Monday, July 25, 2011

නිරාශා


නිරාශා පිළිබඳ සිහිවන විට අදත් හිත පුරා පැතිරී යන්නේ නොසියුම් හිරියක්.අවසන් වසර ප්‍රායෝගික පුහුණුව අතරතුර සතියකට වරක් පැමිණ අප භාරයේ ප්‍රථිකාර ලබමින් සිටි ඇය පිළිබඳ මතකය අදටත් මා මෙන්ම කණ්ඩායමේ අනෙකුන් තුලද නිරන්තර සිහි කැඳවීම් නගනු ඇති වග නිසැකයි.උපතින් සාමාන්‍ය දැරියක් වූ ඇය වෛද්‍ය විද්‍යාවේ ම අත් වැරැද්දක් නිසා අප හමුවන විටත් මානසික ව්‍යාකූල තාවයකින් හා වයසට සරිලන කායික මානසික නොවැඩීමේ තත්වයකින් වසර 12ක් පමණ පීඩා විඳිමින් සිටියා.

කිසිවකු හා කතා බහ නොකරන,කිසිවකු හෝ කිසිවක් කෙරෙහි ප්‍රියතාවයක් නොදක්වන ,පෙර දැනුම්දීමකින් තොරව දැඩි ආවේගශීලීස්වභාවයකින් හැසිරෙන මේ යුවතිය වසර 12ක් තිස්සේ පවුලේ සියල්ලන්ට හා අසල්වාසීන්ට හිසරදයක්ම වූ බවක් පෙනෙන්නට තිබුණා.කෝප වූ විටෙක අසුවන අසුවන දේ පොළවේ දමා ගසන ඇය,විටෙක ශීතකරනයේ වූ සියල්ල බිමට ඇද දැමීමටත්,සරසවි සිසුවකු වූ බාල සොයුරාගේ පොත් පත් ඉරා දමන බවටත් පැමිණිල්ලක් ඇගේ මව මුල්වරට අප ඉදිරියේ තබා තිබුණා.පලමු හමුවේදී කතිකාචාර්‍ය වෛද්‍යවරයා ඉදිරි පිට අසුනේ වාඩිවීම පවා ඇය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා.අධික පවිත්‍රතාවය කෙරෙහි සැලකිලිමත් වූ ඇය ප්‍රතිකාරය දැඩි ලෙස ප්‍රතික්ශේප කලේ අප අපහසුවට පත් කරමින්.එහෙත් කාරුණික වෛද්‍යවරයා අපද විස්මයට පත්කරමින් වේගයෙන් ඇය ප්‍රථිකාරයට හුරු කිරීම අරඹා තිබුණා.

දෙවන දින ඇය දෙතුන් වරක අප්‍රසාදය පල කිරීමෙන් පසු ප්‍රතිකාරයට එළැඹී තිබුණා.මගේ හිතවත් වෛද්‍ය සිසුවියන් දෙදෙනා සමඟ මා කතිකාචාර්‍යවරයා සමඟ දිගින් දිගට සංවාද පවත්වමින් සිටියා.ඇයගේ රෝග තත්වයට පාරම්පරික සම්බන්දයක්ද පැවති බව අප හඳුනා ගත්තේ එහිදීයි.ඇගේ මිත්තනිය උත්සවයකට සහභාගී වීමේදී ආහාර ගැනීම පිණිස අවැසි හැඳි ගැරුප්පු නිවසින්ම රැගෙන යන බවත් දිනකට 25 වතාඅවකට ආසන්න වාර ගනනක් දෙ අත් දෙපා සෝදන බවත් නිරාශාගේ මව අප සමඟ පවසා සිටියා.තෙවන දිනයේ නිරාශා මගේ මිතුරිය සමඟ සිනා සී තිබුණා.

නිරාශා අපව පුදුමයට පත් කලේ සුළු මාත්‍රාවන්ගෙන් නොවේ.වරෙක ඉතා සියුම් මැහුම් ගෙතුම් රටාවන්ගෙන් ඇය විසින්ම හැඩ කළ ඇත් රුවක් අප වෛද්‍යවරයා වෙත තැගි කර තිබුණා.එය ඇය වැන්නියක විසින් සිදු කළ වගක් ඇගේ මව විසින් තහවුරු නොකරන්නට අප කිසිසේත්ම නොපිලිගන්නට තිබුණා.මගේ මියගිය මිත්තනියගේ මැහුම් රටා සහිත පොතක් ඇයට තැගි කරන්නට මගේ සිත බල කරන්නට ගත්තේ ඉන් පසුවයි.කථිකාචාර්යවරයාගේ අවසරය මත අප දිනක් එය ඇය අතට පත් කළ විට"ස්තූතියි..ඒත් මේක පරණයි"ඇය සිනා මුසුව එය ප්‍රතික්ෂේප කලේ අප සිනා ගන්වමින්.

ක්‍රමයෙන් නිරාශා කතිකාචාර්‍යවරයාට දුරකතනයෙන් අමතා ප්‍රතිකාර සහ අනෙකුත් ඕපා දූප දෙඩවීමෙන් සිනාසීමට කරුණු සොයනා සාමන්‍ය යුවතියක බවට පත් වෙමින් සිටියේ අප පුදුමයට පත් කරවමින්.විටක ඇය "චූටි ඩොක්ටර්ලා"මතක් කිරීමටද අමතක කර තිබුණේ නැහැ. තරුණ විය පසු කරමින් සිටි ඔහු ඉන් මද අපහසුවකට පත්ව සිටින බවත් ඔහුගේ විස්වාසවන්ත ගෝලයන් වන අපට ඔහු යාන්තමින් හඟවා තිබුණේ එය ඇගේ රෝගයේ නවතම මුහුණුවරක් ලෙස හඳුන්වා දෙමින්.

ඇගේ මව ඉතා ප්‍රීතිදායක් බවක් පෙන්වමින් සිටියා.රැලි වැටුණු ඇගේ දෙනෙත් අග වෙනදා නොවූ සිනා දිලිසෙමින් තිබුණා.හෙට යැයි කියන දිනයක නිරාශා ප්‍රතිකාරයට පැමිණීමට නියමිතව තිබියදී'යි ඒ තටු ලැබූ ආරංචිය අප සොයා පැමිණියේ....

ආහාර ආසාත්මිකතවයක් නිසා ඇතිවූ වමනයට ප්‍රතිකාර ලැබීමට රෝහල්ගතව සිටියදී නිරාශා අධික විජලනයවීමකට ලක්ව ජීවිතයෙන් සමුගෙන තිබුණා....

අවසන් වසර පරීක්ෂණයට සූදානම් වෙමින් සිටි අප දැඩි කම්පනයට පත් කරන්නට ඇය සමත්වී සිටියා.කථිකාචාර්යවරයා පවුලේ හිතවතෙක් ලෙස ඇගේ මරණයේ සියළු කටයුතු වලට හැකි ලෙස සම්බන්ද වී සිටියා.අප ඇගේ නිවසට යන විටත් අසල්වාසීන් සමඟ ඇගේ වූ නෝක්කාඩුව නිසා අප හැරෙන්නට එහි රැඳී සිටියේ ඇගේ සොයුරාගේ සරසවි මිතුරන් කිහිප දෙනෙක් පමණයි."සුදූ මේ... චූටි ඩොක්ටර්ලා..."ඇගේ මව අප ආපසු එන විටත් ඉකි ගසමින් සිටියා.

නිරාශා!අදට ත් ඔබ කිසිදු ලෙසකින් සුව නොවන,දරුණු වණයක් වැනි යමක් මා හදවතේ පාර පාරා ,රෝහල් කොරිඩෝවේ ඔබ සිනාසෙමින් සිටින දසුන මා හිරි වැටීමට පත් කරනවා.ඔබට නිවන් සුව !

Monday, June 27, 2011

ස්ස්ස්ස්ස්ස්.....!


ඉතාම ඇත අතීතයක ,හරියට ම ප්‍රොමිතියස්ගේ කාලයටත් පෙර ,කුඩා දූපතක පිහිටි ප්‍රාන්ත රාජ්‍යයක හුරුබුහුටි යුවතියක් වාසය කලා.තරමක් උගත් ,නමුත් අප්‍රවේශම් කාරීව වචන හසුරුවන.ජීවිතයේ ඉතාම දරුණු යැ'යි තමන්ම කියාගත් හැලහැප්පීම් වලට මුහුණ දුන්න මේ කුමාරිට අහම්බෙන් දිනක් සුරදූතයෙක් මුණ ගැහුණා.සුරදූතයා කුමාරිකාව හඳුනා ගත්තා.ඇගේ දුර්වලකම් හඳුණා ගත්තා.නුදුටුවා සේ සිටියා.අවැසි විටෙක ,උපදෙස් පතනා විටෙක,උපදෙසුත් දුන්නා.වචනය හරිම බලවත්!යුවතිය අවබෝද කරගත්තා.

දිනක් සුරදූතයා සමඟ දේව හමුවකට යන්නට කුමාරිකාවට අවස්ථාව ලැබුණා.සබාව අසාමන්‍ය විදිහට නොසන්සුන් .දේව දූතයන් වචනවලින් දමා ගසමින් එකිනෙකාගේ හිතවත් කම් දවා ගනිමින් සිටියා.දේව සබාවක මිනිස් දුවකට කළ හැකි යමක් නැහැ.යුවතිය තම අතේ තිබූ බට නලාව හෙමින් වාදනය කරන්න පටන් ගත්තා.

සුරදූතයන් නිහඬ වුණා .නිහඬ
තාවය මැදින් මිහිරි සංගීත රාවය සුර හිත්,හිස් මතින් ගලාගෙන ගියා.පුරුදු සාමය ම නොවුනත් සියල්ලන්ටම සතුටින් විසිර යන්නට මග සැලසුණා.අන්තිමට දේව සබාවේ නායක තැන යුවතියට එහි සංගීත සපයන්නියගේ තනතුර පැපිරස් පත්‍රයක ලියා පවරා දුන්නා.

වචනය බලවත් !
ඇත්තයි.

ඒත් නිහඬ බව ඇතැම් විටෙක ඊටත් වඩා බලවත් ...... :)

Sunday, June 19, 2011

අන්දකාරය සහ නිල් ඇස.


ඉඳිකට්ටා ආයෙමත් ඇවිත්.අවසානයක් නොපෙනෙන සුරංගනා කතාවක අත් පිටපතක් ඇතුලෙන් ආදරේ අලවලා ,ඒක නමක් ගමක් නැති රසකැවිලි පාර්සලයක් උඩින් තියාගත් , මං ලෝබයෙන්.අප්‍රමාණ ප්‍රේමයෙන්.ගැලවී යන්න සූදානමින්.ඇලවෙන්න ඉතා සූදානමින්.හීනි ඇස් ඇති බෝනික්කෙක් සහිත හීන නිතර නිතරම දකිමින්.

වේදිකාව ආයෙමත් අඳුරු වුණා.මේ දෙවන දර්ශනේ.මංගල දර්ශනේට එන්න බැරි වුණා.බැරි වුණා ම නෙමෙයි.හිතලම මග ඇරියා.ජනතාව අඩුයි .අඳුනන මූණක් නැතිම තරම්.ඇස් දෙකක් ඇවිත් සද්දන්ත වේදිකාව උඩ නැවතුණා..........

ගායක් පිරිස නිහඬයි.ප්‍රේක්ෂකාගාරෙත් නිහඬයි...............


මං ඉතා තදින්,සෙමින් හුස්ම ගනිමින්....../........../............./............../....................../

එක්වරම ........

ආයෙමත් ආලෝකය දැල්වුණා.
මහා හඬින් සිම්බලයක් නාද දුන්නා....////////////////

මද්දලය හා ඒකාත්මික වෙච්ච ගීත හඬ වේදිකාව ඉක්මවමින් ප්‍රේක්ෂකාගාරයත් දෙදරවන්න ගත්තා.
//::/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:///::/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/

................................................................................................................................................

ඉඳිකට්ටා ඉතා සියුම්ව මගේ ඇඟිලි තුඩු අල්ලාගෙන.
නිහඬවම.
තවමත්,
වේදිකාව අඳුරු වූ මොහොතේ සිටම..............

ඉතින් රසකැවිලි ගැන නොහිතා කොහොමද ? :)



Saturday, June 4, 2011

මතක ! මතක! මතක!



දවස් ගත වී හෙමිහිට
හෙමි හෙමින් විත් ළඟට ම
ඉස්සර වගෙයි තාමත්
හිත තැති ගැනෙන තරම ද

විරිත්තා හිනැහෙන
මෝඩකම් නැති මෝඩයා ඔබ

ලියන්නට මුළු හිත
සයිබර් තාප්පේ වට
හිතා පෙර එක දවසක
ඉඳිකට්ටාන ඔබ ගැන
ලීවා නොවේ කවි
ලියවුණා පද නොදැනිම

ඔබ ඒ මගම පහලට
මම හති දමන් ඉහලට
රතුම රතු මල් කුඩ
පාට බොඳ වූ දම් කුඩ
අඳුරු වත ඇති නෙක නෙක
කතා වී ඒ පෙර දින ;

මහතා කතන්දර
ලියා බෝ රස විසිතුර
ඇද ඇද එරස මුසු බස
පිනා ගිය වග වීය මුල් පොත

ගඩොල් සකිසඳ ඔබ ගැන
ලියන්නට ඇත නෙක පද
සයිබරේ මගතොට
පළමු සිනහව ඔබෙන් වූ සඳ

පැන්ඩා බඩ තඩි අහිංසක
සොයා රස රස උණ කොළ
විත් දුක සැපද විමසන
හද බසද හැඳිනීය නිවරද

සැම් හිත හොඳ දොස්තර
නාටකා වග විස්තර
පුම්බා මාව උස්කර
හදේ රැඳි වග කියමි මිත්තර ;)

සිතට සීතල දනවන
නෙතට
Link
තෙතමන ගෙන එන
පිණි බිඳු
පුංචි මිතුරිය
සිහිකරමි ඔබ ලතෙත් හැඟුමින


මධුරංග කොළුවා
අමතක කරනු බැරුවා
කොමෙන‍්ටුද කෙරුවා
හිත මිතුරුකම් සිතේ දැරුවා

යකා මුත් යකු වැඩ නැත
බුකවූ මූණ හැඩ නැත ;)
සාතා හදේ මුදුනත
සිටී නිති කිති කවයි හද මස

කතා නොදමමි කෙලෙසක
ටැබූ ඔබ වග විස්තර
පිපාසාවට දිය
විලස සෙව්වෙමි ඔබ කතන්දර

ටොපි ලියන රචියාද , දිවි දුක
"දුකා" නම ගෙන ලියන සකි සඳ
ප්‍රේමයෙන් ආතුරවු දන හද
තවන සනසන "ලිශා" "හිපි" නම

නිබඳ සමරමි සමර නම මම
අකුරු අතරින දිවි පොහොනි කළ
රසවතිය හා වචන ටැක්සිය
රස මගේ මා දුරක ගෙන යන

සුනේත්තරා ඔබ නම
සටහනක් පමණක්ම තබනෙමි
ලියන්නට බස සවි නැති
ගොලුවතක් පා නිහඬවම යමි

ලියා මෙහි මේ පද
තුති පුදමි නම නොදත් ඔබටද
ආවා ගියා වුව
තබා ගිය අඩි ඇතිය සුරැකිව

වීතරාගී නම ගෙන
ලියා ලා නෙක නෙක පද
සිස් කරන්නට හද ගැබ
සයිබරේ ඔබ වීය පන්හිඳ


මිත්‍රවරුණි! මේ වීතරාගීගෙ පනස්වෙනි පද ගැට ගැහිල්ල.ස්තූති
වන්තවෙන්න ඕනෙ හැමෝටම.තිස් තුනක් පදිංචිකාර මිතුරන්ට,"ආවෝ-ගියෝ" වුණ මිතුරන්ට .හිත් සැහල්ලුව සැහල්ලු වුණා. සම හද ඇතිවුන් හමු වුණා.සතුටුයි අපට අප්‍රමාණව. :)

Saturday, May 14, 2011

Xy සිනමා! :)))))))))






ආය දෙපාරක් හිත හිත හිටියෙ නැහැ.දැම්ම සඳුදත් නිවාඩු.කැන්සල් කර ගත්තා ඉරිදා උදේ රාජකාරියත්.ඕං අමා නිදහස්.ඉරිදා දවස නිදා ගැනීමට සහ ප්‍රියතම විනෝදාංශය වෙච්ච්ච බලාගත් අත බලා සිටීමට.අස් පස් කිරිලි කීසිවක් නොමැත.අම්මගේ නැදැ ගමන සහ ගෙවල් බලන්නට යාම පසුවට සලකා බලනු ලැබේ.


සඳුදා ඉඳිආප්පෙ එන එකක් නැහැ. ඒ හින්දම එදා අස් පස් කිරිලි,රෙදි සේදීම්,මූණ කට හැඩ වැඩ කරගන්න කටයුතු සහ රාජකාරී කටයුතු වල මඟ හැරුණු තැන් පියවීම්.

ඊට පස්සෙ වෙසක්.සිල් ගන්න සැලස්ම ස්ථිරයි.

ඊටත් පහුවදා සැලසුම් රහිතයි.

අමා මේ දවස් වල සතුටින්.ඉස්සරට වඩා බොහොම.හීන් දුකකුත් නැතුවාම නෙවෙයි.ඉර හඳ තාරකා අතට ගන්න බැරි බව දන්නවා තමයි.ඒත් ඇහැට පේන දුරක තිබීමත් සතුටු වෙන්න කාරණාවක් නේද?:D

අපූරු වීඩියෝවක් දැක්ක පහුගිය දවසක.ඒක අපූරුයි කියන්නෙ අපූරුම අපූරුයි.:)))))))))))))බලන්නලාකෝ!

Sunday, May 8, 2011

"රිබන් ඉඳි ආප්පෙ"


ඉඳිකට්ටා

ඉඳිකට්ටෝපහාරය

ඉඳිකට්ටෝ.අපි ඔක්කොම පව් නේද?



ඉඳිකට්ටගෙ නම වෙනස් කළා ඕං...."රිබන් ඉඳිආප්පෙ".කොටයි මහතයි ඉස්සර නම්.දැන් පට්ට කෙට්ටුයි.මහත් වෙන්න දෙන්න හිතෙනවා හාදු දාහක්.;)


වීතරාගී ඉන්නෙ අදහා ගන්න බැරි තරමේ ප්‍රීති ප්‍රමෝදයක් සහ පශ්චත්තාපයක් සම්මිශ්‍රන මානසික තත්වෙක.බර පතල වැඩියි වගෙ පෙනුනත් ඒක එහෙමමයි.

පව් අප්ප මගෙ ඉඳිකට්ට.එයානම් ඉතින් මගෙ විතරනෙ.ඒත් මේ ඉඳිආප්පෙට අයිතිකාරයො ගොඩයි.සමහරුන්ට ඕනෙ අල හොදි.සමහරුන්ට සම්බෝල.සමහරුන්ට ඇඹුල් තියල්.තව අයට පොළොස් පැහි.ම්හ්හ්!ඔක්කොම හදන්නෙ ඉඳි ආප්පෙව ඉවර කරන්න.එහෙම වුණාම හරිද?.දුකම කාරනාව විහාර මහා දේවි වෙලා බිලි වෙන්න පුළුවන් තත්වෙක ඉන්නෙ මම විතරයි.බිලි වුණාමයි කියමුකෝ.ඒත් ඉඳිකට්ටව නැති වෙනකොට මට බලන් ඉන්න පුළුවන්ද.වීතරාගී කෙනෙක් මේ ලෝකෙට ආවෙ ඉඳි කට්ට නිසාමයි නෙ.

වීතරාගීගෙ හිතේ අස්සක හිටිය පිස්සු පූසා සහ තවත් චමත්කාරජනක කතාකාර ජනතාව එළියට ගත්තෙ ඉඳිකට්ටා.දුක නැති කරන මග කියල දුන්නෙ ඉඳි කට්ටා.ලෝකෙ නුදුටු ලස්සන පෙන්නන මැජික් කැමරාව ගෙනත් දුන්නෙත් ඉඳිකට්ටා.ඇයි වදේ අර දුක වාෂ්ප කරන හිනාව.සූහ්......ඔහොම අමතක කරන්නද අප්පා.මට බැ බැ බැ මයි ඕං.

දුරස්ත භාවයේ බලවත් කම ගැන මේ ළඟදි මං මහා දේශනයක් ඇහුවා.ඇත්ත.දුරස්ව ඉන්න තාක් අපට වස්තූන් සහ පුද්ගල චරිත ගැන නිකැලැල් ඇහැකින් බලන්න පුලුවන්.දුරින් ඉන්නම්.ඒත් ඇතකට යන්නෙ නැ කියලා පොරොන්දු වෙනවානම් විතරයි.

ඉඳිකට්ටෝ!මං තාමත් ආදරෙයි...... :-*

Tuesday, May 3, 2011

කහ පැහැති ප්‍රේමයක්!


මම ගස් ලබු ගහක් .කිරි තියෙන .මල් ගහක් වෙලා හිටපු කාලෙකුත් තිබුණා මට මතකයි.මල් ගහක් කිව්වෙ මල් ගස් ලබු .කාටවත් පල නැති ගහක්.දැන් දැන් හැමෝම පරිපූර්ණත්වය වනන්න උදාහරනෙට ගන්නෙ මාව.එහෙමයි.ලෝක ස්වාබාවය.නොහිතන දෙවල් හිමි වෙනවා.නොහිතන විදිහට සමහර දෙවල් අහිමි වෙනවා.මටය කියලා ඔය කතාන්දරේ අමුතුවෙන් වෙනස් කරන්න දෙයක් නැ.වියයුතු විදිහටම දේවල් සිද්ද වුණා.
මල් පිපිච්ච කාලෙ වින්ද දුක් ගැහැට අමතක කරලා,හරියටම කිව්වොත් අමතක කරවලා ඇබිත්තන් ගෙඩියක් කඳ බදාගෙන හිටියා එක උදේක.සරසවියම නිදි.නිදි කිව්වෙ කාටවත් ඒක පෙනිලා නොතිබුණ නිසා.සුදුපාට,හරියටම කිව්වොත් රන්වන් කහ පාට.දවසින් දවස මාව වැලඳගෙන ම වැඩෙන්න පටන් ගත්තා.මට මාවම දැනෙන්න ගත්තා.ඉස්සර අහක බලන් ගිය හැඩ වැඩ කුරුල්ලෝ,කිරිල්ලියෝ මගෙ දිහා බලන්න ගත්තා.මම කවි ලිව්වා.රැයක් දවාලක් නැතුව.ඇඟෙන්ම උපන් දේකට කවි ලියන එක සිම්පල්!

මම එයාව පොෂණය කරනවා කියලා හැමෝම හිතුවත් හරියටම නම් එයයි මාව කවා පොවා ඇති දැඩි කරමින් හිටියෙ,සාමන්‍ය පිරිමියෙක් විදිහටම මම ඒ පුංචි ගස් ලබු ගෙඩිය ඉස්සරහ බබෙක් වෙමින් හිටියා විතරයි.දේශන,නිබන්දන,කලර්ස් නයිට්,ක්‍රීඩා උත්සව හැම දෙයක්ම පහු වුණා.ඒ හැම දෙයක්ම පහු කරගෙන කාලෙ විතරක් ඉදිරියටම.

හදිස්සියෙම උදේක වහින්න ගත්තා.එයා මට වාරු වෙලා අහස දිහා බලාගෙන හිටියා.වියයුතුයි කියල සම්මත කිසිම දෙයක් නොවී ම වැස්ස තුරල් කරා.එදා පටන් ගත්ත මහ වැස්ස ඉවරයක් වුණේ නැ.දවස් ගානක් එක දිගටම වැස්සා.මම තෙමී නොතෙමී එයා දිහාම බලන් උන්නා.වැස්ස ඉවරවෙද්දි මගෙ සන්තකේටම ඉතිරි වෙලා තිබ්බෙ එයා විතරයි.ගස් ලබු මලක ඉඳන් අනිත් හැම දෙයක්ම වැස්සට ගහගෙන ගිහින්.

දවසින් දවස එයා තව තවත් රන් වන් වෙමින් සහ "රන් බව" වට පිටාවට පෙන්වමින් වැඩුණා.මම ගසක් නොවී ඒ රන් වන් බව ම පමණක් බවට පත්වෙමින් හිටියා.ගසට පොත්ත සහ ජාඩියට මූඩිය.කොහොඹ කරවිල.

එකෝමත්තෙක දවසක "රන් බව" උපරිමේටම පත් කාලෙක ගහ වටේ කැරකුණ කුරුල්ලෙක් විහිළුවට වගේ හොටය කරකවා ඇ දෙස බලා තිබුණා.ගනන් කල නොහැකි දින ගනනකට පසු ඇය හිටියේ අවන්හලක.
..........................

නැ,ඔබ සිතුවා වැරදියි!

ඇය අවන්හලක රවුම් මේසයක් මත පලතුරු බීමක්(පපායා ජූස්) බවට පත් වී ....ඇය මම ම වූ කල ඒ මගේ ද ඉරණම නොවී තිබුණේ නැහැ.මමත් බෙරි වී ගිය ගස් ලබු ගෙඩිය පාගන්නට ඉඩ දී නිකන්ම නිකන් බලා සිටි බෙරි ළමයෙක් බවට පත් වී සිටියා.අදටත්,තවමත් බෙරිවුණු ඇගේ මුහුණ සහ හොටය කරකවා බැලූ කුරුල්ලා පිළිබඳ පහදාගත නොහැකි හැඟුමින් මම.ඇතැම් විට යසස් පිරි අවන්හලක ඇය මා සමඟ උන්නාට වඩා සතුටින්ද විය හැකියි.නිසැකවම එය එසේද විය යුතුයි! බෙරි වී මා පාමුලම වැටී කුණු වී ගියාට වඩා එය කොපමණ නම් හොඳද?සතුටුවෙන්නට මට ..........