Monday, February 6, 2012

අඹගල අඹගල සහ අඹගල






අඹගල ගැන කතාව පටන් ගන්නේ කෝමදැයි කියා හරියටම හිතා ගන්නට බැරි ය.මගේ කුඩා සන්දිය මහගෙදර ගෙවුණු වග වීතරාගිය කියවන අයට අමුතුවෙන් කියන්නට උවමනාද නැතුවා ය.උන්දා මට මුන ගැහුණේ එහෙදී ය.
ආච්චිගේ මලයකු වූ "සෝමෙ මාමා"මා දන්නා කාලයේ රස්සාවට යන්නට නැවතී උන්නේ මහගෙදර ය.සෝමෙ මාමා වැඩි කතා බතා නැත.බෙදා දෙන දෙයක් කා බී පාඩුවේ සිටියි.හවස හතරට ගෙදර එයි.අටට පරවෘත්ති බලයි.සති අන්තයේ ගමේ යයි..එච්චරය.සීයා එක්කවත් "දේසපාලන වලියක්" දමා ගන්නවා මා දැකලාවත් නැත.ගෙදරට එන පිරිමි අයගෙන් සීයා එක්කලා දේසපාලන වලියක් නොදා ගන්නේ එහෙමත් එක්කෙනෙක් වීම නිසා සෝමෙ මාමා ගැන මට අද හිතෙන්නේ මහන වෙන්න ඔන්න මෙන්න හිට අහම්බෙන් කසාදයක් පැටළුණ අහිංසක ජෝන් කෙනෙකු වෙන්නට ඕනා කියා ය.:)


සෝමෙ මාමා නැවතී උන්නේ සීයාගේ කන්තෝරු කාමරය ලෙස පාවිච්චි කළ කාමරයේ නිසා සීයාගේ ලට පට මිනුම් කෝදු ආදී නිධාන වස්තු සහිත මහා කබඩ් රාජයා තිබුණේද එහි ය.සීයාට යතුර දමන්නට අමතක වන දවසක ආච්චීට හවසට සැප නින්දක් ගියොත් එහෙම මට රජ මගුල් ය.සෝමෙ මාමාගේ කාමරයට තිබුණේ ලස්සන කැටයම් සහිත පිත්තල යතුරක් ය.සාලේ දොරේ ගැට්ටක සෝමෙ මාමා තිය යන ඒ යතුර ගත්තාට පසු මට මහ වැඩක් නැත.ආච්චිලාට ඇහෙන්නේ නැති වෙන්නට යතුර කරකවන එක විතරය.:)))
මගේ මේ එකම විනෝදාංශය දියුණු පමුණු කරගන්නට වැඩ සිද්ද වෙන්නේ අහම්බෙන් සෝමෙ මාමා "අඹගල " මාමාව අපේ ගෙදර එක්කාගෙන ආ දවසේ සිට ය.හදිසියේ නවාතැන අහිමි කරගෙන සිටි අඹගල මාමා තම මිතුරා නැවතීසිටි අපේ මහගෙදරට පැමිණ සිටියේ ටික දිනකට නවාතැන් බලාපොරොත්තුවෙන් ය.අදිමදි කීරීම් මැද උනත් සීයා කැමැත්ත දුන්නේ "මොනා වුණත් ඒ මිනිහා එක්ක යමක් කමක් කතා කරන්නවත් පුළුවන්.මොකද සෝමෙ බිල්ලා වගේ කාමරේට රිංග ගත්තම එළියට වත් එනවයැ"වැනි කතාවක් ආච්චීට කියමිනි.
මෙතුවක් කලකට මා දැක ඇති අසාමාන්‍යම කලාකාරයා මට මුන ගැහෙන්නේ ඔහොමය.සෝමෙ මාමා වගේ නෙවේ ය.අඹගල මාමා හතරට ගෙදර ඇවිත් කාමරයට රිංගා ගන්නේ නැත.සීයා සමග පැයක් පමණ වාද කරමින් සිටියි.ඒ වෙලාවට පොල් කොළයක් හෝ කඩදාසියක් අතට අහුවන මානයේ තිබ්බොත් කල්ල මරේ ය.මොකක් හෝ සුකුරුත්තමක් මට සෙල්ලම් කිරීමට අටවා දෙයි.එක්කෝ පොල්කොල සිග්/සැග් එකක් ය,නැත්නම් පොල්කොළ ගිරවෙක් හෝ නෙළුම් මල් පොකුරක් ය. නැත්නම් කඩදාසි කැටයමක් ය,.එදා මහ රැ වෙනතුරුත්,පහුවදා හවස හතර වෙන තුරුත් මගේ වියායාමය කොහොමින් හෝ ඒ අත්කම හදන කලාව හරියට අල්ලා ගැනීම ය.සමහර දාට උත්සාහය හරි යයි.සමහරදාට දින දෙක තුනක පුහුණුවීමත් අසාර්ථක් වෙයි.ඒ වෙලාවට නම පිහියා කතුරු ගොක් කොළ වීසි කර අඬනවා ඇරෙන්නට වෙන දෙයක් කරන්නට නොහිතෙයි."අනේ මේ බූතයෙක් නවත්තගෙන මම විඳින කරදරයක්.ගොක් කොළ හොයන්නයි,කෙල්ලො නලවන්නයි........."ආච්චී ආවේස වීගෙන එන බව දුටු විට මගේ ඇඬිල්ල නවතින්නේ අඹගල මාමාට යන්නට කියාවිය යන සැකයෙනි.

අනෙක් අතට හවස් වරුවේ සීයාගේ කන්තෝරු කාමරයේ අල්මාරිය ගනන් ගන්නට වටිනා බඩුවක් නොවන බව මට වැටහෙන්නට ගත්තේද "අඹගල ආගමනය" ට පසුව ය.ජනෙල් කන්ඩිය දිගට පොල් ගෙඩිවලින් හා සැහැල්ලු ලී වලින් කපන ලද නොයෙක් ආකාර කැටයම් අපමණක් විය.ආච්චී මා හුරු බුහුටි ලෙස හදා තිබුණ නිසාදෝ ඒවා ගත් වගක් නොතේරෙන්නට ගත් තැනම තබා යන්නට තරම් ප්‍රවේසම්කාරී වීමට මට හැකි විය.;)

අඹගල මාමා එක එක විකාර කුරුටු ගැ ඇක්සයිස් පොත් බර ගානක් තිබිණ.ඒවායේ ලියා තිබෙන්නට ඇත්තේ කවි විය යුතු බව මට අද හිතේ.සීරුවට රටාවට කැටයම් කරන්නට දැන සිටි අඹගල මාමා දක්ෂ සිත්තරෙක්ද විය.ඉඳහිට සවස් වරුවක මා ප්‍රිය කරන කැමක් ගෙනත් දීමටද අමතක කලේ නැත.(ගමේ ගොස් එනවිට ගෙන ආ අමුතු හබරල කොළ ජාතියකින් ආච්චී හදා දුන්නේ මතක ඇති කාලයක මම කා ඇති රසවත්ම ව්‍යංජනයයි.)බොහෝ වෙලාවට ඒ බූන්දිය.බූන්දි කමින් ආච්චී උයන තුරු මිදුලට වී අපි එක්කෝ කැටයම් කැපුවෙමු.නැත්නම් ඩබල් රූල් පොතක් ගෙන රවුමට අකුරු ලීවෙමු.අමුතු හැඩතල ඩබල් රූල් පොතේ අඳිමින් අකුරු හැඩ කරගන්නා අමුතු කලාවක් අඹගල මාමා දැන සිටීම කැතම කැත බලි අකුරු ලියමින් සිටි මගේ වාසනාවක් විය.

හිටි හැටියේ දවසක අඹගල මාමා මහ ගෙදරින් යන්නට ගොස් තිබිණ .ඒ වෙද්දී මා හය හෝ හත වසරේ විය යුතු ය,පසු කාලයේ දැන ගත් හැටියට අසල්වාසී නිවසක් තරුණියක් සමග පලහිලව්වකට ඇගේ දෙමාපියන් සීයාට දොස් කීම නිසා සීයා අඹගල මාමාට යන්නට කියා ඇත.ඊට පසු කිසි දිනෙක මට අඹගල මාමා මුන ගැසුණේ නැත.අදත් මඟ තොටකදීවත් ඒ වැඩිහිටි මිත්‍රයා මට අහම්බෙන් හෝ හමු වෙතැයි මට සිතෙන වාර නැතුවා නොවේ..

අඹගල රත්නපුරයේ ගමක් බව ආච්චී කියනු මා අසා ඇත.සබරගමුව බොහෝ සොඳුරු මිනිසුන්ට උපත දුන් ඉසව්වක් වග මට හිතෙන්නට ගත්තේ සුනේත්තරා ,මස් ඉඹුල,හෂිත වැනි මිනිසුන් නිසාය.ඒ ලයිස්තුවේ ඉහලින්ම ලියා ඇති අඹගල මාමාගේ නම අයින් කරන්නට තවමත් මට හිතක් හිතී නැත.
ඉන්නා තැනක ඔහුට යහපතක් ම වේවා.!

Friday, February 3, 2012

ලතාගෙ කතා සහ මායිං ගොඩ කිරීං


"අනේ මන්දා බබාලත් මේව්වට කට වහගෙන ඉන්නවනෙ .මට නම් තේරෙන්නෙ නැහැ...... "ලතා විටක් හපාගෙනම ගෙට ගොඩ වෙයි.නංගී කතාවක් අසන්නට සැරසී කුස්සියට එයි.

"අනේ අපට මොකද ලතා.ඔව්ව යන තැනකට අරගෙන යන්නෙ නැ නෙ.ඔය මිනිස්සු ඔව්වා විඳවයි කවදා හරි......" අම්මා ධර්මය ඉස්සරහට දායි.

"විඳවයි කියන්නෙ ආය අමුතු දෙයක් ඕනෙන් නැ.කෝ තාම ළමයෙක්වත් ඉන්නවයැ.අනුන්ගේ එව්වා පොදි ගහලා ගහලා අනුන්ටම දීලා යයි කවදා හරි.පොඩි කෙල්ල බැන්ද කොල්ලත් හිරේ ලු,.ඒකනේ ඔය සතියකට සැරයක් මෙහෙ ඇවිත් ළමය දාල අම්මණ්ඩි එක්ක උදේට උදේට යන්නෙ...."

"අපරාදෙ හැබැයි.ඒ ළමයා ඒලෙවල් වෙනකල් ඉගෙන ගත්තා.අලුතෙන් ආව කෙල්ල වගෙ නෙවී.මනුස්සකම් තියෙනවා.."

"බබා දන්නවද .ඔය අලුත් බඩුවට ගමේ මිනිස්සු කියන්නෙ සුනාමි කියලා.ආවෙත් සුනාමි කාලෙ මාතර පැත්තෙන් නෙ.කටත් සුනාමිය වගේ .එල්ලි එල්ලි කතාව ..."

"කටක් තියෙන්නෙ කතා කරන්න නෙ..."නංගී සිනා වී අසන්නේ ලතා අවුස්සන්නටය.

"බබාලා ඔව්වා දන්නෙ නැ.ගැනියෙක්ගෙ හැදිච්ච කම තියෙන්නෙ හැම එකටම හොට දාලා කච කච ගාද්දි නෙවී.දැන් බලන්න ලොකු බබා.පාරෙ යනවා.ඔලුව උස්සලා කෙනෙක් දිහා බලනවද?කතා කරනවද?මොකෝ කතා කරන්න බැරුවද?අපි දැක්කනෙ එදා කැම්පස් එකෙන් ගෙනාව සීඩී පටියෙ කැගහපු හැටි.මන්ත්‍රී නෝනා කෙනෙක් වගේ...ඒ ඌමනා වෙලාවට"

"හීඊඊඊහ්! එයාගෙ සද්දෙ දන්නෙ අපි නෙ ලතා.ඔලුව නූස්සන්නෙ නම් ඉතින් උද්දච්චකමට .සීයගෙම මිනිබිරී නෙ.."නගාට කලින් අම්මා කට ඉස්සර කරයි.මම හිනා වෙමි.

"ඒ වුණාට ඔය මිනිස්සුන්ගේ වැඩ නොසලකා ඉන්න එක නම් හරි නැ,බබාලා අප්පච්චිට කියනන්කෝ ඇන්ටියක් දන්න කියලා ඉඩම් මායිම් වෙනස් කොන්නවා,කුඹුරු ගොඩ කොන්නවා කියලා...ඔව්වා අන්තිමට කෙළවර වෙන්නෙ උසාවි වොලින්.මුන්දලාත් ලේසි පුත්තු නෙවී නෙ.එක මිනිය මරපු මිනිහට තව එකක් කජ්ජක් නෙවී නෙ.."ලතා කම්මුලේ අත තබා ගනී.

"අනේ මට නම් දේපල වලට වඩා ජීවිත වටිනවා.මේ ළමයින්ටවත්,එයාලයි අප්පච්චිටවත් කටක් අරින්ට නොදෙන්නෙ මම......"

"උසි ගන්නනවා නෙවී හාමිනේ.මට දුකයි.ලොකු බබා බලාගන්ට එන කාලෙ ඔය දෙල්ගහ තමා මායිම.දැන් අඩි හතරක් විතර මෙහාට මායිම ඇවිත්.මම ඊයෙත් දැක්ක මහ මිනිහා කුඹුරට බැහැ ගෙන පස් අරන් ගොඩ කොන්නවා.ඔව්ව නම් සහ ගහන අපරාද....."

"අපෝ..ලතා නොදන්න කොච්චර ජාති තියෙනවද..අම්මා දැන් අක්කටයි මටයි ළිඳේ නාන්න දෙන්නෙත් නැ.ඔය මිනිහා ගස් අස්සට වෙලා බලන් ඉන්නවනෙ....."නගා ගෙ කට ඉස්සර වෙයි.අම්මා ගෙ රැවිල්ල ඇය දවා අලු කරන තරම් ය.

"එයාලා කරන එව්ව එයාලට.අපි කරන එව්වා අපිට .බැරිම වුණෝත් අපි මෙව්ව විකුණල දාලා ගමට යනවා.දැන් මේ ළමයින්ගෙ ඉගෙන ගන්න වැඩත් ඉවරනෙ."

"මුන්ට රජ මගුල් තියෙයි..පරම්පරා දේපල මුන්ට බයේ දාලා ගියොත්......"ලතා ගේ ඇස් කෝපයෙන් නලියයි.ලතා කවදත් පවුලේ කෙනෙක් ලෙසටම අපට පක්සපාතීය.

"වෙන මොනා කරන්නද ලතා.මොකෝ මිනී මරා ගන්න කියලයැ.!"

Monday, January 30, 2012

බෞතික විද්යා විනෝදය නොහොත් "කෙල්ලන්ගේ" පොඩි පොඩි වීර ක්‍රියා


කොළු කතාවලට පස්සෙ කෙළි කතාවක් හැටියට අද තමයි හා හා පුරා කියලා යශ්ටි ගෙ කතාවක් ලියන්න හිතුනෙ .මෙච්චර කලකට පස්සෙ.මේ කතාව කියවන අයට මෙලෝ රහක් නැති වෙන්නත් පුළුවන්.ඒත් ඔන්න ඔහේ ලියලා දානවා.මොකෝ මේ යන විදිහට අපෙ දරුවෙක්ට "පාසල් වියේ රස කතා " කියන කාලෙ එද්දි අපේ මෙමරිය ඒතරමටම යහපත් තත්වයෙන් තියෙයි කියලා දැන් දැන් තේරෙන නිසා මතු ආයෝජනයක් හැටියට. ඒ තරම් අපේ රටේ විශ්ව විද්‍යාල ක්‍රමය වෙලාවට කලාවට අපිව එළියට දානවනෙ.

ඔන්න අදාල කතාව මෙහෙමයි.අපි උසස් පෙළ කරන කාලේ අපටත් ඔය හැමෝටම වාගෙ දොරකඩ සිට ජීව විද්‍යාව උගන්න ගෙන එන මිස් කෙනෙකුයි,කණට නොඇසෙන ඇහැට නොපෙනෙන ඉගෙනුම් පිළිවෙලක් තිබ්බ ෆිසික්ස් මිස් කෙනෙකුයි,E සිට M දක්වා වෙච්ච බයෝ මැත්ස් ක්ලාස් ඔක්කොටොම එකවර උගන්නන්න පුළුවන් කෙමිස්ට්‍රි මිස් කෙනෙකුයි හිටියා.ෆිසික්ස් මිස් උගන්නන එව්ව ඇහෙන්නෙ ඉස්සරහ පෝලිමෙත් උපරිම දුරකට බෙල්ල දික්කරන්න පුළුවන් සත්වයෙක්ට නැත්නම් දෙන්නෙක්ට විතරයි.ඉතින් ආය අන්තිම පේලියේ හිටිය අපි ගැන කවර කතාද? මේ කතාවෙ කථා නායිකාව "යශ්ටි" දැන් ජ'පුර වෛද්‍ය පීඨෙ අවසන් වසරේ.ඉස්කෝලෙ කාලෙ තිබ්බ උන්මාද තත්වයේ හැටියට මනුස්සයා "සයිකැට්‍රිස්ට් "කෙනෙක් වෙයි කියන එක තමා අපේ ඒකායන අපේක්සාව.

මුන්දා ඒ දවස් වලත් කවුරුවත් කියන දෙයක් අහන යකෙක් නෙවෙයි..උන්න හිටි ගමන් පන්තියෙන් නැගිටලා ගිහින් ,ප්‍රින්සිපල් පන්තියට ඇවිත් හිටියත් සත පහකට ගනන් නොගෙන ,වෙව්ලමින් ඉන්න අපිව තවත් පිස්සු වට්ටමින් බබා වගේ වාඩි වෙන එක යෂ්ටිට සිම්පල්!කණට ඇහෙන්න කතා නොකරන,කැට් වෝක් එකෙන් ගමන් යන මේ අරුම පුදුම ස්ත්‍රී පරාණෙ ගැන දැඩි උනන්දුවෙන් පසු වුණ ගෝතයෙකුත් ඒ දවස්වල යෂ්ටිගෙ ෆිසික්ස් ටියුෂන් ක්ලාස් එකේ උන්නා.මගේ මේ අතිජාත මිත්‍ර පරානෙ පන්තියේ වැඩ ගැන සත පහක උනන්දුවක් නැතුවට මොකද ටියුෂන් ක්ලාස් වැඩ වලට උපරිම භක්තිය.දවසක් ළමයා ෆිසික්ස් මිස් පන්තියට එන්න කලින් එන්න කලින් මෙහෙම කියපි!

"හවසට හදාගෙන යන්න ෆිසික්ස් ගණන් 25ක් තියෙනවා.ඔයාට ඕන නම් ඉන්න.එහා පන්තියට ඉන්ග්ලිශ්! මිස් එන්නෙ නැහැ ලු..මම එහෙට වෙලා ගණන් හදනවා"

මොන දස වැඩ කළ පලපුරුද්ද තිබ්බත් දැන් මාව වෙව්ලනවා.මිස් බැරිවෙලාවත් ඇහුවොත් මම මොනවා කියන්නද?අනික රෙජිස්ටර් එකෙත් මාක් වෙලා ඉවරයි.සේරටම හපන් මිස්ට කේන්ති ගිහාම .මුණු මුණු ගගා ඉගැන්නුවට ගණ්ඨාරේ වාගේ බනින ටික පැය 2 ක්ම අහගෙන ඉන්න වෙනවනෙ.

මට හිතනන්වත් වෙලාවක් නොතියා යෂ්ටි පොත් ටිකත් උස්සගෙන එහා පන්තියට ගියා.මිසුත් පන්තියට ඇවිත් මුණු මුණුව පටන් ගත්තා.දෙකට කාලයි.ඉස්කෝලෙ ඇරෙන්න විනාඩි පහලවයි.මිස්ට යෂ්ටි ගැන ගානකුත්නැහැ.අමාරුවෙන් ගානක් හදලා ඔලුව උස්සපු මට හීන් දාඩිය දැම්මා.

"කුමාරි! මේ ඔයාගෙ ක්ලාස් එකේ ගර්ල් කෙනෙක් නේද?....."

හයියෝ!

එහා ක්ලාස් එකේ ඉන්ග්ලිශ් මිස් යශ්ටිගෙ අතින්ම අල්ලගෙන ඇවිත් අපේ ෆිසික්ස් මිස්ට බාර දෙන්න.

ඊට පස්සෙ වෙච්ච සන්තැසිය කියනන් ඕන නැ නෙ.දෙක හමාර වෙනකල් වැඩිපුර පැය භාගයක්ම දේශනාව අහගෙන ඉන්න වාසනාව අපට උදා වුණා.තිස් අටක් වූ පන්ති වාසී ජනතාව යෂ්ටිට පහුවදා දවසම සුබ පැතුවා.ආශිර්වාද කළා.ඒත් යශ්ටි නෙවෙයි එක දසමයක් සැලුනේ.

අන්තිමට බලද්දි වෙලා තිබ්බෙ මේකයි.එහා පන්තියෙ මිස් එන්නෙ නැහැ කියලා හදිස්සියෙම පීරියඩ් එක මැද්දේ ඇවිත් උගන්න්නන්න අරන්.රෝමේ ගියා නම් ගියා නම් හිටුකෝ ඒ විදිහට.අපේ උන්දා මිස්ව සත පහකට ගණන් නොගෙන ගණන් හදලා.මිස්ට යකා නැගලා නම අහලා රෙජිස්ටරෙත් චෙක් කරලා.එකම නම තියෙන අය කොහෙද පන්ති දෙකක.කණෙන් ඇදගෙන ඇවිත් අදාල තැනට දැම්මේ ඒකයි.

කැලේ මාරු කලට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගෙ තාමත් යස්ටිගෙ පරණ ගති එහෙමමයි.අදාල තත්වෙ දන්න නිසා අපි ඉවසගෙන හිටියට නොදන්න කථිකාචාර්ය මහාචාර්ය වරු එහෙම නැහැ.මුන්දා ෆයිනල් වෙනකල් ආව ගමන ම විජයග්‍රහණයක් කියාලා තමයි අපට කියන්න තියෙන්නෙ.

එහෙනම් ජය වේවා යශ්ටි! :)

ප.ලි>මේ කතාව මීට කලින් බුකියෙ ෆෝරමේක පල කොළා.කියවපු ඇත්තෝ සමාව බජනය කරත්වා!
;)

Friday, January 27, 2012

කොල්ලෝ!!!!!!!!!!! කොල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු!


පැංචා කාලේ සිටම මා වැඩියෙන්ම කැමැත්තෙන් සිටියේ තනියෙන් ඉන්නටය.ආච්චීත් සීයාත් මගේ ඒ කැමැත්තට ගරු කරමින් මා වටා වැට කඩුළු බැඳීමෙන් වැලකී සිටි බව අදටත් මතකය.ඒත් රෝස මලක් මෙන් උපන්නත් රණ්ඩු කෙක්කක් වූ නගාත්,පැටි වියේ බබා මෙන් හිට උන් හිටි ගමන් අයියා පාට් දමන්නට වූ මලයාත් නිසා කුඩා කාලයේදීම මට ඒ වරම අහිමි විය.අක්කා ලෙස උන් දෙන්නා බලා කියා ගැනීමේ වගකීම මගේ කර මත පැටවුණේ එක දෙක වසරේ උන් කාලයේදීම ය.

මහගෙදර නොහොත් සීයලාගේ ගෙදර උන් කාලය මගේ ජීවිතයේ ලස්සනම කාලය බැව් මා මීට පෙර පෝස්ටුවකින්ද කියූ වග මතකය.ඒ කාලයේ අර මාර පුත්‍රයන් දෙදෙනා උන්නේද නැත.මගේ සහයට ඩැනියල් වී හිටියේ එහා ගෙදර වාසීන් වූ රංගයියා සහ රනිල් අයියාය.මගේ සම වයසේම වුවත් රනිල් "අයියා " වීමට වැඩි කැමැත්තක් දැක්වූයෙන් මට වැඩි වැඩක් නොවීය.සෙල්ලම් ගෙයක් දැම්මත් වතුර ගෙන ඒම ඇතුළු කුදු මහත් කටයුතු සියල්ල ඉටු කළේ රනිල් අයියාය.මල් කඩා දුන්නේ,කොට්ටම්බා තැලුවේ,පිනිජම්බු ඇහිලුවේ ඒ දෙදෙනාය.මට තිබුනේ ජනෙල් ආරුක්කුවට වී කකුල් පද්ද පද්දා ඉන්නට ය.මගේ කෙළි ගති අඩු වී කොලුකම් ඉස්මතු වෙන්නට ගත්තේ උන් දෙන්නා නිසා විය යුතු බව අද මට සිතෙන්නේ ඒ නිසා ය.

හැම අළුත් අවුරුද්දකම සීයාට මසන සූට් එකෙන් කුඩා එකක් මා වෙනුවෙන් මසා දීම දන්නා කාලයේ සිටම සිදු වූවකි.අවුරුදු නැ ගමන් වලදී මා සියාගේ කුඩා අනුරුවක් වීම ගැන ආඩම්බරයෙන් පිපිරෙන්නට ආසන්නව සිටියේ මා පමණක් නොවිය යුතුය.සීයාද ඉන් අපමණ සතුටක් හා සුරතලයක් විඳින්නට ඇතැ
යි මට අද සිතේ.

දෙක තුන
වසර වලදී මා ගුරුවරුන්ගේ විශේෂ අවදානයට යොමුවූ ටියුබ්ලයිට් මෙන් දීප්තිමත් සිස්යාවක් වූ බව සිහි කරන්නේ හද පිරි සතුටකිනි. ;) ඒ වාසනාවේ මහිමයට පන්තියේ සිටි ඇම්බැට්ටම කොල්ලන් මා ළඟට ගණන් අසා ගැනීමට,අකුරු රවුමට ලිවීම පුරුදු කරන්නට , බය කරන්නට දැමීම ගුරුතුමියන්ගේ පුරුද්දක් විය.ඇම්බැට්ට කොල්ලන් මට්ටු කරන්නට නම් මගේ ඉතිරි වී තිබූ කෙළි ගති වලින් වැඩි හරියක්ම කපා දැමිය යුතු බව මා අවබෝධ කර ගත්තේ ඒ කාලයේදීම ය.අන්තිමට සිස්සත්තේ පාස් වන විට ඉතිරිව තිබුණේ ඉතා සුළුතර කෙළි ගති කිහිපයක් පමණි.

උදා:ඉස්කෝලෙට ගවුම් ඇඳීම,තෙල් ගා කොන්ඩය පීරීම,කොල්ලෙක්ට පැන්සලෙන් අනින්නට යන විට දෙපාරක් විතරක් හිතීම

අපේ ගේ ළඟම ඇනෙක්සියක පදිංචිව සිටි සුරංගයා ඒ කාලයේ සිටම මට ඇල්ලුවේ නැති කාරණාවක් තිබුණි.ඒ මම කළුවරට බය බවත් ,හයියෙන් කැ ගසාගෙන ඇඟට පැන්න විට මම බය වී කැ ගසන බවත් උන්දා දැන සිටි නිසා ය.එකමත් එක දවසක අපේ දොර් උලුවස්සේ එල්ලි සිට ඇඟට පැන්න දවසේ මම සුරංගව පන්නා ගෙන ගොස් අතට අසු වුණ පොල් කෝම්බයකින් දමා ගැසුවේ ඔළුව පලන්නට නොවුණත් ඒක වෙන්නට නියමව තිබුණේ එහෙම ය.
සුරංගගේ අම්මා තකහනියේ විත් අම්මාට ගතු කීවේ මා නම් ළමාගති ගැවිලාවත් නැති යක්ස කෙල්ලක බව කියමිනි.අම්මා මට කිසිවක් නොකීවත් එදා නම් මට ඇත්තටම බය හිතුණේ සුරංගයා මැරෙයිම කියා හිතුණ නිසා ය.අදත් සුරංග පාරක තොටක මුණ ගැසුණු විට මට උන්දාගේ මූණට පෙර නලලේ කැළල දැක බකස් ගා හිනා යන්නේ ඇයිද මන්දා ය.;)

බාලිකාවකට ගියත් මගේ ඒ ගති එහෙම්මම විය.හත අට පන්තිවලදී අහම්බෙන් නිවාසාන්තර නාට්ටියකට සහභාගී වීමෙන් පටන් ගත් ගමන සමස්ත ලංකා ,අන්තර් පාසල් මට්ටමට ගියත් ඒ කිසිම දවසක මට ගැහැණු චරිතයක් රඟ පැමේ අවස්ථාවක් උදා නොවීම වාසනාවක්ද අවාසනාවක්දැයි කීමට නොදනිමි.එක එක සංගම් දහ පහළවක සිට කොළඹ පහේ
සිට දාහතර දක්වා ඉස්කෝලවල කොල්ලන් සමඟ හැප්පෙද්දී,වාද කරද්දී,කවදාවත් සැක සාන්කාවක්,බයක් ඇති නොවුනේ ඒ පරිචය නිසා විය යුතු ය.

උසස්පෙළ ආරම්භ කළ කාලයේ දෙයියාගේ හවස පන්ති යාම ඇරඹීම නිසා ගමන් සගයෙක්ගේ වුවමනාව තදබල විය.අම්මාටත් අප්පච්චීටත් මගේ නැට්ටමෙන් එලවන්නට කාලයක් නොවූ බව දැන වුන් මට අලයාගේ සමාගමය අති මහත් සහනයක් විය.පැල් බැඳගෙන පෙම් කරන්නට කෙල්ලක් උන් නිසා ඒ අතින්ද කරදරයක් වූයේ නැත.යන එන මග තොට සැබැ සහෝදර සමාගමයෙන් මා පරිස්සම් කල අලයා සිහි වන විට අදටත් නෙතට පහදා ගත නොහැකි කඳුළක් මතු වන්නේ නිරායාසයෙනි.මේ ජීවිත කාලය තුල මට හමු වූ සැබැ මිතුරන් කිහිප දෙනා අතර උන්දා ඉහලින්ම ඉන්නා බව අදත් සිහි කරන්නේ දැඩි ලෙංගතුකමකිනි.(හා,,,,හා..... බැහැපන්!මුරුංගා අතු හයිය නැත.)

ඊට අමතරව මා වටා උන් සගයන්ගෙන් වැඩි පිරිසක් කොල්ලන් වුවත් ප්‍රේමයක් පටන්ගන්නට යෝධයා හමු වනතෙක්ම ඉන්නට සිදු වූයේ ඒ මගේ ඉරණමේ ලියවී තිබූ හැටියට වෙතැයි විස්වාස කරමි.යෝධයා පවා පෙම්බරා නොවී මිතුරු වෙසින්ම උන්නා නම් මීට වඩා හොඳ විය හැකි බව නොකිව හැක්කේ කාටද?

කතාව එහෙමය.අදටත් මගේ මිතුරන්ගෙන් වැඩි පිරිස කොළුවන් වීමේ රහස ඕකය.
ඒ ඇර වෙන නැහැදුණු කමක් නොවේය.මේ ඔක්කෝම කීවේ පම්පෝරියකට එහෙම නොවේය.දුකට ය.බලන කියවන අයට මොනවා හිතෙනවාද දන්නේද නැත.අම්මා අප්පා හොඳින් තේරුම් ගත් ඒ සත්‍යය වෙනත් අය වරදවා වටහා ගත් එකට දුකය!
අප්‍රමාණ දුක ය.
අම්බානක දුක ය!

Sunday, January 1, 2012

සුබ නව වසරක් වේවා!


සුබ නව වසරක් වේවා! :)

Monday, December 12, 2011

හැඟුම්බර නොවී සිටිය නොහැකි තත්පරය!


අම්මා මට කවදත් පක්සපාතීය.ගෙදර දොරේ දැතේ හුරුව ගැන හිතමින් දොස් මුරය දමන අම්මා කෙනෙකු හිටියානම් ජීවිතය මෙහෙම විඳිමින් "ආතල්" ගන්නට මට ලැබෙන්නේ නැත.කූඩු කිරිල්ලියක නොකොට ලෝකය දකින්නට මුල් පියවර තබන හැටි කියා දුන්නේ අම්මාය.අප්පච්චීටද මගේ නිවරැද්ද සහතික කරන සාක්ෂිකාරිය වූයේ ඇයයි.ඒ මොනවා වුණත් ලෝකයේ මට වැඩියෙන්ම රිද්දන්නට පුළුවන්ද අම්මාටය.වැඩිය ඕන නැත.දෙපාරක් රවලා බැලුවා නම් ඇති ය.ඇඬෙනවාය.දුක හිතෙනවාය.රටේ පුරුද්දට හිතට නාල්ලන දෙයක් කියූ විට එකට එක කියාගෙන යනවා මිසක මෙතුවක් අම්මාගේ හිත රිද්දන දෙයක් නොකර ඉන්නට උපරිම උත්සාහයක් ගැනීම සහ එය සැහෙන දුරට සාර්ථක වීම ගැන නම් මට අවංකවම ඇත්තේ අප්‍රමාණ තන්තෝසයක් ය.

අම්මාට කේන්ති යනවා වැඩිය.ඒත් "මල පනිනවා" කියන එක වෙන්නේ කලාතුරකින්ය.එහෙම එක වුණ දාට බලා ගන්න පුළුවන් ය.අප්පච්චීව සත පහකට මායිම් කිරිල්ලක් නැත.වචනය එහා මෙහා වෙන්නට බැරිය.අතේ ඇති පිඟන් කෝප්ප මගේ මූණට දමා එවනවාය.එදාට මම පූසා ය.අහිංසක ය.තත්වය නරක අතට හැරෙන්නේ අප්පච්චිගේ රතු කට්ට ඩින්ගිත්තක් එහා මෙහා වෙන්ට ගත්තාමය.ඊට පසු විස්තරය කියලා වැඩක් නැත.ගොඩක් අයට ඒ අත්දැකීම් ඇතිය.

දන්නා කාලයක මගේ ඉවුමක පිහුමක ,ඇඳුමක පැළඳුමක දොසක් අම්මා කියා නැති එක සතුටට කාරණාවක් ය.හේතුව අම්මා ඉවිලි පිහිලි ගැන වැඩි දැනුමක් හෝ උනන්දුවක් නැති එකය.ඒ අපේ අම්මා අනික් අම්මලාගෙන් වෙනස් වෙන එක ලොකු කාරණාවක් ය.අස් පස් කිරිල්ලට දක්වන සැලකිල්ලෙන් සීයෙන් එකක් අම්මා ඉවිල්ලට දක්වන්නේ නැත.ඒකටත් හේතුවක් ඇත.අම්මා බබෙක් වගේ හදා ගත් කිරි අම්මාය.කිරි අම්මා මිය යන තුරුම අපේ අම්මා කිරි අම්මාගේ "චූටි"ය.කසාද බැඳ ආ පළමු දවසේම කොත්තමල්ලි දමා පොල් සම්බෝල හදන වාසනාව උදා කර දී ඇත්තේ ඒ හුරතලයයි!;)

මට මතක කාලයක අම්මා ඉන්ද්‍රානිගේ ,ඇංජලීන්ගේ ගීත තාලයට ගයා සිනා සෙමින් සිටියාය.පුංචි පත්තර මාස අනුපිළිවෙලට අවුරුදු තුනක් එකතු කරන හැටි කියා දුන්නාය.පාට පාට ඩිමයි කොළ වලින් ඉස්කෝලේ යන්නටත් පෙර රූප අලවන හැටිත්,තාලයට ජයමංගල ගාථා කියන හැටිත් කියා දුන්නේ අම්මාය."රම්පොට තෙළඹුව මැණිකෙට......."කියමින් ඉන ගස්සා හැඩට නටන හැටි මුලින්ම දැක්කේ අම්මාගෙන් ම ය.දහම් පාසල් තරඟ හා රට වටේ ඇති එක එක තරඟ වලට මා එක්කාගෙන ගියාය.ඒත් කිසි දවසක පාඩම් කරද්දී "දැන් ඔය ඇති නිදා ගන්න" කියනවා මිසකකෝටු උල් කර පාඩම් කරන්නට බල කර නැත.


එහෙම විනෝදෙන් උන්නාට අම්මාගේ ජීවිතය රස සාගරයක් නොවේ ය.අම්මාගේ අම්මා එනම් මගේ නුදුටු අත්තම්මා මිය යන විට අම්මාගේ වයස යන්තම් මාස තුනක් පමණ ලු.!එතැන් පටන් අම්මා හදා වඩා ගෙන ඇත්තේ හිතවත් පවුලක යුවලක් වූ මගේ කිරි අම්මා සහ සීයා විසින් ලු.ඒත් කිරි අම්මා තමාව අනුන්ගේ දරුවෙකු ලෙස හැඟෙන්නට වචනයක් හෝ කිසි දිනෙක කියා නැති බව අම්මා අදත් සිහි කරන්නේ ඇඬූ කඳුළි
නි.

අම්මා ගැන මෙහෙම කියා ඉවර කරන්නට බැරි බව අමුතුවෙන් කියන්නට උවමනා නැත..සාම්ප්‍රදාය කර තබාගෙන පට්ට ගසනා නැන්දලා මාමලා මැද මා නිවරදි දේ කරති-යි යන උපරිම විස්වාසය මත අම්මා මා හැකි තාක් නිදහස්ව තැබුවා ය.ලෝකයම මා වැරදි වග කියද්දීත් හැම අම්මා කෙනෙක් මෙන්ම මා විස්වාස කළාය.ඒ විස්වාසයෙන්ම මා නිවරැද්දේ රඳවා තබා ගත්තාය.

සිසේරියන් සැත්කමකින් කුළුඳුල් දරුවා ලෙස මා උපන් විට අම්මා කම්පනයට පත්ව දින කිහිපයක් සිහි කල්පනාවෙන් තොරව සිටි බව මා අසා ඇත.පදය පදය ගැට ගසා කවි ලියන කාලයේ මම අම්මාගේ හැම උපන්දිනයකටම කවි ලියා දී ඇත.ඒත් මතක ඇති කාලයකින් මම අම්මා ගැන කිසිවක්ම ලියා නැත.මේ ලෝකයේ හැම අම්මා කෙනෙක් සේම ,සමහර විට ඒ හැම අම්මා කෙනෙක්ටම වඩා මගේ අම්ම දුක් විඳ ඇත.වැඩි හරියක් මා නිසා නොවූවත් ඇගේ සතුට වෙනුවෙන් මා මෙතෙක් කළ දේ අවමය.ඇය පතන තැනක හිඳ ඇය සතුටු කරවන තෙක් ඇයට සුව දීඝායු පැතිය යුතුය.! කිව යුත්තක් ඇත.තවමත් මේ ලෝකයේ මා වැඩියෙන්ම ආදරය කරන්නේ මගේ අම්මාට ය!ඇයට තරම් වෙන කිසිවකුට ආදරය කරන්නට නොහැකි වීම ගැන හිත රිදවා ගන්නා අයෙක් වේ නම්
මට සමා කරන්න...!

Sunday, December 4, 2011

සරදා උඹ නිදිද?


සරදාගෙ ඇස් කළුයි.බොරයි.ජීවිතේ පාට කරන්න පාට ගොඩක් එක සැරේට ඒ ඇස් වලින් දියකරලා.ඒකි තව ටිකක් මට වාරු වුණා.හෙමීට කියවන්න පටන් ගත්තා.

"කැම්පස් එන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕන කියලා මම කවදාවත් හිතලා තිබ්බේ නැහැ.මම කවදාවත් විබාග වලට අමුතුවෙන් මහන්සි වෙලත් නැහැ.

මුලම කාලේ මම කවි ලිව්වා.ඊට පස්සෙ කෙටිකතා.චිත්‍ර ඇඳිල්ල නම් කවදාවත් බැහැ.මගේ පලවෙනි නව කතාව ලිව්වෙ එකොලහ වසරෙදි.ඉස්කෝලෙ යාළුවෝ ඒක කියවලා හිනා වුණා.උන්ට ඕන වුණේ එව්ව නෙවෙයි

මුලින්ම කොල්ලෙක්ට ආදරේ හිතුනේ අට වසරෙදි.උගේ අම්මයි තාත්තයි නැහැ කිව්ව අපේ එකියක්.පස්සේ දැනගත්තා බොරුවක් කියලා.දැන් ඌ බැඳලා ,වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නවා දැක්කා කැම්පස් ආව මුල දවස් වල.....

ඊට පස්සෙ එකොළහවසරෙදි ...ඌ හැන්ඩියා.මනමාලයි.දඟයි.කෙල්ලො ඒ වයසට හොයන නැහැදිච්ච කම උපරිමයි.කවි ලියන්න පටන් ගත්තේ ඌ හින්දා..වැඩක් වුණේ නැහැ.ඌත් බැන්දා මම සෙකන්ඩ් ඉයර් ඉද්දි.ඒ දවස්වලම කොල්ලො දෙන්නෙක් මගෙන් ඇහුවා.උන් දෙන්නම බැන්දා ගිය අවුරුද්දේ....

මොන මගුලක්ද බන්.බඳින්නෙ නැතුව ඉන්න බැරිද?........
මට නම් බැරි වෙයි.මම අහලා තියෙනවා.එක පාරක් ඇවිළුණ
හිත ගත මුල් අවස්ථාවට ගන්න බැරි වෙනවලු........කවදාවත්

ඒ ලෙවල් ඉවර වෙනකල්ම මම අර කවි ලියන ප්‍රේමේ ගැනම හිත හිත හිටියා.
ඌ ප්‍රේම කරමින්ම හිටියා.

වෙන කාටද.....

වාසල එක්ක ආදරේ වගේ මගුලක් පටන් ගත්තත් මගේ හිත එක තැනක තිබ්බේ නැ.වාසල ළඟ තිබ්බේත් මම හොයපු
දේ නෙවෙයි.වෙන වෙන දේවල්.ඌට ඕන වුණා තනි වෙන්න.සේරටම කලින් තනි වෙන්න.අපි දෙන්නා විතරක්.කාගෙවත් හුළඟක්වත් නොවදින තැනක.මම තනි වුණා.හිර වුණා.උගේ ආත්මේ පතුලේ.මම ඌට ආදරේ කළා.ඒ තරමට වෛරත් කළා.ඌ මට ආදරේ කළා.ඒ තරමට විනාසත්......විලි ලැජ්ජාවත්...කවදාවත් නොවින්ද තරමට

කල්ප ආවා .මම ඌට ආදරේ කරන්න ඇති.කවුරුත්ම නොකරපු විදිහකට.ඌ මට නොසැහෙන්න උදව් කලා ගොඩ එන්න.මට ඕන වුණේ පලි ගන්න.වාසලගේ වාසල් බිඳින්න.මම ඒක කලා.වාසලත් එක්ක තිබ්බ අන්තිම බැඳීමත් බින්දා.රැයක්!...එක රැයක්!දෙකක්!
සිහින ගැන කියවමින් මම කල්ප එක්ක නිදි මැරුවා.ආත්මය මැරුවා.දැන් මං අනාත්මයි.මේ මගේ දෙවන උපතයි..මම නිදහස්...කල්ප එක්ක පවතින්න බැහැ.කල්ප විනාසෙට කලින් මං ගෙදර ආවා.


සිහින උසයි සුදුයි.මගෙම පුරුෂාත්මේ කියලා මට හිතුණ වාර අනන්තයි.

ප්‍රමාදය! විඳවිල්ල විතරෝමද ඉතුරු කරන්නේ හැම විටම?

නැහැ!
හොඳම උදාහරනේ සිහින.
සිහින ආවා.ළඟම හිටියා.දැවටෙමින් නෙවෙයි.ප්‍රතාපවත්ව.හිනා වුනෙත් ගානකට.මිහිරි හඬ.අනාඩම්බර බැල්ම.ආදරේ කියලා මෙතුවක් හිතාගෙන හිටියේ මොන පුස් වෙඩිල්ලක්ද?තත්පරයක් පාසා මම හිටියේ දැල්වෙමින්...











. . . . . . සරදා!
උ
ඹ
නිදිද?

ඉතුරු ටික පස්සේ කියපන්...!