Friday, September 21, 2012

කවිය අවිය විය!

      

 දැන් කවි වලට කිසි "ඩිමාන්ඩ්" එකක් නැහැ.ඉස්සර වගේ නෙවෙයි.දැන් පත්තර වලිනුත් කවි පිටු අයින් කරලා.එන්න එන්නම ඉල්ලුම වැඩි වෙන්නෙ කතාන්දර වලට.මිනිස්සු කැමතියි කෙටි බරපතල කවි වලට වඩා අලගිය මුලගිය විස්තර දාලා ලියපු කතාන්දර වලට.

කොහොමත් අපි ඉස්සර ඉඳලම කතන්දරවලට ලැදි ජාතියක් ලු නේ.ඒත් එහෙමම කියන්නත් බැහැ.මිනිස්සු කැටපත් පවුරේ කතා ලිව්වෙ නැ නෙ.ඒක නම් එක්කො මහන්සිය හින්දා වෙච්ච එකක් වෙන්ට ඇති .අර මහ පර්වතේ නැගලා නැගලා අසිරිමත් ආලකමන්දාව දැකලා නොලියා යන්ට බැරිකමට ලියපුවා වෙන්ටත් ඇති.රජ්ජුරුවන්ට මොනවා හිතෙන්න ඇද්ද?,මහේසිකාවො කොහොම ඉන්ට ඇද්ද?පිදුරංගල වඳින්ට යන්ට ඒ මහේසිකාවො කොහොම සූදානම් වෙන්ට ඇද්ද? ආදී වසයෙන් නෙක නෙක කතා හිතේ මැවිච්ච පලියට ඕක එක පාරටම ලියා ගන්ටත් බැරි වෙන්ට ඇති.ලේසියට කුරුට්ටක් කොටලා යන්න ඇති.කොයික කොහොම වුණත්එහෙම බැලුවම කවිය කියන්නෙ කතාන්දර දහසකින් කියන්ට බැරි දේවල් කියන්ට පුළුවන් මාධ්‍යක් කිව්වට වරදක් වෙන්නෙ නැහැ.
   
අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනේ ගොඩගේ මැදුරේ අර ඉස්ටේජ් එක උඩ තියෙන "ස්ටෝල්" එකේ බිත්තියක ලංකාවේ සාහිත්‍ය විකාශනය වෙච්ච හැටි ගැන විස්තරයක් ඩිජිටල් බැනරයක් හැටියට එල්ල්ලලා තිබ්බා.හරි හමනකට කියව ගන්න බැරි වුණේ රැ බෝවෙලා හින්දා අපි කාටත් එතනින් ඉක්මනට පිටවීමේ තදියමක් තිබ්බ හින්දා.ඒක හරියට කියව ගත්තා නම් මේ කතාව මීට වඩා ගැඹුරට විස්තර කරලා කියන්න තිබ්බා.

ආයෙමත් සීගිරි කුරුටු ගී වලට.ඉනාමළු කෝරලේ විතරක් නෙවෙයි හතර දිබ්බාගෙන්ම ආව මිනිස්සු මේ අසිරිමත් නිර්මාණේ දැකලා ,කලාගාරයක් නැරඹීමෙන් ලද ආශ්වාදය කවියක් බවට හරවලා ඉතිරි කරලා යාවි කියලා හිතන්න තරම් කැටපත් පවුර එතන පිහිටවපු කාෂ්‍යප රජතුමා හෝ අදාල ගෘහ නිර්මාණශිල්පියා මොන තරම් රසවතෙක් වෙන්න ඇතිද?ජීවිතය පරදුවට තියලා අවම පහසුකම් යටතේ මීටර් දෙසීයකට ආසන්න උස් පර්වතය තරණය කරන්න බාල මහළු වෙනසක් නැතුව ඇදී ආව මිනිස්සු මොන තරම් රසකාමියො වෙන්න ඇද්ද?

 සීගිරි ගී ලියන්න සීගිරි රසවතුන්ට ලැබුණ හොඳම උත්තේජකය වෙන්නෙ අවට සොබා සිරිය හා එක් වෙච්ච සීගිරි බිතුසිතුවම් නෙ.හයසිය අසූවක් විතර වුණ මේ සීගිරි ගීත සමකාලීන අනෙකුත් සාහිත්‍ය නිර්මාණවලට වඩා හාත්පසින්ම වෙනස් බවකුයි බෙල් මහත්තයයි,පරණවිතාන මහත්තයයි කියන්නෙ.ඇත්ත!කවුරු මොනවා කිව්වත් කවියා තමයි මම විශ්වාස කරන හැටියට කාලයට සාපේක්ෂව භාෂාව සහ චින්තනය එක්ක පෙරලිකාරකම් දක්වන නිර්මාණ කරුවො අතරින් ඉස්සරහින්ම ඉන්නෙ.


 ජයවේවා! කවියට සහ සියළුම කවියන්ට!

ඉතිරිය පසුවට....... 

Wednesday, September 19, 2012

මිතුරු මැතිණියකට....

අනන්තාකාශයෙද ඔබ
පොළොවට තවත් නොබැසම
දුම් දූලි තැවරෙති'යි
දිලිඳු කිළි කුණු දැවටෙති'යි

මැති මෙහෙසුරන් හඳුනන
උච්ඡාසනම හොබවන
මැතිණිය මෙහෙව් කැළඹුම
කුමට මෙ'අප චූලයන් දැක 

ලියන්නට පද දහසක්
මැතිඳුනගෙ ආසිරිවාදෙන්
දිගාසිරි බෝ වේවා!
යෙහෙන කල ගත වේවා!

ආචාරි, මහාචාරී
සිසුන් නොකර වනචාරී
ගැමුණු පරපුරක කාරී
අනුව යව මැතිණියනි බේරී

Thursday, May 24, 2012

මහත්තුරුන්ලා!




හිතේ අමාරුවටයි ආයිබෝං!
වෙන රුදාවකට හෙම නෙවී
ලිව්වා තමයි  වංහුං
වැහුං ඇරියේ නැහැ මෙතුවක් කාගෙවත්

හීනා දී මූනිච්චාවට

අක්කියෝ නංගියෝ කිව්වට
ඉස්තරම්ම වචනෙන් ලිව්වේ මොකෑ
වදාපු අම්මලාට රිදෙන තරම

‍තම තම නැණ පමණ ගැන

තමුන් වගකිවයුතු වෙන
අනුන්ගේ බුලත් පයියෙන්
දුං කොළේ අපට මක්කට

ඩිංගිරි අම්මාගෙ හිට

පානම් පත්තුව උම්මත්තක කළ
ලියන කියන උන්දලාට
සෝලි මිස නම්බු නොදුන්කොට

තරහක් නැ ආයිබෝං

ඇබිත්තං දුකක් මිහ
නිමිත්ත නාක වුණේ
ලිවිල්ලට විතරෝම විතරද?????


සැ.යු. වදින තැනකට වදින්ට කීයලා ය! අහක යන නයි නොමනා තැං ඔල නොදමා ගන්ට ය!






Friday, May 18, 2012

සර්පයා වෙතටයි!

පහුගිය ටිකේම වැඩකට ඇති වැඩක් කෙරුනෙම නැති තරම්.අළුත් රස්සාවකට ගියා.බිසීවෙන්න කිසිම උවමනාවක්  සහ කැමැත්තක් කවදාවත් නොතිබ්බ හින්දම වැඩි වැඩක් කලේ නැහැ.ළඟින්ම ඉන්න යාළුවෝ චරු චුරු ගෑවා



."ඇයි යකෝ!ඔය දන්න කියන දේවල් වලින් රටට ලෝකෙට වැඩක් වෙන්න යමක් ලියපන්කෝ"


"ලියන්න පුළුවන් එකේ පත්තරේට ආටිකල් දෙක තුනක්වත් ලියපියකෝ"


"කවි පොත ගැන අදහස හිතපන්..."


"කෝ බන් අර බ්ලොග් එක.ඒකට හෙන ගහලද..?"   
සහ බ්ලා!බ්ලා!
ටික දවසකින් උන්ටම තේරුම් ගිහාම සද්දෙ වහ ගත්තා.උන්දලාට නොකිව්වට මේ දවස්වල මම පාවිච්චි කරන්නෙ හෂිත අයියගෙ තියරිය.

"නංගියෙ!උඹට ලියන්න දෙයක් නැති වෙලාවට නොලියා ඉන්න එක තමයි හොඳම ...බලෙන් ලියන්න ගිහාම ඒක #######වෙනවා."

( අපි එහෙමයි.හැමෝම කියන එව්ව නෑහුවට කවුරු හරි කියන දේ අහනවා.)

කාලෙකට පස්සෙ අලුත් පෝස්ටුවක්ම නොවුණත් මේ ටික ලියන්න ඕන කියලා හිතුනේ චාමි සෑම් ගෙ ලලක්කා කියෙව්වට පස්සෙ.
හැමදාම ලියනවාමයි කියලා හිතාගෙන හිටියත් හැමදාම අමතක වෙන මේ කතාන්දර පොඩ්ඩවල් දෙක  කොහෙන් හරින් කටු ගාලා නොදැම්මොත් ඒක මගෙ හිතට හරි මදි වගේ.ඒකයි.එහෙම මිසක්ක මේක බ්ලොග් පෝස්ටුවක් එහෙම නෙවෙයි ඕං!
හරිය?

අපි දන්න කියන ගොබිලෙක් හිටියා.අවුරුදු දහ පහලහක ඉඳන් දන්නවා.එකට කනවා බොනවා යනවා එනවා.ගෙවල් වලින් පවා දන්නවා එකට වලබහින වග.ඕම ගිහින් ගිහින් අර උන්දායි අපේ කාණ්ඩෙම තව වනිතාවකුයි ප්‍රේමයක්ද මොකක්දෝ එකකින් වෙළුණා.වෙළුණා කිව්වෙ ඉතින් වෙළුණා තමා.

ටික දවසයි දස්ට කරගත්ත සර්ප ජෝඩුවක් වගේ දෙන්න දෙපැත්තට පැන්නා.එක එක අඩු පාඩු,නොගැලපිලි තියෙන්ට ඇති නෙ.දැන් තියෙන කොස්ස මුන් දෙන්නා එකාට එකා ජම්මාන්තර හතුරෝ වාගෙ හැසිරෙන එක.අපට ඉතින් ඕක හෙනම අවුල්.කියලා පිරිමහන්නත් බෑ.අනේ මන්දා.

පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දි දෙන්නට දෙන්නා හිත්රිදෝ ගන්නවා.වනිතාව නම් මා එක්කම ආඩපාලි කිය කිය අඬලා හිත හදා ගන්නවා.අරුන්දා මක් කොරනවද දන්නෙ නෑ.ඒකා මේක කියවන වග දන්නවා.උඹේ හැසිරීම හිතා ගන්න බෑ.කරන දෙයක් මිනිස්සුන්ට තේරෙන විදිහකට කරපන් බන්.නැත්නම් අපිත් පැටලෙනවා.

ආහ්!කතා අංක දෙක.අපේ යාළු සෑම්.

බ්ලොග් කෙරුවාවෙන් අඳුන ගත්ත අදටත් නමක් ගමක් නොදන්න හොඳ හිත ඇති මිත්තරයෙක්.එහෙම කියන්නෙ විශේෂ හේතුවකට.පහු ගිය කාලේ මොකක්දෝ හුටපටයක් වෙලා වීතරාගී බ්ලොග එක පාරටම නොපෙනී ගියා.නැති බැරි වෙලාවෙ පිහිටටට කියලා උන්නේ සෑම් විතරයි. වෙච්ච සංගෙදිය කියලා මැසේජ් පොඩ්ඩක් මූණු පොතට දැම්මෙ යමක් කරයි කියලා හිතාගෙනම නෙවෙයි.ඒත් අපරාදෙ කියන්න බැහැ දවස් දෙකතුනකින් මගෙ බ්ලොග තිබ්බ විදිහටම හදලා මග අතටම ගෙනත් දීපි.මේ චූටි අකුරු ඩිංගිත්ත ඒ සෑම්ට ඉස්තුතියි කියන්න. ටැන්කිව් ඈ!!!!

( කසාද බඳිනවා කියලා හිටු කියලා ඉන්විටේෂන් එවන උන්දලාට.>>>>>>

යකුනේ ටිකක් හීන් සීරුවේ වැඩ කරපල්ලා.ලෝක විනාසෙ බොරුවක්.අපිත් ජීවත් වෙන්න එපැයි.හරි හමන් සර්පයෙක් දැකපු කාලයක් මතක නෑ.ඇයි වදේ "ඇතුලත්මුදලි මහත්තයගෙ පඩියෙන්" මීට වඩා සැපට ජීවත් වුණා නෙ.)


Saturday, March 17, 2012

ප්‍රේමාතුර


"අව් වැසි දෙකේදීම කාගේ හෝ හෙවණක් පතන බොළඳ හර්දය වස්තුවක් සහිතව ඉපදීම අතිශය වේදනාකාරී අත්දැකීමකි.එය වඩාත් අපහසු වන්නේ තනිව ජීවත්විය හැකි,අනුන්ගෙන් නොයැපෙන ස්වාධීන මිනිසුන් මැද ජීවත් වෙන විට ය.වචනයෙන් මේ දුර්වලතාවය මඳ වශයෙන් සමනය කළ හැකි වුවත් එය යම් කාලයකට හෝ සුවපත් කිරීමට නම් ප්‍රේමය මුසු හිතවත්කමෙන් ඇරඹී ක්‍රමයෙන් වැඩි දියුණු වන ලෙන්ගතුකමක් අවැසි වේ."

-වීතරාගී-

"උඹ දන්නවද අමා.උඹ වගේම ඉස්සර පොඩිම කාලෙ මම වැඩියෙන්ම කිට්ටු ආච්චිට.හුරතලේ කියන්නෙ මොකක්ද කියන එක හොඳටම දැනගෙන උන්නෙ ආච්චි.ඒ දවස්වල අම්මා මාව බලන්න එනවටවත් මම කැමති නැ.අම්මා ආදරේ කරන්න ඇති මට.ඒත ආදරේ පෙන්නන්නෙ හුරතලේ හරහා කියලා අම්මා නොදැන ඉන්න ඇති.අප්පච්චි නම් කොහොමත් දඩබ්බර ,සැර පරුෂ චරිතයක්.කොණ්ඩෙ පීරන්න ළඟට ගත්තත් මට කිසි හුරතලයක් පෙන්නුව වගක් මතක නැ.

ආච්චිටයි සීයටයි එච්චරම කිට්ටුවෙන් ඉඳීම ආදරේ පෙන්නන්න නොදැන උන්නත් උතුරා යන ආදරයක් මම ගැන හිතේ තිබ්බ අම්මට දරාගන්න බැරි වෙන්න ඇති.ඉරිසියාවක් වගේ දෙයක් නිසා වෙන්න ඇති අම්ම නිතරම ආච්චිගෙ වැරදිම කියමින් තේරෙන වයසට එනකොට මගේ හිත බීඳවන්න හදන්න ඇත්තේ.

ඊට පස්සෙ වුණේ මම අතරමං වුණ එක.නංගිලා දෙන්නා,මලයා අම්මගෙ ජීවිතේට එද්දි එයාට මාව අමතකම වුණා.ආච්චි සීයයිත් නැති වුණා.අප්පච්චිගෙ පුරුදු දඩබ්බර ,සැරපරුෂකම එක්ක මම පොත් පත් වලට කිට්ටු වුණා.ආදරේ කරන හැටි,කියා දෙන්න මිසක් ආදරය දෙන්න ඒ පොත්වලට පුළුවන් වුණේ නැ අමා!

.
.
.

එතනින් එහාට එන්නෙ මම කතාකරන්නම අකමැති ජීවිත පරිච්ඡේදයක්.අදටත් මම හොයන්නෙ අම්මගෙන් නොලැබුණු දාරක ස්නේහය වෙන්න ඇති.ආච්චි සීය ගාවින් මාව උදුරලා ගනිද්දි මට දෙන්න එයාලා ගාව ඉතුරු වෙලා තිබ්බ ආදරේ වෙන්න ඇති.අප්පච්චිට කවදාවත්ම දෙන්න අමතක වුණ ආදරේ වෙන්න ඇති.මේ හැම දෙයක්ම එක ප්‍රාණියෙක්ගෙන් බලාපොරොත්තු වෙන සාදාරණ නොවෙන්න පුළුවන්....ඇත්ත,මම පිළි ගන්නවා.

ඒත් උඹට පුළුවන් නම් මේ ප්‍රශ්ණෙට උත්තරයක් දීපන්!

මේ වේදනාවෙන් මිදෙන්න වෙන ක්‍රමයක් තියෙනවද??????????

උඹ දන්නෙත් ලොකු කතා කියන්න විතරයි අමා.! විසඳුම් කියලා ජාතියක් දන්නෙ නැ.!!!!!"


Friday, March 16, 2012

වනිතා.


බත් උයන
දර පලන
කොණ්ඩ ගෙඩියක් බඳින

දරු හදන
දුක අදින
හැම එහෙකටම අඬන

අඬ අඬත් වැඩ කරන
හිමි ට බඹු මෙන් පුදන
හැඳි මිටට නුවණ දෙන
සුරබි දෙනකට මිසක

පොත් බලන
කවි ලියන
ලෝක සේවය හිතන

දුර පෙනෙන
ලොව දකින
දියමන්ති ගැන දන්න

කොස් ගහට කොස් ගහත්
පොල් ගහට පොල් කියන
දිව්‍යංගනා වුණත්
එපාමයි බය හිතෙන........

Monday, February 6, 2012

අඹගල අඹගල සහ අඹගල






අඹගල ගැන කතාව පටන් ගන්නේ කෝමදැයි කියා හරියටම හිතා ගන්නට බැරි ය.මගේ කුඩා සන්දිය මහගෙදර ගෙවුණු වග වීතරාගිය කියවන අයට අමුතුවෙන් කියන්නට උවමනාද නැතුවා ය.උන්දා මට මුන ගැහුණේ එහෙදී ය.
ආච්චිගේ මලයකු වූ "සෝමෙ මාමා"මා දන්නා කාලයේ රස්සාවට යන්නට නැවතී උන්නේ මහගෙදර ය.සෝමෙ මාමා වැඩි කතා බතා නැත.බෙදා දෙන දෙයක් කා බී පාඩුවේ සිටියි.හවස හතරට ගෙදර එයි.අටට පරවෘත්ති බලයි.සති අන්තයේ ගමේ යයි..එච්චරය.සීයා එක්කවත් "දේසපාලන වලියක්" දමා ගන්නවා මා දැකලාවත් නැත.ගෙදරට එන පිරිමි අයගෙන් සීයා එක්කලා දේසපාලන වලියක් නොදා ගන්නේ එහෙමත් එක්කෙනෙක් වීම නිසා සෝමෙ මාමා ගැන මට අද හිතෙන්නේ මහන වෙන්න ඔන්න මෙන්න හිට අහම්බෙන් කසාදයක් පැටළුණ අහිංසක ජෝන් කෙනෙකු වෙන්නට ඕනා කියා ය.:)


සෝමෙ මාමා නැවතී උන්නේ සීයාගේ කන්තෝරු කාමරය ලෙස පාවිච්චි කළ කාමරයේ නිසා සීයාගේ ලට පට මිනුම් කෝදු ආදී නිධාන වස්තු සහිත මහා කබඩ් රාජයා තිබුණේද එහි ය.සීයාට යතුර දමන්නට අමතක වන දවසක ආච්චීට හවසට සැප නින්දක් ගියොත් එහෙම මට රජ මගුල් ය.සෝමෙ මාමාගේ කාමරයට තිබුණේ ලස්සන කැටයම් සහිත පිත්තල යතුරක් ය.සාලේ දොරේ ගැට්ටක සෝමෙ මාමා තිය යන ඒ යතුර ගත්තාට පසු මට මහ වැඩක් නැත.ආච්චිලාට ඇහෙන්නේ නැති වෙන්නට යතුර කරකවන එක විතරය.:)))
මගේ මේ එකම විනෝදාංශය දියුණු පමුණු කරගන්නට වැඩ සිද්ද වෙන්නේ අහම්බෙන් සෝමෙ මාමා "අඹගල " මාමාව අපේ ගෙදර එක්කාගෙන ආ දවසේ සිට ය.හදිසියේ නවාතැන අහිමි කරගෙන සිටි අඹගල මාමා තම මිතුරා නැවතීසිටි අපේ මහගෙදරට පැමිණ සිටියේ ටික දිනකට නවාතැන් බලාපොරොත්තුවෙන් ය.අදිමදි කීරීම් මැද උනත් සීයා කැමැත්ත දුන්නේ "මොනා වුණත් ඒ මිනිහා එක්ක යමක් කමක් කතා කරන්නවත් පුළුවන්.මොකද සෝමෙ බිල්ලා වගේ කාමරේට රිංග ගත්තම එළියට වත් එනවයැ"වැනි කතාවක් ආච්චීට කියමිනි.
මෙතුවක් කලකට මා දැක ඇති අසාමාන්‍යම කලාකාරයා මට මුන ගැහෙන්නේ ඔහොමය.සෝමෙ මාමා වගේ නෙවේ ය.අඹගල මාමා හතරට ගෙදර ඇවිත් කාමරයට රිංගා ගන්නේ නැත.සීයා සමග පැයක් පමණ වාද කරමින් සිටියි.ඒ වෙලාවට පොල් කොළයක් හෝ කඩදාසියක් අතට අහුවන මානයේ තිබ්බොත් කල්ල මරේ ය.මොකක් හෝ සුකුරුත්තමක් මට සෙල්ලම් කිරීමට අටවා දෙයි.එක්කෝ පොල්කොල සිග්/සැග් එකක් ,නැත්නම් පොල්කොළ ගිරවෙක් හෝ නෙළුම් මල් පොකුරක් ය. නැත්නම් කඩදාසි කැටයමක් ය,.එදා මහ රැ වෙනතුරුත්,පහුවදා හවස හතර වෙන තුරුත් මගේ වියායාමය කොහොමින් හෝ ඒ අත්කම හදන කලාව හරියට අල්ලා ගැනීම ය.සමහර දාට උත්සාහය හරි යයි.සමහරදාට දින දෙක තුනක පුහුණුවීමත් අසාර්ථක් වෙයි.ඒ වෙලාවට නම පිහියා කතුරු ගොක් කොළ වීසි කර අඬනවා ඇරෙන්නට වෙන දෙයක් කරන්නට නොහිතෙයි."අනේ මේ බූතයෙක් නවත්තගෙන මම විඳින කරදරයක්.ගොක් කොළ හොයන්නයි,කෙල්ලො නලවන්නයි........."ආච්චී ආවේස වීගෙන එන බව දුටු විට මගේ ඇඬිල්ල නවතින්නේ අඹගල මාමාට යන්නට කියාවිය යන සැකයෙනි.

අනෙක් අතට හවස් වරුවේ සීයාගේ කන්තෝරු කාමරයේ අල්මාරිය ගනන් ගන්නට වටිනා බඩුවක් නොවන බව මට වැටහෙන්නට ගත්තේද "අඹගල ආගමනය" ට පසුව ය.ජනෙල් කන්ඩිය දිගට පොල් ගෙඩිවලින් හා සැහැල්ලු ලී වලින් කපන ලද නොයෙක් ආකාර කැටයම් අපමණක් විය.ආච්චී මා හුරු බුහුටි ලෙස හදා තිබුණ නිසාදෝ ඒවා ගත් වගක් නොතේරෙන්නට ගත් තැනම තබා යන්නට තරම් ප්‍රවේසම්කාරී වීමට මට හැකි විය.;)

අඹගල මාමා එක එක විකාර කුරුටු ගැ ඇක්සයිස් පොත් බර ගානක් තිබිණ.ඒවායේ ලියා තිබෙන්නට ඇත්තේ කවි විය යුතු බව මට අද හිතේ.සීරුවට රටාවට කැටයම් කරන්නට දැන සිටි අඹගල මාමා දක්ෂ සිත්තරෙක්ද විය.ඉඳහිට සවස් වරුවක මා ප්‍රිය කරන කැමක් ගෙනත් දීමටද අමතක කලේ නැත.(ගමේ ගොස් එනවිට ගෙන ආ අමුතු හබරල කොළ ජාතියකින් ආච්චී හදා දුන්නේ මතක ඇති කාලයක මම කා ඇති රසවත්ම ව්‍යංජනයයි.)බොහෝ වෙලාවට ඒ බූන්දිය.බූන්දි කමින් ආච්චී උයන තුරු මිදුලට වී අපි එක්කෝ කැටයම් කැපුවෙමු.නැත්නම් ඩබල් රූල් පොතක් ගෙන රවුමට අකුරු ලීවෙමු.අමුතු හැඩතල ඩබල් රූල් පොතේ අඳිමින් අකුරු හැඩ කරගන්නා අමුතු කලාවක් අඹගල මාමා දැන සිටීම කැතම කැත බලි අකුරු ලියමින් සිටි මගේ වාසනාවක් විය.

හිටි හැටියේ දවසක අඹගල මාමා මහ ගෙදරින් යන්නට ගොස් තිබිණ .ඒ වෙද්දී මා හය හෝ හත වසරේ විය යුතු ය,පසු කාලයේ දැන ගත් හැටියට අසල්වාසී නිවසක් තරුණියක් සමග පලහිලව්වකට ඇගේ දෙමාපියන් සීයාට දොස් කීම නිසා සීයා අඹගල මාමාට යන්නට කියා ඇත.ඊට පසු කිසි දිනෙක මට අඹගල මාමා මුන ගැසුණේ නැත.අදත් මඟ තොටකදීවත් ඒ වැඩිහිටි මිත්‍රයා මට අහම්බෙන් හෝ හමු වෙතැයි මට සිතෙන වාර නැතුවා නොවේ..

අඹගල රත්නපුරයේ ගමක් බව ආච්චී කියනු මා අසා ඇත.සබරගමුව බොහෝ සොඳුරු මිනිසුන්ට උපත දුන් ඉසව්වක් වග මට හිතෙන්නට ගත්තේ සුනේත්තරා ,මස් ඉඹුල,හෂිත වැනි මිනිසුන් නිසාය.ඒ ලයිස්තුවේ ඉහලින්ම ලියා ඇති අඹගල මාමාගේ නම අයින් කරන්නට තවමත් මට හිතක් හිතී නැත.
ඉන්නා තැනක ඔහුට යහපතක් ම වේවා.!