ගෙතිල්ල පහසු කාර්යක් නෙවී.මුලදි මුලදි හොඳ අවදානයෙන් නොහිටියොත් ආපහු කොනක හිටන් වැඩේ පටන් ගන්න වෙනවා.මුලින්ම ගොතන්නෙ දම්වැල.එතනින් එහාට පිරවිල්ල .කාලෙත් එක්ක මේ කෙරුවාව ඇස් පියාගෙන කරන මට්ට්මට කෙනෙක්ට හුරු වෙන්න පුලුවන්.
මම මුලින්ම ගෙතුමක් දැක්කෙ ආච්චිගෙ.ආච්චි ගොතන්නෙ කටු දෙකෙන්.ආච්චි ළඟ ගෙතුම් රාමුවකුත් තිබුණා.ඒක මට අවුරුදු 3ක 4 ක කාලෙ සෙල්ලම් බඩුවක්.අන්තිමටම ඒක තියෙනවා දැක්කෙ පීල්ල ළඟ වැලි ගොඩේ.ආච්චිගෙන් අහගෙන කටු දෙකෙන් යන්තමට ගෙතිල්ලක් ඉගෙනගනිද්දි මම දෙක වසරෙ විතර.ඒ වෙද්දිත් ඉස්කෝලෙ ගිහින් ඇවිත් මට බත් කවන්නෙ ආච්චි.හුරුල්ලො බැදලා,ගොටුකොල සම්බෝල හදලා,කැරට් ඉව්වම මට රාජ බෝජන වගෙ තමයි.මොන බොජුන තිබ්බත් කතාවක් කියලා බත් ටික කැව්වෙ නැත්නම් මට බඩගින්න ගානක් නැති බව ආච්චි දන්නවා.අනික සියගෙ ප්‍රියතම මිණිබිරිය වුණ මාව බඩගින්නෙ තැබිල්ලෙන් දොස් අහන්න වෙන්නෙත් ආච්චිටමනෙ.මට හොඳටම මතක කට පහ රජ්ජුරුවන්ගෙ කතාව.ඒක ආච්චිගෙ ජනප්‍රියම කතාව.
දවල්ට බත් කැවට පස්සෙ සීය ඇඳට වැටෙනවා.ආච්චි ඇඳට යාන්නෙ මාවත් ඇදගෙනමයි.කාපු ගමන් ඇඳට වැටෙනවා කියන්නෙ මට මරන්නා වගෙ.ආච්චිට කරන්නෙ මාව බිත්තිය අයිනට දාල නින්ද යනකල් පිටට තට්ටු කරන එක.තට්ටු හත අටක් යද්දි තට්ටුව ඉබේම නවතිනවා,ආච්චිට නින්ද ගිහින්.හිමින් සැරේ ඇඳ පහලට රූටලා බැහැගන්න හදද්දිම ආච්චිට ඇහැරෙනවා.ආයෙත් මාව නිදි කරවා ගන්නවා.ඒත් කලින් වතාවෙ වගෙම තට්ටු කිරිලි හත අටක් යද්දි ආච්චි නිදි.මම කරන්නෙ ආච්චිව හොලවලා ඇහැරවලා තට්ටු කරන්න කියන එක.අද මතක් වෙද්දි ආච්චි කොච්චර පවු ද සහ මම කොච්චර ඇම්බැට්ට කෙල්ලෙක් වුණාද කියලා හිනත් යනවා.කොහොම හරි ජයග්‍රාහී දෙවන නැත්නම් තුන්වෙනි උත්සාහයෙන් මම ඇඳට පැන ගන්නවා.කෙලින්ම නවතින්නෙ මිදුලෙ.මහගෙදර වත්තම පළතුරු යායක්.මම කරන්නෙ තනියම අහල පහළ තියෙන ගෙඩියක් කඩාගෙන කඩයක් දාන එක.මුදලාලිත් ගැනුම්කරුවාත් මමම තමයි.
සමහර දාට මහගෙදර වී තම්බන්න එන කිරි අත්තම්ම එයාගෙ මිණිබිරිත් එක්කගෙන එනවා.ඒළමයා මට වඩා අවුරුදු 2ක් විතර බාලයි.හොර පූසි වගේ ආ වෙලාවෙ ඉඳන් වට පිට බලන්නෙ.කතා කරාට කතාවක් නැ.දවසක් සීයයි මමයි කොළඹ ගියා.ආ...මට මහගෙදර හිටිය පූසා කාලා ඒකට ඉන්ජෙක්ශන් දෙන්න මාව කාසල් එක්කගෙන ගිය දවස.මම මූණත් බෙරි කරන් ගෙදර එද්දි මෙන්න මේ හොර පූසි මගෙ මල් පිඟානෙ බත් කනවා.ඒ ළමයා ගියාට පස්සෙ ආච්චි මට ඒ පිඟානටම බත් බෙදාගෙන ආවා.මම නෙවෙයි බත් එක දිහාවෙ ඇහැක් ඇරලා බැලුවෙ.සීයත් ආච්චිට දොස් කියලා සීයගෙ රන්පාට පිඟානට බත් බෙදලා දීලා පහුවදාම මට අළුත් පිඟානක් ගෙනත් දුන්නා.(අම්ම අදටත් කියන්නෙ මට තියෙන්නෙ සීයගෙම උද්දච්චකම කියල;)
ඉස්කෝලෙ දෙක වසරෙ ඉද්දි ආච්චි මාවත් එක්කරගෙන ගියා මල ගෙදරකට.එන ගමන් අපෙ ඉස්කෝලෙ හිටපු නපුරුමයි කියලා ප්‍රසිද්ද ගුරුවරියක් සහ ළඟම ඥාතී වරියකගෙ ගෙදර ගියා.එයා "සුදු අක්කේ" කියලා ආච්චිව බදා ගත්තා.කොහොමින් කොහොමින් හරි අන්තිමට වුණේ මාව හවසට හවසට ඒ ටීච‍්රගෙ ගෙදර යැවිල්ල.එයා මාව පන්තියෙ පිටිපස්සෙන්ම වාඩිකරවලා උගන්නනවා.හිටපු ගමන් ප්‍රශ්න අහනකොට පණ්ඩිත කමට මමත් උත්තර දෙනවා.පහ වසරෙ අක්කල අයියලට බැරි දේවල් මේ පොඩි ළම්යා තේරුම් ගන්නවා කියලා "ටීච ආච්චි " හවස බිස්කට් එක්ක තේත් දීලා මාව මහ ගෙදර වැට ළඟට ගෙනත් අරලිනවා.කොහොම හරි පහ වසරෙදි මම ටීච ආච්චිගෙ පන්තියට නොවැටුණ එක අපෙ ආච්චිට හරියට හිතට අමාරුවක් වුණා.මම වැටුණෙ පහවසර -1 පන්තියට.කොහොමද කියන්න දන්නෙ නැ.ඒ පන්තියෙ මට ඉන්න වුණෙ එක දවසයි.පහුවදාම මම ටීචාච්චිගෙ පන්තියෙ.:)
අපේ සීය තමයි ගමෙන් ම මුළින් ම ආනන්දෙට ගිහින් තිබුණෙ.ජපන්නු බෝම්බ දාද්දි ඉස්කෝලෙ ඩෙස්ක් යට රිංගලා කෝටු කටේ ගහන් හිටිය හැටි සීය කියන්නෙ පෙන්ශන් දාට සෝමෙ මාම එක්ක කාමරේට වෙලා කතාව දාගෙන ඉද්දි.මට බෙහෙත් ගත්ත "බංගලාවෙ දොස්තර" සීයගෙ හොඳම යාළුවා.ශිෂ්‍යත්වෙ ළං වෙලා මට හිසරදයක් හැදුණා,මම ඉතින් හුරතලේටත් එක්ක සීයගෙ සරම් ඔඩොක්කුවට පැනලා අඬනවා.සීය ලැස්ති වුණෙ මාව කාසල් අරන් යන්න.කොහොම හරි "බංගලාවෙ දොස්තර"ගෙ බෙහෙත් වලින්වත් කාසල් එකෙන් දුන්න බෙහෙත් වලින්වත් අඩු නොවුන හිසරදය විභාගෙ කිට්ටු වෙනවත් එක්කම ඉබේම සනීප වුණා.ආච්චි කිව්වෙම මගෙ සෙම කර වෙලා කියලමයි.සීය කිව්වෙ මම කළුවරේ පොත් කියවන නිසා කියලා.