා තමයි එයා පළවෙනි හමුවට ගියාය කිව්වෙ. පහුවදාම කොලුවට කියලා තිබ්බා ගෙදර ඇවිත් අප්පච්චිගෙන් අවසර ගත්තොත් කැමැත්ත දෙනවා කියලා.

             විගඩං! මේවට කැමති වෙන මිනිහත් මෙයාටම හරියන දොන්ත පතාර් මොට්ට බතලයෙක් වෙන්න ඇති කියලා හිතුවට උන්දව දැක්ක වෙලාවෙ නම් මට අදහා ගන්න බැරි වුණා.

...................................................................................................................................................................
ප.ලි.

      ප්‍රලාපයකුත් නොවන, නොවන්නේද නොවන දිග කතාන්දරයක් ලිවීමේ ආසාව හිත කොනක පැහැවන්නේ කලක සිට ය. මේ වෑයම රජ වෙන්නට නොවේ කියා ත්‍රීවීලයක ලියා තිබූ වාක්ය දුටු දවසේ ඔන්න ඔහේ ලියා දමන්නෙමියි හිතා, දන්නා කියන හිත් ගත් කතාන්දර කීපයක් එක මල්ලක දමා අහඹු වීදුරු බෝලය ගන්නා විදියෙන් එක එක එළියට අදින්නට හිතාගත්තෙමි. කරදර වී කියවන්නට එන යන උන්දලා තවත් අපහසුවකට පත්වන්නේ නම් කමා කරත්වා!

Friday, May 30, 2014

වජිරපාණී 1

      

     මල්ලි ඉපදෙනකොට කළුම කළු  ලු. කෙට්ටුලු.ආච්චිගෙ නෑනා වෙන ආච්චි කෙනෙක් මල්ලිව වහලා තිබ්බ කූඩෙ ඇරලා ඇහුවලු අනේ මේ ළමයට පාණ්ඩුව වගේ නේද කන්නක්කෙ කියලා. මට ඔය කතා එච්චර මතක නැත්තෙ ඒ වෙද්දි මට අවුරුදු දෙකක්වත් නොවිච්ච හින්දා. ඒ වුණාට කෝටු අතපය තිබ්බ මල්ලිත් දොක්කගෙන අම්මා බැරි බැරි ගාතෙ ත්‍රීවිල් එකකින් ගෙදරට ගෙනාව හැටි චායාවක් වගේ මගේ හිතේ ඇඳිලා තියෙනවා.



           ආච්චිට කන්නක්කා කිව්වෙ ගම කන්නාදෙණිය හින්දා.ආච්චි දීග ඇවිත් තියෙන්නෙ ඇතෙකුත් එක්කලු.එච්චරකල් ආසාවට කර කර උන්න අට පාස් අයට ඒ කාලෙ දුන්න නර්ස් රස්සාවත් අත ඇරලා තියෙන්නෙ සීයගෙ අණඥාවට.ඉරිගේෂන් එකේ චීෆ් ක්ලාක්ගෙ නෝනා මොකටද රස්සාවට යන්නෙ. ගොඩින් අක්කර ගාණයි, මඩින් අක්කර ගාණයි නුවර පාර අයිනෙ කඩ කාමර හතරයි. හාල් පොල් ගෙදරම. මොන රස්සාද තව. එංගක්කා ඒ කිව්වේ සීයගෙ අම්මා කියලා තියෙන්නෙ එහෙමයි.
     

         වෙද මුලාදෑණියෙක් වෙච්ච අපෙ මුත්තා , ඒ කිව්වෙ ආච්චිගෙ සීයා කාලෙ තාලෙට වඩා ඉස්සරහින් හිතපු කෙනෙක් වෙන්න ඇති කියන එක මට හැමදාම හිතිච්ච දෙයක්. නැත්නම් අටේ පන්තිය වෙනකල් හරි ඉස්කෝලෙ යවලා, රස්සාවකටත් යවයි යැ පවුලෙ වැඩුමල් ලමිස්සිව.අනික ආච්චිගෙ සුකුරුත්තං වැඩවල, සීය එක්ක උණත් නොහොඳ නෝක්කාඩු වුණාම ගස්සන ඔරවන රටාවෙම අමුතු තාලයක් තිබ්බා. සමහර වෙලාවට මාවත් මුනින් හරෝපු වංගෙඩිය උඩ වාඩි කරවගෙන සීයට බනින්නෙ හිටිවන කවි හද හද. අනේ ඇත්තට එහෙම  කාලයක්.

Sunday, May 4, 2014

ගල්

                           ඉරිදා හවස කාලෙකට පස්සෙ ගෙදර හිටියා. දවාලට කද්දි හතරයි. නන්දා සාලෙට වෙලා "ඔබයි රම්‍ය සඳ කිරණ" කියද්දි සාෂයි, මනෝරම්‍යගෙ බබියි හුඟ කාලෙකට පස්සෙ සැටියට ඇවිත් නුගේගොඩ ටවුන් එක මැද්දෙ සිපාචාර කරන හැටි මතක් කරලා දුන්නා.

    මාස ගානක් තිස්සෙ මටම අමතක වෙලා හිටිය මං බයෙන් බයෙන් සැටිය පිටිපස්සෙන් මතු වුණා. මට මාව එළියට දාගන්න මෙච්චර කල් හොයගෙන යොදාගෙන උන්න මාධ්‍යය ගැන මට අලුතෙන්  ප්‍රශ්ණ කරන්න හිතුණා. "මේ මම මුලින් දැක්ක කෙනා නෙවෙයි වීතරාගි" කියලා ඉඳිකට්ට කිව්වෙ ඒ නිසා වෙන්න ඇති.

සමීපතමයො නොවුණත් දන්න කියන දෙන්නෙක්ගෙ දිවි නසාගැනීම්, ගෙදරින් දුරස් වීම, රස්සාවෙ වියළි බව, ඉඳිකට්ටාගෙ ස්ථාන මාරුව, තවමත් සෞම්‍යාලෝකය මිලදීගන්න බැරි වීම, ආදී එකී නොකී කාරණා සහ හඳුනා නොගත් ශේෂ කාරණ ලක්ෂ ගාණකට පස්සෙ මම ගල් වෙලා බව මට දැනෙනවා කියලා මම ඉඳිකට්ටට කිව්වා. මට එයාව පේන්නෙත් වටදාගේක කලුගල් කණුවක් වගේ.උස මහත විතරයි.වල් ඉස්ට්‍රෝබෙරි මලක් වගේ ග්‍රේගරි වැවේ බංකුවක් උඩ වාඩිවෙලා හිනාවුණේ මේ ඉඳිකට්ටමද කියලා මම ආයෙම සැරයක් හැරිලා බැලුවා.

  මහා පිපිරුමෙන් පස්සෙ ගෙදර ආයෙමත් සන්සුන් වෙලා. මල්ලිට දුවෙක්.නංගිට ලැප්ටොප් එකක්. කෙල්ල නලවනවා ඇරෙන්න අපිට වෙන වැඩක් නැති තරම්. විසිහතර විසිපහ වයසෙදි හිතට ඇවිත්  මැකිලා ගිය මවුවත්කමේ ශේෂ ලකුණු ආයෙත් අතු ඉති දාගෙන එනවා.

මිත්‍රවරුණි! 
මේ ඔක්කොමත් එක්ක වීතරාගීට ආයෙත් පණ ඇවිත්.... :)