Thursday, January 27, 2011

මහගෙදර කතාව 1





ගෙතිල්ල පහසු කාර්යක් නෙවී.මුලදි මුලදි හොඳ අවදානයෙන් නොහිටියොත් ආපහු කොනක හිටන් වැඩේ පටන් ගන්න වෙනවා.මුලින්ම ගොතන්නෙ දම්වැල.එතනින් එහාට පිරවිල්ල .කාලෙත් එක්ක මේ කෙරුවාව ඇස් පියාගෙන කරන මට්ට්මට කෙනෙක්ට හුරු වෙන්න පුලුවන්.
මම මුලින්ම ගෙතුමක් දැක්කෙ ආච්චිගෙ.ආච්චි ගොතන්නෙ කටු දෙකෙන්.ආච්චි ළඟ ගෙතුම් රාමුවකුත් තිබුණා.ඒක මට අවුරුදු 3ක 4 ක කාලෙ සෙල්ලම් බඩුවක්.අන්තිමටම ඒක තියෙනවා දැක්කෙ පීල්ල ළඟ වැලි ගොඩේ.ආච්චිගෙන් අහගෙන කටු දෙකෙන් යන්තමට ගෙතිල්ලක් ඉගෙනගනිද්දි මම දෙක වසරෙ විතර.ඒ වෙද්දිත් ඉස්කෝලෙ ගිහින් ඇවිත් මට බත් කවන්නෙ ආච්චි.හුරුල්ලො බැදලා,ගොටුකොල සම්බෝල හදලා,කැරට් ඉව්වම මට රාජ බෝජන වගෙ තමයි.මොන බොජුන තිබ්බත් කතාවක් කියලා බත් ටික කැව්වෙ නැත්නම් මට බඩගින්න ගානක් නැති බව ආච්චි දන්නවා.අනික සියගෙ ප්‍රියතම මිණිබිරිය වුණ මාව බඩගින්නෙ තැබිල්ලෙන් දොස් අහන්න වෙන්නෙත් ආච්චිටමනෙ.මට හොඳටම මතක කට පහ රජ්ජුරුවන්ගෙ කතාව.ඒක ආච්චිගෙ ජනප්‍රියම කතාව.

දවල්ට බත් කැවට පස්සෙ සීය ඇඳට වැටෙනවා.ආච්චි ඇඳට යාන්නෙ මාවත් ඇදගෙනමයි.කාපු ගමන් ඇඳට වැටෙනවා කියන්නෙ මට මරන්නා වගෙ.ආච්චිට කරන්නෙ මාව බිත්තිය අයිනට දාල නින්ද යනකල් පිටට තට්ටු කරන එක.තට්ටු හත අටක් යද්දි තට්ටුව ඉබේම නවතිනවා,ආච්චිට නින්ද ගිහින්.හිමින් සැරේ ඇඳ පහලට රූටලා බැහැගන්න හදද්දිම ආච්චිට ඇහැරෙනවා.ආයෙත් මාව නිදි කරවා ගන්නවා.ඒත් කලින් වතාවෙ වගෙම තට්ටු කිරිලි හත අටක් යද්දි ආච්චි නිදි.මම කරන්නෙ ආච්චිව හොලවලා ඇහැරවලා තට්ටු කරන්න කියන එක.අද මතක් වෙද්දි ආච්චි කොච්චර පවු ද සහ මම කොච්චර ඇම්බැට්ට කෙල්ලෙක් වුණාද කියලා හිනත් යනවා.කොහොම හරි ජයග්‍රාහී දෙවන නැත්නම් තුන්වෙනි උත්සාහයෙන් මම ඇඳට පැන ගන්නවා.කෙලින්ම නවතින්නෙ මිදුලෙ.මහගෙදර වත්තම පළතුරු යායක්.මම කරන්නෙ තනියම අහල පහළ තියෙන ගෙඩියක් කඩාගෙන කඩයක් දාන එක.මුදලාලිත් ගැනුම්කරුවාත් මමම තමයි.
සමහර දාට මහගෙදර වී තම්බන්න එන කිරි අත්තම්ම එයාගෙ මිණිබිරිත් එක්කගෙන එනවා.ඒළමයා මට වඩා අවුරුදු 2ක් විතර බාලයි.හොර පූසි වගේ ආ වෙලාවෙ ඉඳන් වට පිට බලන්නෙ.කතා කරාට කතාවක් නැ.දවසක් සීයයි මමයි කොළඹ ගියා.ආ...මට මහගෙදර හිටිය පූසා කාලා ඒකට ඉන්ජෙක්ශන් දෙන්න මාව කාසල් එක්කගෙන ගිය දවස.මම මූණත් බෙරි කරන් ගෙදර එද්දි මෙන්න මේ හොර පූසි මගෙ මල් පිඟානෙ බත් කනවා.ඒ ළමයා ගියාට පස්සෙ ආච්චි මට ඒ පිඟානටම බත් බෙදාගෙන ආවා.මම නෙවෙයි බත් එක දිහාවෙ ඇහැක් ඇරලා බැලුවෙ.සීයත් ආච්චිට දොස් කියලා සීයගෙ රන්පාට පිඟානට බත් බෙදලා දීලා පහුවදාම මට අළුත් පිඟානක් ගෙනත් දුන්නා.(අම්ම අදටත් කියන්නෙ මට තියෙන්නෙ සීයගෙම උද්දච්චකම කියල;)
ඉස්කෝලෙ දෙක වසරෙ ඉද්දි ආච්චි මාවත් එක්කරගෙන ගියා මල ගෙදරකට.එන ගමන් අපෙ ඉස්කෝලෙ හිටපු නපුරුමයි කියලා ප්‍රසිද්ද ගුරුවරියක් සහ ළඟම ඥාතී වරියකගෙ ගෙදර ගියා.එයා "සුදු අක්කේ" කියලා ආච්චිව බදා ගත්තා.කොහොමින් කොහොමින් හරි අන්තිමට වුණේ මාව හවසට හවසට ඒ ටීච‍්රගෙ ගෙදර යැවිල්ල.එයා මාව පන්තියෙ පිටිපස්සෙන්ම වාඩිකරවලා උගන්නනවා.හිටපු ගමන් ප්‍රශ්න අහනකොට පණ්ඩිත කමට මමත් උත්තර දෙනවා.පහ වසරෙ අක්කල අයියලට බැරි දේවල් මේ පොඩි ළම්යා තේරුම් ගන්නවා කියලා "ටීච ආච්චි " හවස බිස්කට් එක්ක තේත් දීලා මාව මහ ගෙදර වැට ළඟට ගෙනත් අරලිනවා.කොහොම හරි පහ වසරෙදි මම ටීච ආච්චිගෙ පන්තියට නොවැටුණ එක අපෙ ආච්චිට හරියට හිතට අමාරුවක් වුණා.මම වැටුණෙ පහවසර -1 පන්තියට.කොහොමද කියන්න දන්නෙ නැ.ඒ පන්තියෙ මට ඉන්න වුණෙ එක දවසයි.පහුවදාම මම ටීචාච්චිගෙ පන්තියෙ.:)
අපේ සීය තමයි ගමෙන් ම මුළින් ම ආනන්දෙට ගිහින් තිබුණෙ.ජපන්නු බෝම්බ දාද්දි ඉස්කෝලෙ ඩෙස්ක් යට රිංගලා කෝටු කටේ ගහන් හිටිය හැටි සීය කියන්නෙ පෙන්ශන් දාට සෝමෙ මාම එක්ක කාමරේට වෙලා කතාව දාගෙන ඉද්දි.මට බෙහෙත් ගත්ත "බංගලාවෙ දොස්තර" සීයගෙ හොඳම යාළුවා.ශිෂ්‍යත්වෙ ළං වෙලා මට හිසරදයක් හැදුණා,මම ඉතින් හුරතලේටත් එක්ක සීයගෙ සරම් ඔඩොක්කුවට පැනලා අඬනවා.සීය ලැස්ති වුණෙ මාව කාසල් අරන් යන්න.කොහොම හරි "බංගලාවෙ දොස්තර"ගෙ බෙහෙත් වලින්වත් කාසල් එකෙන් දුන්න බෙහෙත් වලින්වත් අඩු නොවුන හිසරදය විභාගෙ කිට්ටු වෙනවත් එක්කම ඉබේම සනීප වුණා.ආච්චි කිව්වෙම මගෙ සෙම කර වෙලා කියලමයි.සීය කිව්වෙ මම කළුවරේ පොත් කියවන නිසා කියලා.

Saturday, January 15, 2011

බඹසර

මේ මිටියාවතේ තව කොයි තරම් නම් දුරක් සැහැල්ලුවෙන් ඇවිදගෙන යන්න පුලුවන් වේවිද?

ඔබ ළඟත් පිළිතුරක් නැති බව මම දන්නවා.බල කර පිළිතුරු ඉල්ලන්නත් කැමැත්තක් නැහැ.මිටියාවතක ඔබ සමඟ ගෙවා දමන්නට කලක් තිබීම ම ලැබීමක් නෙවෙයිද?කුරුළු සර, ඇල දොල නෙවෙයි ඔබේ හඬ අසමින්.ඔබ දකිමින්......මිටියාවතේ සිට අහස දකිමින්......අහස හිතනවාට වඩා දුර බව වටහා ගනිමින්....අඳුනාගෙන නොතිබූ ජීවිත බිම්කඩක් අලුතෙන්ම හඳුනා ගැනීම.කොලොම්බස් අත් වින්ද ප්‍රීතියම විඳින මම.
මම කැමතියි ලිවිල්ලෙන් නිරතුරු ආතුර වෙන්න.හැබැයි ඔබ වෙදදුරා හෝ වෙදකම බවට පත් වෙනවා නම් පමණයි.ඔබ කියවන්නා,රස විඳින්නා සහ විචාරකයා බවට පත් වෙනවා නම් පමණයි.ඔබේ කතාන්දර අසල මම අකුරු අමුණන ලදරුවෙක්.තාමත් හෙමින් බහ තෝරන්නටවත් පටන් නොගත්.හඬන්නේත් සිනා මවන ඔබ අසලක සිටිනවා නම් පමණයි.නිරන්තර අඳුර උපතින් ලද උරුමයක් වගේ.කුණු එකතු වෙන්නේ කුණු ඇති තැන් වලට.අඳුරත් එසේමයි.ඔබ මඟ වැරදුනත් පහන් තරුවක්.අඳුරට ලැදි .

අහම්බෙන් හෝ ඔබ නාවානම් .......... ???


ඔබ නාවානම් කොයි තරම් නම් හොඳද?(?????)

ඉරණම කියා මේ සියල්ල ඉස්මුදුනින් පිළිගන්නට තිබුණා මට.අඳුරට අඳුර එක් වීම කිසිසේත් ම අහම්බයක් ලෙස නොසිතෙන්නට තිබුණා. අඳුරට සැහෙන පමනේ පහනක් දල්වාගෙන සැනසෙන්නට තිබුණා.


ඇත්තටම කියනවා නම් විය යුතු ලෙසම ඔබ ආවේ නැහැ.(සිනා)


ඉතින් ඔබ නොපැමිණීම ම වාසනාවක් නේද? (යලිත් සිනා)තවමත් අඳුරේ ඔබ වෙනුවෙන් කුඩා බලාපොරොත්තුවක් පමණක් සහිතව සිටියත් ඔබ නොපැමිණීම වාසනාවක්ම නොවේද?

අඳුරින් සැනසෙන මම.
සුදුසු කල්හි සුදුසු දෙසක සරණ ඔබ!

(පතිරූප දේස වාසෝච )


අතීත කතාව:
මම කැමතියි.ගයන්න,රඟන්න සියල්ලටම.
ඔබ ප්‍රේක්ෂකාගාරයේ රැඳී සිටින තාක්.
...
සේයා:http://www.bing.com/images/search?q=+love+oil+paint&view=detail&id=D2D7E644D3EEC2FA7024FFF7BDFEF5F6FE8E08CF&first=121&FORM=IDFRIR

Friday, January 14, 2011

" සුවඳ සමන් "3


" සුවඳ සමන් "1
" සුවඳ සමන් "2

කාලෙකට පස්සෙ ආයේම පරණ කතාන්දරයක් ඇදලා ගත්තෙ ඇයි කියලා මිත්‍රවරු අමනාප වෙන්න එපා.මේ කියන්ට යන්නෙ අවසාන කොටස.කියන්ට ඉතින් අමුතු කතාන්දරයකුත් නැ.කොටින්ම කියනව නම් ඔන්න සුවඳ සමන්ලා ළඟදි විවාහ ප්‍රාප්ත වුණා.ඒ කිව්වෙ සුවඳ සමන් සහ අමාගේ "අඹ "යෙහෙළිය.අමා ඉතින් ඒ පැත්තෙ ගිහින් එන්න අමතක කලේ නැහැ.මනාලිය රූපලාවන්‍යාගාරයට යන තැනේ හිටන් අමාට පුලු පුලුවන් විදිහට සහයෝගය දුන්නා.දැවැදි මලු අහුරන්න,කොකිස් බදින්න,වෙඩින් කේක් හදන්න මෙකී නොකී බොහෝ දේවල් වලට
.
හිත හදා ගන්නම නෙවියි.හදාගන්න හිත කඩතොලු වෙලා තිබුණත් නෙවී නෙ.හදනවා නම් ආයෙ කොනක හිටන් හදන්න පටන් ගන්න ඕන.ආයෙ මේ කපේට නම් එහෙම කෙරුවාවක් වෙනවා බොරු.දැන් ඉතින් තියෙන්නෙ බැඳ ගත්ත බෙරේ ගසාගැනිල්ලක් නෙ.කසාදෙ රෙජිස්ටාර් කරන්ට යන්ට යෙහෙළිය අඬගහලා තිබුණෙත් අමාට.අමා ඒ ඉල්ලිම නම් බාරගන්න කිසිම මනාපයක් තිබ්බෙ නැ.කොහොමින් කොහොමින් හරි අන්තිම මොහොතෙ අමා ඒ රාජකාරියෙන් ගැලවුණා.
විවාහ උත්සවේ දවසේ සුවඳ සමන් හරිම ගාම්භීරයි.අමා ළඟට ඇවිත් බොහොම හිතවත් කමින් අමාව පිලි අරන් අතට අත දුන්නා.ඒ වෙලාවෙ නම් අමාගෙ හිත පොඩ්ඩක් තිගැස්සුනේ නැ කිව්වොත් ඒක ඇත්තක්ම නෙවි.පිටත් වෙන වෙලාවෙ නම් යෙහෙළිය අමාව බදාගෙන නොසෑහෙන්ට ඇඬුවා.අමාගෙ හිතේ ඉතිරි වෙලා තිබ්බ අන්තිම නෝක්කාඩු බිඳත් ,පිළිබඳ සිතත් දියකරලා අමාගෙ ඇස් වලිනුත් කඳුළු ගැලුවා.අමාගේ අම්මගෙත් ඇස් රතු වෙලා තිබුණා.
ඔන්න ඕවා අහද්දි තමයි යාලුවනේ හිතෙන්නෙ "සත්‍ය ප්‍රබන්ධයකට වඩා විශ්මිතය"කියන්නෙ සහතික ඇත්ත කියලා.ඊයෙ හවස තමයි දෙන්නා නෑගම් ආවෙ.ඒත් ඒ මූණු දෙකින් එකකවත් ඉස්සර හිටපු සුවඳ සමන්ගෙවත් අතිජාත මිතුරියගෙවත් සෙවනැල්ලක්වත් වැටිල තියෙනවා අමා දැක්කෙ නැ.

එහෙනං....සිරි සුබ මංගලම් වේවා කිව්ව දෙන්නටම. :)

Saturday, January 8, 2011

සඳ


ඔබ සිනා මුව පිපී
තුහින පාවඩ සිපී
කඳුළු වැස්සෙ ම තෙමී
සඳ පතාගෙන ඉමී

Saturday, December 11, 2010

නුරාගී-විරාගී


මම ඉන්නේ සිහින දකිමින්මයි.නිරන්තරව පියවෙන - විවර වන දෙනෙතින්.ඇරෙන වැහෙන ඇස්වලින්,අඳුරට හුරුවීම මම කාලයක් තිස්සේ භාවනාවක් වගේ ප්‍රගුණ කල දෙයක්.මේ වෙද්දි මම එහි ප්‍රතිඵල භුක්ති විඳිමිනුයි ඉන්නෙ,ඔබ දකින තාක් මම හිටියේ ඒ අඳුරෙම ඈත කොනක.දැකීම,ඇසීම,දැනීම එකමත සමපාත කරන්න පුලුවන්.සූක්ෂම විදිහට.කලින් සඳහන් කල පරිචය ලබාගත් අයට ඒ කාර්යය වඩාත් පහසුයි.පලමුව ඇසීම.රැහැන් හරහා පොදු දුරකතන කුටියක සිට ජංගමයා වෙත.අඳෝනාවකට සමාන ස්වරයකින්.හදවතේ තත් කම්පනය කල නොහැකි පරාසයකින්.කාරුණික ප්‍රතික්ෂේපයක් වගේ.කාරණාව මොකක් වුණත්සම්බන්දතාවයයි වැදගත්.ඉන් පස්සෙ වුණු දේ එකක් නැර ලියා තැබීම යම් තාක් දුරට අසීරු වෙන්නෙ මතු ආරක්ෂාව පිණිස පමණක්ම නෙවෙයි.වචන වලට හැඟීම් ගොනු කිරීමේදී මම දක්වන දුර්වලකමත් නිසාමයි.
වසර පහක් හයක් තුල සිදුවිය යුතු, ඇති විය යුතු බැඳීමක් ඇතිවීමට ඒ ආරම්භය හොඳටම සැහෙනවා.ප්‍රේමය වගේ අර්ථකතනයක් හෝ අනුරාගයට සමාන කිසිවකින් මේ හැඟීම අලංකාර කිරීමට ඉඩක් නොලබා පසු වීම සුවිශේෂයි.ලැබුණා නම් එකමෙක අවස්ථාවක් පමණයි.ඔබේ දැඩි වීර්යය තුල සහ නොසලකිල්ල යැයි විටෙක වේදනා උපදවන හැසිරීම නිසාම අවම හානියක් සහිතව ආරක්ෂා කරගත් හැඟීම් ගොන්නක්.

කොතෙක් කලකට මේ සිතිවිලි මේ අයුරින්ම පවත්වාගන්න හැකි වේවිද.?පිළිතුරු නොලැබෙන තාක් සතුට රැඳී පවතීවි.නොනවතින වග දැන දැනම නවතින්න කියන්න පුලුවන් කමක් නැහැ.නවතින්න හැකිවේවි යැයි විස්වාසයෙන් කියන්නත් බැහැ.සඳක් හෝ කවියකට සමාන කිරීමෙන් අපහාසයක් කරන්න අසීරුයි.පොතක් වගේ කිව්වත් විෂයකට සීමා වෙන්න පුළුවන්.ආලෝකය!සම්පූර්ණයෙන්ම කියන්නත් බැහැ.


"අඩ අඳුර"
ඒකයි සුදුසුම.මන්දස්මිතය වගේ.
සිනාසෙමින් හෝ නොවෙමින්!
පහන් දැල්වෙමින් හෝ නොමැතිව.!

Friday, December 10, 2010

මායාකාරිය!




ප්‍රබන්ධයකට සුදුසු විදිහට දැන් කතාන්දරය ගොඩනැඟිලයි තියෙන්නෙ.ඇය උත්සාහ කරනවා අසාමාන්‍ය මිත්‍රත්වයක් පෙන්වමින් මට සමීප වෙන්න.මා සහ මට සමීප අය කිට්ටුවන්තයින් බවට පත් කරගන්න.එක්කෝ ඇය ඉතාමත්ම අසාමන්‍ය ආකාරයේ අහිංසක තැනැත්තියක් විය යුතුයි.නැත්නම්..........ඔබ අකමැති වුණත්, ඒක මට පේන්නේ කට්ටකමක් විදිහට වග නොකියාම බැහැ.
ඊරිසියාව මට නුහුරු හැඟීමක් නෙවී.ඉස්සරම කාලෙ මගෙම සහෝදරියට දෙමාපියන් ගේ වැඩි ආදරය ලැබීම ගැනත් මම ඊරිසියා කලා.යෝධයා සම්බන්ධව පවා මට ඊරිරිසියාකාරී හැඟීම් පහල වෙලා තියෙනවා.ඇය හෙවත් "වනිතාව" ඉඳිකට්ට ට සමීප වීමෙදි එහෙම හැඟීමක් ඇති නොවුනොත් තමයි පුදුමෙ.

ඇගේ ක්‍රමවේදය තරමක් සුවිශේෂයි. වෙලාවකට අසාමන්‍යය හිසරදයක් සහ තවත් විටෙක "කැසීමෙන්" පමණක්ම සුවය දනවන "කැසිල්ලක් "වගේ.ඇගේ ක්‍රමය ඇයටම ආවේනිකයි.සහජයෙන්ම උරුම කටහඬ ඇගේ ගමනට ආශිර්වාදයක්.මායාකාරී .සිහින්.(මායාකාරිය!).කැමත්ත අකමැත්ත පිලිබඳ නොතේරුනා සේ හිඳීම තමයි ඇගේ හොඳම තුරුම්පුව.

අපහාසය මෙතනින් නවත්තන්නේ මගේ හොඳකම ඉස්මතු වීම පිණිසමයි.නැත්නම් කිව යුතු පෙන්වා දියයුතු දේ අවසන් නිසා නෙවී.වාසනාවක් නැත්නම් ඉල්ලම් හැරීමේ පලයක් නැති වෙනවා.වාසනාවයි වඩා වැදගත්.!එහෙම හිතුවම මම පසුගාමී වෙලා වග මට පැහැදිලි වෙනවා.මෙහෙම හිතමු.වාසනාව නැතත් උට්ටාන විර්‍යයයි වැදගත්!දක්ෂ දුනුවායෙක් හරියටම ඉලක්කය ගන්න විදිහට.ලබා ගැනීමෙන් පස්සෙ පලයක් නැති බව ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගෙන හිටියත් "පැරදීලා පලා ගියේ නැ"කියන හැඟීමයි මට වැදගත්.

කොහොම වුණත් මේ වෙනකල්ම සැකයේ වාසිය සහ තවත් බොහොමයක් දේ බර වෙලා තිබුණේ මා දෙසටයි .කාලෙත් එක්කම වෙනසක් වෙන වගක් දැනීමත් එක්කම මං පටන් ගත්තා ඒ ගැන අධ්‍යයනය කරන්න.ජෙමාටත් තත්වය පැහැදිලි කලා සරලව අතිජාත මිත්‍රරත්නයක් හැටියට.මෙහෙයුම තනිව දියත් කරන ගමන්ම ප්‍රතිපල දැන ගැනීමේ උපාය මාර්ගයක් විදිහට.

මං බොහොම දුප්පත් .දවස් ගානක වැස්ස නිසා උළු දියබත් වෙලා .ඇතුලටත් තෙත බේරෙනවා.පොදු වහරින් පැල්පතකට සමීපයි.සින්ඩරෙල්ලා කතාවටත් පොඩි සමානකමක් තියෙනවා.ඒත් ඉඳිකට්ටා හෝ යෝදයාට ඒ තතවය තේරුම් ගැනීම අසීරු විය හැකියි.එහෙම බැලුවාම වනිතාවගෙ පැත්තේ බර ටිකක් වැඩි වෙනවා.අනික රූපයත් වැදගත් සාධකයක් වෙන්න පුළුවන් නෙ.ඉඳිකට්ටගෙ කුමාර ජීවිතය ගැන මම උන්දැගෙ ඒ වචන වලින්ම අහලා තියෙනව.එහෙම බැලුවාම වනිතාව කෙරෙහි ඉරිසියාවක් උපදවා ගන්නවත් මට අයිතියක් නැති තරම්.වත්කම් සහ හිමිවීම් කවදත් අවමයි මට.
කුමාරයා සුදු නැහැ.අශ්ව කරත්තයක තිබුනෙත් නැහැ.ගමන් පොදුජනතා සේවයට කැපවුන එකකින්.අදහසුත් ජනතා සේවයටමයි .විශේෂයෙන් කඳුලු බර ඇදීමට සහය වීම් සහ දුක්ගැනීම්.

Thursday, December 2, 2010

වැස්ස


වැස්ස පරද්දන්න අපට පුලුවන් වුණා.ඔව් !හරිම ජයග්‍රාහී විදිහට,මම වාඩිවෙලා හිටියෙ .පස්සෙන් එලවගෙන ආව වැස්ස පහුකරපු බස් තැන ගැඹුරු හුස්මක් ගත්තා.ඉතුරු ටිකත් ඒ වේගෙන්ම .ආයෙමත්.මට තරඟය අවසන් වෙනකල් දැකගන්න ලැබුනෙ නෑ.මාව අතරමඟ බස් නැවතුමකට විසිකරලා බස් තැන ආයෙමත් රේස් එකට වැටුණා.පස්සෙන්ම එලවගෙන ආපු වැස්ස මාවත් තෙමාගෙනම ඉස්සරහට .උද්යෝගිමත් සුළං මිත්‍රයොත් සහායට.මට හූවකුත් කියාගෙනම....හෙහ්!අපි සැලෙයි.