Wednesday, March 22, 2017

හිතළු පොතේ කතාවක්........



ඔස්ට්‍රේලියාවේ වසන

X මහත්මයා
මුහුණු පොතේදීය....

අපේ ලොකු දුව J, එයාගේ ඉස්කෝලේ විවාද කණ්ඩායමට තේරිලා. පහුගිය දවස් ටිකේම එයා කර කර හිටියේ තේරීම් තරගවලට පුහුණු වෙන එක. ඉතිං ඊයේ හවස වැඩ ඇරිලා ආපු ගමන් ඇය මා වෙතට දුවගෙන ඇවිල්ලා මේ ආරංචිය කිව්වම මට හරියට සතුටු හිතුණා.

ඇත්තටම අපි ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණේ ලංකාවෙදි අපි විඳපු අමිහිරි අත්දැකීම්වලින් අපේ දරුවන්ව මුදවගන්න. විභාගවලින් ඉහලම ප්‍රතිඵල ලබලත්, ලංකාවේ සිවිල් සමාජය ඇතුලේ "චරිතයක්" විදිහට හැසිරෙන්න පුළුවන් රැකියා කරලත්, ගොඩක් තැන්වලින් රස්තියාදු නොවී වැඩක් කරගන්න පුළුවන් සමාජ සම්බන්ධතා ජාලයක් තිබිලත්, අපිට ලංකාවෙදි ඔලුව බේරගෙන ජීවත් වෙන්න අමාරු වුණා. 
දැන් මේ කිසිවෙකු නොදන්නා නොරටේ, අපේ ලොකු බලපෑම්වලින් තොරව, මව්බස නොවන භාෂාවකින් අධ්‍යාපනයේ නිරත වෙමින්, අපේ දරුවන් ජයග්‍රහණ ලබනකොට සිතට සතුටක් දැනෙනවා.
ලංකාවෙදි ගොඩක් වෙලාවට බහු වාර්ගික, බහු සංස්කෘතික පාසලකදී නං වෙන්නේ බහුතර ජනවර්ගයට අයත්, පාසලේ ගුරුවරුන්ට හිතවත්, එසේත් නැතිනම් මූල්‍ය ශක්තියෙන් ඉහළ හෝ සිවිල් චරිතයක් වුණ හෝ ආදි ශිෂ්‍යයෙකුගේ තරමක දක්ෂතාවක් සහිත දරුවෙකුට ඔවැනි අවස්ථා ලැබෙන එක.
ඔස්ට්‍රේලියාව බහු වාර්ගික හා බහු සංස්කෘතික සමානාත්මතාව එරට ව්‍යවස්ථාවෙන්ම තහවුරු කළ රටක්. මහ පොළොවෙදිත් බොහෝ වෙලාවට එය ක්‍රියාත්මක වෙනවා. අපේ දරුවාගේ දක්ෂතාවට පාසලේදී නිසි තැන හිමිවීමෙන්ම ඒ බව පේනවා. මෙතනදි අපිට අපේ දරුවන්ට වගේම මේ රටටත් ආදරේ හිතෙන්නේ ඒකයි!




සිරිලංකාවේ  වසන
N මෙනවිය
හිතළු පොතේදී ය.........

හිතවත්  X මහත්මයාණෙනි, 

මා ඔබ දෙපළගේ  මුහුණු පොතේ සමීප මිතුරියක නොවූවත් කලක සිට ඔබ පලකරන දෑ කියවනවා. ඔබේ දියණිය මුහුණු පොතින්ම දැක ; ඇය ලැබූ ජයග්‍රහණය ගැන මගේ අත්දැකීම් ද සිහිවී සැබෑ සතුටක් දැණුනේ ඔබ දෙපල පිළිබඳ මා තුල ගොඩ නැගී ඇති මැදහත් ප්‍රතිරූපයද නිසාවෙන් . 

මේ ඉන්බොක්ස් පණිවිඩය ඔබේ කතාවට ව්‍යාතිරේකයක් ලෙස සැලකිය හැකියි.එය කොමෙන්ටුවක් ලෙස එක් නොකර මැසේජයක් ලෙස ඔබට එවන්නේ අතිශය පෞද්ගලික පුරාජේරුවක් ලෙස යම් අයෙකු එය වටහාගන්නවා දැකීමට ඇති නොකමැත්තත්, කලාතුරකින් වුවත් ඔබත් මාත් ආදරය කරන ලංකාව තුල මෙවැනි දේ සිදුවන බව ඔබට කියන්නට මට අවශ්‍ය වූ නිසාවෙනුත්. 

ඉතාම සාමාන්‍ය පවුලක දියණියක්ව ඉපදී පහවසර ශිෂ්‍යත්වයේ මහිමයෙන් මම .................. බාලිකාවට ඇතුලු වුණේ 1995    වසරේ දී. ඒ කාලයේ මම හරිම කුලෑටියි. ගෙදරදී  කියවිලිකාර දැරියක් වුණ මගේ, පාසල තුල පලකෙරුණු මෞනවෘතය මටම අදහාගන්නට බැරිවූවක්. අට වසරට එනතුරු අඩුම ගානේ මට එකදු මිතුරියක්වත් සිටියේ නැහැ. පාසල මට ඉතා නීරස තැනක් වෙමින් තිබුණේ  දහම් පාසලේ  බලමණ්ඩල කථික තරඟ වලින් පළමුතැන දිනාගත් මම පාසලේදී  මිතුරියකවත් නැති ඒකචාරී ප්‍රාණියෙක්ව සිටි නිසයි.

කාලය ගෙවුණා. නව යොවුන්වියත් සමඟ මිතුරියන් එකා දෙන්නා සමඟ මගේ ඇසුර වැඩුණා.මා දසවන වසරේ ඉගෙන ගනිමින් සිටියදී යි ඒ අසිරිමත් මොහොත උදා වුණේ.

කලා උළෙල වෙනුවෙන් පවත්වන නිවාසාන්තර තරඟ ආරම්භවී තිබුණා. ඒ වෙද්දී පිට පිට වසර කිහිපයකම ජයග්‍රහණ දිනාගත් ................ නිවාසීය නාට්‍ය කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස මම නමක් දිනාගෙන සිටියා. ඒ කිසිදු බාහිර බලපෑමක් නිසා නෙවෙයි.

අහඹු ලෙස නිවාසාන්තර කථික තරඟ සඳහා සහභාගී වීමට මගේ නමත් නිවාසයෙන් යෝජනා වී තිබුණේ මේ නාට්‍ය හුටපට නිසාමයි. 

ඉදිරිපත්වූ පළමු  වසරේදීම අන්තර් නිවාසීය කථික තරඟයේ පළමුතැන මට හිමි වුණා. විශාල ප්‍රසාදයක් හිමිවුණා. ඒ තරඟයට ගුරුවරියකගේ දියණියක් සහ විවිධ ඉහල යැයි සම්මත වෘත්තීන් වල නිරත දෙමාපියන්ගේ දරුවන් රැසක් සහභාගී වුණා. කිසිදු විරෝධයක් එල්ලවූ සලකුණක්වත් මට දැනගන්නටලැබුණේ නෑ.එතැන් පටන් ඉතා සුමට ගමනක්.  අන්තර් පාඨශාලීය සහ සමස්ත ලංකා මට්ටම දක්වා. වසර දෙකක් පාසලේ සිංහල විවාද කණ්ඩායමේ නායිකාව ලෙස සහ අවසාන වසරේ පාසලේ දක්ෂතම කථිකාවිය ලෙස සම්මාන ද සමඟින්. 

ඉතින් එපමණයි. මට කීමට ඇත්තේ මෙයයි. මගේ පාසලට මාස  තාමත් ආදරය කරන්නේ එය අගනුවර උසස් බාලිකාවක් ලෙස ලෝක සම්මතයේ පවතින නිසාවත්, ඒ නිසා මගේ ජීවිතයට අමුතු ආලෝකයක් ලැබෙන නිසාවත් නෙවෙයි. "ඉස්කෝලෙන් අවුට්වෙන්න" බැරිතරම් , අන් බොහෝ තැන්වලදී නොලැබුණු සාධාරණ දේ මගේ ජීවිතයට ලබා දුන් නිසයි.

ලංකාවම එතරම් සාධාරණ තැනක් නොවන බව;
විශ්වාස කළ නොහැකි ලෙස සුදුසුකම් පමණටත් වඩා සපුරා සිටියදී රජයේ විශ්වවිද්‍යාලයක සහකාර  කථිකාචාර්‍ය ධූරය දැරීමේ අසීරුව පිළිබඳ අත්දැකීම් ඇති මා දන්නවා.  :D

ඔබට ජය! 

අප ඔබේ ලියමන් නිරතුරු  කියවන බව නැවතත් සිහිපත් කරනවා. :)

ප.ලි.  මගේ මේ නොස්ටැල්ජික  නරුමාලාපය කියවීමට ගතකළ කාලය වෙනුවෙන් ස්තුතියි! :)


චැට් පෙට්ටියේ ඉතිරිවූ යමක්...........

X -මෙය මෙලෙසම එතන පළකරන්න. මෙහි කිසිම පුරාජේරුවක් නෑ. අදහස් පළ කළාට ස්තුතියි. මෙබඳු දේ කියවීමෙන් ලංකාවේ එක තරුණ පාසල් ගුරුවරයෙකු හෝ ගුරුවරියක වෙනස් වුවහොත් එයත් වටිනවා.


කඩුළු

බොහෝ උස් බැවින් හදිසියේ උපන් කඩුළු
මගැර සිය දහස් මල් පිපෙන තුරු ලතා මඩුළු
අඳුරු පෙත්මගෙක අත ගගා පිසලම්න් කඳුළු
සොඳුරු මතකයෙන් නික්ම යන දැරිවියකි කුරුළු


මම කැමති

ඇස්පියා ගත්තමත්
සීරුවට බිඳි බිඳී යන සද්දෙ

කෝඩුකාර උගුරක
ගුඩු ගුඩු සද්දෙට
බීර උගුරක් තරම් සීරුවට
මට කියන්න
ගලන්නට බැරි ඇයි ඔබට

කාර්‍යාලේ
පංකා පවා නිදිකිරන
දුරකතන රැහැන් අස්සේ
ඔබෙ කටහඬ ගලන්නෙත්
තවරගෙන නිදිමත
මධු විතක් තරම් මුදුවට
තොල්තෙමන්  ගලන්නට බැරි හැටි ඔබට
අපමණක් මධු වැනුම් ලිව්වට

මම දන්නවා
වර්ණනා කළ තරම්
මධු මතට ප්‍රේමයක් නැහැ ඔබට
ඔබ කැමති තනිකමට

ඇත්තයි
තෙල් කටාරමක පැහෙද්දී
ලුණු හුලඟක් උණත් සීතයි සනීපයි
ලපටි පාවහන්පටි ගැන කියද්දී
මට
ඉරිසියා හිතෙන්නේ ඒකයි

මූදු වෙරලක් ළඟ
නිවාඩු පාඩුවේ නිවෙන්නට නෙවෙයි
ලාබ උපමාවක් වුණත්
රැළි සරැළි නැති
මහ දෙනෙත් සාගරේ
කිමිදෙන්න
ඉපිලෙන්න
ඉඩ දෙතොත්
නවතින්න

මගේම විදිහකට
ඔබේ හිත
ප්‍රෙහෙලිකාවක් වගේ තෝරන්න

නොතේරෙන හැටි ඔබට
ඔබ ඉතා කැමති
වෛවර්ණයට දැනෙන
දුමක්, දුම් වලල්ලක් වාගෙ
අවසාන මොහොතේ
කිසිවකුට නොදැනෙන්න
තුනී වී මැකී වියැකී යන්න

ලෝකයක් යැයි යමක් නැති තැනක
අකනිටා බඹ ලොවට ළඟ තැනක
එකට දියවී යන්න

නොතේරෙන හැටි ඔබට...

ඒත්
වැඩියෙන්ම මම කැමතිත්
කතාවේ ඒ ටිකට
ඔබේ දැනුම් තේරුම් පථයෙන්
එපිට හෝ මෙපිට මං ඉන්නෙකට......



Wednesday, March 1, 2017

දෙදහස් එක් රැය

කොට්ටම්බා අතු මිදුල පුරාම වැටුණ වැටුණ තැන නිදාගෙන උන්නා. කේන්තියි මට. ඉදලත් අරන් ඇවිත් උදේ අතුගාපු මිදුලට මම ආයෙත් ටොකු අනින්න ගත්තෙ ඒ කේන්තියෙන්මයි. චන්දෙට කොඩිවැල් ඇදලා. කැඩිච්ච රබර් සෙරෙප්පුවක් කොට්ටං ගහ මුල.

කොට්ටං අතුටික ගහ මුලට කරලා කුස්සියෙන්  ගෙට ගොඩවුණා විතරයි. සාලෙ දොරට තට්ටු කරනවා. සුපුරුදු තට්ටුව. මට කට කොණකට හිනාවක් ආවා. අම්මා ලිප ළඟ. සාලෙ දොර හරියට අරින්න වුණෙත් නෑ.

බොහ්! පිස්සු නරියා ඇඟට පැනලා අත්දෙකෙන් අල්ලගත්තා.

"කොල්ලො මිදුල වනසලා නේද? සුමාල්ගෙ සෙරෙප්පුවත් කැඩුණා ඊයෙ මෙතනදිම. අපි ඉතින් ගහමුලින් තියලා ගියා ඔයාට අපිව මතක් වෙන්න කියලා"

"වැඩේමයි! "

අත ගසලා දාලා කුස්සියට හැරෙද්දි  පිස්සු නරියා කොන්ඩෙන් අල්ලගත්තා

"වැඩේට තමයි"

"වලා" කොණ්ඩෙ ඇදල අරන් දිව දික්කරලා මම කිව්වා.

"ඇන්ටී!තේ එකක් බොමුද? " පිස්සු නරියා කුස්සිය දිහාවට එබිලා කෑහැහුවා.

"ඉතින්?" නරි ඇස් හිනාවුණා. ඇහේ බබත් හිනාවුණා.
"කොහොමද එදා පේපර් එක?" මං ඇහුවා.

"හා!වෙලාවට මතක් කලේ. ඔයාව දාලා හෝල් එකට යද්දි පැය භාගයක් පරක්කුයි. එහෙන් තෙමිලා. මෙන්න ලිව්ව උත්තරේ "

දෙයියනේ! එග්සෑම් හෝල් එකේ ඉඳන් මේ මනුස්සයා උත්තරපත්තරේ ගෙදරගෙනත්. මම ඒක උදුරලා ගත්තෙ ඉවසුම් නැති කේන්තියෙන්. මොන මෝඩයෙක්ද ඇත්තට...

ඒත්!..... පළවෙනි පිටුවෙ උඩින්ම ලියලා තිබුණෙ මෙහෙමයි.

ආදරණීය සංදීපනී!.........................................................................


ෆුල්ස්කැප් සයිස් පිටු අටක් පුරා ආදරේ උතුරන බොලඳ වචන. අඬන්නද හිනාවෙන්නද කියලා මටම හිතාගන්න බැරි වුණා





....................................................................


ඊයෙ රෑත් ඒ වගේ හොරෙන්ම  ඇවිත් රෝස රිබන්පටියක් දොරකඩින් දාලා ඔයා ගිහින්. ඒත් මේ ඒ ගෙදරවත්, ඒ ඔයාවත්, ඒ මමවත් නෙවෙයි. අඬන්නද හිනාවෙන්නද කියලා මට තාම හිතාගන්න බෑ.