Tuesday, September 27, 2022

රුවන් සර්!



 ගුරුවරු  - ඒක හරි ලොකු මාතෘකාවක්.


කවදාවත් ගුරුවරියක් වෙන්න කියලා මට පොඩිවත් බලාපොරොත්තුවක් තිබිලා නෑ. අහම්බෙන් වගේ "ගුරුකමේ" යෙදෙන්න ලැබුණ අවුරුදු තුනක් වගේ කාලෙදි ඒක බොහොම හොඳ තෘප්තියක් ලැබිය හැකි වෘත්තියක් බව අඳුනාගන්න ලැබුණත් දෛවය හෝ එවන් අන් තැනක මගෙ නම ඉදිරියේ එහෙම වාසකමක් දිගටම ලියවිලා තිබුණෙ නෑ.


මගෙ පෙර පාසල්, ප්‍රාථමික පාසල් සහ අනෙකුත් පාසල් ඉතිහාසෙ බැලුවම  ඒක හරිම සුමුදු සුදු මුදු ගමනක්. අවුරුදු දහ හතරටම පෙරපාසල්  හා පාසල් කාලෙ මට ආදරණීය "ටීචලා" "මිස්ලා" මිසක් "සර්ලා" මුණ ගැහිලාම නැති තරම්. දහම් පාසලේ නම් ටිකක් මරුමුස් "සර්" කෙනෙක් හිටි බවට ලා මතකයක් තියෙනවා. ;)


චාලට් ටීච,  විජේසිංහ ටීච, කොඩිකාර ටීච, විජේනායක ටීච, සෝමා මිස්, ඉන්ද්‍රා මිස්, ප්‍රියානි මිස්, අදටත් එක හුස්මට  නම් වැලක් වාගෙ මතකෙට එනවා.


විශ්වවිද්‍යාල ආචාර්‍ය, මහාචාර්‍ය ලයිස්තුව  පොඩ්ඩක් පැත්තකින් තිබ්බම මට නිතර මතකෙට එන අපූරු චරිතයක් ගැන ලියන්නයි මේ ලියමන පටන් ගත්තෙ.


මේ කියන ගුරුවරයා වෙනස්. විවෘත විශ්වවිද්‍යාලෙ ඇතුලෙ අපිට කවදාවත් ඇහැට ඉලක්කයක් වෙයි කියලා හිතන්නවත් බැරි දේවල් "රුවන් සර්" ට පේනවා. අපි නිතර දකින මූණු, සර් මූණුපොතට රූප කාව්‍ය කරලා අරගෙන එනවා


සර් උගන්නනෙ මොන පීඨෙද , මොන විෂයක්ද කියලා මම දන්නෙ නෑ. ඒත් සර්ගෙ ඇස් හොයාගන්න රූපරාමු ඇතුලෙ තරුණකම, ජවය, ආදරය, සැහැල්ලුව, දෝරෙගලනවා. අපිව අවුරුදු හත අටක් අතීතෙට අරන් යනවා.


පුංචි බත්කූරො, ඇහැල්ගස්  අතු ඉති අගිසිවල අමාරුවෙන් එල්ලිලා ඉන්න පිනිබිංදු, තරුණ මානවිකාවන්ගෙ  ඇස්වල උතුරන ආදරේ, පොඩි මඩවගුරක දඟලන අවිච්චි පැටවුන්ගෙ හුරතලේ  ; 



සර් හවසට - හවසට ෆේසබුක් එකේ අලවලා තියෙනවා. වෙහෙසවෙලා වැඩකරලා ගෙදර එන අපේ ඇස්වලට ඒවා අපූරු නිවනක් අරන් එනවා.


ගුරුවරියක් වෙන්න බලාපොරොත්තුවක් නොතිබුණ මම දැන් ගුරු වෘත්තියට ආදරේ කරනවා. ගයනිලා, තුලනිලා , රුවන්තිලා,ක්‍රිෂ් අක්කලා ඒ වෘත්තියේ බර සහ වෙහෙස මට ආයෙ ආයෙත් මතක් කරලා දෙනවා. <3 <3 <3


නිතරෝම හිත නිදහස් කරන, සැහැල්ලු කරන, දැකුම් , ලියුම්, වචන පතන ඕනම කෙනෙක් වගෙ මමත් හිස් අවකාශයකට වඩා පිය සල්ලාප, ප්‍රභාශ්වර රූපරාමු, රසවත් කවි -කතා  අතරේ මරණෙට කලින් උදාවෙන කාලෙන් වැඩි කොටසක් ගෙවාදාන්න කැමතියි. 





එතනදි "රුවන් සර් "  සමාන්තර වෙනස් ලෝකෙක ඉඳන් ඇස් ඉස්සරහ ගෙනත් තියන සුන්දර පාඩමේ නිස්කලංක තප්පරවලට මම වඩ වඩාත් කැමතියි.


එතුමා එක වචනයක් නොහොල්ලා මගෙ ගුරුවරයෙක් වෙන්නෙ එහෙමයි!


ස්තුතියි සර්!❤

Wednesday, March 22, 2017

හිතළු පොතේ කතාවක්........



ඔස්ට්‍රේලියාවේ වසන

X මහත්මයා
මුහුණු පොතේදීය....

අපේ ලොකු දුව J, එයාගේ ඉස්කෝලේ විවාද කණ්ඩායමට තේරිලා. පහුගිය දවස් ටිකේම එයා කර කර හිටියේ තේරීම් තරගවලට පුහුණු වෙන එක. ඉතිං ඊයේ හවස වැඩ ඇරිලා ආපු ගමන් ඇය මා වෙතට දුවගෙන ඇවිල්ලා මේ ආරංචිය කිව්වම මට හරියට සතුටු හිතුණා.

ඇත්තටම අපි ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණේ ලංකාවෙදි අපි විඳපු අමිහිරි අත්දැකීම්වලින් අපේ දරුවන්ව මුදවගන්න. විභාගවලින් ඉහලම ප්‍රතිඵල ලබලත්, ලංකාවේ සිවිල් සමාජය ඇතුලේ "චරිතයක්" විදිහට හැසිරෙන්න පුළුවන් රැකියා කරලත්, ගොඩක් තැන්වලින් රස්තියාදු නොවී වැඩක් කරගන්න පුළුවන් සමාජ සම්බන්ධතා ජාලයක් තිබිලත්, අපිට ලංකාවෙදි ඔලුව බේරගෙන ජීවත් වෙන්න අමාරු වුණා. 
දැන් මේ කිසිවෙකු නොදන්නා නොරටේ, අපේ ලොකු බලපෑම්වලින් තොරව, මව්බස නොවන භාෂාවකින් අධ්‍යාපනයේ නිරත වෙමින්, අපේ දරුවන් ජයග්‍රහණ ලබනකොට සිතට සතුටක් දැනෙනවා.
ලංකාවෙදි ගොඩක් වෙලාවට බහු වාර්ගික, බහු සංස්කෘතික පාසලකදී නං වෙන්නේ බහුතර ජනවර්ගයට අයත්, පාසලේ ගුරුවරුන්ට හිතවත්, එසේත් නැතිනම් මූල්‍ය ශක්තියෙන් ඉහළ හෝ සිවිල් චරිතයක් වුණ හෝ ආදි ශිෂ්‍යයෙකුගේ තරමක දක්ෂතාවක් සහිත දරුවෙකුට ඔවැනි අවස්ථා ලැබෙන එක.
ඔස්ට්‍රේලියාව බහු වාර්ගික හා බහු සංස්කෘතික සමානාත්මතාව එරට ව්‍යවස්ථාවෙන්ම තහවුරු කළ රටක්. මහ පොළොවෙදිත් බොහෝ වෙලාවට එය ක්‍රියාත්මක වෙනවා. අපේ දරුවාගේ දක්ෂතාවට පාසලේදී නිසි තැන හිමිවීමෙන්ම ඒ බව පේනවා. මෙතනදි අපිට අපේ දරුවන්ට වගේම මේ රටටත් ආදරේ හිතෙන්නේ ඒකයි!




සිරිලංකාවේ  වසන
N මෙනවිය
හිතළු පොතේදී ය.........

හිතවත්  X මහත්මයාණෙනි, 

මා ඔබ දෙපළගේ  මුහුණු පොතේ සමීප මිතුරියක නොවූවත් කලක සිට ඔබ පලකරන දෑ කියවනවා. ඔබේ දියණිය මුහුණු පොතින්ම දැක ; ඇය ලැබූ ජයග්‍රහණය ගැන මගේ අත්දැකීම් ද සිහිවී සැබෑ සතුටක් දැණුනේ ඔබ දෙපල පිළිබඳ මා තුල ගොඩ නැගී ඇති මැදහත් ප්‍රතිරූපයද නිසාවෙන් . 

මේ ඉන්බොක්ස් පණිවිඩය ඔබේ කතාවට ව්‍යාතිරේකයක් ලෙස සැලකිය හැකියි.එය කොමෙන්ටුවක් ලෙස එක් නොකර මැසේජයක් ලෙස ඔබට එවන්නේ අතිශය පෞද්ගලික පුරාජේරුවක් ලෙස යම් අයෙකු එය වටහාගන්නවා දැකීමට ඇති නොකමැත්තත්, කලාතුරකින් වුවත් ඔබත් මාත් ආදරය කරන ලංකාව තුල මෙවැනි දේ සිදුවන බව ඔබට කියන්නට මට අවශ්‍ය වූ නිසාවෙනුත්. 

ඉතාම සාමාන්‍ය පවුලක දියණියක්ව ඉපදී පහවසර ශිෂ්‍යත්වයේ මහිමයෙන් මම .................. බාලිකාවට ඇතුලු වුණේ 1995    වසරේ දී. ඒ කාලයේ මම හරිම කුලෑටියි. ගෙදරදී  කියවිලිකාර දැරියක් වුණ මගේ, පාසල තුල පලකෙරුණු මෞනවෘතය මටම අදහාගන්නට බැරිවූවක්. අට වසරට එනතුරු අඩුම ගානේ මට එකදු මිතුරියක්වත් සිටියේ නැහැ. පාසල මට ඉතා නීරස තැනක් වෙමින් තිබුණේ  දහම් පාසලේ  බලමණ්ඩල කථික තරඟ වලින් පළමුතැන දිනාගත් මම පාසලේදී  මිතුරියකවත් නැති ඒකචාරී ප්‍රාණියෙක්ව සිටි නිසයි.

කාලය ගෙවුණා. නව යොවුන්වියත් සමඟ මිතුරියන් එකා දෙන්නා සමඟ මගේ ඇසුර වැඩුණා.මා දසවන වසරේ ඉගෙන ගනිමින් සිටියදී යි ඒ අසිරිමත් මොහොත උදා වුණේ.

කලා උළෙල වෙනුවෙන් පවත්වන නිවාසාන්තර තරඟ ආරම්භවී තිබුණා. ඒ වෙද්දී පිට පිට වසර කිහිපයකම ජයග්‍රහණ දිනාගත් ................ නිවාසීය නාට්‍ය කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස මම නමක් දිනාගෙන සිටියා. ඒ කිසිදු බාහිර බලපෑමක් නිසා නෙවෙයි.

අහඹු ලෙස නිවාසාන්තර කථික තරඟ සඳහා සහභාගී වීමට මගේ නමත් නිවාසයෙන් යෝජනා වී තිබුණේ මේ නාට්‍ය හුටපට නිසාමයි. 

ඉදිරිපත්වූ පළමු  වසරේදීම අන්තර් නිවාසීය කථික තරඟයේ පළමුතැන මට හිමි වුණා. විශාල ප්‍රසාදයක් හිමිවුණා. ඒ තරඟයට ගුරුවරියකගේ දියණියක් සහ විවිධ ඉහල යැයි සම්මත වෘත්තීන් වල නිරත දෙමාපියන්ගේ දරුවන් රැසක් සහභාගී වුණා. කිසිදු විරෝධයක් එල්ලවූ සලකුණක්වත් මට දැනගන්නටලැබුණේ නෑ.එතැන් පටන් ඉතා සුමට ගමනක්.  අන්තර් පාඨශාලීය සහ සමස්ත ලංකා මට්ටම දක්වා. වසර දෙකක් පාසලේ සිංහල විවාද කණ්ඩායමේ නායිකාව ලෙස සහ අවසාන වසරේ පාසලේ දක්ෂතම කථිකාවිය ලෙස සම්මාන ද සමඟින්. 

ඉතින් එපමණයි. මට කීමට ඇත්තේ මෙයයි. මගේ පාසලට මාස  තාමත් ආදරය කරන්නේ එය අගනුවර උසස් බාලිකාවක් ලෙස ලෝක සම්මතයේ පවතින නිසාවත්, ඒ නිසා මගේ ජීවිතයට අමුතු ආලෝකයක් ලැබෙන නිසාවත් නෙවෙයි. "ඉස්කෝලෙන් අවුට්වෙන්න" බැරිතරම් , අන් බොහෝ තැන්වලදී නොලැබුණු සාධාරණ දේ මගේ ජීවිතයට ලබා දුන් නිසයි.

ලංකාවම එතරම් සාධාරණ තැනක් නොවන බව;
විශ්වාස කළ නොහැකි ලෙස සුදුසුකම් පමණටත් වඩා සපුරා සිටියදී රජයේ විශ්වවිද්‍යාලයක සහකාර  කථිකාචාර්‍ය ධූරය දැරීමේ අසීරුව පිළිබඳ අත්දැකීම් ඇති මා දන්නවා.  :D

ඔබට ජය! 

අප ඔබේ ලියමන් නිරතුරු  කියවන බව නැවතත් සිහිපත් කරනවා. :)

ප.ලි.  මගේ මේ නොස්ටැල්ජික  නරුමාලාපය කියවීමට ගතකළ කාලය වෙනුවෙන් ස්තුතියි! :)


චැට් පෙට්ටියේ ඉතිරිවූ යමක්...........

X -මෙය මෙලෙසම එතන පළකරන්න. මෙහි කිසිම පුරාජේරුවක් නෑ. අදහස් පළ කළාට ස්තුතියි. මෙබඳු දේ කියවීමෙන් ලංකාවේ එක තරුණ පාසල් ගුරුවරයෙකු හෝ ගුරුවරියක වෙනස් වුවහොත් එයත් වටිනවා.


කඩුළු

බොහෝ උස් බැවින් හදිසියේ උපන් කඩුළු
මගැර සිය දහස් මල් පිපෙන තුරු ලතා මඩුළු
අඳුරු පෙත්මගෙක අත ගගා පිසලම්න් කඳුළු
සොඳුරු මතකයෙන් නික්ම යන දැරිවියකි කුරුළු


මම කැමති

ඇස්පියා ගත්තමත්
සීරුවට බිඳි බිඳී යන සද්දෙ
ග්ලාබ් ග්ලබ් - සිචිරි  චිරි චිරි

කෝඩුකාර 
සරුවත් උගුරක් තරම් සීරුවට
රෝසපාටට
උකුවට 
මුදුවට

මට කියන්න
ගලන්නට බැරි ඇයි ඔබට
මධුර පදාර්ථ
බෙදාගන්නට බැරි ඇයි අපට

කාර්‍යාලේ
පංකා පවා නිදිකිරන
දුරකතන රැහැන් අස්සේ
ඔබෙ කටහඬ ගලන්නෙත්
තවරගෙන නිදිමත
ලා කහ
පැෂෝනා වීදුරුවක සීතලට
තොල්තෙමන්  ගලන්නට බැරි හැටි ඔබට
අපමණක් රස හිතේ තිබුණට

දන්නවා
වර්ණනා කළ තරම්
මධු රසට
ප්‍රේමයක් නැහැ ඔබට
ඔබ කැමති 
කහට නැති ඕනෑම තැනකට

හෙවනැළි කැපෙන හවසක
ලුණු හුලඟක් උණත් 
සීතයි සනීපයි
සිනිදු පා
ලපටි පාවහන් පටි දකිද්දී
මට ඉරිසියා හිතෙන්නේ ඒකයි

මූදු වෙරළක
නිවාඩු පාඩුවේ නිවෙන්නට නෙවෙයි

ලාබ උපමාවක් වුණත්
රැළි සරැළි නැති
ලවණාධික දෙනෙත් සාගරේ
කිමිදෙන්න
ඉපිලෙන්න
ඉඩ දෙතොත්
නවතින්න

මගේම විදිහකට
ඔබේ හිත
ප්‍රෙහෙලිකාවක් වගේ තෝරන්න

ඔබ ඉතා කැමති
වෛවර්ණයට පෙනෙන
දුමින් කළ දේදුන්නක් වගේ
කිසිවකුට නොදැනෙන්න
තුනී වී මැකී වියැකී යන්න

ලෝකයක් යැයි යමක් නැති තැනක
අකනිටා බඹ ලොවට ළඟ තැනක
එකට දියවී යන්න

නොතේරෙන හැටි මට ම
තෝරන හැටි ඔබට මේ හැම

ඒත්
මම කැමතිත්
කතාවේ ඒ ටිකට
ඔබේ 
දැනුම් තේරුම් පථයෙන්
එපිට හෝ මෙපිට 

මං ඉන්නෙකට......

Wednesday, March 1, 2017

දෙදහස් එක් රැය

කොට්ටම්බා අතු මිදුල පුරාම වැටුණ වැටුණ තැන නිදාගෙන උන්නා. කේන්තියි මට. ඉදලත් අරන් ඇවිත් උදේ අතුගාපු මිදුලට මම ආයෙත් ටොකු අනින්න ගත්තෙ ඒ කේන්තියෙන්මයි. චන්දෙට කොඩිවැල් ඇදලා. කැඩිච්ච රබර් සෙරෙප්පුවක් කොට්ටං ගහ මුල.

කොට්ටං අතුටික ගහ මුලට කරලා කුස්සියෙන්  ගෙට ගොඩවුණා විතරයි. සාලෙ දොරට තට්ටු කරනවා. සුපුරුදු තට්ටුව. මට කට කොණකට හිනාවක් ආවා. අම්මා ලිප ළඟ. සාලෙ දොර හරියට අරින්න වුණෙත් නෑ.

බොහ්! පිස්සු නරියා ඇඟට පැනලා අත්දෙකෙන් අල්ලගත්තා.

"කොල්ලො මිදුල වනසලා නේද? සුමාල්ගෙ සෙරෙප්පුවත් කැඩුණා ඊයෙ මෙතනදිම. අපි ඉතින් ගහමුලින් තියලා ගියා ඔයාට අපිව මතක් වෙන්න කියලා"

"වැඩේමයි! "

අත ගසලා දාලා කුස්සියට හැරෙද්දි  පිස්සු නරියා කොන්ඩෙන් අල්ලගත්තා

"වැඩේට තමයි"

"වලා" කොණ්ඩෙ ඇදල අරන් දිව දික්කරලා මම කිව්වා.

"ඇන්ටී!තේ එකක් බොමුද? " පිස්සු නරියා කුස්සිය දිහාවට එබිලා කෑහැහුවා.

"ඉතින්?" නරි ඇස් හිනාවුණා. ඇහේ බබත් හිනාවුණා.
"කොහොමද එදා පේපර් එක?" මං ඇහුවා.

"හා!වෙලාවට මතක් කලේ. ඔයාව දාලා හෝල් එකට යද්දි පැය භාගයක් පරක්කුයි. එහෙන් තෙමිලා. මෙන්න ලිව්ව උත්තරේ "

දෙයියනේ! එග්සෑම් හෝල් එකේ ඉඳන් මේ මනුස්සයා උත්තරපත්තරේ ගෙදරගෙනත්. මම ඒක උදුරලා ගත්තෙ ඉවසුම් නැති කේන්තියෙන්. මොන මෝඩයෙක්ද ඇත්තට...

ඒත්!..... පළවෙනි පිටුවෙ උඩින්ම ලියලා තිබුණෙ මෙහෙමයි.

ආදරණීය සංදීපනී!.........................................................................


ෆුල්ස්කැප් සයිස් පිටු අටක් පුරා ආදරේ උතුරන බොලඳ වචන. අඬන්නද හිනාවෙන්නද කියලා මටම හිතාගන්න බැරි වුණා





....................................................................


ඊයෙ රෑත් ඒ වගේ හොරෙන්ම  ඇවිත් රෝස රිබන්පටියක් දොරකඩින් දාලා ඔයා ගිහින්. ඒත් මේ ඒ ගෙදරවත්, ඒ ඔයාවත්, ඒ මමවත් නෙවෙයි. අඬන්නද හිනාවෙන්නද කියලා මට තාම හිතාගන්න බෑ.



Saturday, August 27, 2016

අප දැවෙන කතර දෙස ඉස්පාසු බැල්මක් හෙලන්නී...........










දැඩිතර විරෝධයක් සහිතව, අභ්‍යන්තරයෙන් ම ප්‍රතික්ෂේප කෙරුණද, අධිවේගී පරිභෝජනවාදී අර්ථක්‍රමය කාන්තාරය තුල දිනෙන් දින තම වපසරිය පුළුල් කරගනිමින් සිටියි. "වියළි" හෝ "නිරුදක" වචන අනුමානය ඉක්මවමින් ප්‍රත්‍යක්ෂය ප්‍රදර්ශනය කරන අවධියකි. අවසන් දියබිඳත් අහසට දන් දුන් වැලි කැටයකින් ජීවිතය කුමක්දැයි නාසන්නැ'යි සියල්ලට පෙර මම ඔබෙන් ඉල්ලමි. ජීවිතය තවමත් අප අතමානයේ ම දැවටෙමින් හිඳියි. සිහිල් සුළං ධාරාවක්ව අහම්බෙන් මෙන් අප හරහා ගමන් කරයි.
දිවිබර පුරවාගත් ගැල ද, පෙර මැනව කිසිවකු විසින් සකසා දෙන ලද මගක අප ගෙන යන ගොනු ද, සමඟ තවලම ඉදිරියට ඇදෙයි.කතර වට වැහි පිළිබඳ කතාන්දර සිහිපත්ව ගොනු කුර ඉක්මන් වෙයි.එහෙත් දැවෙන හිරු දැක තව තවත් ගිනිකන වැටී වැල්ලෙහි ම එරී යයි.
ඉදිරියේ ගිනිවැල්ලේ එරී නිල්වන් පතක් නලලේ තබා ඉර මුවා කරමින් පෙරමග බලන ඊතණ පඳුර අප යන මගට මදක් ඔබ්බේ , සුළඟ ගයන, අප නොඅසන ගායනාවක් අසා සිටියි.මගහැර නොයැන්නැයි ඔබට සිහි කැඳවමි. දූලි අතරින් පෙරී, තණ පතට එබී, ඉසියුම් හරිතලව පවා කිතිකවන සිනා සලන්නේ ඒ සුළඟයි. ඊතණ පඳුරෙන් අසා සිටින්නේ රහසේ ගලා යන, හිරියල පලා මතුවීමට නියමිත ජලධාරාවේ වගතුග විය යුතුය. නැවතිල්ලේ අසා සිටින්නේ නම් යන එන ඕනෑම අයෙකුට ඒ රහස කියන්නට සූදානම් බව සුළඟ දැන සිටින්නට ඇත.

ජීවිත කලහාරියේ අඩි සියගණනක් ගැඹුරේ, හිරිගල් තට්ටු අතරේ ගලායන කවි දහරාව යනු , දැඩිතර විරෝධයක් සහිතව, අභ්‍යන්තරයෙන් ම ප්‍රතික්ෂේප කෙරුණද, අධිවේගී පරිභෝජනවාදී අර්ථක්‍රමය කාන්තාරය තුල දිනෙන් දින තම වපසරිය පුළුල් කරගනිමින් සිටියි. "වියළි" හෝ "නිරුදක" වචන අනුමානය ඉක්මවමින් ප්‍රත්‍යක්ෂය ප්‍රදර්ශනය කරන අවධියකි. අවසන් දියබිඳත් අහසට දන් දුන් වැලි කැටයකින් ජීවිතය කුමක්දැයි නාසන්නැ'යි සියල්ලට පෙර මම ඔබෙන් ඉල්ලමි. ජීවිතය තවමත් අප අතමානයේ ම දැවටෙමින් හිඳියි. සිහිල් සුළං ධාරාවක්ව අහම්බෙන් මෙන් අප හරහා ගමන් කරයි.
දිවිබර පුරවාගත් ගැල ද, පෙර මැනව කිසිවකු විසින් සකසා දෙන ලද මගක අප ගෙන යන ගොනු ද, සමඟ තවලම ඉදිරියට ඇදෙයි.කතර වට වැහි පිළිබඳ කතාන්දර සිහිපත්ව ගොනු කුර ඉක්මන් වෙයි.එහෙත් දැවෙන හිරු දැක තව තවත් ගිනිකන වැටී වැල්ලෙහි ම එරී යයි.
ඉදිරියේ ගිනිවැල්ලේ එරී නිල්වන් පතක් නලලේ තබා ඉර මුවා කරමින් පෙරමග බලන ඊතණ පඳුර අප යන මගට මදක් ඔබ්බේ , සුළඟ ගයන, අප නොඅසන ගායනාවක් අසා සිටියි.මගහැර නොයැන්නැයි ඔබට සිහි කැඳවමි. දූලි අතරින් පෙරී, තණ පතට එබී, ඉසියුම් හරිතලව පවා කිතිකවන සිනා සලන්නේ ඒ සුළඟයි. ඊතණ පඳුරෙන් අසා සිටින්නේ රහසේ ගලා යන, හිරියල පලා මතුවීමට නියමිත ජලධාරාවේ වගතුග විය යුතුය. නැවතිල්ලේ අසා සිටින්නේ නම් යන එන ඕනෑම අයෙකුට ඒ රහස කියන්නට සූදානම් බව සුළඟ දැන සිටින්නට ඇත.
ජීවිත කලහාරියේ අඩි සියගණනක් ගැඹුරේ, හිරිගල් තට්ටු අතරේ ගලායන කවි දහරාව යනු , ගැහැණිය ම බව විශ්වාස කරන්නැයි මගේ සිත මට කියයි. කතර මතුයේ කුඩා බිම්කඩක නිල්ල පතුරුවා සිටින ඇය සදාතන දාහයක ඌෂ්මය දරා ගන්නීය. ඇසට නිවන ගෙනෙන්නීය. ගතක ගිමන නිවන්නීය. මනස් විඩා තවන්නීය.
කතර මතුපිටට දිය ගෙන පිරික්සන සාත්තුනායකයකු දියේ සිසිල අත්දකින්නේය. එය දිනෙක ඝනව පැවති බව සිහිකරගන්නේය. දැන් දියව වැගිරෙන මුත් මොහොතකින් වාෂ්පීකරණයේ ගුප්තතාපය ඉක්මවන තැන ආකාසය කරා ඉගිලෙන බව ද දැන ගන්නේය. ඝනව සිට ඌර්ධවපාතනයකට හසුව වැගිරෙන සමය අතික්‍රමණය කර ආකාසගතවන ශක්‍යතා දරන්නිය ගැන මවිතවන්නේය.
ඇසමානයේ රැඳෙන කවිය ද එවැන්නකැ'යි මට සිතෙයි. විවිධ වෙසින් අප ඉදිරියේ සැරසී සිටියද ඒ සෑම කවියකම ජීවය මේ "ආපෝගුණය" ම බව විශ්වාස කරමි.සහජ පෝලියෝවෙන් සහ මාරාන්තික අනතුරකින් උරුම කරගත් සදාතනික වේදනාවන් ඉක්මවා තෙලිතුඩග ජීවිතය සිත්තම් කරන්නට ෆ්‍රීඩා කාලෝට ජීවය පොවන්නේ ද,නලඟනක ලෙස ලොව ඇද බැඳ තබාගන්නට මැර්ලින් මොන්රෝ සමත්වන්නේද, වේල්සයේ කුමරියව සිට ලොවක් හඬවමින් අවසන් ගමන යන්නට ඩයනාව 'වාසනාවන්ත?"වන්නේද , පර්ල් එස් බක් සාරභූමියේ පිටු අතර ජීවය වපුරන්නේද, ඒ අපෝගුණ මහිමයෙන් ම බව, විශ්වාස කරන්නැයි යළිත් මගේ සිත මට බල කරයි.බලකිරීමට යටත් නොවී අවබෝධයෙන් එකඟ වෙමි.
ආකාසයෙන් දිය දහරක ගමන නොනවතියි.ඉහල මුදුනක රැස්වී කැටිගැහී,පෙරපර නොගැලපුණු කතා යළි ගලපන්නට තනන්නී,කතරින් විනිර්මුක්තව ඒ කතරම අවලෝකනයට ද හැකිකම් ලබන්නීය.ඔහේ ගසාගෙන යන්නට ද නොකැමැත්තේ නොවේ.තුඟු කඳු බඳක හැපී විසුණුව මෝසම් කුණාටුවේ අනවරත පහරකෑම් ලබන්නී යළි දියව වැගිරෙන්නීය. ඉනික්බිති කතර හෝ ඉන් එතෙරව අන් තැනෙක නව ඵල උපදවන්නට තෙතමනය සදන්නීය.අපෝ ගුණවන්තී, මව්වත් කාව්‍යකාරී, ලෝකය නිවාලන්නීය.
නැවත ඔබට කියමි.කවිය ද ගැහැණිය ද තම නොසිඳෙන ආපෝ ගුණයෙන් රුහිරයද, ක්ෂීරයද, ජීවයද හොබවන්නී මෝසම් මේඝයක්ව වැතිරී, පැතිරී සිටින්නීය.අප දැවෙන කතර දෙස ඉස්පාසු බැල්මක් හෙලන්නීය.ගැහැණිය ම බව විශ්වාස කරන්නැයි මගේ සිත මට කියයි. කතර මතුයේ කුඩා බිම්කඩක නිල්ල පතුරුවා සිටින ඇය සදාතන දාහයක ඌෂ්මය දරා ගන්නීය. ඇසට නිවන ගෙනෙන්නීය. ගතක ගිමන නිවන්නීය. මනස් විඩා තවන්නීය.
කතර මතුපිටට දිය ගෙන පිරික්සන සාත්තුනායකයකු දියේ සිසිල අත්දකින්නේය. එය දිනෙක ඝනව පැවති බව සිහිකරගන්නේය. දැන් දියව වැගිරෙන මුත් මොහොතකින් වාෂ්පීකරණයේ ගුප්තතාපය ඉක්මවන තැන ආකාසය කරා ඉගිලෙන බව ද දැන ගන්නේය. ඝනව සිට ඌර්ධවපාතනයකට හසුව වැගිරෙන සමය අතික්‍රමණය කර ආකාසගතවන ශක්‍යතා දරන්නිය ගැන මවිතවන්නේය.
ඇසමානයේ රැඳෙන කවිය ද එවැන්නකැ'යි මට සිතෙයි. විවිධ වෙසින් අප ඉදිරියේ සැරසී සිටියද ඒ සෑම කවියකම ජීවය මේ "ආපෝගුණය" ම බව විශ්වාස කරමි.සහජ පෝලියෝවෙන් සහ මාරාන්තික අනතුරකින් උරුම කරගත් සදාතනික වේදනාවන් ඉක්මවා තෙලිතුඩග ජීවිතය සිත්තම් කරන්නට ෆ්‍රීඩා කාලෝට ජීවය පොවන්නේ ද,නලඟනක ලෙස ලොව ඇද බැඳ තබාගන්නට මැර්ලින් මොන්රෝ සමත්වන්නේද, වේල්සයේ කුමරියව සිට ලොවක් හඬවමින් අවසන් ගමන යන්නට ඩයනාව 'වාසනාවන්ත?"වන්නේද , පර්ල් එස් බක් සාරභූමියේ පිටු අතර ජීවය වපුරන්නේද, ඒ අපෝගුණ මහිමයෙන් ම බව, විශ්වාස කරන්නැයි යළිත් මගේ සිත මට බල කරයි.බලකිරීමට යටත් නොවී අවබෝධයෙන් එකඟ වෙමි.
ආකාසයෙන් දිය දහරක ගමන නොනවතියි.ඉහල මුදුනක රැස්වී කැටිගැහී,පෙරපර නොගැලපුණු කතා යළි ගලපන්නට තනන්නී,කතරින් විනිර්මුක්තව ඒ කතරම අවලෝකනයට ද හැකිකම් ලබන්නීය.ඔහේ ගසාගෙන යන්නට ද නොකැමැත්තේ නොවේ.තුඟු කඳු බඳක හැපී විසුණුව මෝසම් කුණාටුවේ අනවරත පහරකෑම් ලබන්නී යළි දියව වැගිරෙන්නීය. ඉනික්බිති කතර හෝ ඉන් එතෙරව අන් තැනෙක නව ඵල උපදවන්නට තෙතමනය සදන්නීය.අපෝ ගුණවන්තී, මව්වත් කාව්‍යකාරී, ලෝකය නිවාලන්නීය.

නැවත ඔබට කියමි.කවිය ද ගැහැණිය ද තම නොසිඳෙන ආපෝ ගුණයෙන් රුහිරයද, ක්ෂීරයද, ජීවයද හොබවන්නී මෝසම් මේඝයක්ව වැතිරී, පැතිරී සිටින්නීය. අප දැවෙන කතර දෙස ඉස්පාසු බැල්මක් හෙලන්නීය.



Sunday, January 10, 2016

"ආරාධනා"

       "ආරාධනා" ෆිල්ම් එක ගැන ඇහුවෙ නැති මියුසික් පිස්සෙක් ඉන්නවා නම් බොහොම කලාතුරකින් හම්බවෙන ජාතියෙ කේස් එකක් වෙන්න ඕන.



1969 අවුරුද්දෙ ඔක්තෝම්බර් 24 වෙනිදා මුලින්ම තිරගත වුණ "ශක්ති සමන්තා" නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරපු  ආරාධනා චිත්‍රපටිය මේ තරමට ජනප්‍රිය වුණේ "එස්. ඩී. බර්මන්" ගෙ මනමෝහනීය ස්වර නිර්මාණ සහ "ආනන්ද් භක්ෂි" ගෙ ගී පද රචනා නිසා බවයි  දන්න කවුරුත් කියන්නෙ.

ඒ අවුරුද්දෙ හොඳම සිනමා පටයට සහ හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනාගන්නෙත් "ආරාධනා"ම තමයි... 

ශර්මිලා තාගෝර් එක්ක රාජේශ් ඛන්නා ප්‍රධාන චරිත රඟපාන "ආරාධනා" චිත්‍රපටියෙ  ජනප්‍රියම ගීතය මොකක්ද කියලා ඇහුවොත් මිනිත්තු කිහිපයක් කල්පනා කරලා බලන්න සිද්ද වෙන තරමට අපූරු ගීත ගණනාවක්ම අපිට මේ චිත්‍රපටයෙන් හොයාගන්න පුළුවන්.


"මෙරෙ සප්නො කි රාණි"- කිශෝර් කුමාර්
"රූප් තෙරා මස්තානා" - කිශෝර් කුමාර්
"චන්දා හෑ( හේ ) තු මෙරා සූරජ හෑ( හේ ) තු "  - ලතා මන්ගේෂ්කාර්
"ගුන් ගුනා රහෙ හි භන්වාරෙ "  - මොහොමඩ් රාෆි එක්ක ආශා බෝස්ලේ
"කොර කා ගස් තා යෙ මන මේරා"   කිෂෝර් කුමාර් එක්ක ලතා මන්ගේෂ්කාර්............ඔන්න ඔහොම කියාගෙන යන ලිස්ට් එකක්.......



ඔය අතරින් වීතරාගීගෙ ෆේවරිට්ම ගීතෙ වෙන්නෙ මෙන්න මේක.. (චිත්‍රපටිය සහ ගීත ජවනිකා වල  දෙන්නගෙ ආදරේ කොච්චර සජීවීද කියන එක ගැන වෙනම බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ඕන.)











මේ "සනම්" ගෙ "කොර කා ගස් තා"......
(හිනා වෙන්න එපා යකුනේ! හින්දියෙන් හෙලයට ගේනකොට එහෙම තමා.. )



හින්දියෙන් ගීතය තියෙන්නෙ මෙහෙම. 

कोरा कागज़ था, ये मन मेरा
लिख लिया नाम इस पे तेरा
सूना आँगन था जीवन मेरा
बस गया प्यार इस में तेरा

टूट न जाए सपने, मैं डरता हूँ
नीस दिन सपनों में देखा करता हूँ
नैना कजरारे, मतवारे, ये इशारे
खाली दर्पण था ये मन मेरा, रच गया रूप इस में तेरा

चैन गवाया, मैंने निंदियाँ गवाई
सारी सारी रात जागू, दू मैं दुहाई
कहू क्या मैं आगे, नेहा लागे, जी न लागे
कोई दुश्मन था ये मन मेरा, बन गया मीत जा के तेरा

बागों में फूलों के खिलने से पहले
तेरे मेरे नैनों के मिलने से पहले
कहा थी ये बाते, मुलाकाते, ऐसी राते
टूटा तारा था ये मन मेरा, बन गया चाँद होके तेरा

වීතරාගීට හිතුනා ගීතය හෙල බසට ගේන්න පොඩි උත්සාහයක් දාන්න. ;). 

(හරි හරි ඡායානුවාදය කියමුකො... ;) )

හිස් පතක් වන් හිතක
ලියවමි ඔබේ නම 
හිස්කමින් හිස්ව ගිය පෙත
නවාතැන් ගත්තාද ඔබ පෙම

බිය වෙමි
සුරැකි සිහිනයන්
සුණු විසුණුව යතැයි 
සිහිනය ඔබම වෙයි
දිව රෑ වෙනස නැති වෙයි

මත් බැලුම් දෙන
අඳුනෙන් වැසූ දෙනයන 
කැඩපතක් වෙමි
කිසිදු රුවකට ඉඩ නැති
සොඳුරුබව 
ඔබ පමණි එහි නිවසන

සොරා ගත්තිය
දෙඇස නින්දද
මනස සැනසුම
යැදුමෙන් පිරෙයි මුළු රැය
කුමක් කියන්නද
නොඇලෙමි
නොබැඳෙම් ද කෙලෙස ඔබ හා

මට ම සතුරු වී මසිත
ඔබ හා මිතුරු වෙන රඟ

උයනේ
නෙක කුසුම් පිබිදෙන්ට පළමුව
අප දෙනෙත් හමුවට පෙර
කතාබහ නැඟෙයි හැම අත
මේ හමුවීම්?
මේ රාත්‍රීන්?

බිඳුණු තරුවකි මහද
ලසඳ බවට හැරවෙන ඔබ අත


 ආරාධනා ෆිල්ම් එකයි ඔය සින්දුවයි එක්ක අපිට අමතක කරන්න බැරි අනිත් චරිතෙ තමයි එච්. ආර් ජෝතිපාල.  කවදත් සුපර් ස්ටාර්!



හදිස්සියේ ආරධනා මතක් වුනේ අන්තර්ජාලේ මේ දවස් වල සැරිසරණ අපූරු වීඩියෝවක කෙලි පොඩ්ඩකගෙ ගායනාවක් දැක්ක නිසා. මේ බාසා කලවමට නම් වීතරාගීගෙ එච්චර කැමැත්තක් නැති වුනත් මේ ළමයගෙ දක්ෂකම වීතරාගීට පරණ හින්දි පිස්සුව මතකෙට ගෙනාවා.


ඔන්න වීතරාගීලත් ජනවාරි 31 වෙනිදා "නයින්ටීස් හින්දි හිට්ස්"  වලට ඉස්කෝලෙ ඉස්ටේජ් එකේ ආයෙමත් නටනවා කියලා තැන තැන කතා වෙන්නෙ.

වීතරාගීටත් ගීතෙ ගයන්න ආසා හිතුනා කියන්නෙ.....




"රජ්ජුරුවන්ට තියෙන්නේ බූරු කන් දෙකක්! " - The King's Got Donkey's Ears!





            බ්ලොග් ලිවිල්ල සහ එය පවත්වාගෙන යාම ලේසි පහසු කාරියක් නොවේ ය. වෙලාවකට හිතේ තියෙන්න ඔක්කොම වේදනා, චෝදනා වාන් බින්දා වගේ ඔහේ ලියා දමාලා හිත හදාගන්න හිතුවත් එහෙම බැරි බව තේරුණාම උලව් බ්ලොග් ලිවිල්ල බල්ලට දමා දන්න කියන කෙරුවාවක් කරගෙන ඉන්න හිතෙනවා ය. ඒත් හිතේ තියෙන  අනේකප්‍රකාර ආල කටන්දර, විරහ වේදනා, අතීතකාමය හා සබැඳි වග විස්තරාදිය එළියට දමා හිත හෑල්ලු කරගන්නට හොඳම ගුහාව මෙයම බව හිත කියන හන්දාම තවමත් මේ පැත්තේ එනවා ය. ඒකත් හරියට අර බූරු කන් දෙකේ කතාව වගේය. 


මොකක්? බූරු කන්දෙකේ කතාව දන්නෙ නෑ කිව්වා? :O



   ඒ වගටත් මෙසේය. 



එකමත් එක රටක කබරාස්සයෙක් වගේ කූර තර රජෙක් උන්නේ ය.මෙහෙව් මහ රජා නිතර එළිපහලියට නො ආ හේතුව රටේ කවුරුත් දැන ගෙන හිටියේ නැතුවා ය.හදිසියේ රජවාසල කරණවෑමියා නොහොත් බාබර් කොළුවා ලෙඩ ගානේ වැටුණේ ය. ඒක හරියට ජාති "කුදුබල සේනා ගාය" වාගේ එකක් ය. ලේසි පාසුවෙන් ගොඩයන්න ලැබෙන්නේ නැත. කොහොමින් හෝ ඔය කෙලිය නිසාවෙන්ම වාසලට පිටින් බාබරයෙක් ගෙන්නා ගැනීමට මහ රජාට සිදු උණේ ලු.



  සුපරස්ටාර් වාගේ තරඟා වලි කීපයකට පස්සේ අපේ ගමේ බාබර්ට චැන්ස් එක වැදිනි. උදේ පාන්දරින්ම වාසලට ගොස් වැඩේට බැස්ස උන්දාට දවල් තරු පෙණුනේ රජාගේ කන්දෙක අල්ලද්දීය. හත් ඉලව්වේ! මහ රජාට තිබුණේ බූරු කන් දෙකකි. කාගේ සාපයක්දැයි කියන්නට දන්නා කෙනෙක්ද උන්නේ නැතුවා ය.


කොණ්ඩෙත් කපා කබරාස්ස රජාගෙන් ප්‍රාණෙත් බේරගෙන ආවාට බාරබයා දැන් අප්‍රමාණ අමාරුවකින් පීඩා විඳින්නේ ය. කාටවත් කියලාත් බැරිය. නොකියාත් බැරිය. ගෙදර උන්දාත් රටේ උන්දලාත් දවසින් දවස බාබරයාට වහකදුරු වෙන්නට ගත්තේ රහස නිසා උපන් ටෙන්සන් එක නිසා ම ය.


 බාබරයාට අන්තිමේ ගණ දෙවි නුවණ පහල විය. ගංඉවුරේ උණ පඳුර යට වලක් හාරාගත් උන්දා මහ රාත්තිරියක වලට කණ තබා මෙහෙම තුන් පාරක් කිව්වේලු!



"රජ්ජුරුවන්ට තියෙන්නේ බූරු කන් දෙකක්! "

"රජ්ජුරුවන්ට තියෙන්නේ බූරු කන් දෙකක්! "
"රජ්ජුරුවන්ට තියෙන්නේ බූරු කන් දෙකක්! "


පහුවදා පාන්දර මහා ආශ්චර්යයකි! ගං ඉවුර දිගට අර උණ පඳුරේ පුරුක් පැතිරී මහා උණ යායක් පැතිරුණා විතරක් නොවේය. ජනතාව නිහඬ වූ රටක උණ පඳුරු මෙන්න මෙහෙම කියමින් හුළඟට වැනෙන්නට උණා ලු!


"රජ්ජුරුවන්ට තියෙන්නේ බූරු කන් දෙකක්! "
"රජ්ජුරුවන්ට තියෙන්නේ බූරු කන් දෙකක්! "
"රජ්ජුරුවන්ට තියෙන්නේ බූරු කන් දෙකක්! "
"රජ්ජුරුවන්ට තියෙන්නේ බූරු කන් දෙකක්! "
"රජ්ජුරුවන්ට තියෙන්නේ බූරු කන් දෙකක්! "
................

Thursday, January 7, 2016

කාංසාමය මනෝ විභ්‍රමික පැරඩි සවුදම! ( :O :O :O )


"අප්පච්චි මේ බලන්නකෝ! මෙයා මදර්ස් ඩේ එකටත් විෂ් කරලා මැසේජ් එවලා!"






(හත්පාරක් කෝල් කලා. කතා නොකරන්න මම අහවල් වරදක් කෙරුවාය කියලද? බලාගම්මු! )

ලෝකේ හැම දෙයක්ම පවතින්නේ පැවැත්ම උදෙසා පමණමද? 

වීරයන් සහ වීරවරියන් ලෙස "වරදවා වටහාගත්"  චරිත පමණක් ම මේ ජීවිත ගමනේදී මුණ ගැහෙන එක සාමාන්‍ය සහ සරල කාරණාවක් ලෙස සලකලා හිත හදා ගත යුතුද?

ඒක පැවැත්ම උදෙසා පරමාදර්ශී චරිත සොයමින් වෙහෙසවෙන අපි වගේ බාල පෘතග්ජනයින්ගේ ෆැන්ටසිය කුඩු කරන්න මේ "සිස්ටම්" එකෙන්ම හදලා දෙන ඉන්ද්‍රජාලික මායාවක් වගේ කතාන්දරයක්ද?

ඒක ජනතා විමුක්ති පෙරමුණත් සමාජ ජාල වෙබ් අඩවි වලින් "පැරඩි අතවරයට" ලක්වීමට සමපාත කරන්න පුළුවන්ද?


වැඩක් නෑ සෑම්! වැඩක් නෑ ! වරක් දෙවරක් නෙවෙයි සිය දහස් ලක්ෂ වාරයක් කතා කලත් මේක ගැන මීට වඩා කියන්න දෙයක් නෑ. මේකෙන් මීට වඩා කොරන්න පුළුවන් කෙරුවාවකුත් නෑ. (ආව් අම්මා! එහෙම කිව්වම මූණෙ එන හිනාව! ) මහා පුරුසයො, මහ ඉස්තිරියාවො මෙගාස්ටාර්ලා වාගෙ කාගන්න කා ගැනිල්ල, බෙලි කපන්න දිය රෙදි මූට්ටු කිරිල්ල දැන් පැටන් එකක් වෙලාදා කොහෙදෝ.

"මක් කිව්ව? ලක්ෂ වාරයක්?? ඒක ගණිතමය තාර්කික පදනමක ඉඳලා කරපු ප්‍රකාශයක්ද නැත්නම් නිකන්ම නිකන් මෝඩ ගැමි ගෑණු ව්‍යවහාරයක්ද?"

 මම යෝජනා කරනවා මෝඩකම කියන එක සාපේක්ෂතාවාදයට අනුව බොරුවක් බව ඔප්පුවෙලා තියෙන නිසා ඔය යෝජනා සහ චෝදනා සම්ප්‍රප්ප්‍රලාප ගණයේ ලා නොසලකා හරින්න පුළුවන් බවට."

කැමති විදිහකට හිතා ගන්න එකයි. 

ජනවාරි අට ජයග්‍රාණෙ ආපසු හරවන්න ආවොත් මරාගෙන මැරෙනවා යකෝව්! 



Wednesday, January 6, 2016

"රිබන් පටිය"

    කට වචනෙට එනවැයි කිව්වට මම නම් කීයටවත් හිතුවෙ නැ "රිබන් පටිය" එයි කියලා.ඒත් ආවා. ආවම නෙවියි.එන්න සිද්ද වෙලා,හදිසියෙ අසනීපවෙලා තිබුණෙ ලෝකෙ ලොකුම ලොකු නිවාඩු දවසෙ.රටේ එකම එක ඉස්පිරිතාලෙක විතරක් බෙහෙත් කරන දවසක්.මම හිටියෙත් එහෙ.තිබුණෙ නාඩි බලලා ,මූණ බලලා ලෙඩේ හොයාගෙන බෙහෙත් දෙන්න.මූණ නම් ඉතින් අමුතුවෙන් බලන්න දෙයක් නැ නෙ.අවිස්වාසයක් ඇති කරගන්න කාරණාවක් නැ.කළුවරේ හරියටම නොපෙනුනත් එදා ලප,කැලැළ් ,ආවාට වල සමීප රූපයක් පෙනී නොපෙනී තිබුණ නෙ මිනිත්තු පහක් විතර.එක දිග..........................ටම


මම එලි වෙනකල් ම නිදි මරලයි හිටියෙ."රිබන් පටිය"ට ගැලපෙන කුර්තාවක් තෝරන්න ගිහින්.දන්නෙම නැතිව එළි වුණ දවසක් ඒක.ඒ හින්දා නින්ද නොනින්ද අතර වුණ දේකට මගෙන් සහතික ඉල්ලනවා හෙම නෙවී ඕං.


      යන්නෙ කොහෙද ,ඇයි කියලා තීන්දු තීරණ ගන්න තරම් නිරවුල් නැති හිතක්,උණුවෙලා දිය වෙලා වාෂ්ප වෙන්න ඔන්න මෙන්න හිතක ඇලුනාම ආයෙ කවර කථාවක්ද?එහෙම නොඇලෙන්න අර දෙවෙනි "රිබන් පටි"මයෝකාඩියම හ‍ර්ද අකරණීයකට යන බව මම දැනගෙනමයි හිටියෙ. විගහට ,තෝරගෙන ආව කුර්තාව අන්දවලා ,මම ම ගොතපු මෆ්ලර් එක බෙල්ල වටේ එතුවා.වෙලාවෙ හැටියට දෙන්න පුළුවන් හොඳම ප්‍රථමාදාර දීලා උණු උණු කිරි හදලා පොවලා , බත් දෙකටක් කවලා හයිය හත්තිය අරන් දුන්නා.මමය කියල වෙන මොනවා නම් කරන්නද?


ඕන්න ආයෙමත් බෙහෙත් කරන දවස."රිබන් පටිය"කහ පාටට දිලිසි දිලිසි මා ඉස්සරහම.මම සුදු මැලිව සහ විස්මයාකූලව.හරිද මන්දා ඒ යෙදුම.ඒ කිව්වෙ පුදුමය මුසු නොසන්සුන් බව .පටු කොරිඩෝව දිගේ මම රිබන් පටිය ඉනේ හංගගෙන බේත් උයනටම ආවා.බේත් සුවඳට රිබන් පටිය කෙලින් වෙලා බිමට පැන්නා.දුවගෙන ගිහින් බුළු ගහට නැගලා ඔන්චිලි පදින්න ගත්තා.ඊට පස්සෙ මගෙ ඉන වටේ පැටලිලා කහ මල් වැටුණු කළු තාර පාර දිගේ උඩහට පහලට දුවන්න .මෙන්න ටිකකින් බලද්දි අර කවියෙ තිබ්බ ඇහැල ගහ යට හොඳටෝම නිදි.



"
වසන්ත සාදයට
බලෙන් ඇදගෙන ආ
පොඩි ඇහැල ගස් වලත්
ඉඟ ඉහ පුරා

මල්!
මල්!
මල්!"





මම හිමීට පුරුදු හාද්ද දීල කූද්දන්නත් හදලා ආයෙත් ඒ ගහ යටින්ම වාඩි වුණා."රිබන් පටියෙ"කෙට්ටු අතක් මගේ මූණෙ හැප්පුණා.


සාක්කුවෙන් බිමට වැටුණ කඩදාසි පෙත්තක මෙහෙම ලියවිලා තිබුණා.

බෙහෙත් ඔරුව
කොහි සිටද මේ එන්නේ
පාවීගෙන
පෙඳ පාසි දෙබෑකරගෙන
ඛාදනය වී ඇති
ඉවුරකට

බෙහෙත් ඔරුව
ලියා තබමි කවියක්
ඔබට
ගං ඉවුරෙහි වූ
වැල්ල මත

ඕලු මලක් තබා එහි
රැගෙන යා හැකිය
ඒ කවිය

බෙහෙත් ඔරුව
යාත්‍රා කළ යුතුය ඔබ
කොඳ මල් අතරින්
පෙරට ......


Tuesday, January 5, 2016

අපි සන්තෝසෙන් ඉන්නේ...........

   සන්තෝසෙන් ඉන්න කවුද අප්පා අකමැති.අලුත් අවුරුද්දෙ අහස් වෙඩිල්ලක් කාරිය පත්තු කරලා ඔය කොයි කවුරුත් ප්‍රාර්ථනා කරන්නෙ සාමය ගාවට "සතුට" පිරිච්ච සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා නෙව.


වීතරාගී විශ්වාසකරන හැටියට තමන් ආවෙ කොහෙන්ද, හිටියෙ කොතනද කියලා හිතේ තියෙනවා නම් ( ඒක හිතේ තිබ්බම ඇති.. :), යන්න ඕනෙ කොතනටද කියලා ඡායාවක් වාගෙ හරි අදහසක් තියෙනවා නම් සන්තෝසෙට යන පාරෙ පළමු අඩිය ඔයා දැනටමත් තියලා ඉවරයි.

   හිතන්නකෝ අත තියන තියන වැඩේ බකල් වෙන කාලයක් ආවා කියලා.අර කලේ පැන් නැති, නැවුම් රහ නැති, රොටියත් කරවෙන කාලය වගෙ එකක් කියලා හිතා ගන්නකෝ.

 ඒ වෙලාවට අයියෝ! දෙයියෝ! කිය කිය ඒක මත්තෙම වැටිලා හැපිලා උන්නොත් නම් වැඩේ තව තවත් අල වෙනවා මිසක  යහපතක් නම් වෙන්නෙ නෑමයි කියලයි වීතරාගීට හිතෙන්නෙ.



  ඕකට කරන්න පුළුවන් හොඳම, පළවෙනිම දේ තමයි ඔය ඔක්කෝටම අදාල පරිසරේ චේන්ජ් කරන එක. සිම්පල් නෙ. දාගන්නවා වන් ඩේ ට්‍රිපක්.ගත්ත බයිසිකලේ. ගියා රවුමක්.




නැත්තන් බුක් කලා ට්‍රේන් එක.ගියා!





ගමන ඉවර කරලා එනකොට හිතේ තිබ්බ අලකලන්චි වලින් සැහෙන ප්‍රමාණයක් වැනිෂ්!වෙහෙස මහන්සිය, දුක, සාංකාව කියන ගොඩක් කාරණා වලට මේ ක්‍රමය අත්දුටුවයි!සත්තයි!



අනිත් කැතම කතන්දරේ තමයි මෙහෙම අවුලක පැටළුණාම අපි හිතන්නෙ ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවකට ඕකට මූණදුන්න මිනිස් ප්‍රාණියා තමුන් කියලා. එහෙම නැත්නම් අපිට තමයි නරකම දේ සිද්ධ වුණේ කියලා. 



වැරදියි! 

වැඩි දුරක් ඕන නෑ ළඟ ළඟම ඉන්න කීප දෙනෙක්ගෙන අහලා බැලුවොත් ඔයිට හපන් ස්ටෝරීස් බර ගාණක් හොයා ගන්න පුළුවන් වෙයි.ජංජාලෙ පොඩ්ඩක් කරක් හැහුවොත්, නැත්නම් ඔයාගෙ වීරයින්ගෙ ලිස්ට් එකේ ඉන්න අයගෙ ජීවිත කථා පොඩ්ඩක් හොයාගෙන කියෙව්වොත් ඔයට තේරෙයි ඔයාගෙ ජීවිතේ කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද කියලා. :p






   තව ක්‍රමයක් තමයි පැත්තක් අල්ලගෙන ටිකක් කල්පනා කරලා ඔය සෝක ජනක අවස්ථාවෙ මූල බීජෙ හොයා ගන්න එක. එතකොට ඔයාට පුළුවන් මොන දේ හින්දා ආයෙ අප්සට් වුනා වුණත් ඔය හේතුවටම අප්සෙට් නොවෙන්න මාර්ගයක් හොයාගන්න.ඒකත් නරකම නෑ නේද?

ඔය කෝකටත් වඩා හොඳමම දේ තමා නිහඬව කාලයට ගලාගෙන යන්න දෙන එක. ගොඩක් අය මාත් එක්ක එකඟ වෙන්නෙ නැති වෙයි. 

ඒත් තමන්ට අදාල නොවෙන හරි, තමන්ට කොහෙත්ම පාලනය කරන්න බැරි හරි, අතාදාන්න ගියොත් තව තවත් වර්චස් වෙනවා වගෙ පේන හරි ප්‍රශ්ණයක් නම් කරන්න තියෙන හොඳම දේ තමයි නිහඬව ඉන්න එක. කියන තරම් ඒක ලේසි නෑ තමයි. ඒත් දවසක ප්‍රශ්ණෙටම උයාව එපා වෙලා දාල ගිහාම දැනෙන සැහැල්ලුව, සතුටට ඔයාටම හිතාගන්න බැරි වෙයි. අර සෆරින් වලට වෙන් කරන්න තිබ්බ කාලෙ ඔයා වැඩකට ඇති වෙන වැඩකට යොදවලා තිබ්බ නම් .... 

සුහ්හ්හ්!

ඕන සෝකයක් උපරිම ප්‍රීතිය බවට පත් කරගන්න මන්තරේ ඔයා හොයා ගත්තා වාගෙ තමයි! :D



හප්පා! වැරදි කොන් අලාගන්නවා හෙම නෙවෙයි ඕං!. :D

මේ උපදෙස් දෙන්නෙ මම සදා සුවෙන් සතුටෙන් ජීවත් වෙන මනුස්සයෙක් හින්දා නෙවෙයි. ඒ වුණාට ප්‍රශ්ණ එන්නෙ මිනිස්සුන්ට කියලත්, වැඩි හරියක් ඒවා මිනිස්සු හින්දා කියලත්, ඉතින් උත්තරේ හොයාගන්න ඕන මනුස්ස ගති ඇසුරෙන්ම කියලත් දන්න හින්දා., ඔය මොක මොක හරි කරලා මගේ විදිහට ජීවිතේ ගෙවලා දාන්න මම පුළු පුළුවන් හැම වෙලේම ට්‍රයි එක දෙනවා.

කාගෙවත් රූකඩයක් වෙලා කල්පයක් ජීවත් වුණත් මොකටද ආයිබොවන්ඩ?

අපිට ලෝකෙ මිනිස්සු හිතන පතන විදිහ වෙනස් කරන්න බෑ තමයි. ඒත් අපිව වෙනස් කරගන්න බැරි කමක් නෑ නේද? 

පොඩි කැපකිරීමක සතුට අවුරුදු ගානක සැනසීමක් දෙයි ඔයාට .



කරලම  බලන්නකෝ!!!!

(රහසක් කියන්නද? අපි සතුටෙන් ඉන්නවා දකින  එක තරම් දුකක්, දඬුවමක් ඔයාගෙ ප්‍රශ්ණ වලට නෑ තවත් නෑ. ;) )

Monday, December 28, 2015

කාලෙකට පස්සෙ බ්ලොග් ලිවීල්ල පටන් ගන්න හිතුවා!!!!!!

කාලෙකට පස්සෙ බ්ලොග් ලිවීල්ල පටන් ගන්න හිතුවා.පොඩි ඉස්ටඩියකුත් කරගෙන යනවා. ඒ ගැනත් ඉදිරියට සටහන් ලියවෙයි.ඉඳිකට්ටා, යෝධයා ගැනත් නොලියවුණු කතා බෝමයි.

බලමුකො ඒනම් ! 
ජය වේවා කිව්වා!