Tuesday, September 27, 2022

රුවන් සර්!



 ගුරුවරු  - ඒක හරි ලොකු මාතෘකාවක්.


කවදාවත් ගුරුවරියක් වෙන්න කියලා මට පොඩිවත් බලාපොරොත්තුවක් තිබිලා නෑ. අහම්බෙන් වගේ "ගුරුකමේ" යෙදෙන්න ලැබුණ අවුරුදු තුනක් වගේ කාලෙදි ඒක බොහොම හොඳ තෘප්තියක් ලැබිය හැකි වෘත්තියක් බව අඳුනාගන්න ලැබුණත් දෛවය හෝ එවන් අන් තැනක මගෙ නම ඉදිරියේ එහෙම වාසකමක් දිගටම ලියවිලා තිබුණෙ නෑ.


මගෙ පෙර පාසල්, ප්‍රාථමික පාසල් සහ අනෙකුත් පාසල් ඉතිහාසෙ බැලුවම  ඒක හරිම සුමුදු සුදු මුදු ගමනක්. අවුරුදු දහ හතරටම පෙරපාසල්  හා පාසල් කාලෙ මට ආදරණීය "ටීචලා" "මිස්ලා" මිසක් "සර්ලා" මුණ ගැහිලාම නැති තරම්. දහම් පාසලේ නම් ටිකක් මරුමුස් "සර්" කෙනෙක් හිටි බවට ලා මතකයක් තියෙනවා. ;)


චාලට් ටීච,  විජේසිංහ ටීච, කොඩිකාර ටීච, විජේනායක ටීච, සෝමා මිස්, ඉන්ද්‍රා මිස්, ප්‍රියානි මිස්, අදටත් එක හුස්මට  නම් වැලක් වාගෙ මතකෙට එනවා.


විශ්වවිද්‍යාල ආචාර්‍ය, මහාචාර්‍ය ලයිස්තුව  පොඩ්ඩක් පැත්තකින් තිබ්බම මට නිතර මතකෙට එන අපූරු චරිතයක් ගැන ලියන්නයි මේ ලියමන පටන් ගත්තෙ.


මේ කියන ගුරුවරයා වෙනස්. විවෘත විශ්වවිද්‍යාලෙ ඇතුලෙ අපිට කවදාවත් ඇහැට ඉලක්කයක් වෙයි කියලා හිතන්නවත් බැරි දේවල් "රුවන් සර්" ට පේනවා. අපි නිතර දකින මූණු, සර් මූණුපොතට රූප කාව්‍ය කරලා අරගෙන එනවා


සර් උගන්නනෙ මොන පීඨෙද , මොන විෂයක්ද කියලා මම දන්නෙ නෑ. ඒත් සර්ගෙ ඇස් හොයාගන්න රූපරාමු ඇතුලෙ තරුණකම, ජවය, ආදරය, සැහැල්ලුව, දෝරෙගලනවා. අපිව අවුරුදු හත අටක් අතීතෙට අරන් යනවා.


පුංචි බත්කූරො, ඇහැල්ගස්  අතු ඉති අගිසිවල අමාරුවෙන් එල්ලිලා ඉන්න පිනිබිංදු, තරුණ මානවිකාවන්ගෙ  ඇස්වල උතුරන ආදරේ, පොඩි මඩවගුරක දඟලන අවිච්චි පැටවුන්ගෙ හුරතලේ  ; 



සර් හවසට - හවසට ෆේසබුක් එකේ අලවලා තියෙනවා. වෙහෙසවෙලා වැඩකරලා ගෙදර එන අපේ ඇස්වලට ඒවා අපූරු නිවනක් අරන් එනවා.


ගුරුවරියක් වෙන්න බලාපොරොත්තුවක් නොතිබුණ මම දැන් ගුරු වෘත්තියට ආදරේ කරනවා. ගයනිලා, තුලනිලා , රුවන්තිලා,ක්‍රිෂ් අක්කලා ඒ වෘත්තියේ බර සහ වෙහෙස මට ආයෙ ආයෙත් මතක් කරලා දෙනවා. <3 <3 <3


නිතරෝම හිත නිදහස් කරන, සැහැල්ලු කරන, දැකුම් , ලියුම්, වචන පතන ඕනම කෙනෙක් වගෙ මමත් හිස් අවකාශයකට වඩා පිය සල්ලාප, ප්‍රභාශ්වර රූපරාමු, රසවත් කවි -කතා  අතරේ මරණෙට කලින් උදාවෙන කාලෙන් වැඩි කොටසක් ගෙවාදාන්න කැමතියි. 





එතනදි "රුවන් සර් "  සමාන්තර වෙනස් ලෝකෙක ඉඳන් ඇස් ඉස්සරහ ගෙනත් තියන සුන්දර පාඩමේ නිස්කලංක තප්පරවලට මම වඩ වඩාත් කැමතියි.


එතුමා එක වචනයක් නොහොල්ලා මගෙ ගුරුවරයෙක් වෙන්නෙ එහෙමයි!


ස්තුතියි සර්!❤

Wednesday, March 22, 2017

හිතළු පොතේ කතාවක්........



ඔස්ට්‍රේලියාවේ වසන

X මහත්මයා
මුහුණු පොතේදීය....

අපේ ලොකු දුව J, එයාගේ ඉස්කෝලේ විවාද කණ්ඩායමට තේරිලා. පහුගිය දවස් ටිකේම එයා කර කර හිටියේ තේරීම් තරගවලට පුහුණු වෙන එක. ඉතිං ඊයේ හවස වැඩ ඇරිලා ආපු ගමන් ඇය මා වෙතට දුවගෙන ඇවිල්ලා මේ ආරංචිය කිව්වම මට හරියට සතුටු හිතුණා.

ඇත්තටම අපි ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණේ ලංකාවෙදි අපි විඳපු අමිහිරි අත්දැකීම්වලින් අපේ දරුවන්ව මුදවගන්න. විභාගවලින් ඉහලම ප්‍රතිඵල ලබලත්, ලංකාවේ සිවිල් සමාජය ඇතුලේ "චරිතයක්" විදිහට හැසිරෙන්න පුළුවන් රැකියා කරලත්, ගොඩක් තැන්වලින් රස්තියාදු නොවී වැඩක් කරගන්න පුළුවන් සමාජ සම්බන්ධතා ජාලයක් තිබිලත්, අපිට ලංකාවෙදි ඔලුව බේරගෙන ජීවත් වෙන්න අමාරු වුණා. 
දැන් මේ කිසිවෙකු නොදන්නා නොරටේ, අපේ ලොකු බලපෑම්වලින් තොරව, මව්බස නොවන භාෂාවකින් අධ්‍යාපනයේ නිරත වෙමින්, අපේ දරුවන් ජයග්‍රහණ ලබනකොට සිතට සතුටක් දැනෙනවා.
ලංකාවෙදි ගොඩක් වෙලාවට බහු වාර්ගික, බහු සංස්කෘතික පාසලකදී නං වෙන්නේ බහුතර ජනවර්ගයට අයත්, පාසලේ ගුරුවරුන්ට හිතවත්, එසේත් නැතිනම් මූල්‍ය ශක්තියෙන් ඉහළ හෝ සිවිල් චරිතයක් වුණ හෝ ආදි ශිෂ්‍යයෙකුගේ තරමක දක්ෂතාවක් සහිත දරුවෙකුට ඔවැනි අවස්ථා ලැබෙන එක.
ඔස්ට්‍රේලියාව බහු වාර්ගික හා බහු සංස්කෘතික සමානාත්මතාව එරට ව්‍යවස්ථාවෙන්ම තහවුරු කළ රටක්. මහ පොළොවෙදිත් බොහෝ වෙලාවට එය ක්‍රියාත්මක වෙනවා. අපේ දරුවාගේ දක්ෂතාවට පාසලේදී නිසි තැන හිමිවීමෙන්ම ඒ බව පේනවා. මෙතනදි අපිට අපේ දරුවන්ට වගේම මේ රටටත් ආදරේ හිතෙන්නේ ඒකයි!




සිරිලංකාවේ  වසන
N මෙනවිය
හිතළු පොතේදී ය.........

හිතවත්  X මහත්මයාණෙනි, 

මා ඔබ දෙපළගේ  මුහුණු පොතේ සමීප මිතුරියක නොවූවත් කලක සිට ඔබ පලකරන දෑ කියවනවා. ඔබේ දියණිය මුහුණු පොතින්ම දැක ; ඇය ලැබූ ජයග්‍රහණය ගැන මගේ අත්දැකීම් ද සිහිවී සැබෑ සතුටක් දැණුනේ ඔබ දෙපල පිළිබඳ මා තුල ගොඩ නැගී ඇති මැදහත් ප්‍රතිරූපයද නිසාවෙන් . 

මේ ඉන්බොක්ස් පණිවිඩය ඔබේ කතාවට ව්‍යාතිරේකයක් ලෙස සැලකිය හැකියි.එය කොමෙන්ටුවක් ලෙස එක් නොකර මැසේජයක් ලෙස ඔබට එවන්නේ අතිශය පෞද්ගලික පුරාජේරුවක් ලෙස යම් අයෙකු එය වටහාගන්නවා දැකීමට ඇති නොකමැත්තත්, කලාතුරකින් වුවත් ඔබත් මාත් ආදරය කරන ලංකාව තුල මෙවැනි දේ සිදුවන බව ඔබට කියන්නට මට අවශ්‍ය වූ නිසාවෙනුත්. 

ඉතාම සාමාන්‍ය පවුලක දියණියක්ව ඉපදී පහවසර ශිෂ්‍යත්වයේ මහිමයෙන් මම .................. බාලිකාවට ඇතුලු වුණේ 1995    වසරේ දී. ඒ කාලයේ මම හරිම කුලෑටියි. ගෙදරදී  කියවිලිකාර දැරියක් වුණ මගේ, පාසල තුල පලකෙරුණු මෞනවෘතය මටම අදහාගන්නට බැරිවූවක්. අට වසරට එනතුරු අඩුම ගානේ මට එකදු මිතුරියක්වත් සිටියේ නැහැ. පාසල මට ඉතා නීරස තැනක් වෙමින් තිබුණේ  දහම් පාසලේ  බලමණ්ඩල කථික තරඟ වලින් පළමුතැන දිනාගත් මම පාසලේදී  මිතුරියකවත් නැති ඒකචාරී ප්‍රාණියෙක්ව සිටි නිසයි.

කාලය ගෙවුණා. නව යොවුන්වියත් සමඟ මිතුරියන් එකා දෙන්නා සමඟ මගේ ඇසුර වැඩුණා.මා දසවන වසරේ ඉගෙන ගනිමින් සිටියදී යි ඒ අසිරිමත් මොහොත උදා වුණේ.

කලා උළෙල වෙනුවෙන් පවත්වන නිවාසාන්තර තරඟ ආරම්භවී තිබුණා. ඒ වෙද්දී පිට පිට වසර කිහිපයකම ජයග්‍රහණ දිනාගත් ................ නිවාසීය නාට්‍ය කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස මම නමක් දිනාගෙන සිටියා. ඒ කිසිදු බාහිර බලපෑමක් නිසා නෙවෙයි.

අහඹු ලෙස නිවාසාන්තර කථික තරඟ සඳහා සහභාගී වීමට මගේ නමත් නිවාසයෙන් යෝජනා වී තිබුණේ මේ නාට්‍ය හුටපට නිසාමයි. 

ඉදිරිපත්වූ පළමු  වසරේදීම අන්තර් නිවාසීය කථික තරඟයේ පළමුතැන මට හිමි වුණා. විශාල ප්‍රසාදයක් හිමිවුණා. ඒ තරඟයට ගුරුවරියකගේ දියණියක් සහ විවිධ ඉහල යැයි සම්මත වෘත්තීන් වල නිරත දෙමාපියන්ගේ දරුවන් රැසක් සහභාගී වුණා. කිසිදු විරෝධයක් එල්ලවූ සලකුණක්වත් මට දැනගන්නටලැබුණේ නෑ.එතැන් පටන් ඉතා සුමට ගමනක්.  අන්තර් පාඨශාලීය සහ සමස්ත ලංකා මට්ටම දක්වා. වසර දෙකක් පාසලේ සිංහල විවාද කණ්ඩායමේ නායිකාව ලෙස සහ අවසාන වසරේ පාසලේ දක්ෂතම කථිකාවිය ලෙස සම්මාන ද සමඟින්. 

ඉතින් එපමණයි. මට කීමට ඇත්තේ මෙයයි. මගේ පාසලට මාස  තාමත් ආදරය කරන්නේ එය අගනුවර උසස් බාලිකාවක් ලෙස ලෝක සම්මතයේ පවතින නිසාවත්, ඒ නිසා මගේ ජීවිතයට අමුතු ආලෝකයක් ලැබෙන නිසාවත් නෙවෙයි. "ඉස්කෝලෙන් අවුට්වෙන්න" බැරිතරම් , අන් බොහෝ තැන්වලදී නොලැබුණු සාධාරණ දේ මගේ ජීවිතයට ලබා දුන් නිසයි.

ලංකාවම එතරම් සාධාරණ තැනක් නොවන බව;
විශ්වාස කළ නොහැකි ලෙස සුදුසුකම් පමණටත් වඩා සපුරා සිටියදී රජයේ විශ්වවිද්‍යාලයක සහකාර  කථිකාචාර්‍ය ධූරය දැරීමේ අසීරුව පිළිබඳ අත්දැකීම් ඇති මා දන්නවා.  :D

ඔබට ජය! 

අප ඔබේ ලියමන් නිරතුරු  කියවන බව නැවතත් සිහිපත් කරනවා. :)

ප.ලි.  මගේ මේ නොස්ටැල්ජික  නරුමාලාපය කියවීමට ගතකළ කාලය වෙනුවෙන් ස්තුතියි! :)


චැට් පෙට්ටියේ ඉතිරිවූ යමක්...........

X -මෙය මෙලෙසම එතන පළකරන්න. මෙහි කිසිම පුරාජේරුවක් නෑ. අදහස් පළ කළාට ස්තුතියි. මෙබඳු දේ කියවීමෙන් ලංකාවේ එක තරුණ පාසල් ගුරුවරයෙකු හෝ ගුරුවරියක වෙනස් වුවහොත් එයත් වටිනවා.


කඩුළු

බොහෝ උස් බැවින් හදිසියේ උපන් කඩුළු
මගැර සිය දහස් මල් පිපෙන තුරු ලතා මඩුළු
අඳුරු පෙත්මගෙක අත ගගා පිසලම්න් කඳුළු
සොඳුරු මතකයෙන් නික්ම යන දැරිවියකි කුරුළු


මම කැමති

ඇස්පියා ගත්තමත්
සීරුවට බිඳි බිඳී යන සද්දෙ
ග්ලාබ් ග්ලබ් - සිචිරි  චිරි චිරි

කෝඩුකාර 
සරුවත් උගුරක් තරම් සීරුවට
රෝසපාටට
උකුවට 
මුදුවට

මට කියන්න
ගලන්නට බැරි ඇයි ඔබට
මධුර පදාර්ථ
බෙදාගන්නට බැරි ඇයි අපට

කාර්‍යාලේ
පංකා පවා නිදිකිරන
දුරකතන රැහැන් අස්සේ
ඔබෙ කටහඬ ගලන්නෙත්
තවරගෙන නිදිමත
ලා කහ
පැෂෝනා වීදුරුවක සීතලට
තොල්තෙමන්  ගලන්නට බැරි හැටි ඔබට
අපමණක් රස හිතේ තිබුණට

දන්නවා
වර්ණනා කළ තරම්
මධු රසට
ප්‍රේමයක් නැහැ ඔබට
ඔබ කැමති 
කහට නැති ඕනෑම තැනකට

හෙවනැළි කැපෙන හවසක
ලුණු හුලඟක් උණත් 
සීතයි සනීපයි
සිනිදු පා
ලපටි පාවහන් පටි දකිද්දී
මට ඉරිසියා හිතෙන්නේ ඒකයි

මූදු වෙරළක
නිවාඩු පාඩුවේ නිවෙන්නට නෙවෙයි

ලාබ උපමාවක් වුණත්
රැළි සරැළි නැති
ලවණාධික දෙනෙත් සාගරේ
කිමිදෙන්න
ඉපිලෙන්න
ඉඩ දෙතොත්
නවතින්න

මගේම විදිහකට
ඔබේ හිත
ප්‍රෙහෙලිකාවක් වගේ තෝරන්න

ඔබ ඉතා කැමති
වෛවර්ණයට පෙනෙන
දුමින් කළ දේදුන්නක් වගේ
කිසිවකුට නොදැනෙන්න
තුනී වී මැකී වියැකී යන්න

ලෝකයක් යැයි යමක් නැති තැනක
අකනිටා බඹ ලොවට ළඟ තැනක
එකට දියවී යන්න

නොතේරෙන හැටි මට ම
තෝරන හැටි ඔබට මේ හැම

ඒත්
මම කැමතිත්
කතාවේ ඒ ටිකට
ඔබේ 
දැනුම් තේරුම් පථයෙන්
එපිට හෝ මෙපිට 

මං ඉන්නෙකට......

Wednesday, March 1, 2017

දෙදහස් එක් රැය

කොට්ටම්බා අතු මිදුල පුරාම වැටුණ වැටුණ තැන නිදාගෙන උන්නා. කේන්තියි මට. ඉදලත් අරන් ඇවිත් උදේ අතුගාපු මිදුලට මම ආයෙත් ටොකු අනින්න ගත්තෙ ඒ කේන්තියෙන්මයි. චන්දෙට කොඩිවැල් ඇදලා. කැඩිච්ච රබර් සෙරෙප්පුවක් කොට්ටං ගහ මුල.

කොට්ටං අතුටික ගහ මුලට කරලා කුස්සියෙන්  ගෙට ගොඩවුණා විතරයි. සාලෙ දොරට තට්ටු කරනවා. සුපුරුදු තට්ටුව. මට කට කොණකට හිනාවක් ආවා. අම්මා ලිප ළඟ. සාලෙ දොර හරියට අරින්න වුණෙත් නෑ.

බොහ්! පිස්සු නරියා ඇඟට පැනලා අත්දෙකෙන් අල්ලගත්තා.

"කොල්ලො මිදුල වනසලා නේද? සුමාල්ගෙ සෙරෙප්පුවත් කැඩුණා ඊයෙ මෙතනදිම. අපි ඉතින් ගහමුලින් තියලා ගියා ඔයාට අපිව මතක් වෙන්න කියලා"

"වැඩේමයි! "

අත ගසලා දාලා කුස්සියට හැරෙද්දි  පිස්සු නරියා කොන්ඩෙන් අල්ලගත්තා

"වැඩේට තමයි"

"වලා" කොණ්ඩෙ ඇදල අරන් දිව දික්කරලා මම කිව්වා.

"ඇන්ටී!තේ එකක් බොමුද? " පිස්සු නරියා කුස්සිය දිහාවට එබිලා කෑහැහුවා.

"ඉතින්?" නරි ඇස් හිනාවුණා. ඇහේ බබත් හිනාවුණා.
"කොහොමද එදා පේපර් එක?" මං ඇහුවා.

"හා!වෙලාවට මතක් කලේ. ඔයාව දාලා හෝල් එකට යද්දි පැය භාගයක් පරක්කුයි. එහෙන් තෙමිලා. මෙන්න ලිව්ව උත්තරේ "

දෙයියනේ! එග්සෑම් හෝල් එකේ ඉඳන් මේ මනුස්සයා උත්තරපත්තරේ ගෙදරගෙනත්. මම ඒක උදුරලා ගත්තෙ ඉවසුම් නැති කේන්තියෙන්. මොන මෝඩයෙක්ද ඇත්තට...

ඒත්!..... පළවෙනි පිටුවෙ උඩින්ම ලියලා තිබුණෙ මෙහෙමයි.

ආදරණීය සංදීපනී!.........................................................................


ෆුල්ස්කැප් සයිස් පිටු අටක් පුරා ආදරේ උතුරන බොලඳ වචන. අඬන්නද හිනාවෙන්නද කියලා මටම හිතාගන්න බැරි වුණා





....................................................................


ඊයෙ රෑත් ඒ වගේ හොරෙන්ම  ඇවිත් රෝස රිබන්පටියක් දොරකඩින් දාලා ඔයා ගිහින්. ඒත් මේ ඒ ගෙදරවත්, ඒ ඔයාවත්, ඒ මමවත් නෙවෙයි. අඬන්නද හිනාවෙන්නද කියලා මට තාම හිතාගන්න බෑ.



Saturday, August 27, 2016

අප දැවෙන කතර දෙස ඉස්පාසු බැල්මක් හෙලන්නී...........










දැඩිතර විරෝධයක් සහිතව, අභ්‍යන්තරයෙන් ම ප්‍රතික්ෂේප කෙරුණද, අධිවේගී පරිභෝජනවාදී අර්ථක්‍රමය කාන්තාරය තුල දිනෙන් දින තම වපසරිය පුළුල් කරගනිමින් සිටියි. "වියළි" හෝ "නිරුදක" වචන අනුමානය ඉක්මවමින් ප්‍රත්‍යක්ෂය ප්‍රදර්ශනය කරන අවධියකි. අවසන් දියබිඳත් අහසට දන් දුන් වැලි කැටයකින් ජීවිතය කුමක්දැයි නාසන්නැ'යි සියල්ලට පෙර මම ඔබෙන් ඉල්ලමි. ජීවිතය තවමත් අප අතමානයේ ම දැවටෙමින් හිඳියි. සිහිල් සුළං ධාරාවක්ව අහම්බෙන් මෙන් අප හරහා ගමන් කරයි.
දිවිබර පුරවාගත් ගැල ද, පෙර මැනව කිසිවකු විසින් සකසා දෙන ලද මගක අප ගෙන යන ගොනු ද, සමඟ තවලම ඉදිරියට ඇදෙයි.කතර වට වැහි පිළිබඳ කතාන්දර සිහිපත්ව ගොනු කුර ඉක්මන් වෙයි.එහෙත් දැවෙන හිරු දැක තව තවත් ගිනිකන වැටී වැල්ලෙහි ම එරී යයි.
ඉදිරියේ ගිනිවැල්ලේ එරී නිල්වන් පතක් නලලේ තබා ඉර මුවා කරමින් පෙරමග බලන ඊතණ පඳුර අප යන මගට මදක් ඔබ්බේ , සුළඟ ගයන, අප නොඅසන ගායනාවක් අසා සිටියි.මගහැර නොයැන්නැයි ඔබට සිහි කැඳවමි. දූලි අතරින් පෙරී, තණ පතට එබී, ඉසියුම් හරිතලව පවා කිතිකවන සිනා සලන්නේ ඒ සුළඟයි. ඊතණ පඳුරෙන් අසා සිටින්නේ රහසේ ගලා යන, හිරියල පලා මතුවීමට නියමිත ජලධාරාවේ වගතුග විය යුතුය. නැවතිල්ලේ අසා සිටින්නේ නම් යන එන ඕනෑම අයෙකුට ඒ රහස කියන්නට සූදානම් බව සුළඟ දැන සිටින්නට ඇත.

ජීවිත කලහාරියේ අඩි සියගණනක් ගැඹුරේ, හිරිගල් තට්ටු අතරේ ගලායන කවි දහරාව යනු , දැඩිතර විරෝධයක් සහිතව, අභ්‍යන්තරයෙන් ම ප්‍රතික්ෂේප කෙරුණද, අධිවේගී පරිභෝජනවාදී අර්ථක්‍රමය කාන්තාරය තුල දිනෙන් දින තම වපසරිය පුළුල් කරගනිමින් සිටියි. "වියළි" හෝ "නිරුදක" වචන අනුමානය ඉක්මවමින් ප්‍රත්‍යක්ෂය ප්‍රදර්ශනය කරන අවධියකි. අවසන් දියබිඳත් අහසට දන් දුන් වැලි කැටයකින් ජීවිතය කුමක්දැයි නාසන්නැ'යි සියල්ලට පෙර මම ඔබෙන් ඉල්ලමි. ජීවිතය තවමත් අප අතමානයේ ම දැවටෙමින් හිඳියි. සිහිල් සුළං ධාරාවක්ව අහම්බෙන් මෙන් අප හරහා ගමන් කරයි.
දිවිබර පුරවාගත් ගැල ද, පෙර මැනව කිසිවකු විසින් සකසා දෙන ලද මගක අප ගෙන යන ගොනු ද, සමඟ තවලම ඉදිරියට ඇදෙයි.කතර වට වැහි පිළිබඳ කතාන්දර සිහිපත්ව ගොනු කුර ඉක්මන් වෙයි.එහෙත් දැවෙන හිරු දැක තව තවත් ගිනිකන වැටී වැල්ලෙහි ම එරී යයි.
ඉදිරියේ ගිනිවැල්ලේ එරී නිල්වන් පතක් නලලේ තබා ඉර මුවා කරමින් පෙරමග බලන ඊතණ පඳුර අප යන මගට මදක් ඔබ්බේ , සුළඟ ගයන, අප නොඅසන ගායනාවක් අසා සිටියි.මගහැර නොයැන්නැයි ඔබට සිහි කැඳවමි. දූලි අතරින් පෙරී, තණ පතට එබී, ඉසියුම් හරිතලව පවා කිතිකවන සිනා සලන්නේ ඒ සුළඟයි. ඊතණ පඳුරෙන් අසා සිටින්නේ රහසේ ගලා යන, හිරියල පලා මතුවීමට නියමිත ජලධාරාවේ වගතුග විය යුතුය. නැවතිල්ලේ අසා සිටින්නේ නම් යන එන ඕනෑම අයෙකුට ඒ රහස කියන්නට සූදානම් බව සුළඟ දැන සිටින්නට ඇත.
ජීවිත කලහාරියේ අඩි සියගණනක් ගැඹුරේ, හිරිගල් තට්ටු අතරේ ගලායන කවි දහරාව යනු , ගැහැණිය ම බව විශ්වාස කරන්නැයි මගේ සිත මට කියයි. කතර මතුයේ කුඩා බිම්කඩක නිල්ල පතුරුවා සිටින ඇය සදාතන දාහයක ඌෂ්මය දරා ගන්නීය. ඇසට නිවන ගෙනෙන්නීය. ගතක ගිමන නිවන්නීය. මනස් විඩා තවන්නීය.
කතර මතුපිටට දිය ගෙන පිරික්සන සාත්තුනායකයකු දියේ සිසිල අත්දකින්නේය. එය දිනෙක ඝනව පැවති බව සිහිකරගන්නේය. දැන් දියව වැගිරෙන මුත් මොහොතකින් වාෂ්පීකරණයේ ගුප්තතාපය ඉක්මවන තැන ආකාසය කරා ඉගිලෙන බව ද දැන ගන්නේය. ඝනව සිට ඌර්ධවපාතනයකට හසුව වැගිරෙන සමය අතික්‍රමණය කර ආකාසගතවන ශක්‍යතා දරන්නිය ගැන මවිතවන්නේය.
ඇසමානයේ රැඳෙන කවිය ද එවැන්නකැ'යි මට සිතෙයි. විවිධ වෙසින් අප ඉදිරියේ සැරසී සිටියද ඒ සෑම කවියකම ජීවය මේ "ආපෝගුණය" ම බව විශ්වාස කරමි.සහජ පෝලියෝවෙන් සහ මාරාන්තික අනතුරකින් උරුම කරගත් සදාතනික වේදනාවන් ඉක්මවා තෙලිතුඩග ජීවිතය සිත්තම් කරන්නට ෆ්‍රීඩා කාලෝට ජීවය පොවන්නේ ද,නලඟනක ලෙස ලොව ඇද බැඳ තබාගන්නට මැර්ලින් මොන්රෝ සමත්වන්නේද, වේල්සයේ කුමරියව සිට ලොවක් හඬවමින් අවසන් ගමන යන්නට ඩයනාව 'වාසනාවන්ත?"වන්නේද , පර්ල් එස් බක් සාරභූමියේ පිටු අතර ජීවය වපුරන්නේද, ඒ අපෝගුණ මහිමයෙන් ම බව, විශ්වාස කරන්නැයි යළිත් මගේ සිත මට බල කරයි.බලකිරීමට යටත් නොවී අවබෝධයෙන් එකඟ වෙමි.
ආකාසයෙන් දිය දහරක ගමන නොනවතියි.ඉහල මුදුනක රැස්වී කැටිගැහී,පෙරපර නොගැලපුණු කතා යළි ගලපන්නට තනන්නී,කතරින් විනිර්මුක්තව ඒ කතරම අවලෝකනයට ද හැකිකම් ලබන්නීය.ඔහේ ගසාගෙන යන්නට ද නොකැමැත්තේ නොවේ.තුඟු කඳු බඳක හැපී විසුණුව මෝසම් කුණාටුවේ අනවරත පහරකෑම් ලබන්නී යළි දියව වැගිරෙන්නීය. ඉනික්බිති කතර හෝ ඉන් එතෙරව අන් තැනෙක නව ඵල උපදවන්නට තෙතමනය සදන්නීය.අපෝ ගුණවන්තී, මව්වත් කාව්‍යකාරී, ලෝකය නිවාලන්නීය.
නැවත ඔබට කියමි.කවිය ද ගැහැණිය ද තම නොසිඳෙන ආපෝ ගුණයෙන් රුහිරයද, ක්ෂීරයද, ජීවයද හොබවන්නී මෝසම් මේඝයක්ව වැතිරී, පැතිරී සිටින්නීය.අප දැවෙන කතර දෙස ඉස්පාසු බැල්මක් හෙලන්නීය.ගැහැණිය ම බව විශ්වාස කරන්නැයි මගේ සිත මට කියයි. කතර මතුයේ කුඩා බිම්කඩක නිල්ල පතුරුවා සිටින ඇය සදාතන දාහයක ඌෂ්මය දරා ගන්නීය. ඇසට නිවන ගෙනෙන්නීය. ගතක ගිමන නිවන්නීය. මනස් විඩා තවන්නීය.
කතර මතුපිටට දිය ගෙන පිරික්සන සාත්තුනායකයකු දියේ සිසිල අත්දකින්නේය. එය දිනෙක ඝනව පැවති බව සිහිකරගන්නේය. දැන් දියව වැගිරෙන මුත් මොහොතකින් වාෂ්පීකරණයේ ගුප්තතාපය ඉක්මවන තැන ආකාසය කරා ඉගිලෙන බව ද දැන ගන්නේය. ඝනව සිට ඌර්ධවපාතනයකට හසුව වැගිරෙන සමය අතික්‍රමණය කර ආකාසගතවන ශක්‍යතා දරන්නිය ගැන මවිතවන්නේය.
ඇසමානයේ රැඳෙන කවිය ද එවැන්නකැ'යි මට සිතෙයි. විවිධ වෙසින් අප ඉදිරියේ සැරසී සිටියද ඒ සෑම කවියකම ජීවය මේ "ආපෝගුණය" ම බව විශ්වාස කරමි.සහජ පෝලියෝවෙන් සහ මාරාන්තික අනතුරකින් උරුම කරගත් සදාතනික වේදනාවන් ඉක්මවා තෙලිතුඩග ජීවිතය සිත්තම් කරන්නට ෆ්‍රීඩා කාලෝට ජීවය පොවන්නේ ද,නලඟනක ලෙස ලොව ඇද බැඳ තබාගන්නට මැර්ලින් මොන්රෝ සමත්වන්නේද, වේල්සයේ කුමරියව සිට ලොවක් හඬවමින් අවසන් ගමන යන්නට ඩයනාව 'වාසනාවන්ත?"වන්නේද , පර්ල් එස් බක් සාරභූමියේ පිටු අතර ජීවය වපුරන්නේද, ඒ අපෝගුණ මහිමයෙන් ම බව, විශ්වාස කරන්නැයි යළිත් මගේ සිත මට බල කරයි.බලකිරීමට යටත් නොවී අවබෝධයෙන් එකඟ වෙමි.
ආකාසයෙන් දිය දහරක ගමන නොනවතියි.ඉහල මුදුනක රැස්වී කැටිගැහී,පෙරපර නොගැලපුණු කතා යළි ගලපන්නට තනන්නී,කතරින් විනිර්මුක්තව ඒ කතරම අවලෝකනයට ද හැකිකම් ලබන්නීය.ඔහේ ගසාගෙන යන්නට ද නොකැමැත්තේ නොවේ.තුඟු කඳු බඳක හැපී විසුණුව මෝසම් කුණාටුවේ අනවරත පහරකෑම් ලබන්නී යළි දියව වැගිරෙන්නීය. ඉනික්බිති කතර හෝ ඉන් එතෙරව අන් තැනෙක නව ඵල උපදවන්නට තෙතමනය සදන්නීය.අපෝ ගුණවන්තී, මව්වත් කාව්‍යකාරී, ලෝකය නිවාලන්නීය.

නැවත ඔබට කියමි.කවිය ද ගැහැණිය ද තම නොසිඳෙන ආපෝ ගුණයෙන් රුහිරයද, ක්ෂීරයද, ජීවයද හොබවන්නී මෝසම් මේඝයක්ව වැතිරී, පැතිරී සිටින්නීය. අප දැවෙන කතර දෙස ඉස්පාසු බැල්මක් හෙලන්නීය.



Sunday, January 10, 2016

"ආරාධනා"

       "ආරාධනා" ෆිල්ම් එක ගැන ඇහුවෙ නැති මියුසික් පිස්සෙක් ඉන්නවා නම් බොහොම කලාතුරකින් හම්බවෙන ජාතියෙ කේස් එකක් වෙන්න ඕන.



1969 අවුරුද්දෙ ඔක්තෝම්බර් 24 වෙනිදා මුලින්ම තිරගත වුණ "ශක්ති සමන්තා" නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරපු  ආරාධනා චිත්‍රපටිය මේ තරමට ජනප්‍රිය වුණේ "එස්. ඩී. බර්මන්" ගෙ මනමෝහනීය ස්වර නිර්මාණ සහ "ආනන්ද් භක්ෂි" ගෙ ගී පද රචනා නිසා බවයි  දන්න කවුරුත් කියන්නෙ.

ඒ අවුරුද්දෙ හොඳම සිනමා පටයට සහ හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනාගන්නෙත් "ආරාධනා"ම තමයි... 

ශර්මිලා තාගෝර් එක්ක රාජේශ් ඛන්නා ප්‍රධාන චරිත රඟපාන "ආරාධනා" චිත්‍රපටියෙ  ජනප්‍රියම ගීතය මොකක්ද කියලා ඇහුවොත් මිනිත්තු කිහිපයක් කල්පනා කරලා බලන්න සිද්ද වෙන තරමට අපූරු ගීත ගණනාවක්ම අපිට මේ චිත්‍රපටයෙන් හොයාගන්න පුළුවන්.


"මෙරෙ සප්නො කි රාණි"- කිශෝර් කුමාර්
"රූප් තෙරා මස්තානා" - කිශෝර් කුමාර්
"චන්දා හෑ( හේ ) තු මෙරා සූරජ හෑ( හේ ) තු "  - ලතා මන්ගේෂ්කාර්
"ගුන් ගුනා රහෙ හි භන්වාරෙ "  - මොහොමඩ් රාෆි එක්ක ආශා බෝස්ලේ
"කොර කා ගස් තා යෙ මන මේරා"   කිෂෝර් කුමාර් එක්ක ලතා මන්ගේෂ්කාර්............ඔන්න ඔහොම කියාගෙන යන ලිස්ට් එකක්.......



ඔය අතරින් වීතරාගීගෙ ෆේවරිට්ම ගීතෙ වෙන්නෙ මෙන්න මේක.. (චිත්‍රපටිය සහ ගීත ජවනිකා වල  දෙන්නගෙ ආදරේ කොච්චර සජීවීද කියන එක ගැන වෙනම බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ඕන.)











මේ "සනම්" ගෙ "කොර කා ගස් තා"......
(හිනා වෙන්න එපා යකුනේ! හින්දියෙන් හෙලයට ගේනකොට එහෙම තමා.. )



හින්දියෙන් ගීතය තියෙන්නෙ මෙහෙම. 

कोरा कागज़ था, ये मन मेरा
लिख लिया नाम इस पे तेरा
सूना आँगन था जीवन मेरा
बस गया प्यार इस में तेरा

टूट न जाए सपने, मैं डरता हूँ
नीस दिन सपनों में देखा करता हूँ
नैना कजरारे, मतवारे, ये इशारे
खाली दर्पण था ये मन मेरा, रच गया रूप इस में तेरा

चैन गवाया, मैंने निंदियाँ गवाई
सारी सारी रात जागू, दू मैं दुहाई
कहू क्या मैं आगे, नेहा लागे, जी न लागे
कोई दुश्मन था ये मन मेरा, बन गया मीत जा के तेरा

बागों में फूलों के खिलने से पहले
तेरे मेरे नैनों के मिलने से पहले
कहा थी ये बाते, मुलाकाते, ऐसी राते
टूटा तारा था ये मन मेरा, बन गया चाँद होके तेरा

වීතරාගීට හිතුනා ගීතය හෙල බසට ගේන්න පොඩි උත්සාහයක් දාන්න. ;). 

(හරි හරි ඡායානුවාදය කියමුකො... ;) )

හිස් පතක් වන් හිතක
ලියවමි ඔබේ නම 
හිස්කමින් හිස්ව ගිය පෙත
නවාතැන් ගත්තාද ඔබ පෙම

බිය වෙමි
සුරැකි සිහිනයන්
සුණු විසුණුව යතැයි 
සිහිනය ඔබම වෙයි
දිව රෑ වෙනස නැති වෙයි

මත් බැලුම් දෙන
අඳුනෙන් වැසූ දෙනයන 
කැඩපතක් වෙමි
කිසිදු රුවකට ඉඩ නැති
සොඳුරුබව 
ඔබ පමණි එහි නිවසන

සොරා ගත්තිය
දෙඇස නින්දද
මනස සැනසුම
යැදුමෙන් පිරෙයි මුළු රැය
කුමක් කියන්නද
නොඇලෙමි
නොබැඳෙම් ද කෙලෙස ඔබ හා

මට ම සතුරු වී මසිත
ඔබ හා මිතුරු වෙන රඟ

උයනේ
නෙක කුසුම් පිබිදෙන්ට පළමුව
අප දෙනෙත් හමුවට පෙර
කතාබහ නැඟෙයි හැම අත
මේ හමුවීම්?
මේ රාත්‍රීන්?

බිඳුණු තරුවකි මහද
ලසඳ බවට හැරවෙන ඔබ අත


 ආරාධනා ෆිල්ම් එකයි ඔය සින්දුවයි එක්ක අපිට අමතක කරන්න බැරි අනිත් චරිතෙ තමයි එච්. ආර් ජෝතිපාල.  කවදත් සුපර් ස්ටාර්!



හදිස්සියේ ආරධනා මතක් වුනේ අන්තර්ජාලේ මේ දවස් වල සැරිසරණ අපූරු වීඩියෝවක කෙලි පොඩ්ඩකගෙ ගායනාවක් දැක්ක නිසා. මේ බාසා කලවමට නම් වීතරාගීගෙ එච්චර කැමැත්තක් නැති වුනත් මේ ළමයගෙ දක්ෂකම වීතරාගීට පරණ හින්දි පිස්සුව මතකෙට ගෙනාවා.


ඔන්න වීතරාගීලත් ජනවාරි 31 වෙනිදා "නයින්ටීස් හින්දි හිට්ස්"  වලට ඉස්කෝලෙ ඉස්ටේජ් එකේ ආයෙමත් නටනවා කියලා තැන තැන කතා වෙන්නෙ.

වීතරාගීටත් ගීතෙ ගයන්න ආසා හිතුනා කියන්නෙ.....